• Home »
  • Sinhala News »
  • තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිෂන් සභාවේ කොටි සංවිධානය තහනම් කිරීම වැරදියි තීන්දුවට ශී‍්‍ර ලංකාවෙන් අභියාචනයක්

තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිෂන් සභාවේ කොටි සංවිධානය තහනම් කිරීම වැරදියි තීන්දුවට ශී‍්‍ර ලංකාවෙන් අභියාචනයක්

එක්සත් රාජධානියේ තහනම් කරන ලද සංවිධාන පිළිබඳ අභියාචනා කොමිෂන් සභාව විසින් ඉකුත් 21 වැනිදා ලබා දෙන ලද විවෘත විනිශ්චය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය අභියාචනයක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ සම්බන්ධව එම අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

තහනම් කරන ලද සංවිධාන පිළිබඳ අභියාචනා කොමිෂන් සභාවේ මෙම තීරණය පැන නගින්නේ, දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය, 2000 එක්සත් රාජධානියේ ත‍්‍රස්තවාදී පනත යටතේ තහනම් කරන ලද සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා එම සංවිධානයේ පෙරමුණු කණ්ඩායමක් ඉදිරිපත් කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින්, එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාගේ 2019 මාර්තු 8 දිනැති තීරණය අභියෝගයට ලක් කරමින්, 2019 මැයි මාසයේදී එල්ටීටීඊ පෙරමුණු සංවිධානයක් විසින් ගොනු කරන ලද අභියාචනයක් හේතුවෙනි.

තහනම් කරන ලද සංවිධාන පිළිබඳ අභියාචනා කොමිෂන් සභාවේ මෙම කටයුතු සඳහා ශ‍්‍රී ලංකා රජය පාර්ශ්වකරුවකු නොවූ බැවින් එහිදී සෘජුව සම්බන්ධ වී කටයුතු කිරීමට නොහැකි වූ අතර, අඛණ්ඩව සිදු කෙරුණු ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදාළ තොරතුරු ලබා දීම මඟින් ශ‍්‍රී ලංකා රජය එක්සත් රාජධානියේ රජයට සහාය වී තිබේ.

තහනම් කරන ලද සංවිධාන පිළිබඳ අභියාචනා කොමිෂන් සභාව විසින් ලබා දෙන ලද මෙම විවෘත විනිශ්චය, අභියාචනයට අවසර ලබා දෙන අතරම වැඩිදුර නඩු විභාග සඳහා ඉඩ සලසන අතර, එක්සත් රාජධානියේ විමසනු ලබන මෙම නඩුව පිළිබඳ ප‍්‍රගතිය අඛණ්ඩව ශ‍්‍රී ලංකා රජය විසින් සමීපව නිරීක්ෂණය කරනු ඇත.

එල්ටීටීඊයේ අවශේෂ කොටස් සහ එහි ත‍්‍රස්තවාදී මතවාදයට අනුකූල කණ්ඩායම්, ප‍්‍රචණ්ඩත්වය උසි ගැන්වීමට සහ රට අස්ථාවර කිරීමට කටයුතු කිරීම පිණිස විදේශ රටවල සිට ක‍්‍රියාත්මක වෙමින් පවතින බව සනාථ කිරීම සඳහා ප‍්‍රමාණවත් සාක්ෂි ශ‍්‍රී ලංකා රජය සතුව පවතී. ශ‍්‍රී ලංකාව සිය ජාතික ආරක්ෂාවට මෙන්ම, කලාපයේ ආරක්ෂාවට ද එල්ල වන තර්ජන පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින අතර, ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේදී ජාත්‍යන්තර ප‍්‍රජාවේ සාමාජිකයින්ට සැමවිටම සහාය වනු ඇත.



66 Viewers