දෙමළ ජනතාව ඉල්ලන දේ

පසුගිය මැතිවරණයේදි පොහොට්ටුව ලැබු 2/3 ක ජයග්‍රහණය අබියස උතුරේ ප්‍රතිඵලය ගැන නිසි අවධානයක් යොමු වු බව නොපෙනේ.

විශේෂයෙන්ම එල්ටීටීඊයේ සෘජු දේශපාලන නියෝජිතයා ඊටත් වඩා එහි බළල් අතක් වු දෙමළ ජාතික සන්ධානයේ ඉරණම ගැන අවධානය යොමු කළ යුතුය. ප්‍රභාකරන් විසින් සභාරත්නම් ඇතුළු කණ්ඩායම ඝාතනය කිරීමෙන් පසුව එල්ටීටීඊය “දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා” ලෙස දෙමළ ජනතාවගේ සියලු අභිලාෂයන් නියෝජනය කරන කණ්ඩායම බවට පත්වූහ. ප්‍රභාකරන් විසින් එම තනි අයිතිය ලබා ගත්තේ අනෙකුත් සංවිධාන හා කණ්ඩායම් මතවාදිව අවශෝෂණය කර ගනිමින් නොව තුවක්කුව සහ උණ්ඩයේ බලයෙන් පුද්ගල ඝාතන මගිනි. ප්‍රභාකරන්, දෙමළ ජනතාව ඊනීයා ඊළාම් පොරොන්දු දේශයට ගෙන යන ගමනේ අයිතිකරු සහ ඒ ගමනේදි සියලු ගනුදෙනුවල තීරකයා බවට දකුණේ සංහිඳියා ආණ්ඩු විසින් ද සහතික නිකුත් කළහ. චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික්‍රමසිංහ රජයන් සහ පසුකාලීනව දෙමළ ජාතික සන්ධානය විසින් ජාත්‍යන්තරව එල්ටීටීඊයේ තනි අයිතියට නිල පිළිගැනීමක් ලබා දුන්හ.

දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ දෙමළ සන්ධානය අවසාන වශයෙන් මෙහෙයවනු ලැබුවේත් වගකියනු ලැබුවේත් ප්‍රභාකරන්ට පමණි. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට යම් පමණකින් හෝ එරෙහිවූ ආනන්ද සංගරිලා ඇතුළු පිරිස දෙමළ දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් කර තැබීමට කටයුතු කරන ලදී.

දෙමළ ජනයාගේ ප්‍රජාත්‍රන්තවාදි අයිතිය සැබැවින්ම උදුරා ගත්තේ දෙමළ නායකයන් විසිනි. අප එකඟ නොවුවද, පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ දෙමළ ජනතාවට ඇති යැයි කියනු ලැබු ප්‍රශ්නයක් විසඳීමට දේශපාලන බලය ලබා දීමටය. 1988 දි වර්ධරාජා පෙරුමාල් ඒකපාර්ශ්විකව ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණයක් පැවත්වීමට දෙමළ සමාජයට හිමිකමක් නොවීය. 2005 ජනාධිපතිවරණයේදි දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය තුවක්කුවෙන් උදුරා ගැනීමට ප්‍රභාකරන් සමත් විය.

මේ කිසිම අවස්ථාවක දෙමළ ජනයාගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටීමක් දෙමළ ජාතික සන්ධානය මගින් සිදු නොවුණි. ඊනීයා නිජභූමිය ගැන කියමින් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය වෙත තල්ලු කිරීම හැරුණු විට ඊට එරෙහිව වචනයක් කීමට දේශපාලන සටන්කාමීත්වයක් ඔවුන්ට නොවීය. ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය දෙමළ ජනයාට සත්‍යවශයෙන්ම ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ රජය විසින් එල්ටීටීඊය පරාජයට පත් කිරීමෙන් අනතුරුවයි. එතෙක් දෙමළ ජනයාට නිදහස් මැතිවරණයක් යනු සිහිනයක් පමණක්ම විය.

උතුරේ දරුවන්ට අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් පොතයි පෑනයි වෙනුවට ටී 56 යි සයිනයිඩ් කරලයි පලඳවන විට දෙමළ ජනතාව වෙනුවෙන් ද්‍රවිඩ සන්ධානයට හඬක් නොවීය.

දෙමළ ජාතික සන්ධානය ඊනීයා දෙමළ නිජභූමි සිහිනය වෙන්දේසියේ දමා සිය බලය ව්‍යාප්ත කර ගැනීමේ ව්‍යපෘතියක සිටියා විනා, සැබැවින්ම දෙමළ ජනතාවගේ ප්‍රශ්න ආමන්ත්‍රණය නොකළහ.

1956 රාජ්‍ය භාෂා පනත ගැන කතා කරන ඔවුහු දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත ගැන කතා නොකළහ. දෙමළ ජනයා අතර අතිශයින් දැඩිව ක්‍රියාත්මක කුල බේදය පිළිබඳ ගැටලුව සහ එයින් පීඩාවට පත් කුලහීන ජනතාව ඉන් ගලවා ගැනීම සඳහා අරගලයක් දෙමළ ජාතික සන්ධානය සතු නොවීය. කුල බේදය උතුරේ දෙමළ සමාජය තුළ කොයිතරම් කිඳා බැස ඇත්ද යන්න පැහැදිලි වන්නේ ඒ ප්‍රදේශයේ ලේ දන්දීම සඳහා දකුණෙන් භික්ෂුන් වහන්සේලා වැඩමවාලී‌මෙනි.

එල්ටීටීඊ සංවිධානය සමග එකතු වී සිටි තරුණයන් අතිවිශාල සංඛ්‍යාවක් අද වන විට රැකියා වියුක්තව සිටිති. ඔවුන් එල්ටීටීඊ සාමාජිකයන්ව සිටිමින් දෙමළ දරුවන්ට කරන ලද හානිය හේතුවෙන් දෙමළ සමාජය ඔවුන්ට දෛනික කුලී වැඩක් හෝ සොයා ගැනීම අපහසු වී තිබේ.

දෙමළ ජාතික සන්ධානය, ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් ආක්‍රමණික හමුදාවක් වශයෙන් දෙමළ ජනතාට මවා තිබූ සාවද්‍ය පින්තූරයද පසුගිය කාලය තුළ අභියෝගයට ලක්විය. උතුරේ පැවතියේ එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදින්ගෙන් දෙමළ ජනයා මුදා ගැනීමේ සැබෑ මානුෂික මෙහෙවරක් බව තහවුරු කරමින් ගංවතුර සහ අනෙකුත් ස්වාභාවික ආපදා අවස්ථාවල හමුදාව විසින් සපයන ලද සුභසාධන සේවාවන් දෙමළ ජාතික සන්ධානය විසින් පතුරවන ලද මිථ්‍යාවන් සෘජු ලෙසම අභියෝගයට ලක් කරන ලදී.

ධීවර කර්මාන්තය උතුරේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. ඉන්දියානු අනවසර ධීවර යාත්‍රා ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මත්ස්‍ය අස්වැන්න මංකොල්ල කන විට දෙමළ ජාතික සන්ධානය ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන නාවික හමුදාවට එරෙහි උනා මිස සිය ජනතාවගේ ආර්ථික අයිතිය වෙනුවෙන් පෙනී නොසිටියහ.

මධ්‍යම රජය විසින් පළාත් සභා ව්‍යාපෘති සඳහා වෙන් කරන ලද අරමුදල් ,උපයෝජනයකින් තොරව නැවත ආපසු හාණ්ඩාගාරයට හරවා එවීමෙන් විග්නේෂ්වරන් හිටපු මහ ඇමැතිවරයා මධ්‍යම ආණ්ඩුව සමග ආරවුලකට යෑමෙන් ඇත්ත වශයෙන්ම සිදු වූයේ පළාතේ මහජන සුභ සාධනය හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පැවති මුදල් ආපසු යැවීමයි. මහජන ප්‍රශ්න විසඳීම වෙනුවට ඔවුන්ගේ බල අරගලයේ ගොදුරක් බවට අහිංසක දෙමළ මිනිසුන් පත් කර ඇත.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලය තුළ දෙමළ සන්ධානයට හිමි වූ විපක්ෂ නායක ධුරය ආණ්ඩුවේ ඇමැති ධුරයකට වඩා ආණ්ඩුව ආරක්ෂා කරමින් කටයුතු කරන එජාපයේම කොටසක් බඳු විය. විපක්ෂයක් වශයෙන් සමස්ත රටේම ජනයා වෙනුවෙන් නොව අවම වශයෙන් දෙමළ ජනයා වෙනුවෙන් ආණ්ඩුවට විකල්පයක් නොවී ආණ්ඩුවේ කපටි ආරක්ෂකයා සහ උපදේශක තනතුරට සුමන්තිරන්ලා පත් විය. යාපනයේ ශ්‍රීලනිපයට ආසනයක් හිමි වීමද ප්‍රබල දේශපාලන වෙනසක් සඳහා වන කොළ එළියකි. දශක තුනකට පෙර සිරිමා බණ්ඩාරනායක යුගය තුළ උතුරේ ලූණු ගොවියාට, මිරිස් ගොවියාට ලැබුණු ආර්ථික ලාභය ඔවුනට අහිමි වී ඇත. ලූණූ මල් මාලා දමා මැතිනිය පිළිගත් ඔවුහු 1982 ජනාධිපතිවරණයේදි කොබ්බෑකඩුව මහතාට ප්‍රබල ජයක් ලබා දුන්හ.

මේ ප්‍රතිඵලය තුළ දෙමළ ජනතාව දිනා ගැනීම සඳහා ආණ්ඩුව කතා කළ යුත්තේ කා සමගද යන ප්‍රශ්නයට පිළිතුර සපයා ඇත. දේශපාලන බල පොරය තුළ ජනතාව බිල්ලට දී සිටින දෙමළ සන්ධානය ඇතුළු නායකයන්ට ඇමැති ධුර ඇතුළු වරදාන දීමට වඩා වැදගත් වන්නේ දෙමළ ජනයා සමග සෘජු සංවාදයකට එළැඹීමයි. ඔවුන්ගේ ප්‍රශ්න, ආර්ථික ගැටලුවලට සෘජු ලෙස පිළිතුරු සැපයීමයි.

දෙමළ ජනයාට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ නිජභූමි සිහිනයක එල්ලී, සිය ආර්ථික සංවර්ධනය කැප කිරීමද නැත්නම් ගෞරවනීය පුරවැසියකු ලෙස රටේ සංවර්ධනයේ හා දේශපාලන ක්‍රියාවලියේ කොටස්කරුවකු වීමටද? චෙල්වනායගම්ලාගේ සිට පොරොන්දු දේශයේ කැරට් අලය පෙන්වා දෙමළ ජනතාව ගෙන ගිය ගමන අවසාන වී ඇත්තේ දෙමාපියන්ට දරුවන් අහිමි කරවූ බිරින්දෑවරුන්ට ස්වාමීයන් අහිමි කරවූ දරුවන්ට දෙමාපියන් අහිමි කළ අතීතයකි.

චෙල්වනායගම්ලාගේ 50 ට 50, අමිර්තලිංගම්ගේ වඩුකොඩ්ඩෙයි සම්මේලනය, අවසාන සිංහලයාගේ සමෙන් සේරෙප්පු පලඳන කතා අවසන් වූයේ දෙමළ සමාජය තුළ සංස්කෘතිකව පැවති සමගිය හා සහජීවනය වෙනුවට වෛරය පෝෂණය කරමිනි. දෙමළ නායකයන් විසින් තවමත් කරපින්නා ගෙන යන බෙදුම්වාදි මතවාදය, ඔවුන්ටම පාරාවළල්ලක්වූ බව අමිර්තලිංගම්ලාගේ අවසානය තහවුරු කර තිබේ. ප්‍රභාකරන් ඇතුළු ද්‍රවිඩ සමාජයේ එකිනෙකා මරා කොටා ගන්නා ලද කල්ලි වාදය පෝෂණය කළේ සහ ඊට ජීවය දුන්නේ එම නිජභූමි මිථ්‍යාවයි.

කුල පීඩනයෙන් හා සමාජ අසමනාතාවෙන් සිටින ජනයාට , සැබෑ සංහිඳියාව ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහලා , සුමන්තිරන්ලා හා සම්බන්ධන්ලා වෙනුවට ආචාර්ය ඇම්බෙට්කාර් කෙනෙකු සහා දෙමළ බසින් දහම් දෙසිය හැකි භික්ෂුන් වහන්සේලා කිහිප නමක් අවශ්‍යව ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සපයා ඇති සමානාත්මතාව තමා අවට , අසල්වැසි සමාජයෙන් නොලැබේ නම්, කෝවිලට, පොදු ස්ථානයට පිවිසීමේදි කුලය හා පරම්පරාව අවහිරයක් වන්නේ නම් එය පිටු දකින නීති පැනවීම 2/3 ක බලයක් සහිත ගෝඨාභය රජයේ වගකීමකි.

නීතිඥ – නුවන් බැල්ලන්තුඩාව



18 Viewers