• Home »
  • Sinhala Articles »
  • කට්ටිකර කුට්ටි බෙදාගැනීමට වලිකන දෙවනගල පුදබිම නැවතත් අනතුරේ…

කට්ටිකර කුට්ටි බෙදාගැනීමට වලිකන දෙවනගල පුදබිම නැවතත් අනතුරේ…

ජාතිය සතු අනුල්ලංඝනීය උරුමයන් සේ සලකනු ලබන ඓතිහාසික පුදබිම්, වෙහෙර විහාරස්ථාන ඇතුළු බෞද්ධ උරුමයන් කොල්ලකෑම සහ සංහාරය ආරම්භ වන්නේ කලක පටන්ය. උතුරු නැගෙනහිර බෞද්ධ උරුමයන් කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ වන මෙම සාපරාධී ක‍්‍රියාව හේතුවෙන් මුහුදු මහා විහාරය, කූරගල පුදබිම ඇතුළු තවත් බෞද්ධ උරුමයන් රැසක් ජාතියට අහිමි වී යෑමේ ඛේදවාචකය ආරම්භ වන අතර එය කරළියට පැමිණෙන්නේ අන්තවාදී පිරිස් විසින් දිගින් දිගටම සිදුකරන ඉඩම් කොල්ලය මුල් කර ගනිමින්ය.

එම උරුමයන් ආරක්ෂා කර ගැනීම පිණිස රට තුළ ක‍්‍රියාත්මක පුරාවිද්‍යා නීතිය ප‍්‍රමාණවත් නැත. ඒ හේතුවෙන් ඇතැම් විහාරාධිපති හිමිවරුන්ට ඒ සඳහා අධිකරණයේ පිහිට පැතීමට පවා සිදුවී ඇත. සිදුවෙමින් පවතින විනාශයට එරෙහිව කටයුතු කරන එම ප‍්‍රදේශවල විහාරාධිපති හිමිවරුන් වෙත වරින් වර එල්ල වන මරණ තර්ජන ආදිය ද අඩුවක් නැත.

ඒ කිසිවක් නොතකමින් උන්වහන්සේලා මේ මොහොත වන විටද තම මෙහෙවර නොපිරිහෙළා ඉටු කරමින් ඇත. වසර සිය දහස් ගණනක් ඉපැරැණි අතීත උරුමයන් මතු පරම්පරාවේ දැක ගැනීම පිණිසත් වන්දනාව පිණිසත් ආරක්ෂා කරදීම උන්වහන්සේලාගේ අපේක්ෂාව බවට පත්ව ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට ද ඇතැම් බෞද්ධ උරුමයන් තවදුරටත් පවතින්නේ හමුදා ආරක්ෂාව යටතේය.

බෞද්ධ උරුමයන් රැසකින් සමන්විත ඓතිහාසික පූජනීය භූමියක් ලෙස ප‍්‍රකට දෙවනගල පුදබිම මේ වන විට ආගමික අන්තවාදීන්ගේ තිප්පොළක් බවට පත්වී අවසන්ය. කලක් අක්කර 1200 ට ආසන්න භූමි ප‍්‍රදේශයක්ව පැවති දෙවනගල පුදබිම මේ වන විට අක්කර 76ක පමණ කුඩා භූමියක් බවට පත් කරන්නට අන්තවාදීන් විසින් කටයුතු කර තිබෙන අතර එය තවදුරටත් ජාතිය සතු උරුමයක් ලෙස රැක ගැනීම පිණිස ගිහි පැවිදි විශාල පිරිසක් මේ මොහොත වන විටද නිරන්තර වෑයමක නිරත වෙමින් ඇත.

වාම දළදා සමිඳුන් වැඩ සිටින ස්ථානයක් ලෙස ගැනෙන දෙවනගල පුදබිම මුල්කරගත් සිරිමත් ඉතිහාසයේ සඳහන් පරිදි මෙම පූජා භූමිය ධාතුසේන සමයට අයත් ඉදිකිරීමක් ය. එම ස්ථානය තුළ මේ වනවට ශේෂව පවතින නටබුන් අතර ඉපැරණි සෙල්ලිපි ගණනාවක් මහනුවර යුගයට අයත් මඟුල් ලකුණ සහිත අඩි 7 කින් පමණ සමන්විත සිරිපතුලක්, ටැම්පිට විහාරයක් ඇතුළු තවත් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් නටබුන් රාශියක් දැකගත හැකි අතර ඒ හරහා දෙවනගල ඉතිහාසය පිළිබඳවත් එම ස්ථානයේ පවතින ඓතිහාසික වටිනාකම සම්බන්ධවත් බොහෝ කරුණු කාරණා අවබෝධකොට ගත හැක. තත්ත්වය එසේ වුවද ඒ පිළිබඳ මේ වන විට ද අදාළ අංශවල නිසි අවධානය යොමු වී නැත. පුරාවිද්‍යා භූමියක් ලෙස ගැනෙන දෙවනගල අන්තවාදීන්ගේ ගොදුරක් බවට වරින් වර පත් වන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. අක්කර 72ක් පුරා විහිදී ගිය ගල්තලාවක් ඒ මත ඉදිකොට ඇති ඉදිකිරීම් ආදිය පමණක් ඉතිරි වන සේ අන්තවාදීන් විසින් මේ වන විට ද අවශේෂ භූමිය අත්පත් කර ගනිමින් සිටින අතර ඊට එරෙහි වීමේ අයිතිය පවා ප‍්‍රදේශයේ පදිංචි සිංහල බෞද්ධ ජනතාවගෙන් උදුරා ගනිමින් ඇත. වරක් ඒ පිළිබඳව වාර්තා කිරීමට ගිය රූපවාහිනි මාධ්‍යවේදියකුට ප‍්‍රදේශයේ පදිංචි අන්තවාදී පිරිස් විසින් පහරදීමට පවා උත්සාහ දරන ආකාරයක් දැකගත හැකි විය. දෙවනගල පුදබිම මුල් කර ගනිමින් මේ සා විශාල හානියක් සිදු වන්නේ එම ස්ථානය මුල් කරගනිමින් මේ මොහොත වන විටද සිදුවන උග‍්‍ර වන විනාශයත් ඒ හරහා ඉඩම් අත්පත් කර ගැනීමත් එහිම ප‍්‍රතිඵලයක් ලෙස අනවසර පදිංචියත් දිගින් දිගටම සිදුවීම හේතුවෙන්ය.

එහි ආසන්නතම උදාහරණය ලෙස ගත හැකි සිදුවීමක් ඉකුත් මැයි මස විසි නම වැනි දා සිදුවී ඇත. පුරාවිද්‍යා භූමියට අයත් ගසක් ආගමික අන්තවාදීන් කීපදෙනෙකු එකතුව අනවසරයෙන් කැපීම හේතුවෙන් එම ගැටලූව උද්ගතව ඇත. ඒ සම්බන්ධව දෙවනගල රාජමහා විහාරස්ථ දායක සභාවේ උප සභාපතිවරයා විසින් පොලීසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කොට ඇත. අදාළ සිදුවීම සම්බන්ධව දෙවනගල රාජමහා විහාර භාරකාර පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ගෙන් අප කළ විමසීමකදී උන්වහන්සේ සඳහන් කර සිටියේ එලෙස කපා දමා ඇත්තේ පුරාවිද්‍යා භූමියට අයිති ගසක් බවත් ඒ හේතුවෙන් විහාරයට අයත් පැරණි ගල් බැම්මක් විනාශයට පත් වූ බවත් ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මෙසේ ද සඳහන් කර සිටියේය.

”විහාරස්ථානයට යාබදව පදිංචි පුද්ගලයන් දෙන්නෙක් තමයි මේ ගහ කපන්න මුල් වෙන්නේ. ඒ අය ප‍්‍රාදේශීය ලේකම් තුමාගෙන් ගහ කපන්න අවසර ඉල්ලලා තියෙනව. නමුත් මැනුම් කටයුතු සිදුකිරීමට නියමිත භූමියක් හින්දා ප‍්‍රාදේශීය ලේකම්තුමා කියලා කියනවා ගිහින් හාමුදුරුවන්ගෙන් අවසර අරන් ඒ දේ කරන්න කියල. නමුත් ඒ අය එහෙම අවසරයක් ගන්න පන්සලට ආවෙ නෑ. ආවත් මට ඒ දේ කරන්නත් බෑ. මොකද මේ ගහ පිහිටලා තිබුණු භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති එකක්. මටවත් වෙන කාටවත් පුරාවිද්‍යාවේ අවසරයක් නැතුව එහෙම දෙයක් කරන්න බැහැ. ඒ පාර තමයි මේ අය අනවසරයෙන් මේ ගහ කපා ඉවත් කරන්නේ. මේක වට අඩි හතර හමාරක විතර ගහක්. ඒ ගහ කපද්දී ඒ ආසන්නයේ තිබෙන ගල් බැම්මට විශාල විනාශයක් සිද්ධවෙලා තියෙනව. ඒක උවමනාවෙන් කරපු දෙයක් බව බැලූ බැල්මට පේනව. මොකද මේ අන්තවාදීන්ට ඕන වෙලා තියෙනවා. මේ ස්ථානයේ තියෙන පුරාවිද්‍යා සාධක එකින් එක විනාශ කරලා දාන්න. මේ අය මීට කලින් ඉපැරණි සඳකඩපහණක් කඩල දැම්මා… මුරගල් කැඩුවා එහෙම තමයි මේ අය පන්සල් භූමිය ආක‍්‍රමණය කළේ. මේ අය රටේ නීතිය පිළිගන්නෙ නෑ. නිලධාරීන්ට අවනත නෑ. හැසිරීම ගත්තොත් ඉතාමත් ප‍්‍රචණ්ඩයි. මා ඇතුළු කුඩා සාමණේරයන් වහන්සේලා හතර නමක් දැනට මේ ස්ථානය වැඩ වාසය කරනව. ඒ හින්ද තමයි මේ පූජා භූමිය මෙහෙමවත් ආරක්ෂා වෙලා තිබෙන්නේ. ඇත්තටම අපේ ජීවිතත් අනාරක්ෂිතයි. මහා සංඝරත්නය විදිහට අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැටලූවට හැකි ඉක්මනින් විසඳුමක් සොයා දෙන්න කියලයි. මොකද ව්‍යාජ ඔප්පු සකස් කරමින් දවසින් දවස පන්සල් භූමිය ආක‍්‍රමණය කරන එක දැනුත් සිද්ධ වෙනවා. ඉදිරියටත් සිද්ධ වෙයි. මේ අය ගේන තර්කය තමයි මෙතන පන්සලක් තිබුණෙ නෑ කියන එක. ඒක ඔප්පු කරන්න මේ අය ව්‍යාජ ලිපි ලේඛන පවා සකස් කරගෙන ඉවරයි. රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් ජාතියට දායාද කරල දුන්න මේ වගේ පූජනීය ස්ථානයක් ඒ වගේම ඓතිහාසික වටිනාකම් සහිත උරුමයක් විනාශයට පත්වන එක නතර කර දෙන්න කියල තමයි අවසාන වශයෙනුත් ඉල්ලා සිටින්නේ.

මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි සඳහන් කර සිටින්නේ දෙවනගල විහාරස්ථානය අන්තවාදීන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බවත් ඊට විසඳුමක් ලෙස අදාළ බලධාරීන් මේ සඳහා මැදිහත් විය යුතු බවත්ය. සහජීවනය කිසිසේත් ම ප‍්‍රතික්ෂේප නොකරන උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ විහාරස්ථානයේ ආරක්ෂාව පිණිස යම් ආරක්ෂක ක‍්‍රමවේදයක් අනුගමනය කරන්නේ නම් මෙම තත්ත්වය තරමක් දුරට මැඬ පවත්වාගත හැකි බවත් දැනට තමන් වහන්සේ ඇතුළු කුඩා සාමණේර හිමිවරුන් විසින් විහාරස්ථානයේ ආරක්ෂාව පිණිස හැකිතාක් දුරට කටයුතු කරන බවත් උද්ගතව ඇති තත්ත්වය මැඬ පැවැත්වීම පිණිස එය කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බවත්ය.

මේ විනාශයට පත් වෙමින් ඇත්තේ සාධක සහිතව ඔප්පු කළ හැකි අනුල්ලංඝනීය ඉතිහාසයක් බැවින් මේ උදාවී ඇත්තේ අදාළ බලධාරීන් ඒ සඳහා මැදිහත් විය යුතුම මොහොතය. එය ප‍්‍රමාද වන තරමට ආගමික අන්තවාදීන් විසින් සිය ආක‍්‍රමණ තව තවත් ශක්තිමත්ව ක‍්‍රියාත්මක කරනු ඇත. සියවස් ගණනාවක් පැරණි ඓතිහාසික පින් බිමක් ගල්බෝරවල ගොදුරක් වීමට පෙර ඒ සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දෙනු දැකීම දෙවනගලට බැතිමත් බෞද්ධ ජනතාවගේ අපේක්ෂාව බවට පත්ව ඇත.

රුවන් ජයවර්ධන



42 Viewers