• Home »
  • Sinhala Articles »
  • ජිනීවා පරාජය ජයග්‍රහණයක් බවට පත් කරන්නේ කෙසේද?

ජිනීවා පරාජය ජයග්‍රහණයක් බවට පත් කරන්නේ කෙසේද?

මේ වන විට විවිධ විද්වතුන් යැයි කියා ගන්නා පිරිස් ජිනීවාහිදී පැවති මානව හිමිකම් 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව පරාජය කිරීමට නොහැකි වීම වර්තමාන රජයේ දුර්වලතාවයක් ලෙස හුවා දැක්වීමට අසරණ උත්සාහයක් ගනිමින් සිටින බව පෙනේ. ඒ අතරින් යම් මුග්ධයින් පිරිසකට අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට නොහැකි වන්නේ අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට යෝජනා කිරීමය. ඔවුන් විසින් පෙන්වීමට උත්සාහ කරනු ලබන්නේ මෙය අළුත් තත්වයක් බවටය. නමුත් 2015 දී ශ්‍රී ලංකාවට එරෙහිව බරපතලම මහකොමසාරිස් වාර්තාව සහ 30/1 යෝජනාව ඉදිරිපත් කිරීමට මුල් වූ 2014 දී ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකාවට ලබා ගත හැකිවූයේ ඡන්ද 12ක් පමණි. බටහිර රටවල බලපෑම සහ ඉන්දියාව වැනි රටවල් මධ්‍යස්ථ බව පෙන්වමින් ශ්‍රී ලංකාවට එරෙහි රහසිගත මෙහෙයුම් දියත් කිරීම ඊට හේතුවන බව   පැහැදිලිව දැක ගත හැක.

ඊට අදාල යථාර්තය හෙවත් ජිනීවා ක්‍රියාවලිය යනු නිව්යෝක් සහ දිල්ලි නුවර සිට දියත්වන ක්‍රියාවලියේ දිගුවක් මිස ශ්‍රී ලංකාව තුල මානව හිමිකම් තහවුරු කිරීමේ ක්‍රියාවලියක් නොවන බව තේරුම් නොගැනීම නිසා එවැනි විශ්ලේෂණ ඉදිරිපත්වන බව පැහැදිලිය. එසේ නැතහොත් ඒ බව සැගවීම සඳහා  එනම් මානව හිමිකම් කෙවිට යනු ප්‍රභාකරන්ගේ තුවක්කුව වෙනුවට යොදා ගන්නා උපාංගයක් බව සැඟවීම සඳහා ඒ ආකාරයේ බොළඳ තර්ක ඉදිරිපත් කරන බව පිළිගත හැක. එදා 2009 දී ශ්‍රී ලංකාවේ රජයේ හමුදා විසින් ප්‍රභාකරන්ගේ නීතිවිරෝධී හමුදාව පරාජය කොට ලක්ෂ 3කට ආසන්න සිවිල් ජනතාව සහ ළමා සොල්දාදුවන් මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම සාර්ථකව අවසන් කළ පසුව ඊට සුභ පැතීම වෙනුවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජයග්‍රහණයෙන් දින 3ක් ඇතුලත ශ්‍රී ලංකාවට කඩා වැදුනි. බංකි මූන් මහතා එසේ බරපතල රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ කරන්නේ ප්‍රධාන වශයෙන් අවශ්‍යතාවයන් තුනක් මුල් කරගෙනය.

පළමුවැන්න ජයග්‍රාහකයා විසින් පරාජිතයා විනිශ්චයට ලක් කිරීම වැලැක්වීමය. එනම් දේශීය යුද අපරාධ යාන්ත්‍රණයක් පිහිටුවා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සහ ටී.එන්.ඒ පක්ෂයේ ක්‍රියාකාරිකයන් විසින් සිදු කළ යුද අපරාධ පිළිබඳව විමර්ශනය කොට දඩුවම් දීම වැලැක්වීමය. එහිදී යම් හමුදා භටයකු විසින් හමුදාවේ නිළ නියෝග වලට පිටින් පුද්ගලිකව යම් අපරාධයක් සිදු කර ඇත්නම් ඒ පිළිබඳවද විභාග කිරීම මගින් ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යාම වැලැක්වීමටද හැකියාව ලැබේ. එම ක්‍රියාවලිය මගින් ආරක්ෂක හමුදාව පද්ධතියක් ලෙස යුද අපරාධ සිදු නොකළ බව දේශීයව තහවුරු කිරීමටද හැකියාව ලැබේ.  එසේ වූවානම් බංකි මූන්ලාට යුද අපරාධ චෝදනා ජාත්‍යන්තරකරණය කිරීමට හැකියාව ලැබෙන්නේ නැත. බංකි මූන්ගේ දෙවන අවශ්‍යතාවය හෙවත් අරමුණ වූයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානවහිමිකම් න්‍යායපත්‍රයට යටත්කර ගැනීම මගින් ප්‍රභාකරන් නැවැත්වූ තැනින් බෙදුම්වාදී  මාර්ග සිතියම ඔස්සේ ඉදිරියට යාමය.

තුන්වන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ මහජනයා අතර වරදකාරී මනෝභාවයක් තහවුරු කිරීමය. එනම් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා දෙමළ ජනතාවට එරෙහිව යුද අපරාධ සිදු කළ බැවින් ඊට පිළියම් ලෙස  සහ එම වරද නිවරදි කිරීම සඳහා බෙදුම්වාදී ඉල්ලීම් වලට නම්‍යශීලී විය යුතු බවට මනෝභාවයක් ගොඩනැගීමය. එම වරදකාරී සමාජ මනෝභාවය එනම් දෙමළ ජනතාව වෙනුවෙන් කුමක්හෝ දිය යුතුය යන තර්කය ඉහත සඳහන් කළ දෙවන අරමුණ ඉටු කර ගැනීම සඳහා වන මූලික පූර්ව කොන්දේසියකි. බංකි මූන් කඩා වැදීමෙන් පසුව පැවැත්වූ පළමු ජිනීවා සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වූ යෝජනාවට එරෙහිව ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කෙරිනි. එවකට ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේ තානාපතිවරයා ලෙස කටයතු කළ ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ විශේෂ මැදිහත්වීම මත එම යෝජනාව ඉදිරිපත් වුවද ඒ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් පෙළඹවීම සිදු කළ බව රහසක් නොවේ. එම ඊනියා ප්‍රති යෝජනාව මගින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එකඟ විය. එම යෝජනාව ජයග්‍රහණය කරන්නේ එම සුවිශේෂී එකගතාවය මතය.

ඒ අනුව එදා 2009දී ශ්‍රී ලංකාව විසින් සෙසු රටවල එකඟතාවයෙන් ඉදිරිපත් කළ යෝජනාව ජයග්‍රහණය කරන ලබන්නේ ඒ මගින් බෙදුම්වාදී න්‍යායපත්‍රයේ මූලික පූර්ව කොන්දේසියක් ඉටු කරන නිසා බව ඉතා පැහැදිලිය.  නමුත් ඉන් පසුව එම යෝජනාව මගින් පොරොන්දු වූ ආකාරයට 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට මහින්ද රාජපක්ෂ පාලනය කටයුතු කළේ නැත. එම ආණ්ඩුවේ සිටි යම් පාර්ශව වලට එවැනි උවමනාවක් සහ පෙළඹවීමක් තිබුණද ඒ සඳහා රට තුළ දේශපාලන වාතාවරණයක් තිබුනේ නැත. විශේෂයෙන්ම යුද ජයග්‍රහණයෙන් පසු 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙසට ජාතිකවාදී බලවේග විසින් ප්‍රභල ඉල්ලීම් ඉදිරිපත් කළ බැවිනි.  බෙදුම්වාදී බලවේග විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතුය යන ඉල්ලීම ඉදිරිපත් කරන්නේ එම සංශෝධනයේ මූලික අරමුණ ඉටුකර ගැනීම වැලැක්වීම සදහා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් පනවා තිබීම නිසාය.

එවැනි ව්‍යවස්ථාමය බාධක ප්‍රධාන වශයෙන් 05ක් හදුනා ගත හැක. එදා ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ප්‍රභල ප්‍රචණ්ඩ විරෝධය හමුවේ ජනමත විචාරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවට තර්ක ඉදිරිපත් කරමින් ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට ඉන්දියානු නියෝජිතයන් හමුවේ එම බාධක පැනවීම සාධාරණය කිරීමට හැකි විය.   එසේ නොවුනානම්, එනම් එම බාධක නොමැතිව 13 වන සංශෝධනය සම්මත කළානම් ඉතා කෙටි කලකදී ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් සකස් කළ මාර්ග සිතියම ඔස්සේ ගමන අවසන් කිරීමට හැකි වනු ඇත. ඒ අනුව එසේ වූවානම් ශ්‍රී ලාංකික ජාතිය අද වන විට සුඩාන වැසියන් මෙන් ගැටුම්කාරී දේශ සීමාවක දෙපස සිට මරා ගන්නා අවාසනාවන්ත ජන සමූහයක් වන බවට කිසිදු සැකයක් නැත.

බෙදුම්වාදී උපාය මාර්ගික මාර්ග සිතියමට අනුව ආයුධ බලය අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධනය සඳහා එනම් පළමු වටයේදී 13 වැනි සංශෝධනය පවතින ව්‍යවස්ථාවට ඇතුල් කිරීම සහ දෙවන වටයේදී ඊට එරෙහිව බාධක ඉවත් කිරීම සඳහා බලකිරීම සඳහාය. ඉන්දියානු මැදිහත්වීම මත පළමු වටය අවසන් කළද දෙවන වටය අවසන් කිරීමේ මෙහෙයුමේ දී ඉන්දියාවට මෙන්ම ප්‍රභාකරන්ටද මූලික අභියෝග දෙකකට මුහුණ දීමට සිදුවිය. ඉන්දියාව පැත්තෙන් ගත්විට ප්‍රභාකරන් නොමැති ඊළමක් බිහි කිරීම ඔවුන් විසින් මුහුණ දුන් අභියෝගය බව ඉතා පැහැදිළිය. ඉන්දියාව ප්‍රභාකරන්ගේ භූමිකාව අවසන් කිරීමට එකඟවන්නේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා එනම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ අත කරකැවීම සඳහා යොදා ගන්නා  උපාංග වලට අනුකූලවය. ප්‍රභාකරන්ගේ පැත්තෙන් ගත්විට ආයුධ අතහැර පළාත් සභාවක මහ ඇමති ලෙස වාඩිවීමේ හැකියාවක් තිබුණේ නැත. ඒ නිසා බටහිර න්‍යාය පත්‍රය තුළ එම අභියෝග දෙකම ජයගන්නා සැලසුමක් තිබුණි. එනම් අවසාන අවස්ථාවේදී යුද්ධය නතර කොට ඊනියා සාම එකඟතාවයක් සහ මැදිහත්වීමක් තුල ආයුධ අත නොමැති ප්‍රභාකරන් යොදා ගනිමින් බෙදුම්වාදී මාර්ග සිතියම ඔස්සේ ඉතිරි සැතපුම් කිහිපය තරණය කිරීමය.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන පෙළගැසීම් වලට සහ ආරක්ෂක හමුදා ඒ වන විට යුද මාර්ග සිතියමේ ඉදිරියට ගොස් තිබූ දුර අනුව යුද්ධය නතර කොට බටහිර න්‍යාය පත්‍රයට ගොදුරු වීමට කිසිඳු පාලකයෙකුට දේශපාලන අවකාශයක් තිබුණේ නැත. ඒ අනුව යුද්ධය අවසන් කිරීමෙන් පසුව ප්‍රභාකරන් නොමැති ඊළමක් සඳහා වන උපාය මාර්ගික සැලසුම මානව හිමිකම් වේදිකාව මත දිගහරිනු ලැබීය. එම සැලසුමට අනුව ඉහත සඳහන් කළ ආකාරයට ප්‍රභාකරන්ගේ කුවක්කුව වෙනුවට මානව හිමිකම් කෙවිට ඉතා ප්‍රභල ලෙස යොදා ගන්නා ආකාරය පසුගිය කාලය තුළ ඉතා හොඳින් දැක ගත හැකි විය. එම ක්‍රියාවලිය තුළ ප්‍රධාන උපාය මාර්ගික අරමුණු 5 ක් හඳුනාගත හැක. ඉන් පළමු වැන්න 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයකට පෙළඹවීමය. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යෝජනා සියල්ලම තුළ එම පෙළඹවීම දක්නට ලැබුණි. හිටපු අමාත්‍ය මංගල සමරවීම මහතා ස්තූති පූර්වකව එකඟ වූ 30/1 යෝජනාව තුල එම පෙළඹවීම ඉතා දැඩි ලෙස පිළිබිඹු විය. මෙවර ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කළ 46/1 යෝජනාව මඟින්ද 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම අවධාරණය කොට තිබුණි. ඊට අමතරව ඉන්දියාවේ ජිනීවා තානාපතිවරයා විසින් ද එම කරුණු අවධාරණය කරන ලදි.

ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග ජිනීවා ක්‍රියාන්විතය හරහා ඉටු කරන ගැනීමට උත්සාහ කරන දෙවන උපාය මාර්ගික අරමුණ වනනේ ආරක්ෂක හමුදා දුර්වල කිරීම සහ දුර්මුඛ කිරීමය. පසුගිය 30/1 යෝජනාව මඟින් ආරක්ෂක හමුදාවලට එරෙහිව දෙමුහුන් අධිකරණයක් පිහිටුවීම, අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥාප්ති පනත සහ අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කිරීම මෙන්ම තෝරා ගත් හමුදා නිලධාරීන්ට පරිපාලන වශයෙන් දඬුවම් කිරීම ආදී ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය පොළඹවනු ලැබීය. එම ක්‍රියාවලිය තුළ ඉතා බරපතල ලෙස රාජ්‍ය ඔත්තු සේවා අඩපණ කරනු ලැබීය. නැගෙනහිර පළාතේ ඔත්තුසේවා කටයුතු මෙහෙයවූ ගිරිතලේ හමුදා ඔත්තුසේවා ඒකකය වසා දැමීම සහරාන්ලාට මහත් ආශිර්වාදයක් විය.   ඒ අතරින් දෙමුහුන් අධිකරණය ක්‍රියාත්මක නොවුනද අතුරුදහන් කිරීම වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥාප්ති පනත යටතේ යුද අපරාධ, විශේෂයෙන්ම අතුරුදහන්වීම් වලට අදාළ අපරාධ විභාග කිරීම සඳහා මහාධිකරණයක් පිහිටුවනු ලැබීය. මෙවර 46/1 යෝජනාව මඟින් එම ක්‍රියාවලියේ දිගුවක් ලෙස යුද අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් යෝජනා කරනු ලැබිය. එම ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පෙන්වමින් යම් බියවැද්දීමක් කළද එය ආරක්ෂක හමුදා මහා පරිමානයෙන් බිඳ වැට්ටවීම සඳහා යොදා ගත නොහැක. උදාහරණයක් ලෙස කාම්බෝජයේ වසර 14 ක් පැවති ජාත්‍යන්තර අපරාධ අධිකරණ ක්‍රියාවලිය මඟින් දඬුවම් කළ හැකි වූයේ තිදෙනෙකුට පමණි.

නමුත් අතුරුදහන්වූවන්ගේ කාර්යාලය මඟින් සාක්ෂි ආඥාපනත අදාළ නොවන ලෙස ව්‍යාජ පරීක්ෂණ පවත්වා බොරු චෝදනා මත ආරක්ෂක හමුදා ප්‍රධානීන් රාශියක් චූදිතයින් බවට පත් කිරීමේ හැකියාව ඇත. දරුස්මාත් වාර්තාව මඟින් බොරු චෝදනා එල්ල කිරීමට මුල් වූ යස්මින් සුකා ප්‍රකාශ කරන ආකාරයට ඇය සතුව ආරක්ෂක හමුදා නිලධාරීන් 57 දෙනෙකුට එරෙහිව ගොණු කළ චෝදනා පත්‍ර ඇත. අතුරුදහන් කාර්යාලය මඟින් ඒවා අනුමත කිරීම මඟින් එම නිලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසේ. එවිට විදේශීය රටවලදී ඔවුන්ට විරුද්ධව නඩු පවරා ඔවුන් පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටීමේ හැකියාව ලැබේ. ඒ සඳහා පසුගිය රජය විසින් පිටුවහල් කිරීමට අදාළ නීති දෙකක් සංශෝධනය කරනු ලැබීය. ඊට අමතරව එම නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට විදේශ සංචාර සඳහා ඉඩ නොලැබෙන අතර විදේශීය රටවල යම් දේපළ ඇත්නම් ඒවා රාජ්‍ය සන්තක කිරීමේ හැකියාවද ලැබේ. එසේ කරන ලෙස 2021 මහකොමසාරිස් වාර්තාව මගින් සෙසු රටවලට අවධාරණය කරනු ලැබීය. එවැනි තත්වයකදී සමස්ථ ආරක්ෂක හමුදා පද්ධතිය තුලම බරපතල මානසික කඩා වැටීමක් සිදුවේ. බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම් කිහිපය තුල ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිතව ගැටුම් ඇති කිරීමේදී එම තත්වය පූර්ව කොන්දේසියක් වන  බවට විවාදයක් නැත.

බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම් කිහිපය තුල ඉටු කර ගැනීමට අවශ්‍යවන තුන්වන උපාය මාර්ගික අරමුණ වන්නේ රට තුළ ජාත‍්‍යන්තර මැදිහත් වීමකට පාර කපා ගැනීමය. ඊනියා සත්‍ය සේවීමේ කොමිසම මඟින් සහ විවිධ බලලත් නිලධාරීන් රට තුලට එවීම මඟින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන්නේ එම අරමුණ බව ඉතා පැහැදිලිය. හතරවන අරමුණ වන්නේ බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම තුල සිදුවන ගැටුම්වලදී ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වන ආකාරයට නීති පද්ධතිය දුර්වල කිරීම සහ වෙනත් සොයා බැලීම් යාන්ත්‍රණ පිහිටුවීමය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට යෝජනා වන්නේ ඒ සඳහාය. මානව හිමිකම් ක්‍රියාවලිය තුල බෙදුම්වාදී බලවේග විසින් ඉටුකර ගැනීමට අපේක්ෂා කරන පස්වැනි අරමුණ වන්නේ රාජ්‍යය සහ ජනතාව මානසිකව යටත් කිරීමය. එනම් ජාත්‍යන්තර පීඩනයට යටත්වීම හැර අන් විකල්පයක් නොමැති බවට මනෝභාවය සකස් කිරීමය. එය ප්‍රභල මානසික යුධ උපක්‍රමයකි. යුද්ධයේ අවසාන භාගයේදී එවැනි උපාංග යොදාගනු ලැබුවද ඒවා සාර්ථක වූයේ නැත. එසේ වුවත් එම උපාය මාර්ගයේ වලංගු භාවය තවදුරටත් පවතින බවට කිසිදු සැකයක් නැත.

ඒ අනුව මානව හිමිකම් කෙවිටට මුහුණ දීම සහ බෙදුම්වාදී න්‍යාය පත්‍රය පරාජය කිරීම යනු එකම සටනක පෙරමුණු දෙකක් බව පිළිගැනීමට සිදුවේ. ඊට මුහුණ දීමේදී දැනට භාවිතාවන ආරක්ෂාකාරී ප්‍රවේශය වෙනුවට ප්‍රහාරාත්මක ප්‍රවේශයකට යොමු වීම ඉතා තීරණාත්මකව වැදගත් වේ. එම ප්‍රවේශය ආරම්භ කළ හැක්කේ ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල කෙරෙන යුද අපරාධ චෝදනා වලට කරුණුමය සාක්ෂි සහ නීතිමය සාක්ෂි ඉදිරිපත් කරමින් පිළිතුරු බැඳීම සඳහා අවස්ථාව ඉල්ලා සිටීම මඟිනි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ලේඛන අති බහුතරයක් ජාතික සංවිධාන සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ගොනුකොට ඇත. අතුරුදහන් වීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට අදාළ දෙවන බල අධිකාරිය මඟින් කැඳවූ ඉතා විශිෂ්ඨ ජාත්‍යන්තර විද්වතුන් 05 දෙනෙකු විසින් සකස් කළ වාර්තා 06 ක් සහ එංගලන්තයේ නේස්බි සාමිවරයා විසින් ඉදිරිපත් කරන සාක්ෂිද ඒ සඳහා යොදා ගත හැක. එතරම් බලවත් සහ යුක්ති සහගත විත්ති වාචිකයක් තිබියදී රණවිරුවන්ගේ නිර්දෝශී භාවය ලෝකයට ඔප්පුකොට ඔවුන් එම චෝදනාවලින් නිදහස් කර ගැනීමට කටයුතු නොකිරීම බලවත් වරදකි.

කෙසේ වෙතත් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ රජය විසින් මෙතෙක් තෝරන ලද ක්‍රියා මාර්ග ඉතා නිවරදි වන අතර ඒවා ඇගයීමට ලක් විය යුතුය. පළමුවෙන්ම එදා අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදු කළ මහා පාවාදීම නිවරදි කිරීම, එනම් 30/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම ඉතා තර්කානකූල තීන්දුවකි. ඒ මගින් එදා 2015 දී ඉදිරිපත් කළ මහකොමසාරිස් වාර්තාව හරහා එල්ල කරනු ලැබූ යුද අපරාධ චෝදනා පිළිනොගන්නා බවද කියැවේ. මංගල සමරවීර අමාත්‍යවරයා විසින් එම චෝදනා ස්තූති පූර්වකව පිළිගනු ලැබීය. මෙවර මහකොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ වාර්තාවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හේතු දක්වමින් ප්‍රතික්ෂේප කැනු ලැබීය. ඒ අනුව මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ 46/1 යෝජනාවලිය ප්‍රතික්ෂේප කිරීමද ඉතා තර්කානුකූල වේ. එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පරාජය කිරීමට නොහැකි වීම ඉහත සඳහන් කළ ආකාරයට අලුත් තත්වයක් නොවේ. එවැනි යෝජනා 6 කට අදාළව ශ්‍රී ලංකාව පරාජයට පත්වී ඇත. ඒ නිසා ශ්‍රී ලංකාවේ රජය යටත් නොවීම යනු එනම් අදාල යෝජනාවට සම අනුග්‍රහය නොදැක්වීම ඉතා පැහැදිලිවම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් අත්පත් කරගත්  බවට ප්‍රකාශයක් සිදු කළ අවස්ථාවේදී එය හාස්‍යයට ලක්කරනු ලැබුවේ මෙම මහා පින්තූරය තේරුම් ගත නොහැකි අඳ බාලයින් පිරිසක් බව ඉතා පැහැදිලිය. ඊට අමතරව එදා 2009 දී සිදු කළ ආකාරයට ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ 46/1 යෝජනාවට ප්‍රති යෝජනාවක් ශ්‍රී ලංකාව මුල් වී ඉදිරිපත් කිරීම මගින් තොණ්ඩුව තමා අතින්ම ගෙලට දමා ගැනීම සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙලඹවීමට යම් පාර්ශව විසින් ගනු ලැබූ උත්සාහයන් සාර්ථක වූයේ නැත. එසේ ශ්‍රී ලංකාවේ රජය එම මර උගුලට පය නොතැබීම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පැත්තෙන් පමණක් නොව  රටේ සහ ජනතාවගේ පැත්තෙන් ද ප්‍රභල ජයග්‍රහණයකි. එසේනම් දැන් කළ යුත්තේ සැබෑ ලෙසම අවසන් ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා මානවහිමිකම් සමුළුව සටනට කැඳවීමය. එනම් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා යුද අපරාධ සිදු නොකළ බවට පවතින ප්‍රභල කරුණුමය සහ නීතිමය සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ඉල්ලා සිටීමය. එය ස්වභාවික යුක්තිය හෙවත් චෝදනාවක් එල්ල වූ විට පිළිතුරු බැඳීම සඳහා වන ශුද්ධ වූ අයිතිය ඉල්ලා සිටීමකි.  එම නිසා ජාත්‍යන්තරය දණ ගැස්සවීය හැකි සහ අප රටේ ර‍්ණවිරුවන් සමස්ථ ලෝකවාසී මිනිසුන්ගේ ගෞරවයට ලක් කළ හැකි එම ක්‍රියාවලිය වහා ආරම්භ කරන්නේ නම් ඊනියා පරාජය මහා ජයග්‍රහණයක් බවට පත් වන බවට කිසිදු සැකයක් නැත .

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



9 Viewers