• Home »
  • Sinhala Articles »
  • දළදා වහන්සෙත් වැඩසිටිබව කියන, යළි ගොඩනැගෙන උතුරේ බෞද්ධ පුදබිම සපුමල්ගස්කඩ

දළදා වහන්සෙත් වැඩසිටිබව කියන, යළි ගොඩනැගෙන උතුරේ බෞද්ධ පුදබිම සපුමල්ගස්කඩ

උතුර සහ නැගෙනහිර පළාත් ග‍්‍රහණයට ලක්කොට පාලනය කළ ත‍්‍රස්තවාදී කණ්ඩායමක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත් කිරීමේ සුවිශේෂී ගෞරවය හිමිවනුයේ ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිවිධ හමුදාවටයි. එම ජයග‍්‍රහණය පසුපස සියලූම දෙනාගේ සුවිසල් කැපකිරීම් දක්නට ඇත. රටෙන් කොටසක වෙනම පාලනයක් ස්ථාපිත කරලීම උදෙසා දියත් කළ ත‍්‍රස්තවාදය පෝෂණය කරලීමට ඉන්දියාව ඇතුළු විදේශ රටවල් රැසක් අනුග‍්‍රය දැක්වීය. එවැනි ප‍්‍රබල සහයෝගයක් තිබියදීත් ලද ජයග‍්‍රහණය ඓතිහාසික වේ. යුධ ජයග‍්‍රහණයෙන් පසු ඊළාම් ඉල්ලීම් සුණු විසුණුව ගිය අතර උතුරේ සහ නැගෙනහිර පැවති සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය යළි මතුවන්නට පටන් ගත්තේය. වසර තිහක් පුරා ඝණ කැලයට යටව තිබූ ඓතිහාසික සිද්ධස්ථානයන්හි නටබුන් හමුදාව විසින් සොයා ගන්නට යෙදුණි. බිම් බෝම්බ ඉවත් කිරීම මාර්ග සංවර්ධනය ආදී කාර්යයන් කරන අතරවාරයේ මෙවැනි පුදබිම් රාශියක්ම සොය ගන්නට යෙදුණි. අසූව දශකයේ දී එවකට කර්මාන්ත ඇමැතිව සිටි සිරිල් මැතිව් මහතාගේ මග පෙන්වීම යටතේ පුරාවිද්‍යා කොමසාරිස් එම්. එච්. සිරිසෝම මහතා විසින් සකස් කළ උතුර සහ නැගෙනහිර බෞද්ධ පුදබිම් විස්තරයන් අතර කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත‍්‍රික්කයන්හි විස්තර වාර්තා කිරීම් ගණනින් ස්වල්ප විය. එයට හේතුව යුද්ධය ඇරඹීමත් සමග ඒ ප‍්‍රදේශ ගවේෂණය කිරීම නතර වීමයි. නමුත් 2009 වසරෙන් පසුව යුධ හමුදාව ගිය ගමන් මග යමින් මෙම පුදබිම් පිළිබඳ නිවැරදි හෙළිදරව්වක් කිරීමට පුරාවිද්‍යා චක‍්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ට හැකි විය.

2010 වසරේ සිට වවුනියා දකුණ ප‍්‍රදේශයේ සිංහල ගම්මාන තැනීම ආරම්භ වන්නේ ද යුධ හමුදාව මැදිහත් වීමෙනි. අවතැන් වූ සිංහල ජනතාව මෙසේ පදිංචි කරන කල්හි එයට ශක්තියක් වූයේ එවකට ජනාධිපති උපදේශකව සිටි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ය. උන්වහන්සේ නිරන්තරව එහි වැඩම කරමින් හමුදාව දිරිමත් කරමින් මේ කටයුත්ත සාර්ථක කරලීමට අවශ්‍ය පහසුකම් සලසා දුන්නේය. මේ කාලයේ මේ කටයුත්ත භාරව සිටියේ බි‍්‍රගේඩියර් රාජ් රණවක මහතාය. නොපසුබස්නා වීර්යයයෙන් යුක්තව එතුමාගේ මග පෙන්වීම මත කැලෑ බෝගස්වැව, නාමල්ගම, සැළලිහිණිගම, නන්දිමිත‍්‍රගම ආදී ගම්මාන රැසක් බිහිකර ජනතාව පදිංචි කරන ලදී. වවුනියාවේ සිට කි.මී. 35 ක් පමණ ඈතින් පිහිටා තිබෙන මේ ඉසව්ව ඝණ කැලයට යටව තිබුණි. නමුත් තැන තැන පුරාවස්තු සහ සෙල් ලිපි කොටවන ලද ගල්ලෙන්ය. කිඹුලාගල පමණක් සෙල්ලිපි තිස්පහකි. කැලෑ බෝගස්වැවෙන් කි.මී. හයක් පමණ ඈත ඉසව්වක ඉතා වැදගත් ආරාම සංකීර්ණයක් පවතින බව වරක් අපට දැන ගන්නට හැකි විය. 2010 වසරේ එහි වැඩම කළ එල්ලාවල මේධානන්ද හිමියන් ඒම ස්ථානයට සපුමල්ගස්කඩ යන නාමය තබා තිබුණි. නමුත් කැලෑ බෝගස්වැව සිට එහි යෑමට මාර්ගයක් නොවීය. එම නිසා යාපන මාර්ගයේ පුලියන්කුලමේ සිට නෙදුන්කර්නි මාර්ගයේ පැමිණ කැලෑබද සපුමලගස්කඩට පැමිණෙන්නට අපට හැකි විය. ඒ ගමනට පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සමග පිරිසක් එක් විය. රාජ් රණවක මහතා ඇතුළු හමුදාව එයට මග පෙන්වන ලදී. සපුමල්ගස්කඩ වැව පාමුල එක් පසෙකින් මෙම විහාරය තනවා තිබේ. ප‍්‍රතිමා ගෘහය, ස්තූපය, උපෝසථාගාරය, බෝධිඝරය ආදී නොයකුත් ගොඩනැගිලවල නටබුන් එහි දක්නට හැකි වුණි. එහි තිබුණු ස්තූපය නිදන් හොරුන් විසින් හාරා තිබුණු නමුත් අනෙක් ගොඩනැගිලි ජරාවාස වී පසෙන් වැසී නිරුපද්‍රිතව තිබුණි.

දළදා වහන්සේ වැඩම කළ ගමන් මග වැටී ඇත්තේ කොක්කල කලපුව අසල ගුරුකන්ද විහාරයේ සිට බව තිබෙන මතය අනුව අනුරාධපුර දක්වා වැඩම කිරීමේ දී රුවන් මඩුව, මාමුඩුව මල් මඩුව, මඩුකන්ද ආදී තැන් ගැන ජනප‍්‍රවාද විස්තර සටහන් වේ. සපුමල්ගස්කඩ විහාරය ගැන සලකා බැලීමේ දී ද දළදා වහන්සේ වැඩ සිටි ස්ථානයක් වශයෙන් අපට හඳුනා ගන්නට හැකිය. 2015 දී පමණ අප එහි නැවත යන විට ප‍්‍රතිමා ගෘහයත් පැරණි ගොඩනැගිලි කීපයකුත් නිදන් හොරුන් හාරා එහි තිබූ සඳකඩපහණ කඩා දමා තිබුණි. ප‍්‍රතිමා ගෘහයේ තිබූ හිටි පිළිම වහන්සේ වවුනියා කෞතුකාගාරයට වැඩමවාලීමට සිදු වූයේ මේ විනාශය හේතු කොටගෙනයි. මේ කාලවකවානුව තුළ උතුරේ සහ නැගෙනහිර කිසිදු පුරාවිද්‍යා සංවර්ධන කටයුත්තක් කළ නොහැකි කාල වකවානුවක් විය. එයට හේතුව වූයේ එවකට අගමැති වූ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දී තිබු නියෝගයයි. මේ නිසා දිනෙන් දින සිදු වූ විනාශයන් අතිමහත්ය. කෙසේ වෙතත් 2019 වසරෙන් පසු මෙම ස්ථානය නැවත පුරාවිද්‍යා ගවේෂණයට බඳුන් වීය. එයට මුල් වූයේ පූජ්‍ය ගල්ගමුව ශාන්තබෝධි ස්වාමීන් වහන්සේය. නොයෙකුත් සැදැහැවතුනගේ පෞද්ගලික ධන පරිත්‍යාග ලබාගෙන සපුමල්ගස්කඩ පුරාවිද්‍යා වැඩ කටයුතු ආරම්භ කිරීම උන්වහන්සේගේ බලාපොරොත්තුව විය. මේ අනුව 2020 වසරේ දී මෙහි ප‍්‍රතිමා ගෘහයේ කැණීම් කටයුතු පුරාවිද්‍යා නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී. මෙ කැණීමේදී තවත් බෝධිසත්ව ප‍්‍රතිමාවක්, තාරා දෙවඟන ප‍්‍රතිමාවක් ආදී වැදගත් පුරාවස්තු කීපයක් මතු කරගෙන ඇත. ඒවා දැනට වවුනියා කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. සපුමල්ගස්කඩ ප‍්‍රතිමා ගෘහයේ ඉඳි කිරීම් සිදු වන්නට ඇත්තේ අවදි දෙකකට බව පැහැදලිය. එහි. පිටත සීමා කර තිබෙන බැම්ම මතින් ප‍්‍රවිෂ්ඨ වන්නට එක් සඳකඩපහණකුත් පිළිමගෙයට ප‍්‍රවිෂ්ඨ වන්නට තවත් සඳකඩපහනකුත් දක්නට ඇත. මුල් සඳකඩපහණ ඉතා චාම්ය. කව හතරකින් යුක්තය. නමුත් ඉපැරණි ලක්ෂණයන් සහිත පුන්කලස් කෙටූ ගල් දෙකක් හමුවේ. මුල් ක‍්‍රි.පූ. අවදියේ මුරගල් වල කිසිම සටහනක් නැත. නමුත් එහි විකාශනයේ දී විභූෂිත වී ඇත.

ප‍්‍රතිමා ගෘහයේ බැම්ම ආසන්නයේ තිබෙන මුරගලේ පුන්කලස මෙම පැරණි ලක්ෂණයන් දක්නට තිබේ. දෙවන සඳකඩපහණ විශේෂ ගලකින් නෙලා ඇත. ප‍්‍රතිමා ගෘහය දෙමහල්ය. උඩ මාලය ධාතු මන්දිරයක් ලෙසට භාවිතා කරන්නට ඇතිවාට සැකයක් නැත. මේ හා සමාන වාස්තු නිර්මාණ කෝට්ටේ යුගය දක්වා ක‍්‍රමයෙන් විකාශනය වී ඇති බව පැහැදිලිය. සපුමල්ගස්කඩ ප‍්‍රතිමා ගෘහයට ආසන්නයේ ම දැනට හඳුනා නොගත් ගොඩනැගිල්ලකි. මෙහි ප‍්‍රවිෂ්ඨයේ කොරවක් ගල් දෙකක් සහිත සඳකඩපහණක් 2011 දී දක්ට තිබුණි. 2015 වසරේදී නිදන් හොරුන් විසින් ඒවා පෙරලා දමා ඇත. මෙයට නුදුරින් පුරාණ චෛත්‍ය ඉඳි කර තිබේ. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කැණීම ආරම්භ කරන ලද්දේ 2021 වරෂයේ ජනවාරි පළමුවැනිදාය. කැණීම අවසන් කොට දැන් සංරක්ෂණය පටන්ගෙන තිබේ. චෛත්‍ය වටා සිරිපතුල් ගල් කිපයකි. ඒවාද පෙර දැක්වූ සඳකඩපහණ මෙන් විශේෂ කිරිගරුඬ ගලකින් නිමවා තිබේ. චෛත්‍යයට ඉදිරියෙන් මීටර් සීයක් පමණ ඔබ්බෙන් බෝධිඝරය පිහිටා තිබේ. එසේම විහාරය වටා ප‍්‍රාකාරයක්ද එයට ප‍්‍රවිෂ්ඨ වීමට මුරගල් සහිත ස්ථාන හතරක්ද දක්නට ලැබේ.මෙම ස්ථානයේ ගොඩනැගිලි සංරක්ෂණයට දායක වන පින්වතුන් බොහොමයකි. ඒ අතර මැදපෙරදිග හෙළ බිම සංවිධානය සුවිශේෂීය. මෙම ස්ථානයට පමණක් නොව සංවර්ධනය වන උතුරේ විහාරස්ථාන කීපයකටම අවශ්‍ය ගඩොල් කැපීම පිණිස ඔවුහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මූල්‍ය ආධාර සපයා දී තිබේ. මේ ආකාරයට නව ප‍්‍රවේශයකින් උතුරේ බෞද්ධ වෙහෙර විහාර දැන් ප‍්‍රතිසංස්කරණය වෙමින් පවතී. අටමස්ථාන සහ සොළොස්මස්ථාන වන්දනාවේ ගිය බෞද්ධ සැදැහැවතුන්ට නව වන්දනා ගමන් මාර්ගයක් දැන් විවෘතව තිබේ. ඒ පැරණි දළදා වැඩි ගමන් මගයි.

මතුගම සෙනෙවිරුවන්



13 Viewers