කරදියන්ආරු උරුමය

(Courtesy of Diwaina) 

ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක මහතා පසුගිය දිනක නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන නරඹන්න එනවා කියලා ආරංචි වුණා. මාධ්‍යයෙන් ‘ලොරි ටෝක්’ දෙන නිසා පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වුණ කරදියන්නාරු පුදබිමත් ඇමැතිතුමා දැක්කොත් නම් අනිවාර්යයෙන්ම රකී කියලා බොහෝ දෙනෙක් කිව්වා.

කි.මි. 150 දුර ගෙවාගෙන මමයි සහෝදර මාධ්‍යවේදීන් කිහිප දෙනකුයි මඩකලපු මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හාමුදුරුවොත් ඒක්ක ඒ පුදබිම ළ`ග හිටියා. කොහොමින් කොහොම හරි ඇමැති වාහනයට කලින් ආපු වාහන නතර කරපු නිසා කුසලාන ගල කන්දේ පුදබිමේ ගැටලූව බලන්නට යන ඇමැතිගේ වාහනයත් නතර වුණා.

අනේ සර්… මෙතැන අර ගැටලූ වෙච්ච තැන. ලොකු විනාශයක් සිද්ධ වෙනවා. විනාඩි පහක් බලලා යන්න… මඩකලපුව හාමුදුරුවෝ දිගින් දිගටම ඇවිටිලි කරන්නට වුණා.

බෑ බෑ මට වෙලාව නෑ. මට දැන් අනුරාධපුරේ යන්න ඕනේ. ඊට වඩා ලොකු ගැටලූවක් තියෙනවා කුසලානගල කන්දේ. දැන් මට වෙලා නෑ…. භික්ෂූන් වහන්සේට කිසිදු ගරුසරුවක් නැතිව වාහනයේ ඉඳන්ම ඇමැතිතුමා කියනවා.

එහෙම කියන්න එපා.. මෙතන මහා විනාශයක් වෙන්නේ.. පුරාවස්තු ඩෝසර් කරනවා. පුරාවිද්‍යා භූමියේ දැන් වගා කරලා. මට නඩු ගොඩක් දාලා විනාඩි පහක් බැහැලා බලන්න සර්… හාමුදුරුවෝ කියනවා.

බොහොම අමාරුවෙන් මඩකලපුව හාමුදුරුවෝ දිගින් දිගටම කියද්දී අන්තිමේදී බැරිම තැන මූණ බුම්මාගෙන රාජ්‍ය ඇමැතිතුමා වාහනෙන් බිමට බැස්සයි කියමුකො. ඊට පස්සේ නිලධාරියෙක් කැඳවලා මොකක්ද මේ තැන කියා විමසූවා.

මේ අර හාමුදුරුවෝ අපේ තුන්දෙනෙක් හිරකරන් හිටපු තැනනේ සර්… පුරාවිද්‍යා ලොක්කෙක් හිමීට ඇමැතිට කිව්වා. මෙතනට මායිම් ගල් දාලා වෙන් කරන්න කියපු ඇමැතිතුමා එතනම තිබ්බ දැඩි විනාශයක්ව තිබෙන වසර සිය දහස් ගණනක් පැරණි පුරාවිද්‍යා භූමියට අඩිය තියන්නේ නැතුව වාහනයට නැ`ගී ඉගිල ගියා.

මෙම ඉපැරණි පුරාවිද්‍යාව භූමිය පුරාවිද්‍ය නිලධාරීන් නිසි ආකාරයෙන් රකින්නේ නැතුව සිටින විට ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිතුමා දැනුවත් කරලා නිසි වැඩපිළිවෙළක් ඇති කර ගන්න හැකිවෙයි කියලයි මඩකලපුව හාමුදුරුවෝ හිතන් හිටියේ. අපි දිගින් දිගටම 2016 සිට මෙම පුදබිම ගැන මාධ්‍යයේ එළිදරව් කළා. කිලෝ මීටර 150ක් පමණ දුර ගෙවා ගෙන ගිහිල්ලා බාධක මැද තමයි ඒවා අනාවරණය කළේ. අපිට සහ අනාගත පරම්පරාවට වටිනවා වුණාට ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිතුමාට වගේ වගක් නැති ද කියා එතන හිටපු අයට හිතුණා.

මෙම පුදබිමේ ඉපැරණි දාගැබක් තිබෙනවා. ඒ ආසන්නයෙන් හතර වටේටම ඩෝසර් කරලා ගල් කණු ඇතුළු පුරාවස්තු ගොඩගහලා. සමහර ඒවා පොළවෙ වළ දාලා. පසුගිය කාලයේ පොලිස් ආරක්ෂා දාලා වගා කරන්නැතුව තිබ්බා.

නැවතත් මෙම කන්නයේ වගා කරන්න බිම් සකසද්දී මඩකලපුව හමුදුරුවෝ හඬනැ`ගුවා. අදාළ ලොකු ලොක්කන්ට කිව්වා.

කවුරුත් ගණන් ගත්තේ නෑ. පස්සේ වී ගහලා දැන් ගොයම් ගස් අඩි දෙකක් විතර උසට වැවිලා.

සුසන්ත අමරබන්දු



25 Viewers