දිනේෂ්ගේ ප්‍රධාන වරද?

අද ලංකාවෙ වෙලාවෙන් මධ්‍යම රාත්‍රිය පහුවුණාට පස්සෙ මැතිවරණයට සම්බන්ධ ලිපි ලියන එක තහනම්. ඒත් පිටරටක ඉඳන් ලියන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. විද්‍යුත් ලිපි, මුහුණු පොත් ආදී නූතනත්ව තාක්‍ෂණයේ මෙවලම් එක්ක ගණුදෙනු කරන්නෙ කොහොමද කියන එක සම්බන්ධයෙන් තවමත් අපේ රටේ මැතිවරණ නීති සකස් කෙරිලා නැහැ. මා ලංකාවේ තියෙන බටහිර ක්‍රිස්තියානි නීතියට ගරු නොකරන නමුත් එය කඩන්නේ නැහැ. සමසමාජ පක්‍ෂවල ඉන්න කාලෙ දි නම් කිහිප වරක් නීතිය කැඩුවා.

කොළඹ විශ්වවිද්‍යාලෙ උගන්වන කාලෙ නීතිය කැඩුවා කියා හර්ෂ ද සිල්වාගේ පියා හැරිස් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් තීරණය කළා. ඒ කමිටුව පත් කරනු ලැබුයේ ජී එල් පිරිස්, ඩව් ඩී ලක්‍ෂමන් ආදීන්ගෙන් සමන්විත විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයෙන්. ඒත් අධිකරණවලින් මා නිදහස් කෙරුණා. හමීඩ් බොරු කී බවට පුවත්පත් දෙකකට කර තිබූ ප්‍රකාශ සම්බන්ධයෙන් මා වරදකරු වුණා. මා ඒ ප්‍රකාශය කෙළේ ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ලෙස. එහෙත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වෘත්තීය සමිති නිලධාරීන්ට ඇති අයිතියක් අධිකරණය සැලකුවේ නැහැ.

කවුදෝ නීතිඥයකු මැතිවරණ කොමිසමට ලිපියක් යවල මා මැතිවරණ නීති කඩන බවට පැමිණිළි කරමින්. මා රජයෙන් දීමනාවක් ලබන  පුද්ගලයකු පමණයි. මා තානාපති තනතුරක් දරනවා. ඒ මියන්මාරයේ මිස බටහිර රටක නොවෙයි. මියන්මාරයට මා ආවේ ථෙරවාදය ඉගෙන ගන්න නොවෙයි. ලංකාවත් මියන්මාරයත් අතර වූ අවුරුදු දෙදහසකට වැඩි සංස්කෘතික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමට.

මගේ පත්වීම  ජනාධිපති පත්වීමක්. මා ඒ පත්වීමේ ලිපිය අනුවත් විදේශ අමාත්‍යාංශ සටහන අනුවත් වියානා සම්මුතිය අනුවත් වැඩ කරනවා. මා රජයේ සේවකයකු නොවෙයි. විශ්‍රාම ගිය බොහෝ අයටත් රජයේ දීමනා ලැබෙනවා. මැති ඇමතිවරුන්ටත් ලැබෙනවා. ඒ කිසිවකු රජයේ සේවකයන් නොවෙයි. මා හැට නොවෙයි හැත්තෑපහත් පැන්න අයෙක්.

එක් තරුණයකු මට කියා තිබුණා සරත් වීරසේකර ගැන රූහඬ පටයක් නිකුත් කරන්න කියලා. ඒ තරුණයා නීතිඥයකු වෙන්න බැහැ. නීතිඥයන් තානාපතිවරුන්ගෙන් එවැනි ඉල්ලීම් කරන්නෙ නැහැ කියා හිතනවා.  මා සරත් වීරසේකරට ගරු කරනවා. ඒ ඔහු දහනවයට විරුද්ධව පාර්ලිමේන්තුවේ දී ඡන්දය දුන් නිසාත් ජාතික ව්‍යාපාරයට කරන ලද සේවයත් නිසා. ඔහු ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඔහු ගැන නිතර කියැවෙනවා. ජනමාධ්‍යයෙන් ප්‍රචාරය ලැබෙනවා.

එහෙත් එලෙස කතා නොකෙරෙන ජනමාධ්‍යයෙන් එතරම් ප්‍රචාරයක් නොලැබෙන පුද්ගලයකු ජාතික ව්‍යාපාරයේ ඉන්නවා. ඒ දිනේෂ් ගුණවර්ධන. ඔහු වෙනුවෙනුත් රූහඬ පට නිකුත් කරන්න අවශ්‍ය නැහැ. ප්‍රචාරය මදි වුවත් ඔහු ගැන බොහෝ දෙනා දන්නවා. එහෙත් බොහෝ දෙනාට අමතක වෙච්ච කරුණුත් තියෙනවා. ඉන් බිඳක් හරි අවසාන මොහොතේ දී හරි කියන්න ඕන කියල හිතුණා.

මා ඔහු ගැන දන්නෙ පාසල් වියේ සිට. මා දන්නා හඳුනන පැරණිම දේශපාලනඥයා ඔහු වෙන්න ඕන. මා වඩාත් හොඳින් දැන සිටියේ ඔහුගෙ ලොකු අයියා වූ ඉන්දික. මාත් ඉන්දිකත් එකම විවාද කණ්ඩායමේ හිටියා. ඉන්දිකත් දිනේෂුත් පිලිප් ගුණවර්ධනගෙ පුත්තු. තවත් පුතුන් දෙදෙනකු සිටියා. ඔවුනුත් දේශපාලනයට සම්බන්ධ වුණා. ඔවුන් එකල පදිංචි වෙලා හිටියෙ තුම්මුල්ල අසළ නිවසක. පිලිප් ගුණවර්ධන දේශපාලනයෙන් මුදල් හොයපු කෙනෙක් නොවෙයි. ඔවුන්ට තුම්මුල්ල අසළින් කිරුළපනේට යන්න සිද්ධ වුණේ ඒ නිසා.

ඉන්දික පසුව ජ වි පෙරමුණෙත් කාලයක් හිටියා. එහෙත් ඔහු දේශපාලනයෙ අවසන් කාලයෙ රූසියන් පිළේ කොමියුනිස්ට් පක්‍ෂයෙ සාමාජිකයෙක්. ඔහු මිය ගියේ ඒ පක්‍ෂයෙ සාමාජිකයකු ලෙස සිටිමින්. පිලිප් ගුණවර්ධන සිටියා නම් තම වැඩිමහල් පුතා ස්ටැලින්වාදියකු වීම ගැන කෙසේ සිතන්නට තිබුණද කියා මට කියන්න බැහැ. එහෙත් පිලිප් ගුණවර්ධන මෙරට මාක්ස්වාදයේ පියා වුණත් හොඳම න්‍යායාචාර්යා වුණත් (මිය ගිය හෙක්ටර් අබේවර්ධනට අනුව) අවසාන කාලයේ ජාතිකවාදියකු වුණා. ඔහු පාර්ලිමේන්තුවේ දී පුස් කෑ මාක්ස්වාදී පොතපත ගැන සඳහන් කරනවා මට මතකයි.

ම එ පෙරමුණ 1956 දී පිහිටුවා ගනු ලැබුයේ ශ්‍රී ල නි ප, විප්ලවකාරි සමසමාජ පක්‍ෂය, භාෂා පෙරමුණ සහ තවත් පක්‍ෂ එකතු වීමෙන්. එය සංධානයක්. එහෙත් පසුව පිලිප් ගුණවර්ධනටම එ පෙරමුණේ නායකත්වය හිමිවුණා. ඒ වන විට නොකෙරෙන විප්ලවය ගැන දැන සිටි පිලිප් ගුණවර්ධන විප්ලවකාරී සමසමාජ පක්‍ෂය කියන නමට වඩා මහජන එක්සත් පෙරමුණ නමට කැමති වෙන්න ඇති. නොකෙරෙන විප්ලවයට කම්කරු පංතිය හොයන අය අද මුහුණු පොතේ ගජරාමෙට වැඩ.

දිනේෂ් ගුණවර්ධන තම පියාගේ ඇවෑමෙන් පක්‍ෂයේ නායකත්වයට පත් වුණේ ඉතාම තරුණ වියේ. සමහර වීට අද ඉන්න පැරණිතම පක්‍ෂ නායකයා ඔහු වෙන්න ඕන. ඔහු මුල සිටම ශ්‍රී ල නි පක්‍ෂය සමග ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා. සමහර විට ශ්‍රී ල නි පක්‍ෂයටත් දැන් පොහොට්ටුවටත් හිතවත්ම තැනැත්තා ඔහු විය හැකියි. ඔහු ඒ කිසිවක් බලාපොරොත්තුවෙන් පවත්වන හිතවත්කමක් නොවෙයි. ඔහුට ඇමති ධුරයක් ලැබේවි. එය වෙනම කරුණක්.

මැතිණියගේ ඡන්ද ව්‍යාපාරයකට දිනේෂ් සහභාගි වූයේ කකුලේ ආබාධයක් තිබිය දී කිහිළිකරුවල ආධාරයෙන්. චන්ද්‍රිකාලා ශ්‍රී ල නි පක්‍ෂය අත්හැර යද්දීත් ඔහු ශ්‍රී ල නි පක්‍ෂයට හිතවත්ව හිටියා.

දිනේෂ් ශ්‍රී ල නි පක්‍ෂයෙන් වෙන් වී තරග කෙළේ 1994 දී පමණක් බවයි මගේ මතකය. ඒ චන්ද්‍රිකාගේ බෙදුම්වාදී ප්‍රතිපත්තියට විරුද්ධව. මෙරට ඒකීය රාජ්‍යයක් පවත්වාගෙන යෑම සඳහා දිගින් දිගටම අවුරුදු හතළිහක පමණ කාලයක සටන් කෙළේ දිනේෂ්. වත්මන් තරුණයන් ඒ බව නොදන්නවා ඇති. ඔහුගේ දේශපාලනයේ අඩුපාඩුකම් නැතුවා නොවේ. දේශපාලනයට එන්නේ පෘථග්ජනයන් මිස මාර්ගඵල ලාභීන් නොවෙයි. එහෙත් ඒකීය රාජ්‍යය හා දිනේෂ් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයක්.

අනුහතරේ දිනේෂ් වෙනම තරග කෙළේ චන්ද්‍රිකාගෙන් සිදු වීමට යන හානිය දැන ගෙන. ඉන් අදහස් කෙළේ එ ජා පක්‍ෂයට කත් ඇදීමක් නොවෙයි. මා කිසි දිනෙක මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයකුව සිට නැහැ. එහෙත් ම එ පෙ අනූහතරේ ගත් තීරණයට අපද එකඟ වුණා. මාත් ධර්මසේකරත් (දැන් හිමියන්) අනූහතරේ  ම එ පෙරමුණෙන් කළුතරට තරග කළා. එකල නම් ගුණදාස අමරසේකරත් හිටියෙ අප සමග. මාත් ධර්මසේකරත් පමණක් නොව දිනේෂුත් එවර (කොළඹින්) පැරදුණා. එහෙත් ඒ සටනේ ප්‍රතිඵල නොතිබුණා නොවේ. චන්ද්‍රිකාට තම සන්ධීය (ෆෙඩරල්) ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට නොහැකි වුණා. දිනේෂ් එවර පාර්ලිමේන්තු අසුන අහිමි කර ගත්තේ ඒකීය රාජ්‍යය වෙනුවෙන් යැයි කීම නිවැරදියි.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය කාගේ වුවත් ඒ දැන ගෙන ඉන්න ඕන. මා හිතන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන අද ඉන්න අයගෙන් වැඩිම පරිචයක් තියෙන්නෙ දිනේෂ්ට කියලා. ඒ කියල ඔහු කතානායක ධුරයට නම් පත් කරන්න එපා! දිනේෂ් මාධ්‍ය සාකච්ඡාවල දකින්න නැතිව ඇති. ඒ මෙරට ජනමාධ්‍ය ක්‍රියා කරන ආකාරය. දෙරණ වුණත් ඔහුට 360 කීයක් දීල තියෙනවාද? ඒත් ඔහු අද දේශපාලනයෙ ඉන්න දක්‍ෂතම කථිකයෙක්. මා දන්නා දිනේෂ්ගේ ඇති ප්‍රධාන “වරද” නම් ජනමාධ්‍යය හඹා නොයෑම. ඔහු කට කැඩිච්ච කතා නැගල යන හිට් කතා කියන්නෙ නැහැ.  කුමක් හෝ හේතුවක් නිසා ජනමාධ්‍යයට ඔහු රුචි නැහැ. එහෙත් එය ඔහුගේ ජයග්‍රහණයට බාධාවක් වෙන එකක් නැහැ.

– නලින් ද සිල්වා



264 Viewers