• Home »
  • Sinhala Articles »
  • දළදා හිමි බැතියෙන් පුදන ආදිවාසීන්ගේ මී පැණි පූජාව

දළදා හිමි බැතියෙන් පුදන ආදිවාසීන්ගේ මී පැණි පූජාව

මදු හෙවත් ‘මී පැණි’ මෙන් අගනා වු, තථාගත සම්බුදු වදන ස්පර්ශ වූ අති උතුම් ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන මහනුවර ඇසළ මංගල්‍යයේ විචිත්‍රවත් පෙරහර අංගය වන රන්දෝලි පෙරහර, නරඹන්නන්ගේ නෙත් සිත් පැහැරගන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය පෙරදැරිව ය.

දළදා සමිඳුන් උදෙසා නේකවිධ පුද පූජා, උපහාර පවත්වන්නන් අතර අඛණ්ඩව පූජා පවත්වන ආදිවාසී ජනතාව මෙහිලා කිසි විටෙකවත් අමතක කළ නොහැකිය. ඒ නිසාම ශ්‍රී දළදා සමිඳුන් උදෙසා පැවැත්වෙන මේ මහා පෙරහර මංගල්‍යයේ පෙර කී රන්දෝලි පෙරහර ඇරඹෙනවාත් සමඟම පළමු දිනයේම ආදිවාසී ජනතාව සිය නායකයා සමඟ දළදා සමිඳුන් උදෙසා ‘මී පැණි’ පූජාවට පැමිණෙන්නේ ඉමහත් බැතියෙනි. ඒ තමනට උරුම ඓතිහාසික පුද සිරිත ඉටුකිරීමට ය. බෞද්ධ වංශකතා ඉතිහාසයේ සඳහන් පරිදි තථාගතයන් වහන්සේ මී පැණියෙන් හා අත්සුණුවලින් පූජා ලබන්නේ සත් සතිය අවසනය. ඒ තපස්සු භල්ලුක නම් වෙළෙඳ දෙබෑයන් වෙතිනි.

තවත් අවස්ථාවක බුදුන් වහන්සේගේ දසවැනි වස් කාලයේ ගෝෂිතාරාමයේ වැඩසිටින අවස්ථාවේ ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ විවාදය සමථයකට පත්කර ගැනීමට ඉඩහැර පාරිලෙයිය වනයට වැඩම කළහ. එහිදී උන්වහන්සේට උපස්ථාන කිරීමට එක්වූ වඳුරකු සහ ඇතකු අතරින් වඳුරා ‘දඬුවැල් මී වදයක්’ පූජා කළ බව සඳහන් වේ.

වර්තමානයේ අපේ ආදිවාසී ජනතාව දළදා සමිඳුන් උදෙසා පවත්වන ‘මී පැණි’ පූජාව පිළිබඳ අදහස් දක්වන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ –

“මී පැණි පූජාවට ඈත ඉතිහාසයක් තියෙනවා. විදේශ ආක්‍රමණ නිසා දන්ත ධාතූන් වහන්සේට විවිධ බාධා ඇතිවුණ වෙලාවේදී දළදා වහන්සේ කැලයට වැඩම වන්න රජවරු කටයුතු කළා. ඒත්, ඒ වෙලාවෙදී රටේ රජවරුන්ට විශ්වාස පිරිස වුණේ අපේ ආදිවාසීන්. ඒ අවස්ථාවේදී කැලේ ගල්ගුහාවල දළදා වහන්සේ සඟවාගෙන ඉතා ආරක්ෂිතව රැකබලා ගන්න, වතාවත් කරන්න වුණේ අපේ අයටයි. ඒ කාලෙ අද වගේ දානය දීමට අවස්ථාවක් නොතිබූ නිසා ගඩාගෙඩි, අල වර්ග, මොර, කෝන්, දිඹුටු, කටු අල, ගෝනල, කිතල වැනි දේ ‘මී පැණි’ සමඟ දළදා හිමිට පූජා කළා.

දෙවන රාජසිංහ රජතුමාගේ කාලයේ දළදා වහන්සේගේ ආරක්ෂාවට රජතුමාගේ ආරක්ෂාවට අපේ දුනු හේවායෝ 600 ක් හිටියා කියලා ජනප්‍රවාදයේ සඳහන්. ඒ අනුව දළදා වහන්සේ රැකගැනීම අපේ උරුමයක් බවට පත් වුණා. ඒ නිසා නිවාසවල තබාගෙන වතාවත් කරමින් උන්වහන්සේ රැකගත්තා. මේ අවස්ථාව ලංකාවේ කිසිම කෙනකුට නොලැබෙන සුවිශේෂී එකක්. සෑම අවුරුද්දකම පළමුවැනි රන්දෝලි දින ආරම්භ වෙන්නේ අපේ පූජාවෙන්. ඒ නිසා අපි කොයිතරම් වාසනාවන්තද? ”

දළදා සමිඳුන් උදෙසා ආදිවාසී ජනතාව පූජා කරන මී පැණි ප්‍රමාණය කිලෝ 60 කි. ඊළඟ වර්ෂයේ පෙරහර එළැඹෙන තෙක් දිනපතාම මී පැණි තැබිය යුතු නිසා ඒ ප්‍රමාණය දළදා හිමිට පූජා කරන්නේ අලුතින්ම සකසා ගත් ලබුකැටවල බහාලමිනි. පූජාවේදී මී පැණි අතින්වත් අල්ලන්නේ නැතිව කූරටියං ශාකයෙන් පිළිගැන්වීම සඳහා ඔවුන් කෝටු දෙකක් සකසා ගනී.

කුරටියං කෝටුවෙන් අල්ලා ගන්නා මී පැණි සහිත වද පාත්‍රයක බහා දළදා වහන්සේට පූජා කර ආශීර්වාද ලබා ගනී,

දළදා සමිඳුන්ට පූජා කරන මේ මී පැණි සකසා ගැනීම ආදිවාසීන් ඉතාමත් බැතියෙන් හා ආරක්ෂාකාරීව සිදු කරයි. ඒ සඳහා ආදිවාසී නායකයාගේ පුතා සහ කණ්ඩායමක් සහභාගි වේ. මෙහිදී පුතා මුල්විය යුත්තේ එය විශ්වාසයෙන් කළ යුතු නිසායි. මුඛවාඩම් බැඳ අත් ආවරණ දමා ප්‍රාණඝාත සිදුනොවන අයුරින් මී වදයට දුම් නොගසා, එහි වදයේ සිටින පිලවු හෙවත් පැටවු රැකෙන මී මැස්සන් මී පුරවන උඩ කොටස පමණක් ලබා ගනී. පහළින් සිටින පිලවු හෙවත් පැටව් බේරාගන්නේ බුදුරජාණන් වහන්සේට මී පැණි පූජාවක් නිසා කරන කිසිදු ප්‍රාණඝාතයක් නොවන්නට වගබලා ගනිමිනි.

මී පැණි ලබාගනිද්දී අතේ ගෑවෙන බිඳක්වත් ලෙවකන්නේ නැත. එයට හේතුව එමඟින් ඉඳුල්වේය යන බිය නිසා ය.

දළදා වහන්සේට මී පැණි පූජා කිරීමට මාළිගාවට පැමිණීමට දින 07 ක් තිබියදී පැණි එක්රැස් කිරීම අරඹයි. වනයේ දින පහක් රැඳී සිට ලබුකැට නැතිනම් පතලිවට මී පැණි රැස්කර වනයෙන් පිටවී වැදිනායකතුමාගේ නිවහනට පැමිණේ. එහිදී කුරා කුහුඹුවකුටවත් හානියක් කිරීමට ඉඩ නොතබමින් ඒවා ආරක්ෂාකාරීව තබා ගනී.

(වැදිනායක ඌරුවරිගේ වන්නි ඇත්තන්ගේ භාෂා පරිවර්තක, දඹාන ගුවන් විදුලියේ නිවේදක හා නිෂ්පාදක ඌරුවරිගේ විමලරත්න හා දඹාන ගුවන් විදුලියේ පාලක අරුණසිරි ජයවික්‍රම යන මහත්වරුන්ට විශේෂ ස්තූතිය. )

 

තෙරුවන් සරණයි !

 

සටහන-නිහාල් ජයවර්ධන



34 Viewers