• Home »
  • Sinhala News »
  • එදා පත්තරෙන්… ලොවම කම්පා කළ අරන්තලා ඛේදවාචකයට අදට වසර 34 යි

එදා පත්තරෙන්… ලොවම කම්පා කළ අරන්තලා ඛේදවාචකයට අදට වසර 34 යි

දකුණු පුරවරයේ හෑගොඩ පුදේශයේ ඉපදී හෑගොඩ නීග්‍රෝධාරාමයේදී පැවිදි බිමට ඇතුළු වූ හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් දිගාමඩුලූ මිටියාවතට පා තැබුවේ 1956 දීය. වග වළසුන් ගහන ගල්ඔය මිටියාවතේ විහාර 04ක් පමණ තිබූ සමයේය. කුල දරුවන් පැවිදි කරමින් දිගාමඩුලූ මිටියාවතේ ඉපැරණි විහාරස්ථාන සහ ජනපද නව විහාරස්ථාන 60 කට අධික ප‍්‍රමාණයක් ඇති කරන්නට විය. කුල දරුවන් 300කට අධික පිරිසක් සසුන්ගත කරමින් ගම් නියම්ගම් පුරා ධර්මය ප‍්‍රචාර කරමින් දිගාමඩුලූ ශාසනික දියුණුවේ නායකත්වය ගෙන හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් දශක කිහිපයක් පුරා නොනිමි මෙහෙවරක් සිදුකරමින් ගම් නියම්ගම් පුරා ධර්මය ප‍්‍රචාරය කරන්නට විය.

එලෙස මහඟු මෙහෙයක් කළ හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් වෙනදා මෙන් සිදු කරන වාර්ෂික ධර්ම චාරිකාවද 1987 ජුනි 02 වැනිදා සිදු කිරීමට යොදා ගෙන තිබුණි. මෙලස අම්පාරෙන් පිටත්ව මහනුවරට ගොස් දළදා සමිඳුද වැඳ පුදාගෙන කැලණියට ගොස් එකල තිබූ කතරගම ගම් උදාවට පින්ඩපාතයෙහි වැඩම කරමින් ධර්මය ප‍්‍රචාර කරමින් පා ගමනින් කතරගම දක්වා වැඩම කිරීම උන් වහන්සේගේ අභිප‍්‍රාය වන්නට වූහ. මෙම නායක හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු වූ කැලණිය විශ්වවිද්‍යාලයේ එවකට අධ්‍යාපනය හදාරමින් සිටි කිරිඳිවල සෝමරතන හිමියන් කැලණියට පැමිණීමට නියමිතව සිටි මෙම සඟරුවනට ඇවසි දේ ඒ වන විටත් සූදානම් කර තිබුණි. මෙම ගමන පිළිබඳව නායක හිමියන් ගමනට සහභාගි වීමට කැමැත්තෙන් සිටි අනෙකුත් කුඩා සාමනේර හිමිවරු ඇතුළු සඟරුවනද දැනුවත් කරන ලදි.

පසුදාට රැුය පහන් වන තුරු නම් මෙම කුඩා සාමනේර හිමිවරුන් නින්දත් නොනින්දත් අතර ගත කරන ලදි. පාන්දර 3. 00 පමණ වන විට සියල්ලෝම පිබිද ගමනට සූදානම් වන්නට වූහ. හිමිදිරි උදෑසනම ගමන පිටත්ව යෑමට සිටි නිසාවෙන් මහියංගණයේදී හීල් දානය වැළඳීමට ලහි ලහියේ අවශ්‍ය ආහාර පානද සකසා ගන්නා ලදි. ඒ වන විටත් අම්පාර ලංගම ඩිපෝවේ 60 ශ‍්‍රී 3599 දරන තනි දොර කුඩා බස් රිය මහවාපි විහාරය ඉදිරිපිට නවතා තබා තිබුණි. රියැදුරු අසුනේ සිටි සමරපාල මහතා සහ කොන්දොස්තර ජිනදාසත්, වසන්ත ජයවර්ධන තරුණ මහතා සහ කුඩා භික්ෂූවකගේ පියෙකු වූ දේවාලහිද පදිංචි රත්නායක මහතා සමගින් ගිහියන් 04 දෙනකු සහ සාමනේර හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේ 40 කට අධික පිරිසක් එම බස් රියට ගොඩ වූහ. පිරිත් හඬ මැද බස් රථය අම්පාරෙන් පිටත්ව යද්දි ඔරලෝසුවේ වේලාව උදෑසන 6.00 සනිටුහන් වී තිබුණි.

මෙම බස් රථය තනි දොර කුඩා බස් රථයක් බැවින් ඇතැම් ආසනවල කුඩා හිමිවරුන් තිදෙනකු අසුන්ගෙන සිටින ලදි. ඇතැම් හිමිවරුන් සිටගෙන සිටින්නට වූහ. රියැදුරු සමරපාල මහතා උහන මාර්ගය ඔස්සේ මහනුවර දළදා මාලිගයට ගොස් කැලණියට යෑම සඳහා තමනට කවදත් සුපුරුදු සුක්කානම කරකවන්නට වූවේය.

පිම්මේ ඉදිරියට ඇදෙන මෙම බස් රිය උහන නගරය පසු කරත්ම බස් රථය තුළ සිටි අය තුළ යම් තැතිගැම්මක් ඇතිවන්නට වූහ. නුවරගලතැන්න ගම්මානයට සහ අම්පාර මහඔය මාර්ගය දෙපස සිටි ජනතාවට විටින් විට රුදුරු කොටින්ගේ ප‍්‍රහාරයන් එල්ල වීම නිසාය. නමුත් ජනයාගේ වන්දනා මානයට සහ ගෞරවයට පත්වන මහා සඟරුවනට කොටියන් කිසිවිටකත් කිසිදු කරදරයක් නොකෙරනු ඇතැයි ඔවුනට සිතෙන්නට ඇත. මංගලගම යුද හමුදා කඳවුරද පසු කරමින් පිම්මේ ඇදෙන බස් රිය දැන් දැන් ළංව සිටින්නේ අරන්තලාව 28 කණුව ආසන්නයටය.

එක් වරම යුද හමුදා ඇඳුමෙන් සැරසුනු අයෙක් මහ මාර්ගය මැදට පැන බස් රිය නවතන ලෙසට සංඥා කරන්නට වූවේය. හමුදාවෙන් යැයි සිතූ කිසිවෙකුත් වැඩි කලබලයට පත් නොවුණි. ගතවූයේ තප්පර කිහිපයකි. බස් රථයට ගොඩවූ ඔහු ගිනි අවිය රියැදුරු සරණපාල දෙසට අමෝරා බස් රිය මාර්ගයෙන් ඉවතට ගෙන වනය තුළට ගන්නට අණ කරන ලදි. හාමුදුරුවෝ ටික වන්දනා ගමනක් වඩින්නේ කරදර කරන්න එපා, රියැ¥රු සමරපාල ගිනි අවිය අමෝරාගත් ත‍්‍රස්තවාදියා හට පැවසුවේය.

මෙලෙස බස් රථය නතර කරන්නට වූයේ යුද හමුදාවෙන් නොවන බවටත් නිසැකවම මහ වනයේ සැඟව මෙම ප‍්‍රදේශයේ අපරාධයන් සිදු කරනු ලබන ලේ පිපාසිත කුරිරු ත‍්‍රස්තයන් බව බස් රථය තුළ සිටි කාහටත් පසක් වන ලදි. හෑගොඩ ඉන්ද්‍රසාර නායක හිමියන් බස් රථයේ ඉදිරිපස අසුනේ වාඩිවී සිදුවන්නේ කුමක්දැයි විමතියෙන් බලා සිටින්නට විය. බස් රථයේ සිටි කුඩා සාමනේර හිමිවරුන් උගුලකට හසුවූ මුව පොව්වන් සේ

ගැහෙන්නට වූහ. දැන් ටිකෙන් ටික බස් රථය මාර්ගයෙන් හැරී තේක්ක කැලය දෙසට ධාවනය වන්නට විය. ඒ සමගම

ගොදුරකට පනිනා වෘකයන් රැුලක් සේ තවත් කොටි සහචරයන් රැුසක් බස් රිය වට කරන්නට වූහ.

නායක හිමියෝ බේරෙන්නට මගක් සොයන්නට මෙන් වට පිට බලන්නට වූහ. අරන්තලා තේක්ක වන අරනේ නිහැඬියාව බිඳිමින් බස් රියෙහි සිටින්නන්ගේ මුවින් නැගෙන්නේ මරණ බියෙන් තැති ගත් විලාපයයි. මෙලෙස විලාප තබනා කුඩා හිමිවරුන්ගේ හඬට කම්පාවට පත්වීමෙන් මෙන් අතු පතර සැඟවී සිටි කුරුලූ සේනාද අත් තටු සලමින් විලාප තබන්නට වූහ.

සෙමින් සෙමින් බස් රිය සැතැපුම් කාලක් පමණ කැලෑව දෙසට යන්නට විය. බස් එක නවතන්නට අණ ලැබුණි. එහි සිටි කොටියා ඉන් බැස යන ලදි. අපිව බේරගන්න අනේ අපිව මරන්න එපා බස් රථය තුළින් මහා හඬක් නැගුණි. දැන් මුළු බස් රිය තුළින්ම නැගෙන්නේ මහා අඳෝනාවකි. අවි දරා මෙලෙස බස් රිය වට කොට තිබියදි කෙසේ නම් බස් රථය තුළ සැනසීමෙන් සිටින්නද. තවත් මොහොතක් ගත විණි. බස් රථයට යළිත් ගොඩවූ ත‍්‍රස්තයෙක් මනි, වොච්, වෙච් යැයි පවසමින් බස් රථය තුළ සිටි හිමිවරුන්ගෙන් සහ ගිහියන්ගෙන් මුදල් සහ ඔරලෝසු එකතු කරලන්නට වූ ත‍්‍රස්තයා බසයෙන් බැස යන ලදි. ඒ සමගම මහ මගට පැන බස් රිය නැවතු ත‍්‍රස්තයා නැවතත් බස් රියට ගොඩවන්නට විය.

දැන් සියලූම දෙනා බියෙන් භීතියට පත්වී ඇත. එක්වරම රියැදුරු අසුනේ සිටි සමරපාල වෙත සිත් පිත් නැති ගිනි අවිය මෙම නරුමයා මානන්නට වූවේය. අනේ මාව මරන්න එපා. මම ළමයි 06 දෙනකුගේ තාත්තා කෙනෙක් යැයි රියැදුරු සමරපාලට කියා නිම කරන්නට නොහැකි වූවේය. එක් වරම තේක්ක වනපෙතම දෙවනත් කරමින් එක පිට එක නිකුත් වූ වෙඩි පහරින් රියැදුරු සමරපාලගේ සිරුර පසාරු වී රතුවන් රුධිරයෙන් තෙත්වී බස් රථයේ කළුවන් පැහැති රළු යකඩ රත් පැහැයට හැරේද්දි ප‍්‍රාණය නිරුද්ධ ඔහුගේ සිරුර සුක්කානම මතටම වැටෙන්නට විය.

ඒ සමගම බස් රථයට ගොඩ වූවේ මිටි මහත භයංකර පෙනුමැති ත‍්‍රස්තවාදියෙකි. බස් රියෙහි විලාප තබමින් සිටි පිරිසට දැනෙන්නට වූවේ ආලවක යක්ෂයා බස් රියට ගොඩවුණ සෙයකි. දැන් බස් රියෙන් නැගෙන්නේ එකම මර ළතෝනයකි. බියට පත්වූවෝ මහ හඬින් විලාප තබති. තවත් පිරිසක් මරන්නට එපා යැයි කෑගසති. අනේ අපිව බේරා ගන්න කවුරුවත් නැද්දෝ යනුවෙන් තවත් පිරිසක් මොර දෙති.

” ( ඕනනම් මාව මරා දමපල්ලා හැබැයි මගේ දරුවෝ ටික මරා දමන්න එපා’’ නායක හිමියෝ පවසත්ම නායක සමිඳුන්ගේ හිසට එල්ලවූවේ මාරක කඩු පහරකි. තවත් ජීවත් වන්නට වරම් තිබුණ නිසාදෝ එම කඩු පහර බස් රියෙහි වහලෙහි මහත් හඬක් නංවමින් වැදී යන ලදි.. ඉන් නොනවතිනු මෘගයා නැවතත් තිරිසනෙක් සේ බුදු සසුනේ චිරස්ථිතියට මහඟු මෙහෙයක් සිදු කළ කුරා කූඹියෙකුට පවා හානියක් සිදු නොකරන මෙම නායක සඟ රුවනට තවත් මාරක කඩු පහරක් එල්ල කරන්නට විය. එම කඩු පහරින් නායක හිමියන්ගේ සිරුරෙන් චිරිස් ගා ලේ විසි වෙද්දි කන සහ බෙල්ල ප‍්‍රදේශයෙන් සිරුරෙන් වෙන් වන්නට විය.

ඉන්ද නොනවතිනු මෙම යක්ෂයෝ වන සතුන්ටත් අන්ත තිරිසනුන් සේ නායක සමිඳුගේ සිරුර කෙසෙල් කඳක් කපා දමන්නා සේ පෙත්තෙන් පෙත්ත කපා දමන්නට වූහ. එක ත‍්‍රස්තයෙක් එලෙස නායක හිමියන් කපා කොටද්දි තවත් අයෙකු ටී 56 වර්ගයේ ගිනි අවියක් අමෝරා එක පිට එක පිට වෙඩි තබමින් නායක හිමියන්ගේ සිරුරට දිගින් දිගටම වෙඩි තබන්නට වූවේය. මෙලෙස නායක සමිඳුන්ට වේදනාකාරී මරණයක් හිමි වෙද්දි අනෙක් හිමිවරුන් අසරණ මුව පොව්වන් සේ බියෙන් බියට පත්වී විලාප තබමින් බලා සිටින්නට වූහ. ඇතැම් හිමිවරුන් බස් රථයෙන් පවා හිස එළියට දමා උදව් ඉල්ලා නිහඬ වන අරණ සසල වන සේ කෑ මොර දෙන්නට වූහ.

මට කරන්න දෙයක් තිබුණේ නැහැ. බස් රථයෙන් ඇහෙන්නේ එකම මර ළතෝනියයි. මට ඒ මොහොතේ මගේ අම්මා තාත්තා මතක් වුණා. මම මගේ ඔළුව ඔඩොක්කුවේ ගසා ගත්තා. කෙසෙල් කඳන් කපනවා වගේ හාමුදුරුවන් කපා දමන අයුරුත් චිරිස් ගාලා ලේ විසි වන අයුරුත් ඇසුනා. ඒ එක්කම භික්ෂූන් වහන්සේ වේදනාවෙන් කෙදිරි ගාන ශබ්දයත් ඇසුනා. එලියේ සිටි කොටින් එක දිගට බස් රථය වටේටම වෙඩි තියන්නට වුණා. මෙලෙස සිරුරේ පෙත්තෙන් පෙත්ත කැපී රක්ත වර්ණ ලේ දහරාවන් සිරුරෙන් ගලා යද්දි එය දරා ගැනීමට නොහැකිව භික්ෂුන් වහන්සේ කෙඳිරි ගාන ආකාරය වේදනාවෙන් කෑ මොර දෙන ආකාරය මට දරා ගැනීමට නොහැකි වුණා. මගේ කකුලට වෙඩි 03ක් වැදුනා. මම දැඩි කම්පනයට පත් වුණා යැයි අද ද එම ප‍්‍රහාරය නිසා ගිලන්ව සිටින හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන් එදා සි¥වු එම බිහිසුන සිදුවීම පවසන්නට වූහ.

දැන් වෙඩි හඬද නොඇසෙයි. භික්ෂුන් වහන්සේ වෙඩි වැදී කැපී කෙටී ගිය තුවාල සහිතව වේදනාවෙන් කෙඳිරි ගානා හඬද ඇසෙයි. ඈතින් නැගී එන රැුහැයි හඬද විටක පුඤ්ඤසාර හිමියන්ට ඇසෙයි. එක්වරම නිහඬියාව බිඳිමින් වෙඩි පහරවල් වැදී බිඳී ගිය වීදුරු කැඞී මහා ශබ්දයක් නගමින් බිම ඇද වැටුනි. දැන් බස් රියෙහි සිටි සියල්ලෝම මිය යන්නට ඇතැයි පුඤ්ඤසාර හිමියන්ට සිතෙයි. දැන් කොටියන්ගේ ශබ්දයක්ද නැත. හිමිහිට හිස ඔසවා බැලූ පුඤ්ඤසාර හිමියන් දුටුවේ නායක හිමියන් ලේ විලක් මැද වැටී සිටින අයුරුය. දකුණු පස සිටි මාපකඩ විපුලසාර හිමියන් දෙස බැලූ විට දුටුවේ භයංකර දසුනකි. ලේ පිපාසිත මෘගයන්ගේ කඩු පහරට ලක්ව උන් වහන්සේගේ හිස දෙපලූ වී ගොස්ය. මොළයේ කොටස් සීසීකඩ විසිරී ගොස් ඇත. අසුනේ අනෙක් පස සිටි වාවින්නනේ ගුණවංශ හිමියන්ද ඉතා ඛේදනීය ලෙස අවසන් සුසුම් හෙළා ඇත. කසාවත් සිරුරු වෙනුවට බස් රථයේ ඇත්තේ රක්ත වර්ණ ලේ ගංගාවකි. බස් රියෙහි තැන් තැන් හි සහ ආසන මතද විවිධාකාරයට මහා ස`ගරුවන අවසන් සුසුම් හෙළා ඇත.

විටෙක බස් රියෙන් බැස දිව යන්නට සිතුනද එයද කිරීමට සිත් නොදුනි. නැවතත් කොටින් පැමිණ බේරුනු අය සිටිනවාදැයි බලා නැවතත් කපා කොටා වෙඩි තබා මරාදමාවිද යැයිද සිතුනි. ඒ සමගම තිරිසනුන් සේ අමන කොටි ත‍්‍රස්තයන් තැබූ වෙඩි පහරින් උන්ඩ සිරුර කිඳා බැස ගොස් නැගෙන වේදනාවෙන් පුඤ්ඤසාර හිමියන්ගේ සිරුරද ඉමහත් අපහසුවක් ගෙන දෙන්නට විය. හිස ඔසවා සිටින්නටද බියක් දැනුනි. එම නිසා නැවතත් හිස ඔඩොක්කුවේ ගසා විනාඩි 20ක් 30ක් පමණ සිටින්නට ඇත. තුවාල වෙච්ච හාමුදුරුවරු ඉන්නවානම් එළියට එන්න. අපි හමුදාවෙන් යනුවෙන් එක්වරම කථා කරනු ඇසුනි. නමුත් බස් රථයෙන් විටින් විට නැගෙන කෙඳිරිලි හඬ ඇරෙන්නට බස් රථයෙන් කිසිම ශබ්දයක් නැත. අපි හමුදාවෙන් බේරුනු හාමුදුරුවන් ඉන්නවා නම් එළියට එන්න බය වෙන්න එපා යනුවෙන් පවසා හමුදාවේ පිරිස් බස් රියට ගොඩවන්නට වූහ. එසැණින් බස් රියෙහි වෙඩි වැදී සහ කොටින්ගේ තියුණු කඩු පහරට ලක්ව තවමත් ජීවත් වෙන්නට වාසනාවන්ත වූ හිමිවරුන් හඬමින් විලාප තබමින් සැඟව සිටි තැන් වලින් ලේ පිරි රක්ත වර්ණ වූ සිවුරු දරා ගෙන එලියට එන ලදි. ඒ සැණින් තුවාල වී සිටි හිමිවරුන් අම්පාර රෝහලට කඩිනමින රැුගෙන යන ලදි. එතැන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා නැවතත් නුවර රෝහලට මාරු කර යවනු ලැබුවේ ඇතැම් හිමිවරුන්ගේ තත්ත්වය බරපතළව තිබූ බැවිනි.

ඒ වන විටත් මෙම සිත්පිත් නැති අමන තිරිසනුන්ගේ අහස පොළව නුහුලන මහා අපරාධයට ගොදුරුව හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් ඇතුළුව හිමිවරුන් 31 නමක් සහ බස් රියෙහි රියැදුරු සමරපාල, කොන්දස්තර ජිනදාසත්, වසන්ත ජයවර්ධන යන මහත්වරුන් සමගින් 34 දෙනකුගේ පණ නළ වා තලයට එක් කරලීමට මෙම කොටි රකුසන් සමත් වී තිබුණි.

එදා එලෙස අපවත් වූ හිමිවරුන්ගේ ශ‍්‍රී දේහයන් පිළිබඳ එකවර පැවැති ආදාහන පූජෝත්සවය ‘දිවයින’ පුවත්පතේ එවක සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ ධර්මරත්න විජේසුන්දරයන් අප පුවත්පතට ‘‘සෑම දෑසක්ම කඳුළින් තෙත් විය’’ මැයෙන් දැඩි සංවේදීව වාර්තා කළ අන්දමද අපට මතකය.

තම නායක හිමියන් සහ අනෙකුත් භික්ෂුන් වහන්සේ කපා කොටා ඝාතනය කරමින් සිටිද්දි දම්බරාවේ සෝනුත්තර හිමියන් සිය හිස පාත්තරයට දමා ගන්නා ලදි. එය දුටු ත‍්‍රස්තයන් පාත්තරයට වෙඩි තබා තිබුණද එම වෙඩි උණ්ඩ පාත්තරයද සිදුරු කර සෝනුත්තර හිමියන්ගේ හිස කෙස් පුච්චා දමා ගියද උන්වහන්සේට දිවි ගලවා ගන්නට හැකි විණි. මේ අයුරින් මෙම ප‍්‍රහාරයෙන් දිවි ගලවාගත්, ආඳා උල්පත බුද්ධසාර හිමි, හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන්ද අදටද ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටිති. එම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ ආඳා උල්පත බුද්ධසාර හිමි සදාකාලිකවම ආබාධයට ලක්වී බිබිල රිදීමාලියද්ද ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසනු ලබයි. හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන්ද මේවන විට අම්පාර සාම විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරනු ලබයි.

දිවි ගලවාගත් හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන් මෙලෙස පවසා සිටියහ.

මම මේ වන විට අසනීපයෙන් පසුවන නිසා අම්පාර මහා වාපි මහා විහාරයේ වැඩ වාසය කරනවා. එදා සිට මේ දක්වා සෝමරතන නායක හිමියන් මාගේ අඩුපාඩු සොයා බලා ප‍්‍රතිකාර කිරීමට උදව් උපකාර කරනවා. ඒ වාගේම දෙමටැල්ලේ දයාසාර හිමියන්, ගම්පහ නාරද හිමියන්, කෙත්සිරිගම සරනතිස්ස හිමියන් ඇතුඵ හිමිවරුන් මා හට උදව් උපකාර කරනවා. එම ප‍්‍රහාරයෙන් එදා හිමිවරුන් දස දෙනෙක් බේරුණා. ඒ අතරින් ගොඩක් අය උපැවිදි වෙලා රට බේරා ගන්න යුද්ධයට ගියා. එදා තුවාල ලබා සිටි පණ්ඩිත වලල්ලාවිට විමලඥාන හිමි 2017 වසරේදි අපවත් වුණා. අදටත් ඒ බිහිසුන සිදුවීම මාව කම්නයට පත් කරවනවා යනුවෙන් පවසා සිටියේය.

සක්නද සංවිධානයේ සභාපති ගම්පහ නාරද හිමියන් මෙලෙස පවසා සිටින්නට වූහ.

එදා මෙම සාහසික අපරාධය වුණ සොහොන් බිම අද අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙසින් ලොවටම ධර්මය බෙදන ධර්ම මධ්‍යස්ථානයක් බවටත් සාමනේර භික්ෂුන් වහන්සේ සිප් සතර හදාරන පිරිවෙන් භූමියක් බවටත් පත් කරන්නට අපේ නායක හිමියන් වන සෝමරතන නාහිමියන්ට මහත් දුෂ්කරතා මැද හැකිව තිබෙනවා. අද මෙම පුද බිමේ හිමිවරුන් 30 දෙනකු වැඩ සිටියත් ඔවුනට කිසිම දානයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැඩි අපහසුවෙන් දාන වේල විහාරස්ථානය තුළම සකසා ගන්නට සිදුව තිබෙනවා. ඒ සමගම මෙම පුදබිමේ ඉදිකරමින් තිබෙන භික්ෂූ නේවාසිකාගාරයේ වැඩ අතර මග නතර වෙලා. මෙම ප‍්‍රහාරයෙන් දිවි ගලවා ගත් සහ දිගාමඩුල්ලේ වැඩ වාසය කරන වයෝවෘධ හිමිවරුන්ගේ පහසුව වෙනුවෙන් වැඩවාසය කිරීම සඳහා පසුගිය ආණ්ඩුව සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදල් මගින් ආරම්භ කර මෙම පුද බිමේ වැඩ කටයුතු ඉදි කරන්නට පටන් ගත් භික්ෂූ ගිලන් හලේද අද වැඩ කටයුතු නැවතිලා. අපහසුවෙන් තමයි අපේ නායක හිමියන් මෙම පුදබිම රැකගැනීමට කටයුතු කරන්නේ. එම නිසා සුසාන භූමියේ ඉදිවුණ ලංකාවේ එකම පුදබිම පවත්වාගෙන යෑමට සහ දියුණු කිරීමට ඔබගේ සහාය අවශ්‍ය වෙලා තියෙනවා. පවතින වසංගතය නිසා අපහසුතාවට පත්ව තිබෙන මොහොතක යම් තරමින් හෝ සහයක් දෙන්නට හැකි නම් 071 8333322 යන දුරකථන අංකයෙන් අපෙගේ සෝමරතන නායක හිමියන් ඇමතිය හැකියි යනුවෙන් පූජ්‍ය ගම්පහ නාරද හිමියෝ පවසා සිටියහ.

හෑගොඩ නාහිමිගෙන් පසුව දිගාමඩුල්ලේ බොදු උරුමය වෙනුවෙන් මහත් මෙහෙයක් ඉටු කරනු ලබන උතුරු නැගෙනහිර අධිකරණ සංඝ නායක පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමියන් මෙසේ අදහස් දැක්වූහ.

මෙවර අපි සෞඛ්‍ය නීති රීති වලට අනුව අරන්තලා පිංකම් සිදු කරනවා. කිසිම පිටස්තර පුද්ගලයන් නොමැතිව අප පුදබිමේ වැඩ වාසය කරන හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් තමයි සිදු කරන්නේ. 02 වැනිදා උදෑසන හෑගොඩ ඉන්දසාර නාහිමි පිළිරුවට පුෂ්පෝහාර දක්වනවා. අරන්තලා භික්ෂු ස්මාරකය අභියසදි ඉන්පසු වසංගත තත්ත්වය දුරු වේවා කියා ප‍්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන පූජාවක් සහ සත්‍ය කි‍්‍රයාවක් පවත්වනු ලබනවා. ඒ වාගේම 02 දා සිට 08 වැනිදා දක්වා දින 07 පුරාවට පිරිත් දේශනාවක් දිනපතාම සිදු කරනු ලබනවා. ලංකාවේ භික්ෂූන් වහන්සේට සිදුවන දැවැන්තම හානිය පිළිබඳව මතු පරම්පරාව දැන ගත යුතුයි.

ඒ වාගේම මෙම පුදබිමේ පිරිවෙන් මධ්‍යස්ථානය තුළින් උගත් සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ පිරිසක් රටට දායාද කිරීමේ අරමුණින් අපි මෙම පුදබිම පවත්වාගෙන යනවා. මෙම පුදබිමේ ධර්මශාලා භාවනා මධ්‍යස්ථාන, පිරිවෙන් ගොඩනැගිලි, චෛත්‍ය රජායණන් වහන්සේ නමක් ඇතුඵ බොහෝ ඉදිකිරීම් කළ යුතුව තිබෙනවා. වසර 03 සිට රටේ පවතින තත්ත්වය නිසා බැතිමතුන් පැමිණෙන්නේ නැති නිසා ඉතා අපහසුවෙන් තමයි මෙම පුදබිම පවත්වාගෙන යන්නේ. උදේ දවල් දානය තනිවම සකසා ගන්නට මෙම හිමිවරුන්ට සිදුව තිබෙනවා යැයි සෝමරතන නාහිමියන් ‘දිවයින’ට අදහස් දක්වමින් පවසා සිටින්නට වූහ.

සුසන්ත අමරබන්දු
(courtesy of Diwaina)



14 Viewers