• Home »
  • Sinhala Articles »
  • ධර්මය ප්‍රබෝධයෙන් යුගයක්‌ උදාකළ පානදුරාවාදය.

ධර්මය ප්‍රබෝධයෙන් යුගයක්‌ උදාකළ පානදුරාවාදය.

අදට යෙදෙන පානදුර වාදයේ 147  (1873 අගෝස්තු 26 සහ 28) වන සංවත්සරය නිමිත්තෙනි.

ඉංග්‍රිසීහු මෙම පෘතුගීසි හා ලන්දේසි ජාතීන්ට වඩා සියුම් උපක්‍රම මඟින් බුදුදහම වැනසීමට වෙර දැරූහ. 1796 ඔවුන්ගේ පාලනය ආරම්භ වූ අවස්‌ථාවේ සිට ආගම් ප්‍රචාරයටද මුල් තැනක්‌ දුන්හ. පාසල් හරහා ක්‍රිස්‌තියානිකරණය ඔවුන්ගේ ප්‍රධාන උපක්‍රමයක්‌ විය. 1803 දී මෙහි පැමිණි ලන්ඩන් මිෂනාරි සමාගම් පූජකවරු ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසල් ඇරඹුහ. ශාස්‌ත්‍රීය අධ්‍යාපනයට වඩා ක්‍රිස්‌තියානි අධ්‍යාපනය ඔවුන්ගේ ප්‍රධාන අරමුණ විය. 1814 ලංකාවට පැමිණි වෙස්‌ලියන් මිෂනාරි සමාගම දැඩි උනන්දුවකින් ආගම් ප්‍රචාරය සිදු කළේය. පනදුරා මහා වාදය සිදු වූයේද මෙම වෙස්‌ලියන් පූජකවරුන් මූලික කරගෙනය.

කෙතරම් දුක්‌ ගැහැට විඳීමට සිදු වූවත් බෞද්ධ භික්‌ෂුහු මිෂනාරීන් කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළහ. වර්තාවී ඇති පරිදි සමහර විහාරස්‌ථානයන්හි ධර්ම ශාලාවෙහි දේශනා කිරීමට මිෂනාරීන්ට ඉඩ සලසා දී ඇත. එහෙත් මිෂනාරී පාලනය යටතේ පවත්නා පාසලක බෞද්ධ උත්සවයක්‌ පැවැත්වීමට ඉල්ලූ විට ප්‍රතික්‌ෂේප කර තිබේ. හාර්ඩි නැමති පියතුමෙකු සඳහන් කරන පරිදි ඈත ප්‍රදේශවල දේශනාවලට ගොස්‌ මහන්සි වී පන්සලට ගිය විට භික්‌ෂුන් වහන්සේලා සිය පාත්‍රයේ ආහාරද ඔහුට ලබා දී තිබේ. රාත්‍රි කාලයේ ලැගුම් ගෙය තුළම නවාතැන් සපයා දී ඇත. එහෙත් හාර්ඩි පියතුමා බෞද්ධ විරෝධී වැඩ කටයුතු දිගටම කරගෙ ගියේය.

වෙස්‌ලියන් සමාගම බුද්ධ චරිතය කෙළසමින්, බුදු දහමට නිගා දෙමින් පත්‍රිකා මුද්‍රණය කර ප්‍රචාරය කළේය. මේ ගැන සොයා බලා සාධාරණයක්‌ ඉටු කරන්න යෑයි 1826 දී පානදුරේ ඇතුළු ගම් කිහිපයක වැසියෝ එඩ්වර්ඩ් බාර්න්ස්‌ ආණ්‌ඩුකාරවරයාට පෙත්සමක්‌ යෑවූහ. මිෂනාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා විට මෙයට පිsළිතුරු එවා ඇතත් එය ඉටු වී දැයි පැහැදිලි නැත.

වර්ෂ තුන්සියයකටත් වැඩි කාලයක්‌ සිදුවූ අසීමිත වේදනාවන් විඳ දරා ගැනීමට නොහැකි වූ තැන බෞද්ධ භික්‌ෂුහු තිර අදිටනින් යුතුව සාමකාමී විරෝධතාවක්‌ පෑමට තීරණය කළහ. මේ වන විට බෞද්ධ ක්‍රිස්‌තියානි දෙපක්‌ෂය අතර පත්‍රිකා සහ පොත්පත් මඟින් වාද පවත්වමින් පැවතිණ. වාද, පත්‍රිකා මඟින් නොව මුහුණට මුහුණලා පැවැත්විය යුතු යයි අදහසක්‌ මතු විය. ඒ අනුව ප්‍රසිද්ධ වාද පහක්‌ සිදු විය. වරාගොඩ (1865), බද්දේගම (1865), උදන්විට (1866), ගම්පල (1871), පානදුරේ (1873) එම වාද පැවැත්වූ තැන්ය.

පානදුරේ වාදයට ආසන්නම හේතුව වූයේ 1873 ජුනි 12 වෙනි දින පානදුරේ වෙස්‌ලියන් දේවස්‌ථානයේදී දාවිත් ද සිල්වා දේවගැතිතුමා බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීම් වැරදි ලෙස අර්ථ කථනය කරමින් දේශනයක්‌ පැවැත්වීමයි. මේ පිළිබඳව දැනගත් රන්කොත් විහාරයේ ප්‍රධාන දායකයා වන පී. ජෙරමියෙස්‌ දියෙස්‌ මැතිතුමා සහ කොර්නේලිස්‌ ප්‍රේරා කරුණාරත්න මැතිතුමා වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද මාහිමියන් වඩමවා රන්කොත් (ගල්කන්දේ) විහාරයේදී පිළිතුරු දේශනයක්‌ පැවැත්වූහ. මෙසේ පන්සලේ සහ පල්ලියේ ප්‍රත්‍යqත්තර දේශනා කිහිපයක්‌ පැවැත්විණ. මේ අතර මුහුණට මුහුණලා වාදයක්‌ පැවැත්වීමේ යෝජනාවක්‌ ක්‍රිස්‌තියානි පක්‌ෂයේ පීතර් දානියෙල් නීතිඥ මහතාගේ සහ මත්තෙස්‌ සුවාරිස්‌ ගුණවර්ධන මහතාගේ අත්සන් සහිතව ලැබිණ. ඒ අනුව 1873 අගෝස්‌තු 26, 28 දෙදින පානදුරා මහා වාදය පැවැත්වීමට තීරණය විය.

බෞද්ධ පක්‌ෂය වෙනුවෙන් හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මහා නාහිමි, වැලිගම ශ්‍රී සුමංගල මහා නාහිමි, බුලත්ගම ධම්මාලංකාර නාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමි, වස්‌කඩුවේ ශ්‍රී සුභූති නාහිමි යන ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලාත් ශ්‍රී දේවරක්‌ෂිත බටුවන්තුඩාවේ පඩිතුමාත් වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද මාහිමියන්ට සහාය වූහ.

ක්‍රිස්‌තියානි පක්‌ෂයේ ප්‍රධාන කථිකයින් වූයේ ද්‍රවිත්ද සිල්වා පාදිලිතුමා සහ සිරිමාන්න කතීසේරුතුමාත්ය. ගුණවර්ධන, ජයසිංහ, චාර්ල්ස්‌ ද සිල්වා යන පාදිලිවරු සහාය වූහ.

වාදය ඉතා සාමකාමීව පැවැත්විණ. ගුණානන්ද හිමියන්ගේ චතුර වාග් ශක්‌තිය විශේෂයෙන් කැපී පෙනිණ. ඇස්‌. ලන්ග්ඩන් පියතුමා ලංකාමිත්‍ර සඟරාවේ මෙසේ සඳහන් කරයි ” මොහොට්‌ටිවත්තේ කතා කරන විට මට එංගලන්තයේ ඉතා දක්‌ෂ කථිකයෝ මතක්‌ වුණා. මහජනයා කෙරෙහි බලයක්‌ තිබෙන බවද උන්වහන්සේගෙන් ප්‍රකාශ විය. විරුද්ධකාරයා අභිභවනය වන අන්දමේ ස්‌වරයක්‌ ද තිබුණි. සභාව පොලඹවා ගන්න පුළුවන් උපන් කථිකයෙක්‌ බැව්ද පෙනී ගියේය. වාදය අවසානයේදී දහස්‌ සංඛ්‍යාත ජනයා මහත් සතුටු නාදයෙන් ප්‍රීති ඝෝෂා කළහ. කිසිම කලබලයක්‌ නැතිවීම මගේ පුදුමයට කාරණයක්‌ විය. එවැනි විශාල පිරිසක්‌ මැද යුරෝපයේ කවර රටක කලබලයක්‌ නැතිව එවැනි විවාදයක්‌ කළ හැකි දැයි මම ප්‍රශ්න කරමි.”

පානදුරා මහා වාදයේදී ක්‍රිස්‌තියානි පක්‌ෂය බුදු දහමේ මූලික ඉගැන්වීම් වන පට්‌ච්ච සමුප්පාදය, පඤ්චස්‌කන්ධය, කර්මය, පුනර්භවය විවේචනයට ලක්‌කර තිබේ. වැරදි ආකාරයෙන් අර්ථකථනය කිරීම කැපී පෙනෙන ලක්‌ෂණයක්‌. මෙය උපක්‍රමශීලී පටලැවීමක්‌. පට්‌ච්ච සමුප්පාද සිද්ධාන්තය බිඳ හෙලුවහොත් අනෙක්‌ සියල්ලම බිඳ වැටෙන බව ඔවුහු දැන සිටියහ. සියලු ප්‍රශ්න සහ තර්ක, විතර්කවලට ඉතා පැහැදිලිව සරලව ගුණානන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පිළිතුරු සැපයූහ. පට්‌ච්ච සමුප්පාදයේ සාමාන්‍ය න්‍යාය සහ විශේෂ න්‍යාය පටලවා ගෙන ඇති බව පැහැදිලි කර දී තිබේ. ඒ අනුසාරයෙන් පඤ්චස්‌කන්ධ විභාගයේ සාධාරණත්වය ඔප්පු කර තිබේ. ක්‍රිස්‌තියානි පක්‌ෂයේ තර්ක එකින් එක බිඳ වැටී තිබෙනවා. ගුණානන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට ක්‍රිස්‌තියානි ආගම පිළිබඳ ගැඹුරු දැනුමක්‌ පැවතුණා. විවිධ බයිබල් ඉදිරිපත් කරමින් ඒවායේ පරස්‌පරතා ඇති බව පැහැදිලි කළහ. උන්වහන්සේ නැගූ සමහර ප්‍රශ්නවලට අදත් පිළිතුරු ලැබී නොමැත. උන්වහන්සේගේ තර්ක එතරම් ප්‍රබලය.

පානදුරා වාදයෙන් අප ලබන ආස්‌වාදය කුමක්‌ද යනු වැදගත්ම ප්‍රශ්නයකි. බොහෝa විදේශිකයන් අපෙන් නඟන ප්‍රශ්නය එයයි. එදා දැල්වූ පහන නොනිමා තබා ගැනීමට අපි සමත් වී සිටිමුද? එයින් මතුකර දුන් ධර්මශක්‌තිය අප තුළ පවතීද? මිහිඳු හිමියන් ලබාදුන් දායදය අපට නැවත හිමිකර දුන්නේ ගුණානන්ද හාමුදුරුවොයි. එම උදාර දයාදය රැක ගැනීම අපේ පරම යුතුකමකි.

පානදුරා වාදයේ විස්‌තරයක්‌ එඩ්වර්ඩ් පෙරේරා නීතිඥතුමා විසින් ” ද සිලොන් ටයිම්ස්‌” පත්‍රයේ පළ කරවන ලදී. පසුව මෙය කුඩා පොතක්‌ ලෙස මුද්‍රණය කරවීය. එහි පිටපතක්‌ පරම විඥනාර්ථවාදියෙකු වූ හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමාගේ අතටද පත්විය. බුදු දහම පිළිබඳ මහත් ප්‍රබෝධයක්‌ එතුමා තුළ ඇති විය. ගුණානන්ද මාහිමියන් හමුවීමේ නොතිත් ආසාවෙන්ද පසු විය. වසර කිහිපයකට පසු ලංකාවට පැමිණිමට එතුමාට අවස්‌ථාව ලැබිණ. ලංකාවේ ශේa්‍රෂ්ඨ සංඝ පීතෲන් වහන්සේලා සහ තරුණ ධර්මපාලතුමාද සමඟ බෞද්ධයන්ට හිතකාමී විවිධ වැඩ පිළිවෙළ එතුමා විසින් දියත් කරන ලදී. එතුමාගේ පැමිණිම පානදුරා මහා වාදයේ එක්‌ ප්‍රතිඵලයක්‌ ලෙස සැලකිය හැකිය.

පානදුරා මහා වාදය සිදුවන විට ධර්මපාලතුමා නව හැවිරිදි විය. කුඩා වියෙහිදීම ආගම සහ ජාතිය පිළිබඳ හැගීමක්‌ ඇති කර ගැනීමට මෙම වාදය හේතුවක්‌ විය. ගුණානන්ද හිමියන්ගේ වාග් පටුත්වය ධර්මපාලතුමා තුළද පිළිරැව් දෙන්නට ඇතැයි සිතිය හැකිය. එතුමාගේ ව්‍යාපාරයට මඟ හෙළි කළේ පානදුරා වාදයයි. ගුණානන්ද හිමියන් සමඟ සමීප ඇසුරක්‌ද ගොඩනඟා ගෙන තිබිණ.

මෙලෙස පානදුරා මහා වාදයෙන් එදා දිනාගත් අයිතිවාසිකම් මතු පරපුරටද උරුම කර දීමේ අපේ පරම යුතුකමයි. එදා දැල්වූ නැණ පහන නොනිමා ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ යුතුය.

පානදුරේ රන්කොත් විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ
මහාචාර්ය කහපොළ සුගතරතන හිමි



1 Viewers