එරාවුර් බෞද්ධ විහාරය

මඩකලපු දිස්ත්රික්කයේ එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාරකමුල්ල පුලුඩුමාන්ඕඩේ ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව ඇති නාරකමුල්ල මහා විහාර සංකීර්ණය යනුවෙන් වර්තමානයේ හඳුන්වනු ලබන ස්මාරක සංකීර්ණය 2021.04.03 වන දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික පුජ්‍ය කැටකුඹුරේ හිමියන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මඩකලපුව ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ඇතුළු පිරිස, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කලාපභාර නිලධාරී ශෂිදරන් මහතා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් සහභාගී විය.

මෙම විහාර සංකීර්ණයේ අවකාශීය සංවිධානය සහ භූ භෞතික සැලැස්ම සිතුල්පව්ව, කන්දේගම කන්ද, රැස්වෙහෙර, රජගල කන්ද ආදී පබ්බත සංකීර්ණ වර්ගයෙන් හෙබි මහා විහාර ගණයට අයත් වන්නේය. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට පමණ අයත් කටරම් කෙටූ මුල් බ්‍රාහ්මි අක්ෂර සහිත ලෙන් පද්ධතියක් මෙන්ම, දිගින් මීටර් 30 පමණ වන සැතපෙන බුදු පිළිමයක් සහ මීටර් 40 ක පමණ විශ්කම්භයකින් යුත් ස්තුපයකින්ද සමන්විත මෙම විහාර පද්ධතිය අනුරාධපුර යුගයේ ඉදි වුවක් බව එහි නිර්මාණ තාක්ෂණය මගින් තහවුරු වේ.

මෙම ඉපැරණි මහා විහාර සංකීර්ණයේ පුරාවිද්‍යාත්මක ගවේෂණ, කැනීම්, සංරක්ෂණ සහ අනෙකුත් සංවර්ධන කටයුතු නොබෝ දිනකින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ අස්ගිරි මහා විහාරය ඒකාබද්ද වැඩසටහනක් මගින් සිදු කිරීමට නියමිතය.



34 Viewers