• Home »
  • Sinhala News »
  • ඩයස්පෝරා මුදල් අයෝජනයට මෙරට කාර්යාලයක්

ඩයස්පෝරා මුදල් අයෝජනයට මෙරට කාර්යාලයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක් (Office of the Overseas) මෙරට ස්ථාපනය කිරීමට රජය සූදානම් වේ.

මෙම කටයුතු දෙසැම්බර් මස වන විට ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වන අතර, ඩයස්පෝරාව ඇතුළු විදෙස්ගත වූ අයට මෙයට සම්බන්ධ වී මෙරට ආර්ථික ප්‍රගමනයට සහාය දීමට අවස්ථාව සැලසෙන බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ දී ඩයස්පෝරා සාමාජිකයන් හමුවී කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම සයස්පෝරා කාර්යාලය විවෘත්ත වන බව ආරංචි මාර්ග සදහන් කරයි. එම හමුවේදී ඩයස්පෝරාව කියන නම වෙනුවට විදේස්ගත ශ්‍රී ලාංකිකයන් ලෙස හදුන්වාදීමට තීන්දු කෙරුණු බව ද වාර්තා වේ.

නව කාර්යාලය ස්ථාපිත කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේදී ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අනුව දෙසැම්බර් අග වන විට කාර්යාලය පිහිටුවීමේ කටයුතු ආරම්භ වනු ඇත.

විදේශ ඇමති අලි සබ්‍රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන අය හා අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇතැයි සදහන්ය.

මේ අතර, මාස තුනකට ඉහත දී ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කළ ප්‍රබල දෙමළ ඩයස්පෝරා සංවිධානයක ප්‍රධානීන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා ද ඉකුත් දා ආරාධනා කළ බව ද වාර්තා වේ.

තහනම ඉවත් කරනු ලැබූ කැනේඩියානු දෙමළ කොංග්‍රසයේ සභාපති සිවන් ඉලංගෝ සහ විධායක අධ්‍යක්ෂ ඩැන්ටන් තුරෙයිරාජා ගෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ එම ඉල්ලීම සිදු කර තිබේ.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විදුරංග සිරිමාන්න සිංහල සහ ඉංශ්‍රීසි බසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, කැනේඩියානු ඩයස්පෝරා සංවිධානය මෙරට තුළ තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තූතිය පළ කරමින් කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසින් නිකුත් කරන ලද ලිපියක් එම සංවිධානයේ නියෝජිත පංචලිංගම් කන්දයියා විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා වෙත නොවැම්බර් 16 බදාදා භාර දුන් අවස්ථාවේ එම ඉල්ලීම කළ බවයි.

එහිදී ඩයස්පෝරාව සමග කටයුතු කරනු ලබන ජනතාවට මෙරට තුළ කැමැති ප්‍රදේශයක ව්‍යාපාර ආරම්භ කිරීම සදහා අවස්ථාව ලබා දීමටත් අමාත්‍යවරයා පොරොන්දු වී ඇත.

ආරක්ෂක අමාත්‍යංශය පසුගිය අගෝස්තු 14 වැනිදා නිවේදනය කර තිබුනේ තහනම් ද්‍රවිඩ සංවිධාන 6ක් හා පුද්ගලයන් 316ක තහනම පසුගිය අගෝස්තු 1 දා ඉවත් කළ බවයි. ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය – ATC, ගෝලීය දෙමළ සංසදය – GTF, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව – WTCC, ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය – TEPA, කැනේඩියානු දමිළ කොංග්‍රසය – CTC, බ්‍රිතාන්‍ය දමිළ සංසදය – BTF. එම සංවිධාන හය වේ.



67 Viewers