• Home »
  • Sinhala Articles »
  • කළගුණ නොදත් මිනිසුන්ගෙන් බැහැර වූ නිදහස් අධ්‍යාපනයේ පියා!

කළගුණ නොදත් මිනිසුන්ගෙන් බැහැර වූ නිදහස් අධ්‍යාපනයේ පියා!

ජාතියේ නුවනැස පෑදූ නිදහස් අධ්‍යාපණයේ පියාණන්ට ජාතියක් ලෙස අප කළගුණ සැලකුවේද යන්න සලකා බැලිය යුතුය.

1963 දී 79 වියේ පසුවූ කන්නන්ගර මැතිඳු රෝගාතුරව කොළඹ මහ රෝහලේ ඇඳක් මත සිටියදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ගෙනා යෝජනාවක් මගින් එතුමන්ට රුපියල් දහදාහක ආධාර මුදලක් ලබාදෙන ලදී. ඉන් වසර 2 කට පසු එනම් 1965 නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාවක් මගින් මේ ජනතා පුත්‍රයාට රුපියල් 500 ක මාසික දීමනාවක් ලබාදුන්නේය. මෙහිදී විශේෂ යමක් සඳහන් කළ යුතුමය.

කන්නන්ගර මැතිඳුන්ට මාසික දීමනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවේදී ඔහු වෙනුවෙන් ගුණකථනයක් පවත්වමින්, සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව, ලංකාවේ අධ්‍යාපනය උදෙසා කල සේවයට කෘතගුණ දක්වමින් කතාවක් පැවැත්වූයේ පදිරිප්පුවේ දමිළ මන්ත්‍රී එස්. ඇම්. රාසමානික්කම් පමණකි. 1969 සැප්තැම්බර් 23 වැනිදා හරිහම්බ කල දෙයක් නැතිව, අතේ සතයක් නැතිව 85 හැවිරිදි වියේ පසුවූ ඔහු රජයේ රෝහලේ ඇඳක් මත අවසන් හුස්ම හෙළුවේය.

ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර කවුද මේ? ඔහු ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමතිය. ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියාය. ජාතියේ පියා සහ බත්දුන් පියා මෙන්ම ලංකාවේ ජනතාවට ඔහු කිසිදිනක අමතක නොවේ. කවුරුත් දන්නේ ඔහු සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර වශයෙනි.
උඩු රැවුල තිබුණ ටයි කෝට් කලිසම් ඇන්ද ඩී. එස්. සේනානායක වගේම උඩු රැවුලක් තිබුණ සුදු ජාතික ඇඳුම ඇඳ සිටි ඔහුගේ රුවද ලංකාවේ ජනතාවට කිසිදාක අමතක වන්නේ නැත. කෙසඟ සිරුරකින් යුත් මේ ශ්‍රේෂ්ඨ ගණිතඥයා කන්නාඩි කුට්ටම පැළඳගෙන ආර්ය සිංහල ඇඳුමෙන් සැරසී බෙල්ල වටා සුදු දිග සාටකයක්ද පැළඳගෙන ඔබ අහවල් පාසලේ වීම නිසා ආඩම්බර වෙනවා වෙනුවට ඔබ නිසා පාසලේ අය ආඩම්බර වෙන බවට කටයුතු කරන්න යයි එදා කිව්වේ කොතරම් අර්ථාන්විතවද? ලංකාවේ මහත්මා දේශපාලනයේ ප්‍රතිමූර්තිය ඔහුය.

ඈත අතීතයේ එක්තරා දිනයකදී ඩී. එච්. අභයසිංහ සහ මහානාම දිසානායක යන මාධ්‍යය දැවැන්තයින් මා සමග පැවසුවේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ලන්ඩනයේ සිට බැරිස්ටර් වරයෙකු වශයෙන් ලංකාවට පැමිණි පසු දේශපාලනයට පිවිසීම සඳහා මේ කියන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරගේ ජාතික ඇඳුම හා සාටකය තෝරාගත් බවය. ඔහු කිසිදිනක පරුෂ වචන කියමින් කිසිවෙකුට අපහාස උපහාස කලේ නැත.
ඔහු ජාතික රාජ්‍ය සභාවට මුලින්ම තේරී පත්වූයේ 1923 දීය. 1884 ඔක්තෝබර් 23 වැනිදා උපන්නේ හික්කඩුවේ වෑවල වීබදු වලව්වේය. ඉගෙන ගත්තේ ගාල්ලේ රිච්මන්ඞ් විදුහලේය. එම විදුහලේ දීප්තිමත්ම ශිෂ්‍යයා ඔහු බව එදා එහි විදුහල්පති ඩැරල් පියතුමා පවසා ඇත.
මේ මා ලියන්නේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරගේ ජීවිත කතාවවත්, ඔහුගෙන් රටට සිදුවූ සේවයන් ගැන නොවේ. වෙනම කතාන්දරයකි. එම කතාන්දරය ලියන විට අතරින් පතර ඔහු පිළිබඳ විවිධ සිද්ධි ඇතුළත් කළ යුතුව ඇත. ඔහු වැනි දේශපාලනඥයින් අද සිටින්නේද?
ඔහු ගණිතය පිළිබඳ විශාරදයෙක් විය. එදා මීට වසර 116 කට පෙර කේම්බි්‍රජ් සීනියර් (ජ්‍යෙෂ්ඨ) විභාගයෙන් ඉහළින්ම සමත්වූ ලංකාවේ ශිෂ්‍යයා ඔහුය. මුලින්ම කොළඹ වෙස්ලි විදුහලේ ආචාර්යවරයෙකු වූ ඔහු 1910 දී රාජ නීතිඥයෙක් බවට පත්විය. ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ විශාරදයෙකු වූ ඔහු සිංහල බෞද්ධකමට මුල්තැන දුන්නේය. අනගාරික ධර්මපාලතුමා සමග එක්වී රට පුරා බෞද්ධාගමික පුනුරුදයක් ඇරඹීමට කටයුතු කළේය.
මෙම ආගමික ව්‍යාපාරය තුළින් ඩී. බී. ජයතිලක, ඩී. එස්. ඇෆ්. ආර්. ආතර්, වී. දියෙස් ආදීන් සමග උරෙනුර ගැටී ක්‍රියා කිරීමට අවස්ථාව උදාකර ගත්තේය. ඔහු දේශපාලනයට පිවිසුණේ ඒ මාර්ගයෙනි. ගණිතඥයෙක්, මහා පරිණත ගුරුවරයෙක්, නීති විශාරදයෙක් වූ ඔහු දේශපාලනයට පිවිස අධ්‍යාපන ඇමති තනතුරට පත්වීම මව්බිමේ උන්නතියට බෙහෙවින් බලපෑවේය.
යම්කිසි රටක් සමාජයක් වෙනස් කිරීමට නම් එරට අධ්‍යාපන ක්‍රමය නිසි පරිදි සකස් විය යුතුය. එසේ නොවන තාක් කිසිදු වමේ හෝ දකුණේ බලවේගයකට රටක් හෝ සමාජයක් වෙනස් කළ නොහැක. මේ බව මනාව අවබෝධ කරගත් මේ වියතා ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කළේය. බහු ජාතික ධනය සොරකම් කළේ නැත. වංචා දූෂණ සිදුකළේ නැත.
1923 සිට 1931 දක්වා ව්‍යවස්ථාදායක සභාවේත්, 1931 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේත්, 1952 සිට 1955 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේත්, ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති මෙන්ම ඉන්පසු පළාත් පාලන ඇමති වශයෙන් වසර 40 කට වැඩි කාලයක් ලංකාවේ දේශපාලනය තුල සුවිශේෂ මෙහෙවරක් ඉටු කළේය. ඔහු දේශපාලනයෙන් හරි හම්බ කරගත්තේ නැත. පවුල ගොඩදැමුවේ නැත. විරුද්ධවාදීන්ගෙන් පලිගත්තේ නැත.
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය අරඹා ඔහු ඉටුකළ උදාර සේවය පිළිබඳ අංශු මාත්‍රයක්වත් මෙහි සඳහන් කළ යුතුමය. 1930 ගණන්වල ධනවතුන්ට පමණක් සීමා වූ අධ්‍යාපන ක්‍රමයක් විසින් ලංකා සමාජය බරපතල විභේදනයකට ලක්කොට තිබුණි. වරප්‍රසාද හා මුදල් තිබූ අයට ගාස්තු ගෙවා අධ්‍යාපනය ලබාදුන් පාසල් යන ගාස්තු ගෙවීමට අපහසු දුප්පතුන් සඳහා සිංහල හා දෙමළ ද්විභාෂා පාසල් ලෙස වර්ග 2 ක් විය.
මෙම පාසල් වර්ග 2 අතර විශාල පරතරයක් වූ අතර සමාජය පංති දෙකකට බෙදී ගොස් තිබුණි. එදා ලංකාවේ තිබූ පාසල් සංඛ්‍යාව 4023 කි. ඉන් සියයට 7 ක් ඉංග්‍රීසි පාසල්ය. අධ්‍යාපනය සඳහා රජය වියදම් කළ මුදලින් එදා සියයට 45 ක් පමණ වෙන්කර තිබුනේ මේ ඉංග්‍රීසි පාසල් වලටය. ඉතිරි සියයට 93 ක් පමණ වූ පොදු පාසල් සඳහා වෙන්කර තිබුනේ සියයට 55 කටත් අඩු මුදලකි.
නිදහස් අධ්‍යාපනයේ පියා මුලින්ම වෙනස් කළේ මෙම ක්‍රමයයි. පොදු පාසල් වලද ඉංග්‍රීසි, වීජ ගණිතය, ජ්‍යොමිතිය, අංක ගණිතය, ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී විෂයයන්ද ඉගැන්වීම ආරම්භ කළේය. මධ්‍ය මහා විද්‍යාල රට පුරා ඇරඹුවේය. 1941 මධ්‍ය මහා විද්‍යාල 3 ක්ද 1945 දී එය 35 දක්වාද 1950 වනවිට 50 දක්වාද වැඩි කළේය. ශිෂ්‍යත්ව ක්‍රමය හඳුන්වා දුන්නේය. මුල්ම මධ්‍යම මහා විද්‍යාලය ඇරඹුවේ තම ගමේවත්, තමාගේ ආසනේවත් නොව මාතලේ අකුරම්බොඩය.
භික්ෂූන් වහන්සේලා උදෙසා පිරිවෙන් ආරම්භ කිරීම ඔහු ඉටුකළ ඉමහත් ශාසනික මෙහෙවරකි. අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින් ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී පැවැත්වූ කතාවෙහි කොටසක් මෙසේය. “සාධාරණත්වය කල් දැමීම වූ කලී සාධාරණත්වය නොලැබීයාමකි. මේ රටේ ගම්බද ප්‍රදේශවල වෙසෙන පොදු ජනතාවට සාධාරණත්වය ඉටුකළ යුතු කාලය දැන් එළඹ ඇත.”
එතුමා මිෂනාරීන් විසින් පවත්වා ගෙන ගිය අධ්‍යාපන ක්‍රමය අහෝසි කළේය. ඉංග්‍රීසි දන්නා අයට පමණක් උසස් තනතුරු ලබාදීමේ ක්‍රමය නැති කළේය. ගමේ ගොඬේ පාසල් වල ළමයින්ටත් දොස්තර, ඉංජිනේරු, නීතිඥ ගණකාධිකාරී තනතුරු ලබාගැනීමේ ක්‍රමය උදාකර දුන්නේය. බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමය ආරම්භ කළේය. මුල්ම විශ්වවිද්‍යාලය ආරම්භ කළේය.
නව අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින් ඔහු පැවැත්වූ පැය හයහමාරක කතාව සම්පූර්ණයෙන්ම අසාගෙන සිටියේ ඩී.ඇස්. සේනානායක, එච්. ඩබ්ලිව්. අමරසූරිය, ඩඞ්ලි සේනානායක, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ ආදීන්ය. ඔවුන් සියල්ලෝම ඉමහත් සතුටින් එයට එකඟත්වය පළ කළහ. ඊ. ඩබ්ලිව්. අධිකාරම්, මහාචාර්ය ජී. පී. මලලසේකර, එල්. එච්. මෙත්තානන්ද ආදී වියතුන් ඔහුට පිට සිට පූර්ණ සහාය ලබාදුන්හ. ඉහතින් සඳහන් කළ නම් ලැයිස්තුවට කිට්ටු කරන්නවත් සුදුසු පුද්ගලයින් අද දේශපාලනයේ හෝ වෙනත් උසස් තැන්වල සිටිනවාද?
මේ අධ්‍යාපනඥයා, දේශපාලකයා, සරල මිනිසා බල තන්හාවෙන් ක්‍රියා කළේ නැත. මුදල් පසුපස හඹා ගියේ නැත. ගිරිය පුප්පාගෙන කෑගැසුවේ නැත. කොමිස් ගැහුවේ නැත. ප්‍රසිද්ධිය පස්සේ එලවා ගෙන ගියේ නැත. මහජන මුදල් අවභාවිතා කළේ නැත. මුළු පවුල සමගම ලොව පුරා මහජන මුදලින් රවුම් ගැසුවේ නැත.
1936 දී ඔහු මුල්වරට වැඩි ඡන්ද 4459 කින් මතුගම ආසනය ජය ගත්තේය. 1947 දී ලංකාවේ පොදු මහජනතාව ඔහු මතුගම ආසනයෙන් පරාජයට පත්කොට ගෙදර යැවූහ. ජනතාව ඔහු වසර 40 ක් තිස්සේ රටට සිදුකළ උදාර සේවයට කෘතවේදීත්වය පළකළේ එසේය. ඉටුකළ ජනතා සේවයට ඔහුට උපහාර පිරිනැමුවේ එහෙමය. තමා ගෙදර යවා කෘතගුණ සැලකූ ජනතාවට ඔහු වෛර කළේ නැත. ලංකාවේ හැටි මෙහෙමය. මේ කතාවේ තවත් සුළු කොටසක් තිබේ.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ඩඞ්ලි සේනානායක දෙවැනි වරට අගමැති වූ විට පිහිටවූ කැබිනට් මණ්ඩලයේ සහ කොතලාවල අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේද සිටියේය. එහෙත් ඒ දෙවාරයේදීම ඔහුට යළිත් අධ්‍යාපන ඇමතිකම ලැබුණේ නැත. ඔහුට ලැබුණේ පළාත් පාලන ඇමති තනතුරය. ලංකාවේ අධ්‍යාපනය උදෙසා කළ අනුපමේය මෙහෙය උදෙසා බලයට පත්වූ දේශපාලකයින්ද ඔහුට කෘතගුණ සැලකුවේ උපහාර පිරිනැමුවේ එහෙමය.
1963 දී 79 වියේ පසුවූ ඔහු රෝගාතුරව කොළඹ මහ රෝහලේ ඇඳක් මත සිටියදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ගෙනා යෝජනාවක් මගින් ඔහුට රුපියල් දහදාහක ආධාර මුදලක් ලබාදෙන ලදී. ඉන් වසර 2 කට පසු එනම් 1965 නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාවක් මගින් මේ ජනතා පුත්‍රයාට රුපියල් 500 ක මාසික දීමනාවක් ලබාදුන්නේය. මෙහිදී විශේෂ යමක් සඳහන් කළ යුතුමය.
කන්නන්ගර මැතිඳුන්ට මාසික දීමනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවේදී ඔහු වෙනුවෙන් ගුණකථනයක් පවත්වමින්, සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව, ලංකාවේ අධ්‍යාපනය උදෙසා කල සේවයට කෘතගුණ දක්වමින් කතාවක් පැවැත්වූයේ පදිරිප්පුවේ දමිළ මන්ත්‍රී එස්. ඇම්. රාසමානික්කම් පමණකි. 1969 සැප්තැම්බර් 23 වැනිදා හරිහම්බ කල දෙයක් නැතිව, අතේ සතයක් නැතිව 85 හැවිරිදි වියේ පසුවූ ඔහු රජයේ රෝහලේ ඇඳක් මත අවසන් හුස්ම හෙළුවේය.
මෙවර නිව්යෝර්ක් සිට ලංකාවට පැමිණ දිවයින පුරා කල සංචාරයේදී පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය මහා විදුහල ඉදිරිපිට ඉදිකර තිබූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ප්‍රතිමාව දුටු විට මේ සියල්ල මගේ සිහියට නැගුනේය.
සිරි හීන්පැල්ල,



89 Viewers