දිවුරුම් දෙන්න පෙර විග්නේශ්වරන් කොටි සැමරුමක
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේශ්වරන් ඊයේ (13වැනිදා) මුලතිව්, මුල්ලිවයික්කාල්හිදි ස්ථාපිත කොට ඇති එල්.ටී.ටී.ඊ. සැමරුම් ස්මාරකය අබියස දී සැමරුම් වැඩසටහනක් පවත්වා ඇත.
යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කිරීම වෙනුවෙන් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ ස්ථාපිත සැමරුම් ස්මාරකය වෙත පහන් දල්වා, මල් පුදා අදාළ සැමරුම පවත්වා තිබේ. දෙමළ ජනතා ජාතික සන්ධානය නියෝජනය කරමින් විග්නේශ්වරන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී පලමු වරට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය.
දෙමළ ජනතා ජාතික සන්ධානයේ නියෝජිතයින් පැවැසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පෙර යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහි කිරීම වෙනුවෙන් විග්නේශ්වරන් එක් වූ බවයි.
සැමරුම් වැඩසටහන වෙනුවෙන් ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් සහ දෙමළ ජනතා ජාතික සන්ධානයේ නියෝජිතයෝ එක්ව සිටියහ.
62 Viewers