• Home »
  • Sinhala »
  • කොරෝනා ව්‍යසනය අතරේ ද්‍රවිඩ ත‍්‍රස්තවාදයත් තිබුනානම්…. ද්‍රවිඩ ජාතික සන්ධානයේ උප්පරවැට්ටි…

කොරෝනා ව්‍යසනය අතරේ ද්‍රවිඩ ත‍්‍රස්තවාදයත් තිබුනානම්…. ද්‍රවිඩ ජාතික සන්ධානයේ උප්පරවැට්ටි…

* සුනාමි සහන මණ්ඩලය සහ කොරෝනා දේශපාලනය

* විපක්ෂයේ කොරෝනා හවුල විසුරුවා දැමු මැතිසබය නැවත රැස්කිරීමේ උත්සාහයක

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

කොටි ත‍්‍රස්තවාදීන් පරාජය කිරීමේ 11 වැනි සංවත්සරය මැයි මාසයේ 19 වන දින සැමරේ.කොරෝනා වෛරසය රට තුල ඇති කර තියෙන හදිසි තත්ත්වය අප රට එංගලන්තයෙන් 1948 නිදහස ලබා ගත් පසු ලබාගත් විශිෂ්ටතම ජයග‍්‍රහණය නිසි ලෙස සැමරීමට අද අවස්ථාවක් නැත .

මහින්ද රාජපක්ෂ රජය බිහිසුණු ත‍්‍රස්තවාදය පරාජය කර රට එක්සේසත් කිරීම 2009-2014 කාලය තුල ඒකාබද්ධ හමුදා පෙළපාලියක් සමග සැමරීය .

හමුදා පෙළපාලිය නවතා දැමිය යුතු බවට එවකට ශ‍්‍රී ලංකාවේ සිටි කැනඩියානු මහ කොමසාරිස්වරිය ෂෙලී වයිටින් 2014 දී මහින්ද රාජපක්ෂ රජයට බල කළේය. 2014 මාතර පැවති විජයග‍්‍රාහි රැලියට ආරාධිතයෙකු ලෙස සහභාගී වීමට ලැබුණු ආරාධනාව ප‍්‍රතික්ෂේප කල බව ඇය ලිපියක් මගින් රජයට දන්වා සිටියේය. යුධ ජයග‍්‍රහණය සැමරීම ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ප‍්‍රජාවේ බලවත් වේදනාවට හේතුවක් වන බවද ඇය ප‍්‍රකාශ කළේය. මෙවැනි උත්සව වලට ප‍්‍රමුඛත්වය දීම ජාතික සංහිදියා ක‍්‍රියාවලියට බරපතල බාධාවක් බවද ඇය චෝදනා කළේය.

එවකට සිටි ආරක්ෂක ලේකම් වර්ථමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැනේඩියානු තර්ජනය ප‍්‍රතික්ෂේප කළේය. කැනේඩියානු තර්ජනය බටහිර ප‍්‍රජාව, දමිළ ඩයස්පෝරාව සහ කොටි ත‍්‍රස්තවාදී සංවිධානයේ අතකොළුවක් වූ ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන් කල බලපෑමක් බව අමුතුවෙන් කිව යුතු නැත. එම තර්ජනය ප‍්‍රතික්ෂේප කිරීමේ ශක්තිය ගෝඨාභය රාජපක්ෂට තිබුනේය.

කැනේඩියානු මහ කොමසරිස්වරියගේ ප‍්‍රකාශය සම්පුර්ණයෙන්ම ‘දි අයිලන්ඞ්’ පුවත් පතේ පල කල හැකි දැයි එම තානාපති කාර්යාලය මෙම ලියුම්කරුගෙන් විමසිය. දී අයිලන්ඞ් පමණක් එම ලිපිය මුල් පිටුවේ ප‍්‍රධාන පුවතක් ලෙස පල කළේය.

බටහිර බලපෑම නොතකමින් රාජපක්ෂ රජය 2014 දී යුධ ජයග‍්‍රහණය සැමරිය. ශ‍්‍රී ලංකාව ලබා ගත් විශිෂ්ඨතම ජයග‍්‍රහණය සැමරීමට බටහිර බලවතුන්ගෙන් අවසර ගත යුතු නැත. විශේෂයෙන්ම කැනඩාවේ සියළුම දේශපාලන පක්ෂ කොටි ත‍්‍රස්තවාදීන්ට හිතවත් ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානු පුරවැසියන් සමග කරනු ලබන දේශපාලන ගනුදෙනුව හොදින් දන්නා අපිට මහකොමසාරිස්වාරියගේ ප‍්‍රකාශය විහිළුවකි.

2015 ජනපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය විය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහයෝගය ඇතිව එජාපය ජනාධිපතිවරණයට ඉදිරිපත් කල මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කළේය. බටහිර න්‍යාය පත‍්‍රයට ක‍්‍රියාකරමින් එම රජය හමුදා පෙළපාලිය නවතා දැමිය. එජාපය ප‍්‍රමුඛ බලවේගයට එරෙහිවීමට හමුදාවට නොහැකි විය. එජාප-ශ‍්‍රීලනිප රජයේ කිසිවෙකු හමුදාවේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ ද නැත.

කැනේඩියානු මහකොමසාරිස් වයිටින් මහත්මිය 2014 දී කල යෝජනාව 2015 දී යහපාලන රජය ක‍්‍රියාත්මක කළේය. යහපාලන නායකයකත්වයට කිසිදු ලැජ්ජාවක් නොවිය. ජයග‍්‍රාහී හමුදාවට නායකත්වය දුන් ජනරාල් සරත් ෆොන්සේකා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීමේ මෙහෙයුමට උර දුන්නේය. ජනාධිපති සිරිසේන සරත් ෆොන්සේකා ෆීල්ඞ් මාර්ෂල් ධුරයට උසස් කරන ලදී. නමුත් විජයග‍්‍රහණය සැමරීමේ හමුදා උත්සවය නවතා දැමීම පිළිබදව ෆොන්සේකා නිහඩව සිටියේය.

එම්. කේ. ඩි. එස්. ගුණවර්ධනගේ 2016 පෙබරවාරි මාසයේ සිදුවූ හදිසි අභාවයත් සමග එජාප ජාතික ලයිස්තුවේ පුරප්පාඩුවක් ඇතිවිය.

2015 අගෝස්තු මහා මැතිවරණයේදී සරත් ෆොන්සේකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට නායකත්වය දුන්නේය. එම පක්ෂයේ උප නායකයා වූයේ ජයන්ත කැටගොඩය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට එකදු අසුනක් හිමි නොවිය එම්.කේ. ඞී .එස්. ගුණවර්ධනගේ මිය යාමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීමේ අවස්ථාව සරත් ෆොන්සේකාට හිමිවිය.( 2020 මහමැතිවරණයේදී සරත් ෆෝන්සේකා සමගි බලයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයට තරග කරයි. ජයන්ත කැටගොඩ ශ‍්‍රී ලංකා පොදුජනපෙරමුණේ ජාතික ලයිස්තුවේ 28 වෙනියාය.ජාතික ලැයිස්තු හරහා ඉදිරිපත් කරන මුළු සංඛ්‍යාව 29කි.) ෆොන්සේකාට අමාත්‍යධුරයක්ද හිමිවිය. කෙසේ වෙතත් යුධ ජයග‍්‍රහණයට ඉතා ඉහලම දායකත්වයක් දුන් ෆොන්සේකා විජයග‍්‍රහණයේ පෙළපාලිය අහෝසි කර දැමීම සම්බන්ධයෙන් දිගටම නිහඩ පිළිවෙතක් අනුගමනය කළේය. සේනාධිනායක ආරක්ෂක අමාත්‍යධුරය දැරූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කිසිදු අවස්ථාවක එජාපය හමුදා පෙළපාලිය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කලේ නැත.

2009 මැයි සිට සැමරු හමුදා පෙළපාලිය නවතා දැමීම සලකා බැලිය යුතු වන්නේ 2015 ඔක්තෝබර් 1 දින ජිනීවා නුවරදී මුළු ආරක්ෂක හමුදාවම විදේශීය අණසකට නතු කිරීම තුළය. කිසි ලෙසකින්වත් යුධ භූමියේදී පරාජය කල නොහැකි සංවිධානයක් ලෙස හදුන්වා දුන් කොටි සංවිධානය පරාජය කල යුධ හමුදාව ජිනීවා ක‍්‍රියාවලිය හරහා එක්සත් ජාතීන්ට පවා දුන්නේය. ජයග‍්‍රාහී තම හමුදාව විදේශීය බලයට නතු කල එකම අවස්ථාව 2015 දී සිදුවිය. අද යහපාලන රජය බලයේ නැත. නමුත් කොරෝනා වෛරසය 2009 මැයි ලබාගත් යුධ ජයග‍්‍රහණය සමැරීමේ අවස්ථාව තව දුරටත් අහිමි කර ඇත. කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් 2005 බලයට පැමිණි රජයට නොහැකි වූවානම් කොරෝනා වෛරසයට මුහුණ දෙන ශ‍්‍රී ලංකාවේ තත්ත්වය කෙසේවේද ?

කොටි ත‍්‍රස්තවාදය කල විනාශය අද මතක නැත. අද කොරෝනා වෛරසය තරම් යකෙක් නැත. කොටි ත‍්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම අමතකය. කොරෝනා වෛරසයට මුහුණ දෙන මේ අවස්ථාවේ එදා කොටි ත‍්‍රස්තවාදය රටට එල්ල කල අභියෝගය පිලිබදව විමසීමක් කල යුතුය.

කොටි ත‍්‍රස්තවාදය සහ බටහිර බලවේග එදා ක‍්‍රියා කල ආකාරය විමසා බැලීම අත්‍යාවශ්‍යය. කොටි ත‍්‍රස්තවාදීන්ට එවකට හිමිව තිබු යුධ බලය අද නැත. නමුත් කොටි ත‍්‍රස්තවාදීන්ගේ අවශ්‍යතා එදා පාර්ලිමේන්තුව තුල සහ ඉන් පිටත ඉටු කල ද්‍රවිඩ ජාතික සන්ධානය අද විපක්ෂ දේශපාලන භුමියේ ප‍්‍රධාන සාධකයකි. ආර්. සම්බන්ධන්ගේ නායකත්වය යටතේ ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි ත‍්‍රස්තවාදීන් සමග ඉතාමත් සහයෝගයෙන් කටයුතු කල ආකාරය අපට හොදින් මතකය .ශ‍්‍රී ලංකාව මුහුණ දුන් බරපතලම ස්වාභාවික ව්‍යසනය 2004 දෙසැම්බර් අග සිදුවිය. සුනාමි ව්‍යසනයෙන් උතුරු නැගෙනහිර මුහුදුබඩ ප‍්‍රදේශ විනාශවිය. එම අවස්ථාවේදී කොටි සංවිධානය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය එවකට බලයේ සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග රජය කටයුතු කල ආකාරය විමසා බලමු.

සුනාමි ව්‍යසනය කොටි ත‍්‍රස්තවාදීන්ට රජය සමග නව ගිවිසුමකට ඒමට අපුරු අවස්ථාවක් ලබා දුන්නේය.ත‍්‍රස්තවාදීන්ට උඩගෙඩි දීමට සැදී පැහැදී සිටි එවකට ශ‍්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය බටහිර බලවතුන් සහ රාජ්‍ය නොවන සංවිධාන ජාලය වහා ක‍්‍රියාත්මක විය.

2005 ජුනි 24 දින කොදී සහ කිලිනොච්චියේදී අදාළ ගිවිසුමට අත්සන් තැබිණි. ගිවිසුම සාධාරණීකරණය කිරීමට අදාළ පාර්ශව හේතු ඉදිරිපත් කළේය. රජයේ සහ කොටි සංවිධානයේ එකගතාවය උතුරු නැගෙනහිරට අවශ්‍ය ආධාර ලබා දීමට අත්‍යවශ්‍ය බවට දිගින් දිගටම අවධාරණය කෙරිණි. අදාළ ගිවිසුම ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාවට සහ ස්වාධිනභාවයට කිසිදු තර්ජනයක් එල්ල නොකරන බවට ද ඔවුහු සහතික වුහ. කොටි සංවිධානය සමග යෝජිත ගිවිසුමට එකග නොවුනහොත් අනිවාර්යෙන්ම විදේශීය ආධාර රජයේ මැදහත්වීමකින් තොරව ලබා ගැනීමට හැකි බවටද අනතුරු ඇඟවුවේය.

ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග රජයේ පාර්ශවකරුවන් වූ ජවිපෙ සහ ජාතික හෙළ උරුමය රජය- කොටි සංවිධානය අතර ගිවිසුමට විරුද්ධවිය. ආසන 39 හිමිකරගෙන හිටි ජවිපෙ රජයෙන් ඉවත්විය.ගිවිසුමට එරෙහිව ශේෂ්ඨාධිකරණයේ නඩු පැවරිණි.

කුමාරණතුංග ජනාධිපතිවරියට එවැනි ගිවිසුමකට ඇතුළු වීමට ඇති අයිතිය තහවුරු කල ශේෂ්ඨාධිකරණය, අදාළ ගිවිසුම අනුව මුල්‍ය පරිපාලනය කිලිනොච්චියේ ස්ථාපිත එල්.ටි.ටි.ඊ සංවිධානයේ යටතේ පවතින ආයතනයකට පැවරීම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කළේය.

මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ ශේෂ්ඨාධිකරණය ජනාධිපති කුමාරණතුංග සුනාමි සහන මණ්ඩලය පිහිටුවීමට ගිවිසුම් ගත වීම අනුමත කලේ 2002 දී එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ කොටි ත‍්‍රස්තවාදී නායක වේලූ‍ පිල්ලේ ප‍්‍රභාකරන් සමග අත්සන් කල සටන් විරාම ගිවිසුමද සැලකිල්ලට ගැනීමෙනි. 2005දී අග‍්‍රවිනිශ්චයකාර ධුරය දැරුවේ සරත් නන්ද සිල්වාය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් 2005 අගෝස්තුවේදී පාර්ලිමේන්තුවේදී සුනාමි සහන මණ්ඩලය ක‍්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් රජයට චෝදනා කළේය.

2005 ජුනි මාසයේදී සුනාමි සහන මණ්ඩලය පිහිටුවීමේ ගිවිසුමට අත්සන් කල කොටි සංවිධානය එම වසරේ අගෝස්තු මස විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් වෙඩි තබා මරා දැම්මේය. කදිරගාමර් මරා දැමීමෙන් පෙන්නුම් කලේ ඒ වන විට කොටි ත‍්‍රස්තවාදීන් හතරවන ඊලාම් යුද්ධයට සුදානම් වී සිටි බව පැහැදිලිය. කෙසේ වෙතත් ඊට වසරකට පසුව ආරම්භවූ 4 වන ඊලාම් යුද්ධය 2009 මැයි මාසයේදී සාර්ථකව අවසන් කිරීමට රජය සමත් විය.

එසේ නොවුනානම් කොරෝනා වෛරසය අද පහර දෙන්නේ වසර 40යුද්ධයකින් බලවත් ආර්ථික, දේශපාලනික සහ ආරක්ෂක අර්බුධයක හොරවී සිටින රටකටය.

ඉහත සදහන් කල තත්ත්වය තුල කොරෝනා අර්බුධයද ද්‍රවිඩ ත‍්‍රස්තවාදය තව දුරටත් ශක්තිමත් කිරීමට අනිවාර්යයෙන්ම යොදාගනු ඇත. බටහිර බලවතුන් පමණක් නොව ඉන්දියාව පවා 2005 ජුනි මස 24 වන දින අත්සන් කරන ලද සුනාමි සහන මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටියේය. ඉන්දියානු රජය 2005 ජුනි මස නව දිල්ලියේදී නිකුත් කරන ලද නිවේදනයක සදහන් වුයේ සුනාමි සහන මණ්ඩලය පිහිටුවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාමාර්ග තව දුරටත් ශක්තිමත් කරන බැවයි. කොටි ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් ස්ථාවරය බටහිර න්‍යාය පත‍්‍රය ශක්තිමත් කළේය.

තමන් මරා දැමීමට 1999 දෙසැම්බර් මස අග උත්සහ කල වේලූ‍පිල්ලේ ප‍්‍රභාකරන් සමග ගිවිසුම් ගතවීම චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනියට ප‍්‍රශ්නයක් වුයේ නැත.

2005 වන විට අලිමංකඩ පවා අත්පත් කරගෙන යුධමය වශයෙන් ඉතාමත් ශක්තිමත් ස්ථානයක සිටි කොටි සංවිධානයට අවශ්‍ය වුයේ ජාත්‍යන්තර පිළිගැනිමයි. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස 2002 පෙබරවාරි 21 දින සටන් විරාම ගිවිසුමට අත්සන් කිරීමද ප‍්‍රභාකරන්ගේ න්‍යාය පත‍්‍රයට අනුව සිදුවිය. එදා කුමාරතුංග ජනපතිවරිය වික‍්‍රමසිංහ ගත් ඉතාමත් අනුවණ ක‍්‍රියාදාමයට විරුද්ධ විය. එලෙස නොර්වේ රජය හදුන්වා දුන් සටන් විරාම ගිවිසුමට විරුද්ධ වූ ඇය, 2005 ජුනි මාසයේදී වික‍්‍රමසිංහගේ අඩිපාරේ යමින් සුනාමි සහන මණ්ඩලයට අත්සන් තැබිය.

කොටි සංවිධානයට සැමවිටම අවශ්‍ය වුයේ ජාත්‍යන්තර පිළිගැනීම බව පැහැදිලිය. ජාත්‍යන්තර පිළිගැනීම ත‍්‍රස්තවාදය පෝෂණය කළේය. දේශපාලන නායකත්වය ත‍්‍රස්තවාදීන්ට අවශ්‍ය ආකාරයට ක‍්‍රියා කළේය . ජනාධිපතිනි කුමාරණතුංග සුනාමි සහන මණ්ඩලය එකග වීමෙන් ත‍්‍රස්තවාදය පෝෂණය කිරීමට දායක වුවාය.

කොටි ත‍්‍රස්තවාදීන් සමග නොයෙකුත් ආකාරයේ ගිවිසුම් වලට පැවති රජයන් එලඹුනේ එම සංවිධානය සටන්බිමේදී කිසිදා පරාජය කල නොහැකියැයි උපකල්පනය කරය.

දේශපලන නායකත්වයේ පරාජිත මානසිකත්වය ශ‍්‍රී ලංකා රාජ්‍යට ඉතාමත් අනිසි ලෙස බලපෑවේය. රජය අසරණ විය.රාජ්‍යට අහිමි ජාත්‍යන්තර ආරක්ෂක දැළක් ත‍්‍රස්තවාදීන්ට හිමි විය.බටහිර බලවතුන් එල්.ටි ටි.ඊ. ත‍්‍රස්තවාදයට අවශ්‍ය ශක්තිය ලබාදුන්නේය.කොටි ත‍්‍රස්තවාදීන්ට බලවත් ජාත්‍යාන්තර ජාලයක් විය.බටහිර රටවල පාර්ලිමේන්තු ඔවුන්ට විවෘත විය.මෙම මුළු ක‍්‍රියාවලියේ ප‍්‍රධානතම අංගයක් වුයේ එල්.ටි.ටි.ඊ.යට වගකියන දේශපාලන සංවිධානයක ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඇතුළු කිරීමය. ඒ අනුව ආර් සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුතුව ද්‍රවිඩ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේදී ස්ථානගත කළේය. එම සන්ධානය පක්ෂ පහකින් සමන්විත විය.එහි නායකත්වය ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට හිමි විය. ඊට අමතරව ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කල ත‍්‍රස්තවාදයට වග කිව යුතු සංවිධාන තුනක් ද මෙම සන්ධානයට අයත් විය.

සුනාමි ව්‍යසනය හේතුවෙන් කොටි ජාලයට තව පිම්මක් පැනීමට අවස්ථාව ලැබිණි. එදා කොටි ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් සුනාමි සහන මණ්ඩලය උදෙසා ගිවිසුමට අත්සන් කලේ ෂන්මුගලිංගම් රන්ජන්ය. එවකට ඔහු කිලිනොච්චියේ පිහිටි සැලසුම් සහ සංවර්ධන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප‍්‍රධානියා විය. සුනාමි ව්‍යසනය තම බලය වර්ධනය කර ගැනීමට කොටි ත‍්‍රස්තවාදීන් යොදා ගැනීම පිළිබදව ඔවුන්ට දොස් පැවරිය යුතු නැත. නමුත් රාජ්‍ය සහ රජය රැකීමට මහජන ජන්දයෙන් පත්වූ පාර්ශව තම වගකීම පැහැරහැරිම කිසිසේත් පිළිගත නොහැක.

ජනපතිවරණයකදී මෙන්ම මහමැතිවරණයකදී ජනතාවගේ ජන්දයෙන් තේරීපත් වන කිසිදු මහජන නියෝජිතයෙකුට හෝ දේශපාලන පක්ෂයට රාජ්‍ය දියකර හැරීමට අවසරයක් නැත. ප‍්‍රභාකරන් 2001 දී රාජ්‍ය දියකර හැරීමේ මෙහෙයුමේ නව පිටුවක් පෙරලීය. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය නියෝජනය කල ආර් සම්බන්ධන්ගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ ද්‍රවිඩ ජාතික සන්ධානය පාර්ලිමේන්තුව තුල ක‍්‍රියාත්මක කරවිය. ද්‍රවිඩ ජාතික සංධානය පාර්ලිමේන්තුව තුල සහ ඉන් පිටත කොටි ත‍්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටියේය. ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා කොටි සංවිධානය බවද සම්බන්දන් ප‍්‍රකාශ කෙළේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයට කොටි ත‍්‍රස්තවාදීන්ගේ පුර්ණ සහය හිමිවිය. 2004 මහමැතිවරණයේ දී උතුරු නැගෙනහිර බලය ද්‍රවිඩ ජාතික සන්ධානයට හිමිකර දීමට කොටි ත‍්‍රස්තවාදීන්ට හැකිවිය.

යුරෝපා සංගමය නියෝජනය කල මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම, ද්‍රවිඩ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර දිස්ත‍්‍රික්ක කොටි ත‍්‍රස්තවාදීන්ගේ පුර්ණ සහයෝගයෙන් සහ මැදිහත් වීමෙන් බවට නිල වශයෙන් චෝදනා කෙළේය .පාර්ලිමේන්තුව මේ පිලිබදව කිසිදු විමසිමක් කලේ නැත. මැතිවරණ දෙපාර්තමේන්තුව සම්බන්දයෙන්ද කීමට ඇත්තේ ද එයම ය.

සුනාමි සහන මණ්ඩලය හරහා කොටි සංවිධානයට ජාත්‍යාන්තර පිළිගැනීමක් ලබා දීමට ද්‍රවිඩ ජාතික සන්ධානය පාර්ලිමේන්තුව තුල සහ ඉන් පිටත පෙනී සිටියේය. එයද කිසිදු විමසීමකට ලක් වුයේ නැත. කොටි සංවිධානය භූමිදානය කර ඇත. නමුත් ද්‍රවිඩ ජාතික සන්ධානය ක‍්‍රියාත්මකය. තර්ජනය ඉදිරියටත් ඇත .

කොටි සංවිධානයේ විනාශයත් සමගම ද්‍රවිඩ ජාතික සන්ධානය තම බලය ක‍්‍රමක‍්‍රමයෙන් වර්ධනය කර ගත්තේය. ද්‍රවිඩ ජාතික සංවිධානයේ ක‍්‍රියාකාරිත්වය 2009 ට පෙර සහ පසු විමසා බැලිය යුතුය. එලෙසම යුද්ධය අවසන් වූ 2009 මැයි 19 (යුද්ධය අවසන් වූ දිනය) සහ 2010 ජනවාරි 26 (යුද්ධයෙන් පසු පළමුවන ජනපතිවරණය පැවැත්වූ දිනය ) අතර කාලය පිලිබදව වෙනමම විමසා බැලිය යුතුය.ආර් සම්බන්ධන්ගේ කණ්ඩායම 2009 – 2010 අතර කාලය තම දේශපාලන ව්‍යාපෘතිය උපරිම තලයට ගෙන ආවේය. ප‍්‍රතිඵලය භයානකය. සරත් ෆොන්සේකා ජනපතිවරණයෙන් දිනවීමට ද්‍රවිඩ ජාතික සන්ධානය එජාප – ජවිපෙ – ශ‍්‍රී ල මු කො සමග එකතු විය.

ජාත්‍යාන්තර සහයෝගය ඇතිව ගිවිසුම් අත්සන් කිරීමට එල් ටි ටි ඊ ය නැත .නමුත් ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් ඇප කැප වූ ද්‍රවිඩ ජාතක සන්ධානය ඇත. එම සන්ධානය පෙනී සිටින්නේද කොටි ත‍්‍රස්තවාදීන්ගේ න්‍යාය පත‍්‍රයටමය. මිනිස් බෝම්බ කරුවන් ක‍්‍රියාත්මක නොවුනාට රට මුහුණ දෙන තර්ජනය අවසන් නැත. ද්‍රවිඩ මිනිස් බෝම්බ පිපුරුනේ නැතත් තවුහිත් ජමාත් 2019 එල්ල කල මරාගෙන මැරෙන ප‍්‍රහාරය පාස්කු ඉරිදා රටම මලගමක් විය.

ත‍්‍රස්තවාදය 2009 පරාජය කිරීමෙන් පසුව ජනාධිපතිවරණ 3ක් ,2010 ජනවාරි ,2015 ජනවාරි සහ 2019 නොවැම්බර් පැවැත්විණි. ද්‍රවිඩ ජාතක සන්ධානය එම අවස්ථා තුනේදීම එජාපය ඉදිරිපත් කල අපේක්ෂකයාව උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඉහලින්ම ජයග‍්‍රහණය කෙරෙවුවේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ අවස්ථාවාදී සටකපට දේශපාලනය 2010 ජනාධිපතිවරණයේදී හෙලි විය. ද්‍රවිඩ සිවිල් වැසියන් දසදහස් ගණනාවක් වන්නි සටන් පෙරමුණේදී මරා දමා, කාන්තාවන් සිය ගණනාවක් දුෂණය කල බවට හමුදාවට චෝදනා කල ද්‍රවිඩ ජාතික සන්ධානය ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් ජන්ද ව්‍යාපාරයේ යෙදුනේය. ආර් සම්බන්ධන් සමග සන්ධාන ගත වන එජාප ප‍්‍රමුඛ බලවේග භුමියේ තත්ත්වය තේරුම් ගත යුතුය. ද්‍රවිඩ ජාතික සංවිධානයට එජාප ප‍්‍රමුඛ රජයක කැබිනට් තනතුරුවල කිසිදු අවශ්‍යතාවක් නැත. කැබිනට් පදවි වල වටිනාකමක් ඔවුන්ට නැත. ජනාධිපති මෛත‍්‍රිපාල 2018 ඔක්තෝබර් අග ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කළේය.

ජනාධිපතිවරයාගේ එම උත්සාහය අසාර්ථක විය. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ 2018 දෙසැම්බර් මස නැවත අගමැති ධුරය ලබාගත්තේය. නමුත් පාර්ලිමේන්තුවේ සුළු බහුතරය එජාපයට නොමැති විය. ද්‍රවිඩ ජාතික සන්ධානයට එජාප ප‍්‍රමුඛ රජයට එක්වීමට අවස්ථාවක් උදාවිය.

එජාපය ඉදිරිපත් කල ජනාධිපති අපේක්ෂකයන්ට 2010, 2015 සහ 2019 දී සහයෝගය දුන් ද්‍රවිඩ ජාතික සන්ධානය, එජාපය නායකත්වය දෙනු ලබන රජයක කැබිනට් ඇමතිධුර දැරීමේ වරදක් නැත. 2018 ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයෙන් පසුව නැවත පත් වූ එජාප රජයට අවශ්‍ය ස්ථාවරභාවය ලබාදීමේ හැකියාව ද්‍රවිඩ ජාතික සන්ධානයට තිබිණි. නමුත් එය යතාර්ථයක් කලේ නැත.

ජනාධිපති සිරිසේන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යොදාගන කල මෙහෙයුම ව්‍යර්ථ කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජවිපෙ ප‍්‍රබල කාර්යභාරයක් කළේය. ජවිපෙද එජාපය ඉදිරිපත් කල අපේක්ෂකයන් 2010 සහ 2015 ජනපතිවරණ වලදී ජයග‍්‍රහණය කරවීමට වෙර දැරිය. 2010 උත්සාහය අසාර්ථක විය. 2015 මෙහෙයුම සාර්ථක විය. මෛත‍්‍රීපාල සිරිසේන ජනපති විය.

චන්ද්‍රිකා කුමාරණතුංග ජනපතිවරියගේ පරිවාස රජයේ කැබිනට් අමාත්‍යධුර ලබාගත් ජවිපෙට, එජාප ප‍්‍රමුඛ රජයක කැබිනට්ධුර ලබා ගැනීමේ අවස්ථාවක් ද ඇත. දේශපාලන භුමියේ ඕනෑම අවස්ථාවක අදහාගත නොහැකි වෙනස්කම් විය හැක. සජිත් පේ‍්‍රමදාසගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය නම් නව දේශපාලන සන්ධානයක් යථාර්තයක් බවට පත්වීම මිට මාස කීපයකට පෙර ඇත්ත වශයෙන්ම සිහිනයකි . එජාපයේ බෙදීම ද්‍රවිඩ ජාතික සන්ධානය බලවත් අපහසුතාවයකට පත් කරනු ඇත .එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සමග තව දුරටත් කටයුතු කරනවාද ? නැතහොත්, 2020 මහමැතිවරණයේදී එජාපයට ඉදිරියෙන් සිටින සමගි ජන බලවේගයට සහයෝගය දෙනවාද?

ද්‍රවිඩ ජාතික සන්ධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දෙන පාලනයට එරෙහි දේශපාලන බලවේගයේ ප‍්‍රබල කොටස් කරුවෙකි. වර්තමාන ජනපතිවරයාගේ දේශපාලන ස්ථාවරය ද්‍රවිඩ ජාතික සන්ධානයට ඉතාමත් අහිතකරය
ද්‍රවිඩ ජාතික සන්ධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දෙන පාලනයට එරෙහි දේශපාලන බලවේගයේ ප‍්‍රබල කොටස් කරුවෙකි. වර්තමාන ජනපතිවරයාගේ දේශපාලන ස්ථාවරය ද්‍රවිඩ ජාතික සන්ධානයට ඉතාමත් අහිතකරය.ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කල ගෝඨාභය රාජපක්ෂ අදටත් ද්‍රවිඩ ජාතික සන්ධානය සමග විශේෂ සාකච්ජාවක් කර නැත. එසේ සාකච්ජා කිරීමට අවශ්‍යතාවයක්ද නැත.

තව දුරටත් ද්‍රවිඩ ජාතික සන්ධානයට විශේෂ ස්ථානයක් හිමි නැත. ආර් සම්බන්ධන් -එම් ඒ සුමන්තිරන් දෙපළ මෛත‍්‍රීපාල සිරිසේන 2015 ජනාධිපති කරවීමට ප‍්‍රබල දායකත්වයක් ලබා දුන්නේය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම එජාප මෙහෙයුමක් බව අද දෙකඩ වී සිටින එම පක්ෂයේ හිටපු මන්ත‍්‍රී කණ්ඩායමට අමතකය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ දේශපලනය නන්නත්තාර වී ඇත. කොරෝනා වෛරසය හේතුවෙන් මහා මැතිවරණය කල් ගියේය. මාර්තු 2 ප‍්‍රසිද්ධ කල ආකාරයට අප‍්‍රියෙල් 25 දින මහා මැතිවරණය පැවැත්වුවානම් කිසිදු සැකයකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහෙයවන බලයේ සිටින සන්ධානය පහසු ජයක් ලබා ගන්නා බවට සැකයක් නැත.

මාර්තු 2 විසුරුවා හැරිය පාර්ලිමේන්තුව ජුනි 2ට පෙර නැවත රැස්කිරීමට ජනපතිවරයාට බල කරන දේශපාලන පක්ෂ පරාජය වී හමාරය.

ඇත්ත වශයෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අප‍්‍රියෙල් 25 පැවැත්වීමට තිබු මහමැතිවරණය ජුනි 20 පැවැත්වීමට මැතවරණ කොමිසම තීරණය කළේය. එම තීරණය අප‍්‍රියෙල් 20 ප‍්‍රකාශයට පත් කළේය. ඉන් පසුව නාවික හමුදා සාමාජිකයන් 200 පමණ කොරෝනා ආසාදිතයන් බවට පත්වීමත් සමගම ජුනි 20 ජන්දය පැවැත්වීමේ අවස්ථාවද අවදානමකට ලක් වීඇත.කොරෝනා වෛරසය හේතුවෙන් ජුනි 20 දින නියම කර ඇති මහජන්දය නැවතත් කල් දැමීම සිදුවිය හැක.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුව බලාපොරොත්තු වූ දේශපාලන ස්ථාවරත්වය තවදුරටත් රටට අහිමි කර ඇත . ඒ වෙන කිසිවක් නිසා නොව බලාපොරොත්තු වූ පරිදි මහමැතිවරණය පැවැත්වීමට නොහැකිවීමයි. ඇත්ත වශයෙන්ම අවාසනාවකි.

කොටි ත‍්‍රස්තවාදීන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙන සුනාමි සහන මණ්ඩලය ඇටවීමට උත්සහා කලේ සුනාමිය දඩමීමා කරගෙනය. එම ස්වාභාවික ව්‍යසනය බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පෝෂණය කිරීමට යොදා ගත්තේය. සරත් ෆොන්සේකා, මෛත‍්‍රීපාල සිරිසේන සහ සජිත් පේ‍්‍රමදාස වෙනුවෙන් පිලිවෙලින් 2010, 2015 සහ 2019 පෙනී සිටි දේශපාලන බලවේග අද තවත් ස්වාභාවික ව්‍යසනයක් තමන්ට වාසිදායක ලෙස කළමනාකරණය කිරීමට තැත්කරමින් සිටි.



94 Viewers