දකුණු ආසියාවේ විශාලතම ගඩොල් ස්මාරකය;

අනුරාධපුර ජේතවනාරාමයේ සිදුකර ඇති කැණීම් හා ගවේෂණ

(Courtesy of Diwaina)

ඓතිහාසික පසුබිම

ශ‍්‍රී ලංකාවේ පැරණි ප‍්‍රසිද්ධ බෞද්ධ නිකාය ත‍්‍රිත්වයන්ගෙන් එක් මූලස්ථානයක් වශයෙන් ජේතවනාරාම විහාර සංකීර්ණය හඳුනාගත හැකිය. මෙම විහාරස්ථානය පැරණි සාහිත්‍ය මූලාශ‍්‍රවල සහ සෙල්ලිපිවල දෙනානක, දේනාවෙහෙර, දේනාරජමහ වෙහෙර, ජෙවන නිකාය, සාගලික නිකාය යන නාමයන්ගෙන් හඳුන්වා ඇත (සෙනෙවිරත්න සහ සේනානායක, 2008, 2 පිටුව).

”දකුණු අරම්වැසි කුහක වූ වංක සිත් ඇති පාප මිත‍්‍ර වූ නොසන්හුන් තිස්ස තෙරුන් කෙරෙහි පැහැද මහා විහාර සීමා පෙදෙසක් වූ ජෝති වන උයන්හි වළකනු ලබන්නාහු ද ඒ තෙමේ ජේතවන විහාරය කර විය.’’ (මහාවංශය, පරි. 37, 32-34 පද්‍ය)

මෙය ඉදිකර තිබෙන්නේ මහසෙන් රජු විසිනි. මහසෙන් රජු විසින් මෙම ස්තූපය සහ විහාර සංකීර්ණය ඉදිකළ බව සාහිත්‍ය මූලාශ‍්‍ර හරහා මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක මගින් ද සනාථ වී ඇත. එම රජු මෙරට ඉතිහාසයෙහි දේශපාලනික වශයෙන් පමණක් නොව වාරිකාර්මාන්තයට ද සුවිශේෂී මෙහෙයක් ඉටුකළ පාලකයෙකු වශයෙන් හඳුනාගත හැකිය.

ක‍්‍රි. ව. 3 වන සියවසේ සිට 12 වන සියවස දක්වා සාගලික නිකායට අයත් භික්ෂූන් වහන්සේලාගේ ආගමික මූලස්ථානය වශයෙන් මෙම ජේතවන භූමිය භාවිත කළ බවට සාධක හමුවේ. ක‍්‍රි. පූ. 3 වන සියවසේ දී ජේතවනාරාමය පිහිටා ඇති මෙම භූමිභාගය ”නන්දන වන’’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇත. පසුකාලීනව එය ”ජෝති වන’’ යන නමින් ප‍්‍රසිද්ධ වී තිබේ. මහාවංශ අටුවාවෙහි දැක්වෙන පරිදි මිහිඳු හිමියන් නන්දන උයනේ වැඩ වසමින් පර්යාප්ති ශාසනාදී ත‍්‍රිවිධ සුගත ශාසනය හෙළි පෙහෙලි කළ නිසා ද, ප‍්‍රඥා ප‍්‍රදීපය පහළ වූ ස්ථානය වූ නිසා ද මීට ”ජෝතිවන’’ යන නම ආරූඪ කිරීමට හේතු වූ බවයි (රත්නායක, 2003, 5 පිටුව). හේම රත්නායක පවසන පරිදි ”ජෝති වනය’’ ජේතවනය වූවා නොව ජෝති වනයෙහි කරවන ලද ජේතවනාරාමය කෙටිකර දැක්වීමේ දී ජේතවනය නම් විය. ඒ අනුව ජෝති වනය යන්න උද්‍යානයක නාමයක් බව ද ජේතවනය යනුවෙන් ආරාමයක් පැවති බව ද සිතිය හැකිය. තවත් මතවාදයක් වනුයේ බුදුන්වහන්සේ බොහෝ කාලයක් වැඩසිටි සැවැත්නුවර ජේතවනාරාමය අනුකරණය කරමින් මෙම ජේතවනාරාමය ඉදිකර ඇති බවයි.

මහාවංශයට අනුව මහසෙන් රජු විසින් දක්ඛිණ විහාරයේ විසූ සාගලික නිකායේ තිස්ස නම් තෙරුන්ට මෙම සංඝාරාමය පූජාකර ඇත. මේ නිසා මෙම ජේතවන විහාර පූජාව පෞද්ගලික පුජාවක් බවත්, එය පිළිගත් තිස්ස තෙරුන්ව මහාවිහාර භික්ෂූන් විසින් වරදක් කළ බවට චෝදනා කරමින් පබ්බාජනීය කර්මය කළ බවත් මාහාවංශයේ සඳහන් වේ. (මහාවංශය සිංහල, පරි. 37, 39 පද්‍යය). මහාවංශයට අනුව මහසෙන් රජුට ජේතවන භූමියෙහි ගොඩනැඟිලි සියල්ල තනා නිම කිරීමට නොහැකි වූ අතර ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වශයෙන් රාජ්‍යත්වයට පත්වූ සිරිමේඝවර්ණ රජු විසින් මෙම ගොඩනැඟිලි තනා නිම කර ඇත. තවද වංශකතාවේ හා ශිලා ලේඛනවල සඳහන් වන ආකාරයට පසුකාලීන රජවරුන් විසින් ජේතවන භූමියෙහි ගොඩනැඟිලි ඉදිකර ඇත. එම රජවරුන්ගේ කාර්යයන් පහත පරිදි සාරාංශගත කොට ඉදිරිපත් කළ හැකිය.

⋆ මිත්සෙන් රජු (ක‍්‍රි.ව. 432-433) ඇත් පවුරු තොරණ කරවීය (මහාවංශය සිංහල, පරි. 38, 11 පද්‍යය)

⋆ ධාතුසේන රජු (ක‍්‍රි.ව. 454-477) ස්තූපයෙහි දිරා ගිය ඡුත‍්‍රයක් කරවීය. මාහැගි සුණුකම් කරවා වජ‍්‍ර චුම්බටයක් කරවීය (මහාවංශය සිංහල, පරි. 38, 54-55, 74 පද්‍යයන්)

⋆ 1 වන මුගලන් රජු (ක‍්‍රි.ව. 495-512) භික්ෂුනීන් උදෙසා රාජනි නම් මෙහෙණවරක් කරවීය (මහාවංශය සිංහල, පරි. 39, 43 පද්‍යය)

⋆ මහානාග රජු (ක‍්‍රි.ව. 573-575) ස්තූපයෙහි සුණුකම් හා කොත් කැරලි කරවා ”වැහැප්ගම’’ නම් ගමක් සහ ජේතවන භික්ෂූන්ට සර්වකාලීන කැඳ දානයක් සඳහා කෙත් තුන්සියයක් පිදීම (මහාවංශය සිංහල, පරි. 40, 97-99 පද්‍යයන්)

⋆ 1 වන අග්බෝ රජු (ක‍්‍රි.ව. 575-608) ස්තූපයට රනින් කළ ඡුත‍්‍රයක් පිදීය (මහාවංශය සිංහල, පරි. 41, 31-32 පද්‍යය)

⋆ දෙවන අග්ගබෝධි (ක‍්‍රි.ව. 604-614) බෝධිඝරය උදෙසා ළිඳක් කැණවීය. රිදී සුඹුලූ ගෙය නමින් අලංකාර ගොඩනැඟිල්ලක් කරවීය (මහාවංශය සිංහල, පරි. 41, 67-68 පද්‍ය)

⋆ තුන්වන මුගලන් රජු (ක‍්‍රි.ව. 618-623) ස්තූපයට නව වස්ත‍්‍ර පිදීම (මහාවංශය සිංහල, පරි. 42, 43-44 පද්‍යය)

⋆ තුන්වන ජෙට්ඨතිස්ස රජු (ක‍්‍රි.ව. 632) ”ගොඩිගමුව’’ නමැති ගම පිදීය (මහාවංශය සිංහල, පරි. 42, 97 පද්‍යය)

⋆ තුන්වන අග්බෝ රජු (ක‍්‍රි.ව. 633-643) ”මාමිණියාගම’’ නම් ගම පිදීය (මහාවංශය සිංහල, පරි. 42, 122 පද්‍ය)

⋆ හතරවන අග්බෝ රජු (ක‍්‍රි.ව. 667-683) ගම් දහසක් පූජා කරන ලදී. මෙය තුන් නිකායට ම කරන ලද පූජාවකි (මහාවංශය සිංහල, පරි. 44, 18 පද්‍යය)

⋆ දෙවන දප්පුල රජු (ක‍්‍රි.ව. 815-831) බෝධිඝරය උදෙසා රන් බුද්ධ ප‍්‍රතිමාවක් පිදීය (මහාවංශය සිංහල, පරි. 49, 78 පද්‍යය)

⋆ 1 වන සේන රජු (ක‍්‍රි.ව. 833-853) මහල් කිහිපයකින් යුත් ප‍්‍රාසාදයක් කරවීය (මහාවංශය සිංහල, පරි. 50, 65-66 පද්‍ය)

⋆ දෙවන සේන රජු (ක‍්‍රි.ව. 853-887) ”මිණි මෙවුලා පහය’’ නමින් හැඳින්වෙන ප‍්‍රාසාදයේ බෝසත් ප‍්‍රතිමා කරවීය (මහාවංශය සිංහල, පරි. 51, 77 පද්‍යය)

⋆ පස්වන කාශ්‍යප රජු (ක‍්‍රි.ව. 914-923) විවිධ වර්ණයෙන් යුත් සිතුවම් සහිත මණ්ඩපයක් කරවීය. දාන ශාලාව වෙනුවෙන් ගමක් පුජා කළේය (මහාවංශය සිංහල, පරි. 52, 59 පද්‍ය)

⋆ හතරවන උයද රජු (ක‍්‍රි.ව. 946-954) මණි ප‍්‍රාසාදය අලූත්වැඩියා කිරීම ආරම්භ කිරීම (මහාවංශය සිංහල, පරි. 53, 50 පද්‍ය) හතරවන මහින්ද රජු එම අලූත්වැඩියා කටයුතු අවසන් කළේය (මහාවංශය සිංහල, පරි. 54, 50-51 පද්‍යය)

⋆ 1 වන පරාක‍්‍රමබාහු රජු (ක‍්‍රි.ව. 1153-1186) ජේතවන ස්තූපයේ අලූත්වැඩියා කටයුතු නැවත සිදුකිරීම (මහාවංශය සිංහල, පරි. 78, 103 පද්‍යය)

ජේතවන විහාරය හා සම්බන්ධ ඓතිහාසික තොරතුරු පිළිබඳව විමසීමේ දී මෙම විහාරය සමග සම්බන්ධ වන තවත් විහාර රැසක් හඳුනාගත හැකිය. ඒවායින් කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.

⋆ බිනෝරුදිප විහාරය

⋆ කස්සපසේනාරාමය

⋆ සාගලික භික්ෂූන වාසය කළ ආරාමය

⋆ දේවානම්පියතිස්ස ආරාමය

⋆ කුරුන්ද චුල්ල පිරිවෙන

⋆ කොළොම්බහාලක පිරිවෙන

නමුත් මෙම විහාරයන් කුමන ස්ථානයක පැවතියේ ද යන්න සඳහන් නොවේ. එනිසා ඒවා නිශ්චිතව හඳුනා ගැනීමට අපහසු ය (ජයතිලක, 2008, 7 පිටුව). ස්තූපය, පිළිම ගෙය, බෝධිඝරය සහිත බෝධිය, පොහොය ගෙය, දාන ශාලාව, සන්නිපාත ශාලාව ආදිය මෙන්ම භික්ෂූන් වහන්සේලාගේ ආවාස හා අවශ්‍ය වෙනත් පහසුකම් වන වැසිකිළි – කැසිකිළි, ළිං පොකුණු, මංමාවත්, ජන්තාඝර ආදියෙන් මෙම විහාර සංකීර්ණය සමන්විත වී තිබේ. මේ අනුව පැහැදිලි වන්නේ ජේතවන විහාරය වසර සිය ගණනක් පුරා සංවර්ධනය වීමේ දී පූර්ණ බෞද්ධ විහාරයකට අවශ්‍ය සියලූම අංගෝපාංගයන් ගෙන් සමන්විත වී ඇති බවයි.

ජේතවනාරාමය පිළිබඳව නූතනයේ පුරාවිද්‍යාඥයන් විසින්් සිදුකර ඇති කැණීම් හා ගවේෂණ වර්ෂ 1981 ආරම්භයේ දී ජේතවන ව්‍යාපෘතිය ප‍්‍රදේශය පිළිබඳව සැලකීමේ දී ජේතවන ස්තූපයට උතුරින් කොහොඹගස් හන්දිය දක්වා දිවෙන පෞද්ගලික ඉඩමක් විය. එතැන් සිට ථූපාරාමය වෙත බටහිරට දිවෙන මාර්ගයක් සහ උතුරට අභයගිරිය දක්වා දිවෙන මාර්ගයක් ද වේ. ජේතවනාරාමයේ බටහිර බැම්ම හරහා දකුණින් අනුරාධපුර – මින්තලේ මහා මාර්ගය සඳහා පාලම ඉදිකර ඇත. කොස්ගස් හන්දියේ සිට ප‍්‍රධාන මහා මාර්ගයට එක් වන නව වටවන්දනා පාර ජේතවන ස්තූපයේ නැගෙනහිර දොරටුවේ ඉදිරියෙන් බොරලූ පාරක් වශයෙන් දකුණට විහිදී ප‍්‍රධාන අනුරාධපුර – මිහින්තලේ මහා මාර්ගයට සම්බන්ධ වේ. ජේතවනාරාමයේ බටහිර සිමා ප‍්‍රාකාරය පිං බංගලාව නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලට පසුව තිබේ. ඊට බටහිරින් හාල්පාන් ඇළේ නැගෙනහිර ඉවුර වේ. මේ කාලය වන විට ජේතවනාරාම ස්තූපය මුදුන් කොටස නැති මැද ආවාටයක් සහිත කොත් කැරැල්ලක් හා සම්බන්ධ පඩි සහිත විවරයකි. හතරැස් කොටුවේ බටහිර බැම්ම බිඳ වැටී ඇත. මුළු යෝධ ගොඩැල්ලේම විශාල වෘක්ෂ, කුඩා ගස්, වැල් සහ ලැහැබෙන් වැසී තිබුණි. උතුරේ සහ දකුණේ පඩි පෙළවල් දෙකට නැගෙනහිරින් සලපතල මළුවේ ප‍්‍රාකාර බැම්ම උඩ ම වාගේ දැවැන්ත මාර ගස් දෙකක් වැඞී තිබුණි. ජේතවනාරාම භූමියට බටහිරින් ඇති හාල්පානු ඇළ හරහා වැටී ඇති තාවකාලික පටු පාලමකින් පිවිසෙන වන්දනාකරුවන්ට සලපතල මළුවේ බටහිර පඩි පෙළින් උඩට ගොස් පිළිම ගෙයට පැමිණිය හැකි විය. ස්තූප මළුවේ බටහිර හස්ති ප‍්‍රාකාරය බිත්තිය මත බටහිර පඩි පෙළට ආසන්නව ඊට බටහිරින් ඇති පොල් අතු සෙවිලි කළ කටුමැටි බිත්ති සාදන ලද කුඩා අවාස ගෙය ජේතවනාරාමය භාරව සිටි ස්වාමීන් වහන්සේගේ පන්සල විය (රත්නායක, 2003, 10 පිටුව). වර්ෂ 1981 වන විට ජේතවනාරාමයේ පැවතියේ මෙබඳු තත්ත්වයකි.

වර්ෂ 1981 ජනවාරි 2 දා මෙය පුරාවිද්‍යා ව්‍යාපෘතියක් ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් යටතට පත් විය. මෙහිදී ජේතවන ව්‍යාපෘතිය ආරම්භ කරමින් ජේතවන ස්තූපයේ පෞරාණික බව ආරක්ෂා කිරීමට එය සංරක්ෂණය කිරීමට කටයුතු ආරම්භ විය. මුළු ප‍්‍රදේශයම මීටර් 30×30 කොටුදැල් ක‍්‍රමයට බෙදා ඒ ලක්ෂයන්හි ස්ථිර සලකුණු පිහිටුවා තිබුණි. මතුපිට දැකිය හැකි නටබුන් ද කොටුදැල් තුළ සඳහන් කර තිබුණි. මෙම ලක්ෂයන්හි මුහුදු උස ද ලකුණු කර තිබේ. මෙම කොටු දැලක් (ග‍්‍රිඞ් 1) සමාන කොටස් 9 කට බෙදා ඇත. එයින් එක් කොටුවක් මීටර් 10×10 ප‍්‍රමාණයක් වේ. එවැනි චතුරස‍්‍රයක් නැවත කොටස් 9 කට බෙදුණි. එවිට එක් කොටුවක් සෙ.මී. 283.3×283.3 ප‍්‍රමාණයක් විය. ඒවා සෙ.මී. 50 පළලින් යුතු නියරයකින් බෙදා වෙන් කර තිබේ. මේ ආකාරයට ජේතවනාරාමයෙහි කොටුදැල් බෙදීම ස්තූපය මධ්‍ය ලක්ෂය ලෙස ගෙන උතුර – දකුණ අතර හා බටහිර-නැගෙනහිර අතර යන ලෙස බෙදා දක්වා ඇත. එක කොටු දැලක් තුළ කැණීම් කොටු 81 ක් විය. මෙම කොටු පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ඉංග‍්‍රීසි හෝඩියේ මුල් අකුර වන A සිට I දක්වා බටහිර සිට නැගෙනහිරටත්, අරාබි අංක ක‍්‍රමයට 1 සිට 9 දක්වා උතුරේ සිට දකුණට ද සලකුණු කරනු ලබයි. විශේෂ පුරාවස්තුවක් වාර්තා ගත කිරීමේදී එම පුරාවස්තුව කැණීම් කොටුවෙහි දකුණු බිත්තියෙහි සිට ඇති දුර Y ලෙස ද බටහිර බිත්තියේ සිට ඇති දුර X ලෙස ද පුරාවස්තුව හමුවු ස්ථානයේ සිට කැණීම් කොටුවෙහි මතුපිට ඇති දුර Z ලෙස ද මිණුම් කටයුතු කිරීම ද සිදු කර ඇත.

1981 වර්ෂයේ දී ස්තූපයෙහි තුන්වන පේසාව අනාවරණය කර ගැනීම සඳහා කැණීම් කටයුතු ආරම්භ කර තිබුණි. මෙහි දී ස්තූපයේ පරිධිය මිටර් 10 ප‍්‍රමාණයේ වෘත්ත ඛණ්ඩ 1කට බෙදා ඉන් එකක් හැර එකක් වශයෙන් සෑම වෘත්ත ඛණ්ඩයකම වැසී තිබුණු පස් ඉවත් කරන ලදී (රත්නායක, 2004, 3 පිටුව). එහෙත් නියම වශයෙන් ජේතවනාරාමයෙහි කැණීම් ආරම්භ වූයේ වර්ෂ 1982 ජනවාරි මස 01 වන දින එම භූමියේ නිරිතදිග කාර්තුවෙනි.

වර්ෂ 1983 වන විට හය මසක් ඇතුළත ජේතවන ව්‍යාපෘතියෙහි කැණීම් කටයුතු කොටු දැල් 31ක් පුරා සිදුකර තිබේ. කැණීම් කටයුතු පිළිබඳව විස්ථර ලේඛන ගත කිරීමට ස්තූපය මධ්‍ය ලක්ෂය කර ගෙන මෙම කැණීම් ස්තූපයට උතුරින් ග‍්‍රිඞ් 8 ද කැණීම් කටයුතු සිදුකර ඇති අතර දකුණින් ග‍්‍රිඞ් 23 ද කර ඇත. මෙහි දී සෙ.මී. 80-100 දක්වා පමණක් කැණීම් සිදුව තිබේ. පස්වල ස්වභාවය දුඹරු පැහැයකි. මෙහි පස් ස්ථර ස්වභාවිකව පිරී ගිය ඒවා නොවන බවට මෙතෙක් කර ලද කැණීම් ප‍්‍රමාණය අනුව අනවරණය කර ගත්තේය. බොහෝ ස්ථාන මිනිසුන් විසින් ගොඩකරන ලද ස්වභාවයක් පස් ස්ථර පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වී ඇත (රත්නායක, 2003, 14 පිටුව).

ජේතවනාරාම ව්‍යාපෘතිය අනුරාධපුර පස්වන හයමාසික පුරාවිද්‍යා කැණීමට අනුව එහි අභිමතාර්ථ වූයේ,

1. ස්තූපයේ පළමු ඉදිකිරීම් පිළිබඳ කාල නිර්ණය

2. ආරාම සංකීර්ණයේ සැලැස්ම අනාවරණය කර ගැනීම හා අර්ථකථනය කිරීම

3. පවතින සාහිත්‍යමය සාධක පැහැදිලි කර ගැනීම හා සනාථ කර ගැනීම තුළින් ස්ථරයානුකූල කැණීම් උපයෝගී කොට ගෙන ඉතිහාසගත කරුණුවල සත්‍ය අසත්‍යතාව පිරික්සීම.

4. මැටි බඳුන් අනුපිළිවෙළක් සකස් කිරීම

5. අවසාන පස් ස්ථරයේ සිට හමුවූ විවිධ පුරාවස්තූන්ගේ විකාශනය අධ්‍යයනය කිරීම යනාදියයි.

ජේතවන ස්තූපයේ සංරක්ෂණ වැඩසටහන 1982 මැයි 31 දින සංස්කෘතික කටයුතු පිළිබඳ අමත්‍ය ඊ. එල්. බී. හුරුල්ලේ මහතා විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත ගාර්වේ ලෝරන්ස් මහතාගේ ද සහභාගිත්වයෙන් ආරම්භ කර තිබේ.

වර්ෂ 1984 මුල් හය මාසික කාලයේ දී විහාර භූමියේ උතුරු ආයකය, එන් 1 ඩබ් 8 ප‍්‍රදේශය, එස් 1 ඩබ් 6 ප‍්‍රදේශය, එස් 3 ඩබ් 6 ප‍්‍රදේශය, එස් 7 ඩබ් 3 ප‍්‍රදේශය යනාදිය කැණීම් කටයුතු කර තිබේ. උතුරු ආයකයේ කැණීම් සිදුකරන කාලය තුළ දී පර්යේෂක කැණීම් කිසිවක් සිදුකර නැත. මෙම කැණීමේ දී පබළු 17639 ක් හමුව තිබේ. ඇත් දළ නිර්මාණ, විවිධ හැඩයෙන් හා ප‍්‍රමාණයෙන් යුත් කොත් කැරලි, පනා කැබලි, කැඩි වෙන් වු ඇත් දළ කොටස්, අර්ධ මාණික්‍ය, විශේෂ පාෂාණවලින් කළ මුද්‍රා, රනින් කළ නිර්මාණ, හස් යෙදූ කාසි, ඉංග‍්‍රීසි අධිරාජ්‍ය මගින් නිකුත් කළ ලංකාවේ භාවිත කළ සියලූම කාසි, ලක්ෂ්මී කාසි, ඉන්දියාවේ කනිෂ්ක රජුගේ බුදුරුව ඇතුළත් කාසියක් ද, කුණ්ඩලාභරණ, යකඩ හා තඹ නිර්මාණ, රබස් පාෂාණ කැබලි, කානේලියන්, ඇමතෙස්ත, මැටි බඳුන්, බෙල්ලන් ආදී පුරාවස්තු රැසක් මෙම කැණීමෙන් සොයා ගෙන තිබේ (රත්නායක, 2004, 5-6 පිටු).

වර්ෂ 1985 ජූලි සිට දෙසැම්බර් දක්වා කාල සීමාවේ දී එන් 6, ඩබ් 2 යන ග‍්‍රිඞ්හි කැණිම් වළවල් 60ක කැණිම් කටයුතු නිමවා තිබේ. මෙම කැණීම් වළවල් සාමාන්‍යයෙන් සෙ.මී. 60ක් හෝ 70ක් පමණ ගැඹුරට සිදුකර තිබේ. මේ තුළින් අපිළිවෙළට විසිර තිබූ ගඩොල්, බැම්මක ස්වරූප ගන්නා ගඩොල්, ගල් කණු ආදිය හමුවී තිබේ. මෙහි දී විශේෂ පුරාවස්තු හමුවීම අල්ප ය. ගල්, ගඩොල්, උළු කැබලි, මැටි බඳුන් කැබලි හමුව තිබේ. හමු වූ මැටි බඳුන් කැබලිවල වර්ණය බොහෝ විට සමාන විය. උළු කැබලි හමුව ඇත්තේ කැණීම් වළවල් කිහිපයකින් පමණි. විශාල ප‍්‍රමාණයේ උළු කැබලි 8ක් හමුව තිබෙන අතර සෙසු ඒවා කුඩා ප‍්‍රමාණයේ ඒවා විය (රත්නායක, 2006, 5 පිටුව). මෙම හය මාසික කාලය තුළ දී පර්යේෂණ කැණීම් දෙකක් සිදුකර තිබේ. එකක් ස්තූපයට දකුණින් ”බෞද්ධ ගල් ගරාදි වැට’’ ගොඩනැගිල්ලෙහි නැගෙනහිර පැත්තට අයත් ග‍්‍රිඞ් එකෙහි සිදුකර තිබේ. එය ග‍්‍රිඞ් වශයෙන් දැක්වුවහොත් ඩබ් 1 එම් 10 අයි 3 වේ. එහි දී පස් ස්ථර 6ක් හමුව තිබේ (රත්නායක, 2006, 10 පිටුව).

වර්ෂ 1986 දෙවන හය මාසය තුළ දී එස් 11 ඩබ් 5 දරන අංකයට හිමි කොටුව තුළ උප චතුරස‍්‍ර 37ක් කැණීම් කර ඇත. මෙහි දී ස්මාරක සමහරක පාදම් මතුකර ගැනීමට හැකිව තිබේ. එස් 13 ඩබ් 3 ප‍්‍රදේශය තුළ කැණීම් කරන ලද කොටු ප‍්‍රමාණය 27 කි. එස් ඩබ් 1 ග‍්‍රිඞ් අංකයට අයත් කැණීම් ප‍්‍රදේශයෙන් කැණීම් කොටු 25ක් කැණීමට ලක් කෙරිණි. මෙහි දී අධික ගඩොල් කැබලි ප‍්‍රමාණයක් ගරා වැටුණු කිසියම් ගොඩනැගිල්ලක සාධක හමුව තිබේ. මෙම කාලයේ දී දකුණු ඇත් පවුරේ කොටසත් කැණීම් කොට අවසන් කර ඇත. එස් 2 ඩබ් 3 සහ එස් 2 ඩබ් 2 යන ග‍්‍රිඞ් අංකයන්හි අවසාන කොටස්වලට අයත් වන ප‍්‍රදේශයේ පසින් වැසී ඇති ඇත් පවුරට දකුණින් පිහිටි වැලි මළුවෙහි ඉහළ මට්ටම දක්වා වූ එකී පවුරෙහි පාදමට ඉහළින් දක්නට ඇති බොරදම පාදා ගන්නා ලදී (රත්නායක, 2002, 1 පිටුව). මෙම කාලය තුළ දී ග‍්‍රිඞ් අංක කිහිපයකට අයත් ප‍්‍රදේශවල නියර ඉවත් කිරීමේ කටයුතු සිදුකර ඇත.

1987 ජනවාරි 01 දින සිට ජුනි 30 දක්වා ජේතවන ව්‍යාපෘතියේ ස්තූප සලපතල මළුවේ දකුණු ආධාරක බැම්ම නිරිත දිග ප‍්‍රදේශය මතු කර ගන්නා ලදී. තවද ස්තූපයේ පැරණි වට වන්දනා මාර්ගය ආශ‍්‍රිත ප‍්‍රදේශය, ඩබ් එස් ග‍්‍රිඞ් අංක වසා පිහිටි හඳුනානොගත් ගඩොල් ගොඩනැගිල්ල හා ඒ අවට ප‍්‍රදේශය ද කැණීමට ලක්කර තිබේ. ඒ අනුව ජනවාරි මස දී 95, පෙබරවාරි මස දී 127, මාර්තු මස දී 192, අපේ‍්‍රල් මස දී 197, මැයි මස දී 234, ජුනි මස දී 204 යනාදී කැණීම් වළවල් කැණීම් කර අවසන් කර තිබේ. සමස්තයක් වශයෙන් මුළු ක්ෂේත‍්‍රයේ ම කැණීම් වළවල් සෙ.මී. 30-40 අතර ප‍්‍රමාණයක් කැණීම් කර තිබුණි. මෙහි දී සියලූම පස් ස්ථර අවුල් වූ පස් ස්ථර වශයෙන් හඳුනාගෙන ඇත. මෙම ප‍්‍රදේශවලින් මතුකර ගත් බොහෝ ගොඩනැඟිලි ප‍්‍රතිමාඝර වශයෙන් සැලකේ (රත්නායක, 2005, 5 පිටුව). දළ වශයෙන් මුළු ක්ෂේත‍්‍රය පුරාම සිදුකළ කැණීම්වලින් එහි පස් ස්ථර 6ක් මතු වී තිබේ.

වර්ෂ 1987 අගෝස්තු 15 වන දින ව්‍යාපෘතියේ කැණීම් කටයුතු එක් මසකට දින 13කට සීමා කර තිබේ. මේ කාලයේ දී ස්තූපයේ නිරිත, දකුණ හා ගිණිකොන දිග ප‍්‍රදේශයන්වල කැණීම් කර තිබේ. මෙකල කැණීම් කළ වළ ලෙස 74 කැණීම් වළ ජූලි මස දී ද, 65 කැණීම් වළ අගෝස්තු මස දී ද, 116 කැණීම් වළ සැප්තැම්බර් මස දී ද, 117 කැණීම් වළ ඔක්තෝබර් මස දී ද, 98 කැණීම් වළ නොවැම්බර් මස දී ද, 47 කැණීම් වළ දෙසැම්බර් මස දී ද කැණීමට ලක් කළේය (රත්නායක, 2004, 7 පිටුව). මේ කාලය තුළ දී පර්යේෂණ කැණීම් වළවල් 4ක් ආරම්භ කර තිබේ. මෙම පර්යේෂණ කැණීම් වළවල්වල ස්ථරායනය විශ්ලේෂණය කර ඇත්තේ ”මැටි‍්‍රක්ස් ක‍්‍රමය’’ භාවිත කර ගෙනය.

වර්ෂ 1989 වර්ෂයේ දී මුල් කාර්තුවේ දී බටහිර ඇත් පවුර අංක 2 ප‍්‍රතිමා ගෘහය නැගෙනහිර වාහල්කඩ පර්යේෂණ කැණීම් යන ස්ථානයන්හි පර්යේෂණ කැණීම් සහ අනාවරණ කටයුතු කරන ලදී. ඇත් පවුරේ දකුණු අර්ධයේ ඇතුළත සහ පිටත යන දෙපැත්තේම පස් ඉවත් කර අනාවරණය කර ගන තිබේ. ඒ සමගම ඇත් පවුරේ බටහිර පැත්තේ ප‍්‍රධාන පිවිසුමේ සිට සංරක්ෂණ කාර්යයන් ද කැණීමට සමගාමීව සිදුකර ඇත. දකුණු අර්ධයේ ඇතුල් පැත්තේ කැණීමෙන් ලැබුණු අවශේෂ අතර සෙ. මී. 70 සිට 120 දක්වා ගැඹුරින් වී. ඕ. සී. වර්ගයේ කාසි කිහිපයක් ද, වීදුරු කැබලි ද, වැලි තට්ටුවේ දී රබස් කුඩා සහ ඉතා කුඩා විවිධ හැඩති පබළු ද හමුව තිබේ. මෙහිදී විශිෂ්ට මැටි නිර්මාණයක් ද හමුව තිබේ. එහි විශ්කම්භය සෙ.මී. 7 සිට 6 දක්වා අනුක‍්‍රමයෙන් අග සිට මුලට සිහින් වන අයුරින් මනාව පදම් කොට ගත් මැට්ටෙන් නිමවා පුළුස්සා සකස් කර ගත් ඇත් දතක් වශයෙන් සැලකිය හැකි අවශේෂයකි (රත්නායක, 2005, 7 පිටුව).

1990 වර්ෂයේ දී මුල් මාස 6 තුළ දී කිසිඳු පුරාවිද්‍යාත්මක පර්යේෂණ කැණීමක් සිදුකර නොමැත. ඒ වෙනුවට ස්තූපයේ ඇත් පවුර පෑදීමේ කටයුතු කර තිබේ. ඇත් පවුරේ වයඹ සහ උතුරු දිශාවන්හි පාදා ගැනීම් සිදුකර තිබේ. සාමාන්‍යයෙන් මීටර් 1ක් හෝ 1.5 ක් ගැඹුරට මීටර් 1 හෝ 1.5ක් පළලට ඇත් පවුර පෑදීම සිදුකර තිබේ. මෙම ඇත් පවුර සාමාන්‍යයෙන් සෙ.මී. 155 ක් පළලකින් යුක්ත වූ අතර මුල් පාදම්හි උස සෙ.මී. 20ක් විය. එහි නැම්ම සෙ.මී. 15ක් විය. දෙවන පාදම්හි උස සෙ.මී. 40 කි. එහි නැම්ම සෙ.මී. 50ක් උසින් යුක්ත විය (රත්නායක, 2006, 5 පිටුව).

දකුණු ආයක කැණීම් 1991.09.30 දින අරඹන ලදී. මෙම කැණීම් වල නැගෙනහිර හා බටහිර අතර දිගින් අඩි 30ක් වූ අතර, උතුර හා දකුණ අතර පළල අඩි 15ක් විය. මෙම කැණීම් ස්්ථානය එස් 3 ඩබ් 1 හා එස් 3 ඊ 1 යන ග‍්‍රිඞ් දෙකකට අයත් විය. අවශ්‍ය ඡුායාරූප ගැනීමෙන් පසුව 1991.10.02 දින කැණීම් කටයුතු අරඹා ඇත. සලපතල මළුව මතු කර ගැනීමට සෙ. මී. 25ක් පමණ ගැඹුරට කැණීම් කරන ලදී. කැණීම් කොටුවේ බටහිරට වන්නට ගඩොල් කැබලි බහුලව හමුව ඇත. ඊට අමතරව වීදුරු, උළු කැබලි, දිරාපත් වෙමින් පැවති යකඩ ඇණ කිහිපයක් ද හමුවී තිබේ. දකුණු ආයකයේ ඉදිරිපස කැණීමෙන් පසු මැටි බඳුන් දෙකක් හමුවිය. එම මස 29 වන දින සෙ.මී. 65ක් යටින් රබස් පිරවූ මුට්ටියක් හමුවිය. එහි සිංහ කාසියක් ද හමුවිය (රත්නායක, 2007, 12 පිටුව). තවත් මැටි බඳුන් ඇතුළු පුරාවස්තු රැසක් මෙහි දී සොයාගත හැකි විය.

වර්ෂ 1993 දී ජේතවන භූමියේ කැණීම් හා සංරක්ෂණ කටයුතු සඳහා වෙන් කරගත් ප‍්‍රදේශය හාල්පාන් ඇළ සහ මල්වතු ඔය සීමා කොට පවතී. සංරක්ෂණය භූමි සැකසුම හා ඒ සම්බන්ධව සැලසුම් සකස් කිරීම කොළඹ ”ඞීසයින් ගෲප් ප‍්‍රයිවට් ආයතනයේ වාස්තුවිද්‍යා උපදේශකවරුන් විසින් මෙහෙයවනු ලැබීය. මෙහි දී බෝධිඝරය, එස් 11 ඒ 1 පොකුණ, පැරණි ළිඳ එස් 11 ඩබ් 3, එස් 2 ඊ 9, ආරාම ජේ එස් 2 ඊ 8, දකුණු වාහල්කඩ කැණීම, ස්තූප පේසාව සෑදීම, දකුණු පේසාව සෑදීම, කැසිකිළි සංකීර්ණය එස් 10 ඊ 1, එස් 9 ඊ 2 යන ස්ථානවල කැණීම් සිදුකර තිබේ (රත්නායක, 2008, 6 පිටුව).

වර්ෂ 1995 ජූලි – දෙසැම්බර් හය මාසයේ පහත ස්ථාන කැණීම් කර ඇත,

1. ස්තූපය හ හතරැස් කොටුව

2. පොකුණ (දානශාලාව නැගෙනහිර)

3. පෝයගෙට බටහිර පොකුණ (එස් 1 ඊ 11)

4. ආරාම ”එච්’’ සංකීර්ණය

5. බෝධිඝරය

6. පර්යේෂණ කැනීම්

එන් 5 ඊ 7 සී 1

එස් 3 ඊ 5 අයි 1

එස් 6 ඊ 5 ඒ 1

එස් 7 ඊ 6 ඒ 8

7. ආරාම ”ජී’’ සංකීර්ණය (සැප්තැම්බර් මස සිට)

8. ස්තූපයට උතුරින් පිහිටි පොකුණ (සැප්තැම්බර් මුල සිට) (එන් 6 ඊ 4) (රත්නායක, 1995, 4 පිටුව)

2000.08.21 සිට 2000.09.21 දක්වා මාසයක් මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් එකතුව මල්වතු ඔයෙහි වම් ඉවුරෙහි තෝරාගත් කොටසක ඊට සම්බන්ධ ගොඩබිම් ප‍්‍රදේශය ගවේෂණයට ලක් කරනු ලැබීය. මෙහි දී කොහොඹගස් හන්දියේ සිට යාපනය හන්දියට දිවෙන මංසන්ධිය දක්වා ඇති මාර්ගයේ මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශය ගවේෂණයේ අපේකෂිත ප‍්‍රදේශය විය. මෙම ගවේෂණයේ අරමුණු වූයේ,

1. මල්වතුඔය නිම්නයේ පැවති සමාජ, සංස්කෘතික, දේශපාලන වටපිටාව හඳුනා ගැනීම

2. දේශය, විදේශීය සම්බන්ධතා, වාණිජ කටයුතු, අන්තර් හුවමාරු පද්ධති, පරිවහන ජාල පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීම

3. ජේතවන ආරාම සංකීර්ණයේ සීමාවන් හඳුනා ගැනීම.

4. ගංගා නිම්නය හා ඇතුළු නුවර අතර සබඳතාවත්, මහාවිහාරයේ ස්ථානගත වීමේ උපයෝගිතාවයත් පරීක්ෂා කිරීම

5. මල්වතුඔය නිම්නය හඳුනා ගැනීම

6. ගංගාවේ විතැන් වීම හා ඉවුරු තැන්පතු පිළිබඳ ඇගයුම

මෙම ගවේෂණයෙන් සොයාගත් පුරාවස්තු අතර කහඳ, තිරුවානා ආදී පාෂාණ වර්ග, යබොර සහ කෝව කැබලි, කෙමි, වළං කැබලි, පාත‍්‍ර කැබලි වශයෙන් මැටි බඳුන් අවශේෂ ද, මැටි, පාෂාණ හා වීදුරු ආදියෙන් නිර්මිත පබළු ද වේ (සෙනෙවිරත්න සහ සේනානායක, 2008, 13 පිටුව). මෙහි දී ජේතවන ස්තූපයේ හතරැස් කොටුවේ පාදම පර්යේෂණ කැණීමකට ලක් කළේය. සලපතල මළුවේ ප‍්‍රදර්ශන සහ පර්යේෂණ කැණීම් ද සිදුකර තිබේ. මෙය විවෘත කැණීමක් ලෙස සිදුකර ඇත (සෙනෙවිරත්න සහ සේනානායක, 2008, 22, 34-35 පිටු).

2001.06.11 සිට 2001.07.23 දක්වා මසක් කාලයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තෙවන වසර පුරාවිද්‍යාව හදාරන ශිෂ්‍ය පිරිස මල්වතු ඔය වම් ඉවුර ගවේෂණයට සම්බන්ධ විය. සියවස මාවත අසල පාලම අසල සිට මල්වතු පටුමග පාලම දක්වා කොටස ගවේෂණය කිරීම සිදුවිය. මෙහි අරමුණු වී ඇත්තේ,

1. මල්වතුඔය නිම්නය හඳුනා ගැනීම

2. ගංගා නිම්නය ආශ‍්‍රිතව පැවති සමාජ, සංස්කෘතික, දේශපාලන වටපිටාව හඳුනා ගැනීම

3. ජේතවන ආරාම සංකීර්ණයේ සීමාවන් හඳුනා ගැනීම.

4. ජේතවන පුරාවිද්‍යා රක්ෂිතය හා මල්වතුඔය ඉවුර ආශ‍්‍රිත පාංශු ස්ථරායනය අධ්‍යයනය කිරීමෙන් එහි ඇති සම්බන්ධතා හඳුනා ගැනීම.

5. මල්වතුඔය ආශ‍්‍රිතව පැවති මාර්ග පද්ධතිය හා තොටුපළ ආදි කරුණු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම.

6. ගංගාවේ විතැන් වීම හා ඉවුරු තැන්පතු පිළිබඳ පිරික්සා බැලීම (සෙනෙවිරත්න සහ සේනානායක, ජේතවන ව්‍යාපෘතිය වාර්ෂික පුරාවිද්‍යා වාර්තාව 2001, 2008, 05 පිටුව).

මෙම ගවේෂණයෙන් දකුණු ඉවුරේ පැවති ගොඩනැගිල්ලක උළු කැට රැසක් හමුවී ඇත. ඒ අසලින් කාල රක්ත වර්ණ මැටි බඳුන් කැබලි, රක්ත වර්ණ මැටි බඳුන් කැබලි, තඹ කැබලි, කහඳ පාෂාණ කැබලි හමුව තිබේ. මෙම වර්ෂයේදී ම පර්යේෂණ කැණීම් කිහිපයක් ද සිදුකර තිබේ. එයින් පළමු වැන්න නම් මල්වතුඔය මාවත අසල සිදුකර ඇත. එම කැණීම අයත් වූයේ එස් 155 ඩබ් 1 යන ග‍්‍රිඞ් අංකයට ය. එය න්‍ගඵගඛගඡුග 2001 වශයෙන් නම් කර තිබේ. මෙහි අරමුණු වූයේ,

1. ජේතවන ව්‍යාපාතියේ දකුණු දිශාවේ පාංශු ස්ථරායනය පිළිබඳ අධ්‍යයනය කිරීම.

2. පූර්ව කැණීම් දත්ත ද ඇසුරෙන් ජේතවන භූමියේ නිවැරදි ඉතිහාසය ගොඩනැංවීම.

3. ජේතවන ආරාම සංකීර්ණය, මල්වතුඔය, හාල්පානු ඇළ අතර පැවති සම්බන්ධතා පිළිබඳව විමසා බැලීම.

මෙම පර්යේෂණ කැණීමෙන් රක්ත වර්ණ, කාල වර්ණ, කාලරක්ත වර්ණ, ආලේපිත රක්ත වර්ණ, ඔප දමන ලද රක්ත වර්ණ යනාදී මැටි බඳුන් කැබලි ලැබී තිබේ. තවද කෝව කැබලි, සෙරමික් කැබලි, ගඩොළු ශේෂ, රෝම කාසියක්, ලෝහ භාණ්ඩ, පබළු, බෙල්ලන්, සත්ත්ව දත්, අස්ථි යානාදී බොහෝ පුරාවස්තු ලැබී තිබේ. දෙවන පර්යේෂණ කැණීම දෙවන පිළිම ගෙය අසල සිදුකර තිබේ. මෙය එස් 9 ඊ 6 සහ එස් 10 ඊ 6 යන ග‍්‍රිඞ් අංකයට අයත් වේ. මෙහි දී පර්යේෂණ කැණීම් දෙකක් සිදුකර තිබේ. ඒවා න්‍ගඡුගඛ 2001 ෂ ) ෂෂ ලෙස නම් කර තිබේ. මෙම කැණීමේ අරමුණු වූයේ,

1. ජේතවන ව්‍යාපාතියේ දකුණු දිශාවේ පාංශු ස්ථරායනය පිළිබඳ අධ්‍යයනය කිරීම.

2. පිළිම ගෙය පිහිටන්නා වූ ගොඩනැගිල්ලෙහි මූලික ලක්ෂණ හඳුනා ගැනීම.

3. පූර්ව කැණීම් දත්ත ඇසුරු කර ගෙන ජේතවන භුමිය ආශ‍්‍රිත නිවැරදි ඉතිහාසයක් ගොඩනැංවීම සඳහා පිළිමගෙය ආශ‍්‍රිත භූමියේ මානව ක‍්‍රියාකාරකම් තේරුම් ගැනීම (සෙනෙවිරත්න සහ සේනානායක, ජේතවන ව්‍යාපෘතිය වාර්ෂික පුරාවිද්‍යා වාර්තාව 2001, 2008, 26 පිටුව).

න්‍ගඡුගඛ 2001 ෂ කැණීමෙන් ලක්ෂ්මී කාසියක්, කෝව කැබලි, පාෂාණ වර්ග, වීදුරු ශේෂ, ගඩොළු කැබලි, පබළුවක්, යකඩ කැටිති සහ කුඩා බෙලිකටු වාර්තා වී තිබේ. න්‍ගඡුගඛ 2001 ෂෂ කැණීමෙන් මැටි බඳුන් කැබලි, පබළු, බෙල්ලෝ, අස්ථි ශේෂ, ලෝහ ශේෂ, යබොර, හුණු බදාම, හතරැස් සිංහ කාසියක්, වීදුරු ආදී පුරාවස්තු රැසක් සොයා ගෙන තිබේ. තවද ජේතවන ස්තූප මළුවේ වයඹ දෙසින් එන් 3 ඩබ් 3 ග‍්‍රිඞ් අංකය තුළ මීටර් 3ක් දිග, මීටර් 3 සෙන්ටි මීටර් 60ක් පළල පර්යේෂණ කැණීමක් සිදුකර තිබේ. මෙහි අරමුණු වූයේ,

1. ජේතවන ව්‍යාපෘතියේ උතුරු දිශාවේ පාංශු ස්ථරායනය පිළිබඳ අධ්‍යයනය කිරීම.

2. පූර්ව කැණීම් දත්ත ඇසුරු කර ගෙන ජේතවන භූමිය ආශ‍්‍රිත නිවැරදි ඉතිහාසයක් ගොඩනැංවීම සඳහා පිළිම ගෙය ආශ‍්‍රිත භුමියේ මානව ක‍්‍රියාකාරකම් තේරුම් ගැනීම.

3. විශ්වවිද්‍යාල සිසුන්ට ප‍්‍රායෝගික ක්ෂේත‍්‍ර පුහුණුව ලබා දීම (සෙනෙවිරත්න සහ සේනානායක, ජේතවන ව්‍යාපෘතිය වාර්ෂික පුරාවිද්‍යා වාර්තාව 2001, 2008, 61 පිටුව).

හරස්කඩ සැලසුම්, දළ සැලසුම්, ත‍්‍රිමාණ සැලසුම්, සංසිද්ධි අංක පත‍්‍රිකා පිරවීම, ඡුායාරූප ගැනීම ආදිය මෙහි දී කැණීම වාර්තාගතකරන ක‍්‍රමවේද වශයෙන් යොදා ගෙන තිබේ.

2003 පුරාවිද්‍යා ගවේෂණය බයාගිරිය හන්දියේ සිට කොහොඹගස් හන්දිය දක්වා සිදුකර තිබේ. පර්යේෂණ නිලධාරිනී ඉනෝකා බාලසූරියගේ මෙහෙය වීම සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසර පුරාවිද්‍යාව හදාරන සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් හාල්පානු ඇළේ ගවේෂණය සිදුකරනු ලැබීය. මෙහි අරමුණු වූයේ,

1. ගවේෂණයට ලක්වන ක්ෂේත‍්‍රය හා ජේතවන පුරාභූමිය අතර සම්බන්ධතාව තේරුම් ගැනීම

2. ඇළ ඉවුර දෙපස සංස්කෘතික තොරතුරු වාර්තා කිරීම.

3. ඇළ මාර්ගයේ ස්ථානගත වීම හඳුනා ගැනීම.

4. පුරාවිද්‍යා ශිෂ්‍යයන් සඳහා ගවේෂණ පුහුණුව ලබා දීම.

මෙම වසරේ දී පර්යේෂණ කැණීම් දෙකක් සිදුකර තිබේ. ඒවා නම් න්‍ගීගධගඋගඡු 2003 සහ න්‍ගීගඋගඡු 2003 යනුවෙන් නම් කර ඇත.

න්‍ගීගධගඋගඡු 2003 කැණීමේ අරමුණු වූයේ,

1. ජේතවන ව්‍යාපාතියේ උතුරු දිශාවේ පාංශු ස්ථරායනය පිළිබඳ අධ්‍යයනය කිරීම.

2. පූර්ව කැණීම් දත්ත ඇසුරු කර ගෙන ජේතවන භූමිය ආශ‍්‍රිත නිවැරදි ඉතිහාසයක් ගොඩනැංවීම සඳහා පිළිම ගෙය ආශ‍්‍රිත භුමියේ මානව ක‍්‍රියාකාරකම් තේරුම් ගැනීම.

3. ආරාමයේ සංස්කෘතික භූදර්ශනය හඳුනා ගැනීම.

4. විශ්වවිද්‍යාල සිසුන්ට ප‍්‍රායෝගික ක්ෂේත‍්‍ර පුහුණුව ලබා දීම (සෙනෙවිරත්න සහ සේනානායක, ජේතවන ව්‍යාපෘතිය වාර්ෂික පුරාවිද්‍යා වාර්තාව 2003, 2008, 11 පිටුව).

න්‍ගීගඋගඵගඡු 2003 කැණීමේ අරමුණු වූයේ,

1. වැලි මළුව ආශ‍්‍රිත පාංශු ස්ථරායනය පිළිබඳ අධ්‍යයනය කිරීම.

2. මීට පෙර වසරවල ස්තූප සලපතල මළුව ආශ‍්‍රිතව සිදුකරන ලද කැණීම්වල දී වාර්තා වූ ස්ථරායනය පිළිබඳ අධ්‍යයනය කොට ස්තූප භූමිය හා එහි ඉතිහාසය තේරුම් ගැනීම.

3. ජේතවන විහාරයේ සංස්කෘතික භූදර්ශනය හඳුනා ගැනීම.

4. පුරාවිද්‍යා විශේෂවේදී සිසුන් සඳහා ප‍්‍රායෝගික කැණීම් පුහුණුවක් ලබා දීම (සෙනෙවිරත්න සහ සේනානායක, ජේතවන ව්‍යාපෘතිය වාර්ෂික පුරාවිද්‍යා වාර්තාව 2003, 2008, 23 පිටුව).

මෙහි දී මැටි බඳුන්, කාලරක්ත වර්ණ මැටි බඳුන්, රතු මැටි බඳුන් ආදී මැටි බඳුන් විශේෂ ද තඹ බොර, යබොර, පබළු, අස්ථි, අඟුරු ආදිය හමුවී තිබේ. මෙම කැණීම ජේතවනාරාම ස්තූප වැලි මළුවේ කැණීම යනුවෙන් හඳුන්වයි.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

ජයතිලක, ඕ. ආර්. ජේතවන ආරාම සංකීර්ණය. කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2008.

මහාවංශය සිංහල, සංස්., බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. නුගේගොඩ: අජිත් ප‍්‍රින්ටර්ස්, 2004.

රත්නායක, හේම. ජේතවන ව්‍යාපෘතිය අනුරාධපුරය දසවන පුරාවිද්‍යා කැණීම් වාර්තාව 1986 ජූලි/දෙසැම්බර්. කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2002.

රත්නායක, හේම. ජේතවන ව්‍යාපෘතිය අනුරාධපුරය 1983 ජූලි-දෙසැම්බර්. කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2003.

රත්නායක, හේම. ජේතවන ව්‍යාපෘතිය අනුරාධපුරය පස්වන හයමාසික පුරාවිද්‍යා කැණීම් ප‍්‍රගති වාර්තාව. කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2004.

රත්නායක, හේම. ජේතවන ව්‍යාපෘතිය අටවන පුරාවිද්‍යාත්මක කැණීම් හා පර්යේෂණ ප‍්‍රගති වාර්තාව 1985 ජුලි-දෙසැම්බර්. කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2006.

රත්නායක, හේම ජේතවන ව්‍යාපෘතිය අනුරාධපුරය එකළොස්වන හයමාසික පුරාවිද්‍යා කැණීම් හා පර්යේෂණ ප‍්‍රගති වාර්තාව (ජනවාරි-ජුනි) 1987. කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2005.

රත්නායක, හේම. ජේතවන ව්‍යාපෘතිය අනුරාධපුරය 12 වන හය මාසික පුරාවිද්‍යා කැණීම් ප‍්‍රගති වාර්තාව (1987 ජූලි/දෙසැම්බර්7). කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2004.

රත්නායක, හේම. ජේතවන ව්‍යාපෘතිය 16 වන පුරාවිද්‍යාත්මක කැණීම් පිළිබඳ ප‍්‍රගති වාර්තාව (1989 ජූලි-දෙසැම්බර්). කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2005.

රත්නායක, හේම. ජේතවන ව්‍යාපෘතිය 17 වන හය මාසික පුරාවිද්‍යා කැණීම් ප‍්‍රගති වාර්තාව (1990 ජනවාරි-ජූනි). කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2006.

රත්නායක, හේම. ජේතවන ව්‍යාපෘතිය 23 වන පුරාවිද්‍යාත්මක කැණීම් හා පර්යේෂණ ප‍්‍රගති වාර්තාව (1993 ජනවාරි-ජූනි). කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2007.

රත්නායක, හේම. ජේතවන ව්‍යාපෘතිය 24 වන පුරාවිද්‍යා කැණීම් හා පර්යේෂණ ප‍්‍රගති වාර්තාව (1993 ජූලි-දෙසැම්බර්). කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2008.

රත්නායක, හේම. ජේතවන ව්‍යාපෘතිය 28 වන පුරාවිද්‍යාත්මක කැණීම් හා පර්යේෂණ ප‍්‍රගති වාර්තාව (1995 ජූලි සිට දෙසැම්බර්). කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 1995.

සෙනෙවිරත්න, සුදර්ශන් හා සේනානායක, පියතිස්ස. ජේතවන ව්‍යාපෘතිය වාර්ෂික පුරාවිද්‍යා වාර්තාව 2000. කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2008.

සෙනෙවිරත්න, සුදර්ශන් හා සේනානායක, පියතිස්ස. ජේතවන ව්‍යාපෘතිය වාර්ෂික පුරාවිද්‍යා වාර්තාව 2001. කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2008.

සෙනෙවිරත්න, සුදර්ශන් සහ සේනානායක, පියතිස්ස. ජේතවනාරාම ව්‍යාපෘතිය වාර්ෂික පුරාවිද්‍යා වාර්තාව 2003. කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල, 2008.

 යූ. ඞී. ආර්. ෂෙහාන් තිලකරත්න
පුරාවිද්‍යාව විශේෂ, පේරාදෙණිය විශ්විද්‍යාලය, පේරාදෙණිය



97 Viewers