• Home »
  • Sinhala Articles »
  • ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රිවරයා රනිල් වික්‍රමසිංහ සමග පැටලුනා මාධ්‍යයෙන් දැක්කා.

ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රිවරයා රනිල් වික්‍රමසිංහ සමග පැටලුනා මාධ්‍යයෙන් දැක්කා.

පහුගිය දවසක ආයෙමත් ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රිවරයා රනිල් වික්‍රමසිංහ සමග පැටලුනා මාධ්‍යයෙන් දැක්කා.

ගෙවිඳුගේ තර්කය, රනිල් ගෝඨාභයගේ ජනාධිපතිධුරයේ අනුප්‍රාප්තිකයා නිසා 13 බලාත්මක කරන ජනවරමක් රනිල්ට නෑ.රනිල් කරන්න ඕනේ ගෝඨාභයට ලැබුණු ජනවරම අනුව ධූර කාලය අවසන් කිරිම සහ අවශ්‍ය නම් ඊළග ජනාධිපතිවරණයේදි ඔහුට අවශ්‍ය දෙයක් වෙනුවෙන් ජනවරමක් ඉල්ලන්න කියන එක.

රනිල් කියන්නේ කොහොම හරි (ගොල්ෆේස් විරෝධතාවයට පින් සිද්ධ වෙන්න) තමන් කොහොම හරි විධායක ජනාධිපති නිසා තමන්ට විධායක බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන තමන් ඔස්තාජ් කියලා හිතන් ඉන්න රනිල්ට ආ.ක්‍ර.ව්‍ය වේ 03 වගන්තිය අමතක වෙලා. පරමාධිපත්‍ය බලයේ අවසන් අයිතිකරු ජනතාව. ජනවරමකින් තොරව ව්‍යවස්තාව ක්‍රියාත්මක කිරිම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංගණය කිරිමක්. ව්‍යවස්ථාවට බලය එන්නේ ජනවරම නිසා. ජනවරමින් තොර ව්‍යවස්තාව සහ තනතුරු ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේ බලරහිතයි.

ජාතික ලැයිස්තුවේන් රනිල් පාර්ලිමේන්තුවට ආපු විදිහයි ගෙවිඳු ආපු විදිහයි සසඳන්න බෑ. ගෙවිඳු ආවේ , ගෝඨාභයට ලැබුණු ජනවරමත් එක්ක. අනිත් පැත්තට රනිල් ආවේ , පාර්ලීමේන්තුවේ ආසන 90 කට වඩා තිබුනු එජාපයේ සහ  2015-2019 දක්වා පැවති යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැති විදිහට ජනතාව විසින් සහමුලින් ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවක වෙන කාටද හම්බවුන ජාතික ලැයිස්තුවට රිංගලා.

ඊළගට වැදගත් වෙන්නේ 2015-2019 කාලයේදි ජනතාව රනිල් සහ යහපාලන නඩය කරකවලා පොලේ ගහලා සමතලා කරලා දැම්මේ මොකද කියන එක. විවිධ කරුණු අතරේ රනිල් ගෙනාපු ෆෙඩරල් ව්‍යවස්ථා යෝජනාව, මධ්‍ය පරිධිය බලය බෙදීම මගින් පළාත් සභා පූර්ණ ලෙස බලාත්මක කිරිම ඒ අතර ප්‍රධානයි. ගෝඨාභය ජාතිකවාදින් අතර උත්කර්ෂයට එන්නේත් රනිල්ගේ 2015-2019 ගෙනාපු ෆෙඩරල් වෑයමට විරෝධයක් විදිහට.

2015-2019 රනිල්ගේ ආණ්ඩුවේ කේන්ද්‍රීය බල ව්‍යාපෘතිය වුන ෆෙඩරල් ව්‍යවස්ථාව සහමුලින් ප්‍රතික්ෂේප කරලා ආණ්ඩුවක් තිබුණු පක්ෂයක් ජාතික ලැයිස්තුවේ තනි ආසනයකට බැස්සුවම, ඒ ආන්ඩුවේ ප්‍රතිපත්ති ඊට ප්‍රතිවිරුද්ධ ජනමතයෙන් බලයට ආපු ආණ්ඩුවක ජනවරමින් ක්‍රියාත්මක කරන්න ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංගමයේ මහදැනමුත්තට ඉඩ නොතබමු.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව-
ලේකම් දේශප්‍රේමි ජාතික පෙරමුණ



17 Viewers