කුරුණෑගල පැරණි රජමාලිගා පරිශ්‍රය.

කුරුණෑගල පැරණි නගරය නිර්මාණය වූයේ උතුරු දෙසින් ඇතුගල සීමාව කරගෙන දෙපසින් යාවෙන කුරුමිණියාගල හා ඉබ්බාගල අතර විහිදුණු බිම් ප්‍රදේශයේ ය. අර්ධ කවාකාර ලෙස විහිදුණු ප්‍රාකාරයක් සහිතව ඇතුගල සිට කුරුමිණියාගලට සම්බන්ධ වූ  විසිරි පවතුණු නටඹුන් දැකිය හැකි ය.එය ඇතුලු නුවර ප්‍රාකාරය යි.මෙම ඇතුලු නුවර තුළින් ක්‍රි.ව 14 වන සියවසට අයත් වන පැරණි රජ මාළිගා පරිශ්‍රය හඳුනාගත හැකි ය.මෙම පරිශ්‍රය තුළ දැකගත හැකි නටබුන්  අතර මෙම පරිශ්‍රයේ දකුණු දෙසින් ගල් තලාවෙහි පඩි හතක පඩි පෙළකින් පසු සම්බන්ධ වන හතරැස් ගොඩනැගිල්ලක නටබුන් පවතී.ඉන් පහළ ගල්තලාවට ද පඩිපෙළක් දැකිය හැකි ය.මෙකී ගල්තලා දෙක සම්බන්ධ කර වේදිකාවක් පැවති බව නිගමනය කළ හැකි ය.

IV වන පරාක්‍රමබාහු (ක්‍රි.ව 1302-1326) රජ දවස ඉදිකරන ලදැයි සැලකෙන දළදා මාලිගය කුරුමිණියාගල සමීපව පිහිටා තිබුණි. කුඩා කඳු ගැටයක් වටා කැටයම් කළ ගලකින් නිම වූ ගොඩනැඟිල්ලක නටබුන්  ලෙස මෙම ස්ථානය  හමුවේ. IV වන පරාක්‍රමබාහු රජු මෙම දළදා මන්දිරය,  රාජාංගණය තුළ ම ඉදිකළ බව මහාවංසයේ සදහන් වේ. ( ම.ව.90, පරි.66-75)  දළදා සිරිතෙහි දළදා වහන්සේ උදෙසා කළ පුද සිරිත් පිළිබඳ සදහන් කර ඇත.

දෙවන බුවනෙකබාහු රජු දළදාව කුරුණෑගලට වැඩම කරවූවද එදවස ඉදිකළ දළදා මැදුරේ ඉදිකිරීම් හදුනාගැනීම අපහසුය. IV වන පරාක්‍රමබාහු රජු දවස ඉදිවූ දළදා මැදුර මහල් තුනකින් යුක්ත වූ බව මූලාශ්‍රය තුළින් පැහැදිලි වේ. වර්තමානයේ දැකිය හැකි ශෛලමය දොරටුව සහිත දළදා මැදුර දැවයෙන් ඉදි වූවක් බව ද නිගමනය කළ හැකි ය.රූකම් සහිත ගල් පුවරු,සිංහ රූපයක්,ඇත් රූප, ගජ සිංහ රුවක්,කවන්ධ ගණදෙවි රුවක් ආදී වූ කැටයම් සහිත නටබුන් රැසක් විසිරී පවතී.

කුරුණෑගල වැවෙන් හමු වූ අඩි 32 ක් දිග අඩි 5 1/2 ක් පමණ පළලින් යුතු කුඹුක් ලීයෙන් නිම කරන ලද දැව ඔරුවක් ද මේ ස්ථානයේ දැකගත හැකි ය.පැරණි රජ මාලිගා පරිශ්‍රයේ සිට ඇතුගල දක්වා රජ දවස පැවතුණු අඩි පාරක් ද පැවතුණු බව හඳුනාගත හැකි ය. මෙහි දක්නට ලැබෙන මනහර ශෙලමය උළුවස්සෙහි පුන්කලසක් අතින් ගත් නාග රූපයක්, ස්ත්‍රී රුවක් දැකිය හැකිය. ලියවැල් පන්තියකින් උළුවස්ස අලංකාරවත් කර ඇත.මෙම පරිශ්‍රය තුළින් හමුවන සිංහ රූපයන්හි ඉඩු අතට නැවුණු වල්ගය වක්‍රව දක්වා තිබේ.

තවද, 1848 නිදහස් සටනට උරදුන් ඩිංගිරාළ , මුත්තෙට්ටුගල දී අල්ලාගත් බ්‍රිතාන්‍යයන් ඔහුව නුගගසකට බැද වෙඩි තබා ඝාතනය කළ තැන තිබූ ඔහු සිහිවීමට  ඉදිකළ ගල්ටැඹක් ද අද මේ පරිශ්‍රය තුළ දැකගත හැකි ය



29 Viewers