• Home »
  • Sinhala »
  • කොටි ත්‍රස්තවාදය පැරදවීමේ 11 වැනි සමරුව – යුද්ධය දික් ගස්සා නිරපරාදේ ජීවිත බිලිගත් ඊනියා සාම ක්‍රියාවලිය.

කොටි ත්‍රස්තවාදය පැරදවීමේ 11 වැනි සමරුව – යුද්ධය දික් ගස්සා නිරපරාදේ ජීවිත බිලිගත් ඊනියා සාම ක්‍රියාවලිය.

වීරෝධාර ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් විසින් ලොව ඉතාමත් බලසම්පන්න ත්‍රස්තවාදී සංවිධානයක් යුදමය වශයෙන් පරදා මෙම මැයි 18වනදාට එකොලොස් වසරකි. අපේ රණවිරුවන් ඉමහත් කැප කිරීම් මැද කොටි බෙදුම් වාදීන් පරදා ලබාගත් එම විජයග්‍රහණය පිලිබඳ මෙතෙක් ලියවී ඇති ලිපි සහ ප්‍රකාශයට පත් වී ඇති ඇගයීම් රැසකි.

එහෙයින් මෙම ලිපියේ අරමුණ ඒ ගැන අවධානය යොමු කිරීමට වඩා යුද්ධය සාපරාධී ලෙස දික් ගස්සා තව තවත් ජීවිත බිලිගත් ඊනියා සාම ක්‍රියාවලිය යලි මතක් කිරීමය. ඊට වග කිව යුතු දෙස් විදෙස් යටිකූට්ටු බලවේග අද වෙනත් වෙස්මුහුණු බැඳගෙන තවමත් අප අතර සිටිති. වැඩිම වුවහොත් වසර 12 කින් පමණ අවසන් කල හැකිව තිබු යුද්ධයක් දශක තුනක පමණ කාලයක් ඇදී යාමට වගකිවයුත්තන් අතර මොව්හුද වෙති. පසුගිය වසරේ මේ සමරුව දියාරු කිරීමටද බලපෑම් කලේද මේ ‘සංහිඳියා‘ කල්ලියයි.  ඔවුන්ට මේ සැමරුම ‘රණවිරු ගායකි.‘  උතුරේ සමහර කුහක දේශපාලකයන්ට සහ බටහිර පදිංචි කොටි හිතවාදී දමිළ ඩයස්පෝරාවට මේ දිනය දෙමළ ජනයා සංහාරය” කල දිනයයි (‘Tamil Genocide Day’).

වසර 1983 ජුලි 23 දා යාපනේ තිරුනල්වේලි හිදී  යුද හමුදා සෙබළුන් 13 දෙනෙකු මරා ‘විමුක්තියේ’ නාමයෙන් දෙමළ ජනයා කබලෙන් ලිපට ඇද දැමූ, සියගණන් දෙමළ තරුණ තරුණියන් (ළමා සොල්දාදුවන් ඇතුළුව) නිරපරාදේ වලපල්ලට යැවූ බෙදුම් වාදයේ පළමු සංග්‍රාමික වෙඩිල්ල තැබුවේ කොටින් වුවද වසර 30 කට ආසන්න කාලයක් පැවති එම ලේ වැගිරීම් වල මූලික වගකීම ඔවුන්ට පැවරීමට මේ ‘සාම’ වෙළෙන්දෝ මැලි වෙති.  විදෙස් මුදලින් නඩත්තු වන මොවුන්ගේ රාජ්‍ය නොවන සංවිධාන වල යටි අරමුණ වුයේ කොටි බෙදුම්වාදය අනියම් ලෙසින් සාධාරණීය කර ඊට යම් න්‍යායික පදනමක් සැපයීමය.

කොටි–විරෝධී යුද ප්රයත්නය කඩාකප්පල් වීමේ පළමු අවස්ථාව වුයේ වසර 1987 මැයි මස ඇරඹුණු වඩමාරච්චි සටනේදී කොටින් පරදා අපේ යුද හමුදාව ජයගන්නට ඉතාමත්ම ආසන්නව තිබියදී ඇතිවූ ඉන්දියානු මැදිහත් වීමය. එනිසා එතෙක් කෙරුනු යුද මෙහෙයුම නතර කරන්නට සිදුවීම එඩිතරව සටන් වැදුනු සෙබළුන් තුල ඇති කලේ බලවත් කලකිරීමකි.  ඉන්දියානු සාම සාධක හමුදාව මෙරටට ගොඩ බැසීමත් සමගම අපේ භටයන්ට යාපනයෙන් ඉවත් වන්නට සිදු වු විට ඇතැම් යාපන වැසියන්ගේ හූ තැබීම් වලටත් උසුළු විසුළු වලටත් ලක් වූහ.

එහෙත් එම වසර අවසන් වන්නට පෙර ඉන්දියානු හමුදාව සහ කොටින් අතර සටන් ඇරඹුණු විට එසේ රැවටුනු යාපන වැසියන් ගේ ඇස් ඇරුනි.   ඉන්දියානු සාම සාධක හමුදාව ගෙන්වා ශ්‍රී ලංකාවට රාජ්‍යයට ‘පාඩමක්‘  ඉගැන්වීමට සිතු උතුරේ දේශපානඥයින් එම සටන් පටන් ගත් විට සිය ආරක්ෂාව පතා කොළඹට පැනගත්හ.  එනමුත් ද්‍රවිඩ එක්සත් පෙරමුණු නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් ඇතුළු දමිළ නායකයන් දෙතුන් දෙනෙකුටම කොටි වෙඩි උණ්ඩ වලින් බේරීමට නොහැකි විය.

ජනපති රණසිංහ ප්‍රේමදාස මුලා කර ඉන්දියානු හමුදාව ආපසු යැවීමට කොටින් ඇතිකල ව්‍යාජ සටන් විරාමය ඔවුන්ට නැවත ශක්තිමත් වීමට කාලය ලබා ගැනීම යුද්ධය අතරමග නතර කරවීමේ දෙවන අවස්ථාව විය  ප්‍රේමදාස රජය රවටා අවි ආයුධද ලබාගත් කොටි, ඉන්දීය භටයින් වසර 1990 දී මෙරටින් පිටව ගිය විගස නැවත සටන් ඇරඹුවා පමණක් නොව සාමය වෙනුවෙන් යයි සිතා රජය කල ඉල්ලීම පරිදි අවි බිම තබා කොටින්ට යටත් වූ පොලිස් භටයන් 600 කගේ දෑත් බැඳ අමානුෂික ලෙස ඝාතනය කලහ. කොටි ත්‍රස්තවාදීන් කාත්තන්කුඩියේ  මුස්ලිම් පල්ලියකදී නිරායුධ මුස්ලිම් මිනිසුන් 150 කට ආසන්න පිරිසක් මරා දැමුවේද එම වසරේ අගෝස්තුවේදීය.

ඊළඟ වසරේදී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මරාගෙන මැරෙන කොටි තරුණියක් පුපුරවාගත් බෝම්බයකින් තමිල්නාඩුවේදී මිය ගියේය.  ඊට දෙවසරකට පසු ජනපති ප්‍රේමදාසටද සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය.  මේ ඝාතන දෙකම දුර දිග නොබලා කොටි හුරතල් කිරීමට තැත් කිරීමේ අනිටු විපාකයන්ය.

සාම කොලොප්පම එතනින් නැවතුනේ නැත. එහි තෙවන අදියර ඇරඹුණේ චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේදීය. එහි ප්‍රධාන මැදිහත්කරුවෙකු වුයේ එවකට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිව සිට පසුව කොටි සංවිධානයේ බ්‍රිතාන්‍ය මාධ්‍ය  ප්‍රකාශකයා වූ වසන්ත රාජාය.

වසර 1994 පටන්ගත් එම ‘සාම මධු සමය‘ අවසන් වුයේ 1995 අප්‍රේල් මසදී කොටින් විසින් ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රහාරක යාත්‍රා දෙකක් ගිල්වා දැමීමෙනි. ඉන්පසු ඇරඹුණු තුන්වැනි ඊළාම් යුද්ධයෙදී යාපනය ඇතුළු විශාල පෙදෙස් කිහිපයක් නැවත අල්වාගනීමට ශ්‍රී ලංකා හමුදා සමත් වූ නමුත් නැගෙනහිර තවමත් පැවතියේ කොටි පාලනයට නතුවය. සාම ගිවිසුම්  ඇතිකරගත් හැම විටකම එම කොන්දේසි උල්ලංගනය කරමින් පළමු පහරදීම් කලේ එල්.ටී.ටී.  ත්‍රස්තවාදීන් නුමුදු ඒ ගැන ඔවුන්ට දොස් පැවරීමට ඊනියා සාම ක්‍රියාකරිකයෝ අකමැති වුහ.

අහිංසක ජීවිත සියගණනක් විනාශ කරමින්  වසර 1996 පිපිරවූ මහ බැංකු බෝම්බය, දෙහිවල දුම්රිය බෝම්බය, 1998 දී ‘ලයන් එයා’ ගුවන් යානයකට එල්ල කල මිසයිල ප්‍රහාරය සහ 1998 මහනුවර දළදා මාලිගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය යනාදී කොටි අපරාධයන්ට මේ ව්‍යාජ ‘බුද්ධිමතුන්‘ දැක්වුයේ එවැනිම  ප්‍රතිචාරයකි. නැතහොත් දියාරු ‘විරෝධයකි‘.  ඔවුන්ගෙන් සමහරු බොහෝ විට උත්සාහ කලේ එය කොටින්ගේ නොව වෙනත් හඳුනානොගත් කණ්ඩායමක ක්‍රියාවන් විය හැකි බව ලොවට ඒත්තු ගැන්වීමට තැත් කිරීමයි.  ඊළඟ වසරේ (1999 දෙසැම්බරයේ) ජනපතිනි කුමාරතුංග  කොටි ඝාතන තැතකින් කොළඹදී බේරුනේ අනුනවයෙනි. මරාගෙන මැරෙන කොටි කතක් පුපුරවාගත් එම බෝම්බයෙන් ජනපතිනියගේ රියැදුරු සහ ආරක්ෂක නිලධාරීන් ඇතුළු 36 දෙනෙක් මිය ගිය අතර ජනපතිනියගේ එක් ඇසක් අන්ධ විය

එහෙත් ‘සාම’ ප්‍රෝඩාව දිගටම පැවතින.  එහි උච්චතම අවස්ථාව එළඹියේ එතෙක් ලංකාව සහ ඉන්දියාව අතර පමණක් දෝලනය වූ ත්‍රස්තවාදී අර්බුදය ජාත්‍යන්තරකරණයට ලක්වීමත් සමගය.  ඒ වසර කිහිපයක් තිස්සේ තායිලන්තයේ, ජපානයේ, ජර්මනියේ සහ ස්විට්සර්ට්ලන්තයේ පැවති ‘සාම‘කතා  වල ප්‍රතිපලයකි. ඊට පහසුකම් සලසන ලද්දේ නෝවීජියානුවන් විසින්ය. ඒ සඳහා ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධායනය යන දෙපාර්ශවයෙන්ම නෝවේ රජයෙන් ඉල්ලීම් කර තිබින.   ජනවාර්ගික ප්‍රශ්නයට සාකච්චා මගින් දේශපාලන විසඳුමක්”  සෙවීමේ මුවාවෙන් ඇතිකරගත් සටන් විරාම ගිවිසුමට 2002 දී මග පෑදුනේ ඒ අයුරිනි.

ඒ දක්වා මේ අර්බුදයට විසඳුම් සොයන ලද්දේ තනි රටක ප්‍රශ්නයක් ලෙස සලකමින්ය. එහෙත් සටන් විරාමයෙන් පසු සිදුවුයේ මහජන චන්දයෙන් පත්වූ ශ්‍රී ලංකා රජයත් ඊට විරුද්ධව රට දෙකඩ කිරීමට සටන් කරමින් සිටි කොටි ත්‍රස්තවාදී කල්ලියත් සම තත්වයේ ලා සැලකීමය.  අඩුවකට තුබුනේ ‘දෙමළ ඊළාම්‘ සිහිනයට රජයට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විදෙස් පිළිගැනීමක් නොතිබීම පමණකි.  එහෙත් නොනිල වශයෙන් එය ‘දෙරටක‘ ප්‍රශ්නයක් ලෙස ලොවට පෙන්වන ලදී .   එයින් කොටින්ගේ උතුරු–නැගෙනහිර “නිජබිම් සංකල්පයට” සහ  ස්වයං තීරණ අයිතියට” ලැබුනේ ඉමහත් උත්තේජනයකි.   සටන් විරාම ගිවිසුමෙන් පසු උතුරේ ‘දෙමළ ඊළාමයට’ යාමට කොටි ගමන් බලපත්‍ර අවශ්‍යවිය.

මේ රටේ වාසනාවට 2005 ‘සුනාමි සහන මණ්ඩලයෙන්‘ (Post-Tsunami Operational Management Sri Lanka) කොටින්ට අත්වන්නට තිබු තවත් වාසියක් වැලකුනේ යන්තමිනි.

ගිවිසුම අත්සන් කලදා සිට ලංකාවේ නිල හමුදා ශක්තිය සීමා කිරීමටත් එල්. ටී. ටී. සන්නද්ධ  ශක්තිය වැඩි කිරීමටත් කුමන්ත්‍රණ දියත් වන්නට විය.  ඉන් වඩාත් කැපී පෙනුනේ ඔවුන්ට නෝවේ රජයෙන් ලැබුනු යුද පුහුණුවයි. මේ කාලයේ ඇතැම් ‘වාමාංශික’ බක පණ්ඩිතයෝ ශ්‍රී ලංකා රජයේ හමුදා කුලී හමුදාවක් ලෙසිනුත් කොටි ත්‍රස්තවාදීන් සාධාරණ අරමුණක් වෙනුවෙන් සටන් කරන වීරෝදාර විමුක්තිකාමීන් ලෙසත් හැඳින් වුහ.  1970 දශකයේදී සිවිල් වැසියන් ලෙස වෙස්වලාගෙන සාමාන්‍ය ගිනි අවිගත් ගරිල්ලා කණ්ඩායමක් ලෙස පහර දීම් පටන්ගත් කොටි, කාලතුවක්කු, ගුවන් යානා අවි ප්‍රවාහන නෞකා සහ ප්‍රහාරක මුහුදු යාත්‍රා යනාදියෙන් සන්නද්ධව, නිල ඇඳුම් ලාගත් සම්ප්‍රදායික හමුදාවක් ලෙසට ක්‍රමානුකූලව පරිවර්තනය වන්නට පටන් ගත්තේ 1990 දශකය අවසානයේ සිටය.

මේ පිළිබඳව ලොවට හෙලිකරමින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ 2004 දී පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වීමට මේ ලියම්කරුටද අවස්ථාව ලැබින. සම්මන්ත්‍රණය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ සාමය සඳහා ගෝලීය එකමුතුව”

(World Alliance for Peace in Sri Lanka) සහ ‘සංසදය’ යන විදෙස්ගත ශ්‍රී ලංකා  දේශ ප්‍රේමී කණ්ඩායම මගිනි.  නෝවීජියානු හමුදාව එල්. ටී. ටී. සාමාජිකයන්ට එරට රෙනා (Rena) හමුදා කඳවුරේදී සටන් පුහුණුව දෙන අන්දම දැක්වෙන වීඩියෝ පටයක් එහිදී තිරගතකරන ලදී. එපමණක් නොව ශ්‍රී ලංකා රජයට පවා එවකට නොතිබූ අධි තාක්ෂණික චන්ද්‍රිකා ගුවන් විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍රද කොටින්ට ලබා දුන් බවද එම සම්මන්ත්‍රණයේදී හෙලිවිය. ඒ බව ඔප්පු වුයේ එවකට ලංකාවේ නෝවේ තානාපති ජොන් වෙස්ට්බග් සහ එල්. ටී. ටී සාමාජිකයකු අතර කෙරුනු පටිගතකන ලද දුරකතන කතාබහකිනි. (මේ බව හිටපු කොටි නියෝජ්‍ය නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘කරුණා‘ විසින්ද තහවුරු කරන ලදී).  ‘ජාතික සාම මණ්ඩලය‘ නමින්  අදත් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයටද නෝවේ රාජ්‍යයෙන් මුදල් ආධාර ලැබුනු බව සම්මන්ත්‍රණයේදී  අනාවරණය වූ තව කරුණකි.  රැස්වීමට සහභාගී වුවන් අතර නෝවේ රජයේ කොටි හිතවාදී පිළිවෙතට විරුද්ධ වූ එම්. රොවික් නම් නෝවීජියානු නීතිවේදියාද විය.

ශ්‍රී ලංකා රජය සහ කොටි අතර 2002 දී අත්සන් කල සටන් විරාම ගිවිසුමට සහ නෝවීජියානු මැදිහත් වීමට තදින් විරුද්ධව සිටි හිටපු විදේශ ඇමති  ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා 2005 දී කොටි වෙඩික්කරුවෙකු අතින් මරුමුවට පත්විය. මේ සිදුවීම සහ අනෙකුත් කොටි ඝාතන සිදුවෙද්දී  ‘සාම‘ සඳහා කෙරෙන උත්සාහයන් නිෂ්පල බව පැහැදිලිවම පෙනුනද පෙනී එය අතහැර දැමීමක් සිදුවුයේ නැත.  කොටි විරෝධී යුද්ධය රජයට කිසිදාක ජයගත නොහැකි බව (unwinnable war) ‘සාම‘ ක්‍රියාකාරිකයෝ පුන පුනා කීහ.

මේ කාලයේ සිහිබුද්ධිය ඇති දෙමළ ජනයා ගේ හදවත් වල පැනනැගුනු සැබෑ හැගීම්  ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ  පදිංචි සෙල්වා ඥානම් නම්  දමිළ වැසියකු  දැනට වසර 14කට පමණ පෙර ‘අයිලන්ඩ්’ පුවත් පතට සැපයු ලිපියකින්  මෙසේ හෙලි කලේය.

“අපට අපේ කාන්තාවන්, ළමයින් සහ අපේ නිවෙස් අපට නැවත ලබා දෙන්න. ‘දෙමළ ඊළාම් සටනට’ පෙර  අප ගත කල ජීවිතය අපට නැවත ලබාදෙන්න. අපට වෙනදා මෙන් අපේ දරුපවුල් සම කෝවිලට ගොස් දීවාලි පහන් පුජාවට සහභාගී වන්න ඉඩදෙන්න. අපේ දූ පුතුන් පැහැරගෙන ගොස් අමානුෂික මිනීමරුවන් කරාවිද යන බියෙන් අපව මුදවාගන්න“

ඒ මුදවාගැනීම 2006 අගෝස්තු මාසයේදී ඇරඹිනි.  එල්.ටී ටී ටිය ජුලි 26 දා  දහස් ගණන් සිවිල් වැසියන්ට ජලය අහිමි කරමින් මාවිල් ආරු සොරොව්ව වාසා දැමීමට ප්‍රතිචාර වශයෙන් රජය දියත් කල ‘ඔපරේෂන් වෝටෂෙඩ්’ (Operation Watershed) හමුදා මෙහෙයුම සියලු සාම විගඩම් වලට තිත තැබීය. රජයේ හමුදා අගෝස්තු 11 දා මාවිල් ආරු සොරොව්ව කොටි ග්‍රහණයෙන් මුදවා ගත්හ. ඒ ජයග්‍රාහී සටන ඊට තෙවසරකට පසු අවසන් වුයේ කොටින් අන්ත පරාජයට පත් කරමින්ය.

දෙවන ලෝක යුද්ධයේ කීර්තිමත් ඇමෙරිකන් යුද සෙනෙවියකු වූ ජෝජ් එස්. පැටන් ජනරල් වරයා වරක් සිය සෙබළුන් අමතමින් මෙසේ පැවසීය.

“ඔබේ යුතුකම ඔබේ රටවෙනුවෙන් මියයාම නොව සතුරාට ඔහුගේ රට වෙනුවෙන් මියයාමට සැලැස්වීමය“

අපේ වීරෝදාර රණවිරුවෝ බොහෝ දුරට ඒ යුතුකම ඉටු කර යුද්ධය ගත්හ.

සතුරා ඔහුගේ දෙමළ ඊළාම් මනෝ රාජ්‍ය වෙනුවෙන් දිවි පිදීය.

ජානක පෙරේරා විසිනි



17 Viewers