ගුණරුවන් වාර්තාව හා සම්පත් බැංකුව

ගුණරුවන් වාර්තාව ඉංගිරිසියෙන් ඉල්ලන සිංහලයන් සිටින ලංකාවේ සම්පත් බැංකුවට විරුද්ධ ව ව්‍යාපාරයක් ඇරඹීමට උත්සාහ දැරීම පුදුමයක් නො වෙයි. අනගාරික ධර්මපාලතුමාගෙන් ඇරඹී නූතන සිංහල ජාතික ව්‍යාපාරයට තව බොහෝ දේ දිනාගැනීමට තියෙනවා. තවමත් මෙරට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි රාජ්‍යයක්. මියන්මාරයේ සිටින විට මෙය වඩාත් හොඳින් තේරෙනවා. මියන්මාරයේ ලංකාවේ මෙන් ඉංගිරිසියට වැදගත් තැනක් හිමි වන්නේ නැහැ.

නූතන ජාතික ව්‍යාපාරයට නව පණක් ලැබුණේ අසූවේ දශකයේ. වඩාත් ඉලක්ක කර කිව්වොත් 1983 දී. අර ඊනියා කළු ජූලියත් සමග. ඇත්ත එය දෙමළ ජාතිවාදයට කළු ජූලියක් වුණා. මා කියන්නේ කඩ ගිණි තැබීම එ ජා ප හිතවත් ඇතැමුන් ගෙවල් ගිණි තැබීම, මිනී මැරීම ගැන නො වෙයි. ඒ කිසිවක් ජාතිකවාදීන් මැදිහත් වීමෙන් කෙරුණු දේ නො වෙයි. ප්‍රභාකරන් අවි ආයුධ ගෙන සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව සටනක් පටන් ගෙන ඇති බව සිංහල බෞද්ධයනට තේරුණේ එදා. ඉන් පසුව තමයි නූතන ජාතික ව්‍යාපාරය අලු ගසා නැගිටලා ආවෙ.

මා හිතන විධියට මගේ සංක්‍රමණ කාල පරිච්ඡෙදයත් 1983 දී අවසන් වුණා. ජාතිකවාදියකු බවට පත් වූ මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මගේ ජාතිකවාදී දේශපාලනය ආරම්භ කළා. 1986 පමණ වන විට ගුණදාස අමරසේකර තම ජාතික චින්තන කතාව එළියට දැම්මා. මට මතක හැටියට 1986 නොවැම්බරයේ පමණ පරාක්‍රම කොඩිතුවක්කු රත්නපුර නගර ශාලාවේ රැස්වීමක් සංවිධානය කර තිබුණා. එහි දී අමරසේකර ජාතික චින්තනයක් අවශ්‍ය ඇයි යන මැයෙන් කතාවක් කළා. මා කතා කෙළේ විද්‍යාව ගැනයි. මා එකල බටහිර විද්‍යාව යන්න යොදා ගත්තේ ද කියා මතක නැහැ.

පනස් හයේ සිංහල රාජ්‍ය භාෂාව වී තිබුණත් අසූ ගණන්වලත් සිංහලට තිබුණේ කුඩම්මගේ සැලකිල්ල. අදත් නියම සැලකිල්ලක් නැහැ. සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට තැනක් තිබුණේ නැහැ. ඔවුන්ට ණය ගැනීමේ දී බාධා තිබුණා. ලංකා බැංකුව රජයේ බැංකුව වුවත් ජේ ආර්ගෙ ආණ්ඩුව බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙ නිසා සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ටවත් සාමාන්‍ය සිංහලයන්ටවත් තැනක් ලැබුණෙ නැහැ. 1961 දී පිහිටුවන ලද මහජන බැංකුව නිසා සාමාන්‍ය සිංහලයන්ට බැංකු ගණුදෙනුවල දී පහසුවක් සිදු වූ නමුත් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට පහසුවක් අත් වුණේ නැහැ.

මේ තත්වය තුළ තමයි 1986 දී සම්පත් බැංකුව ඒ නමින් නොවුණත් ආරම්භ වුණෙ. එය සම්පත් නමින් ප්‍රසිද්ධ වූයේ 1988 දී තරම. එහි පළමු සාමාන්‍යාධිකාරි (General Manager) වූයේ මගේ සරසවි මිතුරකු වූ ද මගේ කණ්ඩායමේ සිසුවකු වූ ද ජානක ද සිල්වා. එහි තොරතුරු තාක්‍ෂණය පිළිබඳ පළමු ප්‍රධානියා වූයේ මගේ තවත් මිතුරකු වූ ආර් බී ඒකනායක. එහි ලාංඡනය පිළිබඳ අදහස කරුණාරත්න අබේසේකරගේ සොහොයුරකු වූ ගාමිණී අබේසේකරගෙ ලෙසයි මා අසා ඇත්තේ. ඔහුත් මගේ මිතුරෙක්. ඔවුන් විවිධ පාසල්වල උගත් අය. මා මෙයින් කීමට අදහස් කරන්නේ සම්පත් බැංකුවේ අත්තිවාරම දැමීමට අපේ පරම්පරාවේ අයත් හවුල් වූ බවයි.

සම්පත් බැංකුව ආරම්භ කිරීමට ප්‍රධාන හේතු වූයේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට පහසුකම් සැලැස්සීමට. අප ව්‍යාපාරිකයන් නොවූවත් චින්තන පර්ෂදයේ ගිණුම් සම්පත් බංකුවේ විවෘත කළා. ඒ සම්පත් බැංකුවේ එකම ශඛාව ඩී ආර් විජේවර්ධන මාවතේ කොටුව දුම්රියපොළ අසල තියෙන කාලෙ. අද වන විට සම්පත් බැංකුව ලංකාවේ ප්‍රධාන ම බැංකුවක්. සම්පත් බැංකුව සිංහල බෞද්ධ බැංකුවක් කියා මා කියන්නේ නැහැ. එහෙත් එය ඇරඹුණේ නූතන සිංහල ජාතිකත්වයේ නව පිබිදීමත් සමග.

අසූවේ දශකයේ ඇති වු ඒ නව පිබිදීමට විරුද්ධව අවි අමෝරා ගෙන සටන් වැදි පඬියන් හිටියා. ඔවුන් අතර දයාන් ජයතිලක, ජයදේව උයන්ගොඩ, නිව්ටන් ගුණසිංහ, කාලෝ ෆොන්සේකා (අමරසේකරගේ පරම්පරාවේ) වැනි ඊනියා පතාක යෝධයන් සිටියා. ඔවුන් කිසිම අලුත් සංකල්පයක් ප්‍රවාදයක් තම විෂයට හරි වෙනත් විෂයකට හරි එකතු කළ අය නො වෙයි. එහෙත් ලංකාවට ඔවුන් මහා ඉහළ බුද්ධිමතුන්. එහෙත් එකක් කියන්න ඕන. ඔවුන් අද සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව සකර්බර්ග් සමග සිටින්නන්ට වඩා හැකියාවක් තිබුණ අය.

ඔවුන්ට ආණ්ඩුවේ පුවත්පත්වල ද සහාය ලැබුණා. ඔබ්සර්වර් හා සිළුමිණ පුවත්පත් දයාන් ජයතිලකගේ ලිපි පෙළක් අනුරුද්ධ තිලකසිරි නමින් ජාතිකත්වයට එරෙහි ව පළ කළා. එහෙත් ඔවුන් කිසිවකුටවත් ජාතික මතවාද පරාජය කිරීමට නොහැකි වුණා. අපට දිවයින හා විදුසර පුවත්පත්වල අනුග්‍රහයක් එදා තිබුණු බව කියන්න ඕන. ඒ අමරසේකරගෙ පරම්පරාවෙ එඩ්මන්ඩ් රණසිංහ මහතා නිසා කෙරුණක්. ඔහුට අපේ පරම්පරාවෙ ගාමිණී සුමනසේකරගෙන් අනගි සහයක් ලැබුණා. අද දිවයින එසේ අනුග්‍රහයක් දක්වන්නේ නැහැ.

අද පඬි නැට්ටන්ට එදා පඬියන් කළ දෙයින්වත් දාහෙන් එකක් කරන්න බැහැ. එදාට වඩා අද බටහිර දැනුමක් එකතු වීත් නැහැ. හිතළු නම් තියෙනවා. ඒවා වැඩ කරන හිතළු නො වෙයි. බටහිරයන් ඉන්නේ රේඛීය චින්තනයේ. බටහිර සියලු දැනුම් අවසාන වශයෙන් විශ්වාසය මත රැඳී තියෙන්නේ. විශ්වාසයට එක ම හේතුව නොවූවත් ප්‍රධාන ම හේතුව ඔවුන් රේඛීය චින්තනය මත පදනම් වීම. ඔවුන් කොහෙන් හරි පටන් ගන්න ඕන. ඒ පටන්ගන්න තැන ගැන විශ්වාසයක් ඇති කර ගන්න ඕන. සකර්බර්ග් පඬි නැට්ටන්ට තබා අපේ පරම්පරාවේ හරි අමරසේකරගේ පරම්පරාවේ හරි පඬියන්ටත් ඔය කතා තේරුණේ නැහැ.

ඒ පරම්පරාවල ඇතැමුන් තවමත් හිතන් ඉන්නේ ඔවුන් ජීවත් වන්නේ ඉංගිරිසින්ගේ කාලයේ කියා. ඔවුන්ට අවශ්‍ය නම් සිංහල ඉගෙන ගන්න සෑහෙන කාලයක් තිබුණා. ඔවුන් අදත් කියන්නේ ඔවුන්ට සිංහලට වඩා ඉංගිරිසිය පුළුවන් කියා. මෙය පරගැති බවේ ලක්‍ෂණයක්. ඔවුන් තමයි ගුණරුවන් වාර්තාව ඉංගිරිසියෙන් ඉල්ලන්නෙ. මා හිතන්නෙ තවමත් මඩකලපුව පැත්තෙ පෘතුගීසි කතා කරන අය ඉන්නචා කියා. ඔස්මන්ඩ් ජයරත්න මා සමග වරක් පැවසුවේ ඔහුගේ දෙමව්පියන් පෘතුගිසි දැන සිටි බවත් ඔහුගේ ආච්චිලා සීයලා පෘතුගීසි භාෂාවෙන් කතා බහ කළ බවත්. කවුරු හරි පෘතුගීසි භාෂාවෙන් වාර්තාව ඉල්ලුවොත් මොකද කරන්නෙ. මානව අයිතිවාසිකම් අයිතිකරුවන් මොනවා කරාවි ද?

ඉංගිරිසිය ඉගෙන ගත යුත්තේ ජාත්‍යන්තර ව ඇති දැනුම ලබා ගැනීමට, අප සංස්කරණය (නිර්මාණය) කරන දැනුමක් ජාත්‍යන්තරයට දෙන්න එහෙමත් නැත්නම් සිංහල නොදන්න ඉංගිරිසි දන්නවා යැයි පම්පෝරි ගසන්නන්ට හොඳවයින් දෙකක් කියන්න. පඬි නැට්ටන්ට ඉංගිරිසි අවශ්‍ය වන්නේ බටහිර දැනුමක් එහෙන් මෙහෙන් අහුලන් පොරවල් වෙන්න. ඔවුන් අලුතෙන් සංස්කරණය කරන දැනුමක් නැහැ.

එහෙත් අපේ ව්‍යවස්ථාවෙන්, ඒක චන්ද්‍රිකාගෙ වචනවලින් නම් බහබූත ව්‍යවස්ථාවක්, ඉංගිිරිසියට තැනක් දීලා. එහි දහඅටවැනි වගන්තියට අනුව ඉංගිරිසිය මෙරට සංධාන භාෂාව. මේ සංධාන කියන්නෙ දේශපාලන සංධානවල භාෂාව ඉංගිරිසි කියන්න නො වෙයි. සංධාන කියන වචනයත් හදාගෙන තියෙන්නෙ ඉංගිරිසියෙන්. ලින්ක් ලැන්ග්වේජ් කියන එකට තමයි සංධාන භාෂාව කියන්නෙ. දැන් ප්‍රශ්නය රටේ ඊනියා ලින්ක් ලැන්ග්වේජ් නැත්නම් සංධාන භාෂාව වෙන්න ඕන වැඩි පිරිසකට තේරෙන භාෂාව ද නැත්නම් අඩු පිරිසකට තේරෙන භාෂාව ද කියන එක. මා හිතන්නේ පෘතුගීසිය සංධාන භාෂාව කළා නම් හොඳය කියා. ඒ මගේ නමේ පෘතුගීසි කොටසක් තියෙන හින්ද නො වෙයි. අඩුතරයේ මානව අයිතිවාසිකම් සැලකිල්ලට ගෙන.



3 Viewers