ජව්පේ ,ජාජබලවේගය සහ ජව්පේ


ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාව තුල ඇතිවි තිබෙන පිළිකුල සහ විරෝධතාව නිසා ජනමතය යම් ප්‍රමාණයක් ජාජබලවේගය වෙත නැඹුරු වී ඇත.
2015, 2019 දීත් මෙරට ජනතාව මහා මැතිවරණයේදි චන්දය ලබාදිමේදි “වෙනස” තීරණාත්මක සාධකයක් විය. බැරැක් ඔබාමාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වල සිට  “Change”  ලෝකය පුරා ඉතා ජනප්‍රිය  මැතිවරණ තේමා පාඨයක් බවට පත් විය. 2015 දිත් 2019 දීත් වෙනස තුල කේන්ද්‍රිය මාතෘකාවන් බවට පත්වුයේ අල්ලස ,දූෂණය, නාස්තිය සහ විලම්භිත දේශපාලන සංස්කෘතියයි. නමුත් 2015 දි මෛත්‍රී පාලනයෙන්  අපේක්ෂා කල යහපාලනය සහ 2019 දි ගෝඨාභයගෙන් අපේක්ෂා කල දේශපාලන සහ ආර්ථික විනය යථාර්ථයක් බවට පත් නොවීමෙන් 2023-2024 වන විට දූෂණයට එරෙහි සටන් පාඨයට ඇති ඉල්ලුම දැඩිව දැනෙන්නට විය.2015 දී ජනමතය හැසිර වු ගාමක බලවේගය බවට පත්වුයේ රාජ්‍ය නොවන සංවිධානයි.  දූෂණයට එරෙහිව මතුපිටින් පෙන්වන ලද සටන් පාඨවලට යටින් පැවති බලය බෙදිම, සංහිදියාව, යුධ අපරාධ වැනි බටහිරට නතුවු රාජ්‍ය නොවන සංවිධානවල සාම්ප්‍රදායික දේශපාලනික උවමනාවන්  යහපාලන සමය තුල දූෂණයට එරෙහිව  අරගලයට වඩා ඉස්මතුව ආවේය. 2019 දි ජනවරමේ ගාමක බලය වුයේ ජාතිකවාදි ව්‍යාපාරයයි. කෙසේ වුවද ජාතිකවාදි ව්‍යාපාරය ගෝඨාභය කෙරෙහි සිය ග්‍රහණය පවත්වාගෙන යෑමට අසමත් විය.

2015 දිත් 2019 දිත් ජනවරම දිවයින පුරා දීප ව්‍යාප්ත ජයග්‍රහණයක් බවට පත්කලේ මෙරට මධ්‍යම පන්තියයි. මේ මධ්‍යම පන්තිය යනු කන්නන්ගර නිදහස් අධ්‍යාපනයෙන් ඉහලට ඔසවන ලද මෙරට සාමාන්‍ය ජනතාවගේ සාතිශය බහුතරයයි.  කන්නන්ගර නිදහස් අධ්‍යාපනයෙන් ඔසවා තබන ලද පරම්පරා අවධි තුනක් සිටිති. 1956 පරපුර 1977 පරපුර සහ  2000 සහස්‍ර පරපුර හෙවත් ඔවුන් විසින්ම හඳුන්වාදෙන ආකාරයට රෝන්ග් ජෙනරේෂණයයි. 1977 විවෘත ආර්ථිකයේ දරුවෝ 1956 පරම්පරාවෙන් අතිශයින් වෙනස් වෙති. ඔවුන් නිදහස් අධ්‍යාපනයෙන් සමාජයේ ඉදිරියට පැමිණි අතර තෘතියක අධ්‍යාපනය හරහා ඉංග්‍රීසි දැනුමත් සේවා ආර්ථිකයේ රැකියා නියුක්තිය මගින් සුදු කරපටි රක්ෂාවලින් ඔවුන්ගේ ආකල්ප බටහිරට නැඹුරු කෙර්නි. රටට ආදරය කරන ගමන් බටහිර රටවල නාගරික සංවර්ධනයට මනෝබද්ධව ජිවත් වෙන විවෘත ආර්ථිකයේ දරුවෝ  ලිබරල් සංකල්ප වු නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් දේශපාලන වටිනාකම් ලෙස දකිති.විවෘත ආර්ථිකයේ පැවත්ම වෙනුවෙන් නිර්මාණය කරන ලද පාරිභෝගිකවාදයේ අවිඤ්ඤාණික ගොදුරු බවට ඔවුහු පත්වුහ. සහස්‍ර පරපුර විවෘත ආර්ථිකයේ දරුවන්ගේ මධ්‍යම පාන්තික ස්ථාවරත්වයේ ප්‍රතිපලයයි.  තොරතුරු තාක්ෂණය සහ ජාත්‍යන්තර පාසල් සහ දේශියව  ඇති ජාත්‍යන්තර උපාධි ආයතන නිසා ඔවුන්ගේ හුරුබස ඉංග්‍රිසිය බවටත් විදෙස්  විෂය නිර්දේශය නිසා මේ පොළවට නොපැහෙන පිරිසක් බවටත් සහස්‍ර පරපුර පත්ව ඇත. 2015 දි සහ 2020  දිත් තීරණාත්මක බලය වුයේ 77 විවෘත ආර්ථික පරපුරයි. ගෝල්ෆේස් අරගලය තුල සහ්‍රස පරපුර තීරණාත්මක වුවත් දීපව්‍යාප්ත මැතිවරණයකදි 2025දිත් තීරණාත්මක වනුයේ 77 විවෘත ආර්ථිකයේ පරපුරයි.

අද රට මුහුණදෙන ආර්ථික අර්බුදයේ පිතෘ ජේ.ආර් ජයවර්ධන හඳුන්වා දුන්1977 විවෘත ආර්ථිකයයි.  අපනයන ඉක්මවා යන ආනයන, දේශිය නිශ්පාදනය වෙනුවට සාපේක්ෂ වාසි මත පදනම් වු විදේශිය භාණ්ඩ, බදු සහන මගින් ගෙවුම් ශේෂ හිඟය  අර්බුදය උග්‍ර කරවීමේ ප්‍රබලතම මූලාශ්‍රයකි.  අනෙක් කරුණ වුයේ ආදායම් උත්පාදනයකින් තොරව, ආදායම් ඉපැයිමක් නොකරන මහා පරිමාණ ව්‍යපෘති සඳහා ණය මත කරන ලද ආයෝජනයි. අධිවේගි මාර්හ, වරාය, ගුවන් තොටුපල, ක්‍රිඩාංගන, උද්‍යාන විවෘත ආර්ථිකයේ දරුවන්ගේ මනෝබද්ධ සිහිනයේම කොටස් වෙති. ගෝඨාභයගේ නාගරික සංවර්ධනයට ව්‍යායාම ක්‍රිඩාංගන සමග 77 පරපුරට ආරෝවක් නැත.අරගලය පැන නගින්නේ ගෝඨාභයගේ පාලන කාලය තුල විවෘත ආර්ථිකය විසින් නිර්මාණය කල මධ්‍යම පාන්තික ජීවිතය ගෑස් හිඟය, විදුලි කප්පාදුව සහ ඉන්ධන හිඟය මගින් අභියෝගයට ලක් කිරිම නිසායි. අරගලයේ ප්‍රතිවිලෝමය අහිමි වු මධ්‍යම පාන්තික ජීවිතය යළි දිනාගැනිමයි.

අප මුලසිටම කියා සිටියේ ගෝල්ෆේස් විරෝධතාව ගෝඨා ගෝ හෝම් සටන් පාඨයට සීමා කිරිම තුල අර්බුදයේ මුලය සහ එහි සැබැ ගැඹුර ස්පර්ශ කිරිමට ජනතාවට තිබෙන අවස්ථාව අහිමි කරන බවයි.  වෙනසක් සඳහා අත්‍යාවශ්‍ය වන දේශපාලන විඤ්ඤාණය ගොඩනැගීම එයින් වැලකිණි. සාම්ප්‍රදායික පටු දේශපාලන උවමනාවන් සහිත කන්ඩායම් විසින් අර්බුදයේ සමස්තය රාජපක්ෂවරුන්ගේ දූෂණයට ඌණනය කිරිමෙන් ආර්ථිකයේ ආයතනික, පද්ධතිමය සහ ප්‍රතිපත්ති මගින් ඇති කරන අර්බුදය පිළිබඳව සවිඤ්ඤාණිකත්වය යටපත් කිරිමෙන් පරිණත දේශපාලන වෙනසකට සමාජය සුදානම් කර නැත.

ජවිපේට මේ වනවිට සන්තර්පණය කිරිමට සිදුව ඇත්තේ පුළුල් ආර්ථිකමය ආයතනික සහ පද්ධතිමය වෙනසක් සඳහා සුදානම් නොවු 2015 දි 2019 දි මැතිවරණ ජයග්‍රහණ සඳහා බර යොදනු ලැබු විවෘත ආර්ථිකයේ මධ්‍යම පන්තියයි. ජාජබලවේගය වටා එක්ව සිටින අතිමහත් වෘත්තිකයන් සහ විද්වතුන් මේ කුලකය නියෝජනය කරයි. ජව්පේ මුල් ආර්ථික ප්‍රතිපත්ති සහ මධ්‍යම පන්තිය අතර මතවාදි විෂමතාව සහස්‍ර පරපුර විසින් තවත් උග්‍රකරවනු ඇත. ගෝඨාභය සහ ඔහු ඔසවා තැබු මධ්‍යම පන්තියේ පිළිඹුඹුව වු වියත්මග සමග පොහොට්ටුවට තිබුනේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් ගැටුමක් පමණි. ආර්ථිකය සම්බන්ධයෙන් රීගේනින් ශ්‍රි ලංකා වැඩ සටහන ඔවුන් දෙපාර්ශවය අතර එකඟතාවක් පැවතිණි.

රාජ්‍ය ව්‍යවසායකත්වය සහිත මධ්‍යගත ආර්ථික සැලසුම් ක්‍රමයක සිට අද අනුර දිසානයක කතා කරන නිදහස් අර්ථ ක්‍රමය දක්වා වෙනස් වීමට ජවිපෙට බලකර  ඇත්තේ ඉහත කී විවෘත ආර්ථිකයේ මධ්‍යම පන්තිය සහ සහස්‍ර පරපුරයි. “අපේ බලයක් යටතේ රජය වගකීම දරන්නේ බලශක්තියට සහ අධ්‍යාපනයට පමණක් බවත් රජයේ වගකීම ආයෝජන ශක්තිමත් කරන යටිතල පහසුකම් වර්ධනය කිරිමබවත්    සෙසු ආර්ථික කටයුතු වෙළඳපල අනුව තීරණය වීමට ඉඩ හරින බව” ත් කිමෙන් අනුර පෙන්වා දෙන්නේ ජාජබලවේගය යටතේ ආණ්ඩුවක ලිබරල්වාදි ස්වභාවයයි. ජාජාබලවේගයේ අයිසීන් කරන ලද මධ්‍යම පන්තිය සහ එහි බර අදින ගාමක බලවේගය වන ජව්පේ කේඩරය අතර ඇති ගැටුම ජාජබලවේගයේ දේශපාලන ඉරණම තීරණය කරනු ඇත. 2015 සහා 2020 අත්දැකිම් තහවුරු කරන්නේ මධ්‍යම පන්තිය ඉතා ඉක්මනින් ඔවුන් ඇලෙන දේශපාලන කඳවුරෙන් ගැලවෙන බවයි.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව-



15 Viewers