• Home »
  • Sinhala Articles »
  • කුරුන්දි බෞද්ධ උරුමය, ජාතිවාදීන් සහ වීරයෝ.

කුරුන්දි බෞද්ධ උරුමය, ජාතිවාදීන් සහ වීරයෝ.

රටක සංස්කෘතික උරුමය යනු එම රටේ සාමයට, සහ ජාතින් අතර සංහිඳියාවට බාධාවක් විය යුතු සාධකයක් නොවේ. නමුත්, අවාසනාවකට ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය අපේ රටේ ජාතින් අතර සමයට බාධාවක්, තර්ජනයක් වෙන කාරණාවක් බවට පත් වී ඇත. එසේ සිදුව ඇත්තේ ජාතිවාදී සහ බෙදුම්වාදී දේශපාලන නායකයින් නිසාම පමණක් නොව, මෙරට පුරාවිද්‍යා සහ උරුම කළමනාකරණ ක්ෂේත්‍රයේ පවතින අඩුලුහුඩු කම් නිසාය.

මෙරට සංස්කෘතික උරුමයන් කළමනාකරණයට නිසි ජාතික ප්‍රතිපත්තියක් නොමැති කම මෙයට ප්‍රධාන හේතුවක්.

සංස්කෘතික උරුමය සාමයේ තානාපතිවරුන් මිස, ගැටුම් වලට හේතු කාරණාවක් නොවිය යුතුය. ශ්‍රී ලංකාවේ අමිල සංස්කෘතික උරුමය මෙරට සිංහල සහ දෙමළ ජනකොටස් අතර සාමය, අවබෝධය සහ මිත්‍රත්වය ඇති කිරීමට ප්‍රබල කාරණාවක් විය යුතුය.

මේ දිනවල කාගේත් කතාබහ වන්නේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හදිසි ඉල්ලා අස්වීම, ජනාධිපතිවරයාගේ ඉතිහාස පාඩම, සහ ජාතිවාදී දෙමළ දේශපාලකයන්ගේ ඉල්ලීම් ය.

මේ සිදුවීම මුල් කොට ගෙන එක් රැයින් මුහුණු පොතේ, රටේ සංස්කෘතික උරුමය අරභයා ජාතිවාදී සටහන් ඇවිළෙන්නට විය. මේ සිදුවීම ලෝකයා ඉදිරියේ හුවා දක්වන්නේ, සිංහල ජාතිවාදීන් විසින්, පාරම්පරික දෙමළ ජනයාගේ, විශේෂයෙන් ගොවි ජනයාගේ ඉඩම් අල්ලාගෙන, ඔවුන්ට තාඩන පීඩන සිදු කරනවාය යන්නය. ඒ නිසාම මේ සිදුවීමේදී අප අතිශයින්ම සුපරික්ෂාකාරී විය යුතුය.

එසේම, මෙතෙක් අවස්ථා ගණනාවකදී රටේ පුරාවිද්‍යා උරුමය නොසලකා හරින ලද, එය පාවා දුන්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා, එඩිතර රාජ්‍ය නායකයෙකු ගේ තත්ත්වයට පත් වීමත්, සැණින් සිදු ව ඇත.

පුවත්පත් සාකච්ඡා වලට, උතුරු නැගෙනහිර දෙපළාතේ ඔය කියන තරම් පුරාවස්තු විනාසයක් නැතැයි අපුලක් නැතුව පැවැසූ, කුරුන්දි ස්තුපයේ ධාතු නිධානෝත්සවය දිනයේ, අන්තවාදීන්ට බියේ හැරී ආපසු පැමිණි අධ්‍යක්ෂ ජනරාල්වරයා, එක් සැණින් උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ට රාජ්‍ය නිලධාරියෙක් බවට පත් වී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ අපකිර්තිමත්ම කළු පැල්ලම වන් දැදිවල පුරාවස්තු මංකොල්ලය සිදු වූයේ මොහුගේ කාලයේ ය. එයට තවමත් පිළිතුරු ලැබී නැත.

වසරකට පෙරත්, අදත්, කුරුන්දි බෞද්ධ උරුමය, ජාතිවාදීන්ට, අන්තවාදීන්ට සහ බෙදුම්වාදීන්ට, සහ දේශපාලන පක්ෂ ගැත්තන්ට ඉත්තෙක් වී තිබීම අතිශයින්ම ශෝචනීය ය. මෙම සමස්ථ සිදුවීම, එක් පාර්ශවයකින් පමණක් විමසා බලා මුහුණුපොතේ හෑලි ලිවිම නිසා, ලෝකයා ඉදිරියේ සිංහල බෞද්ධන්ට යළිත් ජාතිවාදී ලේබලය අලවන්නේය. එයින් අපකීර්තියට පත්වන්නේ අප රටමය.

එසේම, අප තව තවත්, රටේ සංස්කෘතික උරුමය මුල් කොට ගෙන ජාතින් අතර සාමය සහ අවබෝධය දුරස්වන කටයුතුම සිදු කරන්නේය. කුරුන්දි බෞද්ධ උරුමය, පමණක් නොව උතුරු නැගෙනහිර පෞරාණික ස්ථාන පටු සහ විෂම අරමුණු ඇති අයගේ ඉත්තන් වීම නිසා සිදු වන්නේ, අප රටේ සංස්කෘතික උරුමය තව දුරටත් ජාතිවාදීන්ගේ ඉලක්ක බවට පත් වීමයි. තව තවත් අප, අපේ උරුමය තර්ජනයට පත් කරන්නේය.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙපළාතේ පෞරාණික උරුමය සහ ඒවායේ උරුම කළමනාකරණ කටයුතු ගැන, එක්සත් ජාතීන්ගේ මානව හිමිහිම් කොමසාරිස් මිෂෙල් බශේට් මැසිවිලි නගද්දී අපි මේ භයානක අනතුර ගැන පුරෝකථනය කළෙමු. පසුගිය වසරේ ගෝල්ෆේස් අරගලයේදී සහ ප්‍රයිඩ් පා ගමන් වලදී උතුරු නැගෙනගිර බෞද්ධකරණය නවත්වවූ යනුවෙන් බෝඩ් උස්සන් අරගලකරුවන් කෑමොර දෙද්දී අපි මේ උදාවන්නට යන අනතුර ගැන පුරෝකථනය කළෙමු.

ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් කළමනාකරණය කිරීමේ නිසි ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අපි හැමදාමත් අවධාරණය කළෙමු. එසේම, රටේ පවතින වාතාවරණය සලකා බලමින්, සුක්ෂම ලෙස සිංහල දෙමළ සහ අනෙකුත් ජනවර්ග අතර ආරවුල් ඇති නොවන ආකාරයට රටේ පුරාවිද්‍යා කටයුතු සුක්ෂම ලෙස සිදු විය යුතු බවත් අපි අවධාරණය කරන්නෙමු. මන්ද, ජාතිවාදී සහ බෙදුම්වාදී දේශපාලන නායකයින් බලා සිටින්නේ සිංහල බෞද්ධයා මත ජාතිවාදී ලේබලය ඇලවිමටය. ඒ සඳහා ඔවුන්ගේ නවතම ඉත්තා වී ඇත්තේ රටේ අමිල පෞරාණික උරුමයයි.

අලුතෙන් පත්වන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සියලු වැරදි වලින් පාඩම් ඉගෙන ගනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු.

අමා එච්. වන්නිආරච්චි.



50 Viewers