• Home »
  • Sinhala News »
  • ජනපතිට බලපෑම් කරවන්න තමිල් අරසු කච්චි මන්ත්‍රීවරු ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

ජනපතිට බලපෑම් කරවන්න තමිල් අරසු කච්චි මන්ත්‍රීවරු ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ගැටලුවට තිරසාර විසඳුමක් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව ත් ඒ පිළිබඳ ඉන්දීය රජය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් මෙරට ආණ්ඩුවට බලකර සිටිය යුතු බව ත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාගෙන් ඉල්ලා තිබේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡාවක් පසුගිය දා පැවතිණි.

ඒ, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී ය.

එහිදී, අරසු කච්චි පාර්ලිමේන්තු කණ්ඩායම විසින් මෙම ඉල්ලීම සිදු කරන ලදී.

උතුරේ ධීවර ගැටලුව හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධාණය යොමු කෙරුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් පැවසීය.

උතුරේ දෙමළ ජනතාවට හා එම ප්‍රදේශයේ පවතින ගැටලු සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමටත් එම වාර්තාවේ පිටපතක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ලබා දීමටත් මෙම සාකාච්ඡාවේදී එකඟතාවකට පැමිණි බව ද ඔහු සදහන් කළේ ය.

ශානක්‍යන් මන්ත්‍රීවරයා පැවසුවේ, පැවති ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව ද මෙහිදී වැඩිදුරට ත් සාකච්ඡා කෙරුණු බව ය.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා නායකයින් අතර ඇතිව තිබෙන බෙදීම් හා විරසකයන් හේතුවෙන් එම පක්ෂවලට මහ මැතිවරණයේදි පසුබෑම් හා පරාජයන්ට ලක්වීමට හේතු වූ බව මෙම සාකච්ඡාවේදී ඉන්දීය මහ කොමසාරිස්වරයා පෙන්වා දී තිබේ.

ලක්ෂ්මී ජයකොඩි



17 Viewers