• Home »
  • Sinhala »
  • තොන්ඩමන්ලා සහ තොන්ඩමන්ලා

තොන්ඩමන්ලා සහ තොන්ඩමන්ලා

එකම රටක්, එකම ජාතියක් සැමට සමානව ක්‍රියාත්මක වන එකම නීතියක් වෙනුවෙන් පෙනී සිටින මා ඇතුළු තවත් බොහෝ පිරිසක් ආරුමුගම් තොන්ඩමන් මහතාගේ හදිසි අභාවයෙන් කණගාටුවට පත් වුවද රජය විසින් ඔහුගේ දේහය රට පුරා ප්‍රදර්ශනය කරමින් නටන නාඩගම පිළිබඳව ඇත්තේ බලවත් පිළිකුලකි.

තොන්ඩමන් මහතාගේ දේශපාලනය පිළිබඳව මට ඇත්තේ වෙනත්ම මතයකි. 1947 සිටම දශක හතකට වැඩි කාලයක් රටේ කුමන පක්ෂය බලයට පැමිණියද ඒ සෑම රජයකම අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍යධුර ඇතුළු අනෙක විදි වරප්‍රසාද භුක්ති විඳි අරුමුගම්ගේ සීයා වන සෞම්‍යමූර්ති තොන්ඩමන්ගේ සිට හෙට දවසේ කරළියට එන ජීවන් තොන්ඩමන් දක්වා මේ සෑම තොන්ඩමන් කෙනෙක්ම සැබවින්ම දකුණු ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරු ජනතාව නියෝජනය කලද?

1977 මහ මැතිවරණයේදී නුවරඑළිය මස්කෙළිය බහු මන්ත්‍රී ආසනයේ දිවංගත ගාමිණී දිසානායක හා අනුර බණ්ඩාරනායක ප්‍රථම හා දෙවන ස්ථාන දින ගනිද්දී සෞම්‍යමූර්ති තුන් වන්නා වුයේ ඡන්ද 38,000 ක් ලබා ගනිමිනි.

රටේ ප්‍රධාන පක්ෂ දෙකේම නායකයින්ගේ සිට සෑම දේශපාලඥයින්ගේ හා සමස්ථ දේශපාලන ක්‍රියාවලියේම ජරාජීර්ණ භාවය හා දූෂිතකම නිසාම අද වෙනකොට මේ තත්වය උඩු යටිකුරු වී තොණ්ඩමන්ලා පුද්ගලිකව පත්වෙන සෑම රජයක් සමගම එක්ව ආණ්ඩු බලය භුක්ති වින්දා.

වතුකර දෙමළ ජනතාවට කරපු ලොකු දෙයක් නෑ. රටේ නායකයිටද ඒක ප‍්‍රශ්නයක් උනෙත් නැහැ. වතුකර දෙමළ ප‍්‍රජාවට මෙන්ම අශ්රොෆ්, හකීම්, රිෂද්ලා නායකත්වය දෙන මුස්ලිම් ප‍්‍රජාවට හෝ මේ තමන් ගොනු වෙලා ඉන්න පක්‍ෂ හරහා ලැබුණු මහා සුගතියක් නෑ. මේ හැමෝම ජාතිවාදය අවුස්සලා, තමන්ගේ ජනතාවගේ ඡන්ද කුට්ටිය පෙන්නලා ප‍්‍රධාන පක්‍ෂ එක්ක කේවල් කරලා ආණ්ඩුවල ඇමැතිකම් හා විවිධ වරප්‍රසාද අරගන්නවා.

අපේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය තුළ තමයි අනවරතව මේ දේශපාලන ඞීල් එක ඉදිරියට ගමන් කරන්නේ.

මුළු ලෝකයම තවමත් බෙහෙතක් සොයා ගැනීමට පවා නොහැකිව අසරණව දිනකට ජීවිත දහස් ගණනින් අහිමි වෙද්දී, ශ්‍රී ලංකාව කොරෝනා මර්ධනය සාර්ථකව සිදු කරමින් යන පසුබිමක සියලු නිරෝධායන නීති වලට පයින් ගසා අරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය දින හයක් තිස්සේ රට පුරා ප්‍රදර්ශනය කිරීම දේශපාලන නාඩගම රටේ සෑම පුරවැසියෙකුම තරයේ හෙලා දැකිය යුතුය.

රටේ නායකයාගේ සිට වගකිවයුතු සෑම දෙනාටම ජනතාවගේ විරෝධය ප්‍රකාශ කල යුතුය.

මේ තකතීරු දේශපාලන නඩය අරුමුගම්ගේ දේහය ගෙනියන්නේ නැත්තේ තමිල්නාඩුවට පමණි.

මී උණ වැළඳී මියගිය හමුදා සොහොයුරාටත්, ජයන්ත රත්නායක ආදරණිය කලාකරුවාටත්, රටේ අනෙකුත් සෑම පුරවසියෙකුටමත් ක්‍රියාත්මක වන නීතිය අරුමුගම්ටත් ක්‍රියාත්මක විය යුතුමය. එසේ නොමැතිනම් මේ ආණ්ඩුවත් පෙර ආණ්ඩු මෙන්ම නපුන්සක පාණ්ඩුවක් වන දිනය වැඩි ඈතක නොවේ.

2015 දී රාජපක්ෂවරුන් විසින් ඔවුන්ගේම වරදින්, නොසැළකිලිමත්කමින් මුළු රටම අඝාධයකට ඇද දැමීමේ පාපයෙන් ඔවුන් තවමත් පාඩමක් ඉගෙන නොගෙන නම් ඔවුනට අමතක නොවන පාඩම් කියා දීමට ජනතාව පෙළ ගැසෙනවා නොඅනුමානයි.

කලයුත්තේ සැවොම ජනාධිපතිවරයාට අවශ්‍ය නිසි මග පෙන්වීම, නිවැරදි දේ ක්‍රියාත්මක කිරීමට සහය දැක්වීම මිස පටු දේශපාලන අරමුණු හෝ බලය රැකගැනීමේ යටි කූට්ටු ගැට ගැසීම් නොව. මා එසේ පවසන්නේ මේ අදුරදර්ශී නීතිවිරෝධී ක්‍රියාව පිටුපස සිටින්නේ කවුද කියා මැනවින් පැහැදිලි වන නිසාය.

බොහෝ පිරිසකගේ චෝදනාව  “ජනාධිපතිතුමාට කරගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ” යන්නයි. එය මේ මරණයත් සමග නැවත වතාවක් පැහැදිලිවම් කරළියට පැමිණ තිබේ.

දේශපාලඥයින් තම බලය වෙනුවෙන් එසේ හැසිරෙද්දී රටේ සමස්ථ ජනතාව අරුමුගම් තොන්ඩමන්ට තම ගෞරවය පුද කල යුතුමය. ඒ අන් කිසිවක් නිසා නොව. උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදය ජයටම ක්‍රියාත්මක වෙද්දී ඔහු ඒ විෂබීජ වතුකරය තුලට ගලා ඒමට ඉඩ නොදී වලක්වාලමින් සියලු රාජ්‍යයන් සමගම සහයෝගයෙන් කටයුතු කිරීමත් උපතින් හින්දු භක්තිකයෙක් වුවද ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් මෙන්ම බෞද්ධ වෙහෙර විහාරස්ථාන සමග ඉතාමත්ම සහයෝගයෙන්, මිත්‍රශීලීව කටයුතු කල දේශපාලඥයෙකු වීම නිසාවෙනි.

අපි ඔහුට නිවන් සුව පතමු!

ජනක අලහප්පෙරුම- ලන්ඩන්



47 Viewers