පරිසර තක්කඩි

මෙම ලිපිය ලිවීමේ අරමුණ ඉවක් බවක් නැති වනාන්තර විනාශය සාධාරණීකරණය කිරීම නොවන බව මුළින්ම ලියා තැබුවේ, තම කුප්ප දේශපාලන අරමුණු මුදුන් පමුණුවාගැනීම සඳහා රෙද්ද කරටගෙන එන්නට නියමිත අයවලුන්ට තිරිංග දැමීම සඳහාය.

දෙවනුව තවත් යමක් මතක් කරන්නේ ඔවුන් හැඳ සිටින වස්ත්‍ර දරා සිටීමට තරම් සුදුසුකමක් ඔවුන්ට නොමැති බව කරුණාවෙන් සිහිපත් කිරීම සඳහාය. මෑත කාලයේ පඳුරක් පඳුරක් ගානේ බිහිවූ නිකලැල් අකලංක පරිසරවේදීන් මහබැංකුව මහදවල් මංකොල්ලකන විට, පාස්කු ඉරිදා බෝම්බ ගසන විට, කොටින්ගේ හිස අතගා ගෙදර යවන විට, හමුදාවේ කොල්ලන් නිරපරාදේ හිරේ විලංගුවේ දමන විට, පාර්ලිමේන්තු වැසිකිළියේ මුදල් හුවමාරු කරන විට ආදී බොහෝ අවස්ථාවන් වල සිටියේ මර නින්දේය. කමක් නැත ඔවුන් දැන් අවදිව ඇත.

දැන් අපි ප්‍රශ්නයට එළඹෙමු

ලංකාව යනු තුන්වන ලෝකයේ රටක්ය, අවුරුදු දෙසැත්තෑවක් තිස්සේ උඹලාට අත්කරදුන් සංවර්ධනය මේකද, පනස් ගණන් වල සිංගප්පූරුව උත්සාහ කළේ ලංකාව වගේ වෙන්නටය, නිදහස ලැබෙනකොට ලංකාව ආසියාවේ දෙවැනි විශාලතම ආර්ථිකයය…..ආදී වශයෙන් කියමින් බාහිර ලෝකයට සාපේක්ෂව ලංකාව සංසන්දනය කරමින් අප සංවර්ධනය වියයුතු බව අපට නිතර අසන්නට ලැබෙන කතාවකි.

මොකක්ද මේ සංවර්ධනය කියන්නෙ?? අපි හිතමුකො අපි දැනට ගතකරනවට වඩා සුවපහසු, විධිමත්, කාර්‍යක්ෂම මෙන්ම පොහොසත් ජීවන රටාවක් අත්කර ගැනීම කියල. එතකොට මොනවද ඒ කියන සංවර්ධනේ අංග? රටක් විදියට ගත්තොත් අහස සිඹින උස් ගොඩනැගිලි, මහාමාර්ග පද්ධති, සුඛෝපභෝගී යානවාහන වගේ භෞතික සම්පත් වගේම උසස් තත්වයේ අධ්‍යාපන/සෞඛ්‍ය පහසුකම්, ඉහළ ආදායම්, කාර්‍යක්ෂම මහජන සේවා ආදියත් සංවර්ධිත රාජ්‍යයක අංග ලක්ෂණ කියල හිතන්න පුළුවන්. පෞද්ගලිකව ගත්තොත් හොඳ අධ්‍යාපනයක්, උසස් රැකියාවක්, ඉහළ ආදායමක්, තමන්ටම කියා නිවසක් සහ වාහනයක් මේ කියන සංවර්ධනය්‍ර්ර් අංග කියල හඳුනගන්න පුළුවන්.

එතකොට මේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම රටක් හැටියට ගත්තත්, තනි පුද්ගලයින් හැටියට ගත්තත් සංවර්ධනයේ ප්‍රධාන අංගයක් වෙනවා. ඒ වගේම අනික් අතට ලෝකෙම ජනගහණය එන්න එන්නම වැඩි වෙත්දි, ලංකාවෙ ජන ඝණත්වය ඉහළ අගයක් ගන්නවා. ඕස්ට්‍රේලියාවෙ වර්ග කිලෝමීටරයකට මිනිස්සු 3 දෙනෙක් ඉන්නකොට, ලංකාවෙ මිනිස්සු 300 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නෙ භෞතික සම්පත් සංවර්ධනය කරගැනීම සඳහා භූමිය වගේම ලංකාවෙ තියෙන සම්පත් ඉතා සීමාසහිතයි. ජනගහන වර්ධනයත් එක්ක මේ තත්වෙ තවත් තීව්‍ර වෙනවා.

දැන් අපි ප්‍රශ්නෙ මැදට එමු.

මේ දවස් වල ලොකුම කතාව ලංකාවෙ වනාන්තර විනාශයනෙ. 2015 ජනවාරි ආණ්ඩු පෙරළියෙන් පස්සෙ මාස ගණනක් යනකොට රටේ මිනිස්සුන්ට තිබුණ ප්‍රශ්න වල හැටියට, මේ ආණ්ඩුව යටතෙ කරළිය උණුසුම් කරන්නෙ මේ වගේ ප්‍රශ්න කිව්වමත් ඉතාමත් සාධණීයයි. නිකමට හිතන්නකො ලංකාවෙත් කොරෝනා වසංගතේ ජයටම පැතිරුණා නං? මිනිස්සු කැලෑ කැපිල්ල ගැන හීං කෙඳිරියක්වත් පිටකරයිද?

පරිසරයට සංවේදී මිනිස්සු රටක ඉන්න එක ඇත්තටම මතු පරපුරේ වාසනාවක්…..හැබැයි ඒ සංවේදීකම තක්කඩිකමක් නොවන් තාක් පමණයි.

කලින් කිව්ව සංවර්ධනය හැම වෙලාවෙම පරිසරයත් එක්ක ගැටෙන්නෙ, මිනිසා බලාපොරොත්තු වන සංවර්ධනය මඟින් ස්වභාවධර්මය සෑම විටම වෙනස් කිරීමට ලක්වන නිසා. රටක් හැටියට ගත්තත්, තනි පුද්ගලයෙක් හැටියට ගත්තත් අපේ සංවර්ධන අභිලාෂ හා ක්‍රියාකාරකම් හරහා සිද්ද වෙන්නෙ පරිසරයට හානියක්. එහෙව් එකේ තමුංගෙ ගේ හදනකොට කොස් ලීයෙන් දොර ජනෙල් දාගෙන, තේක්ක ලීයෙන් furniture හදාගෙන වැජඹෙන්නයි, නගරෙට එන්න අතුරෙත් යන්න ඕන මිනිස්සු ඉන්න ලංකාගමට පාර කපනකොට බුකියෙ වැළලෙනයි බෑ පුතේ. ආන්න ඒකට තමයි තක්කඩිකම කියන්නෙ. ඉංගිරිසියෙන් ඕකට කියන ලස්සන වචනෙ තමා Dual Standards කියන්නෙ.

අනික් කාරණාව තමයි ජනගහනය වැඩිවෙන එක. ජනගහනය වැඩිවෙන්න වෙන්න ආහාර, නිවාස සහ අනෙකුත් අවශ්‍යතා සෑම එකක්ම පාහේ වැඩි වෙනවා. නමුත් භූමිය වැඩි වෙන්නෙත් නෑ, ස්වභාවික සම්පත් අපි පරිභෝජනය කරන වේගයෙන්ම නැවත උත්පාදනය වෙන්නෙත් නෑ. ආහාර අවශ්‍යතාව වැඩි වෙනකොට ආහාර නිෂ්පාදනය වැඩි කරන්නම වෙනවා. එහෙමයි කියල වී ගහේ හැදෙන කරල් ගාණ අපරිමිත ලෙස වැඩි වෙන්නෙ නැහැනෙ. අපි කන ප්‍රමාණෙ අඩු කළත්, යම්කිසි මට්ටමකට වඩා ඒකත් අඩු කරන්න බැහැනෙ. මොකද අපි ප්‍රභාසංස්ලේෂණය කරන්නෙ නැහැනෙ සූර්‍ය කිරණ වලින් ඇඟ ඇතුළෙම ආහාර නිපදවාගන්න. ඒ නිසා කරන්න තියෙන්නෙ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට වගාබිම් ප්‍රමාණය වැඩි කරන එක. වගාබිම් ප්‍රමාණය වැඩිවෙනකොට වනාන්තර අඩුවෙනවා. හැබැයි එහෙමයි කියල වනාන්තර රැකගෙන, ආහාර නිෂ්පාදනය අඩුකළොත් 70′ මැතිණිගෙ ආණ්ඩුවට වුණ දේ සිද්ද වෙනවා. ඕක එක උදාහරණයක් පමණයි.

ප්‍රශ්නෙ තියෙන්නෙ ගස් කැපිල්ලෙ විතරද?

පරිසරය විනාශ වෙන මිනිස් ක්‍රියාකාරකම් අතරින් වනාන්තර විනාශයට එරෙහිව මිනිස්සුන්ව කුලප්පු කරවඅන්න පුළුවන් ප්‍රධානතම හේතුව තමයි මිනිස්සුන්ට ඔක්සිජන් නැතිව ජීවත්විය නොහැකිවීම, ශාක ප්‍රභාසංස්ලේෂණය මඟින් ඔක්සිජන් නිපදවීම සහ වෙනත් ඔක්සිජන් නිපදවන මූලයන් නොවීම. එහෙම ගත්තම මේ පරිසර ප්‍රේමය පරිසරයට තියෙන ආදරේකට වඩා, තමුංට හුස්ම ගන්න බැරිවෙයි කියන ආත්මාර්ථකාමී බිය නිසා හටගත් එකක් වෙන්නත් පුළුවන්.

හැබැයි ලොකුම ප්‍රශ්නෙ ඒක නෙමෙයි. ගස් කියන්නෙ නැවත නැවතත් හැදෙන, නැත්නම් පුනර්ජනනය වෙන සම්පතක්නෙ. ලංකාවෙ ඕනම තැනක කොස් ඇටයක්, අඹ ඇටයක් විසි කළොත් පැල වෙන්නෙ නැද්ද? හැබැයි ගංගා වැලි, සිමෙන්ති හදන්න ගන්න හුණුගල්, කළුගල්, පෙට්‍රෝලියම් වගේ බොහෝමයක් දේවල් පුනර්ජනනය වෙන්නෙ නෑ හෝ පුනර්ජනනය වීමේ වේගය නොගිනිය හැකි තරම් අඩුයි.

එහෙනං වන විනාශයට එරෙහිව හඬ නගන අයට ඇයි තක්කඩි කියල කියන්නෙ?

ලංකාවෙ ගස් කැපිල්ල, නැත්නම් වන විනාශය හැම කාලෙකම සිද්ද වුණා. කවදාවත් දැකල තියෙනවද මොරටුවෙ වඩුමඩු වල ලී නැතුව තියෙනව? ලීබඩු සාප්පු හිස්ව තියෙනව? ගස් කපන්නෙ නැතිව, මොරටුවට කඳං ශක්‍රයා ගෙනත් දෙන්නෙ නැහැනෙ. ඊට අමතරවත් තවත් පරිසර විනාශ එමටයි. හැබැයි ඒ එකක් ගැනවත් මේ මිනිස්සු හීං කෙඳිරියක්වත් නෑ. එක්කො මීට වඩා ප්‍රශ්න රටේ තිබුණ නිසා වෙන්නත් පුළුවන්.

අනෙක් ප්‍රශ්නෙ තමා ඒ අය ඉන්නෙ ගල්ගුහා වලද? නිදියන්නෙ පන් පැදුරෙද? කන්නෙ මැටිකෝප්පෙද? වතුර බොන්නෙ පොල් කට්ටෙද? ඉඳගන්නෙ බිමද? මේ මිනිස්සුන්ගෙ ජීවිත සැපවත් කරගන්න පුළුවන් තරම් පරිසරේට හානි කරලා කැලෑ කපන එකට විතරක් කෑගහනවා. ආන්න ඒකයි තක්කඩිකම.

පුනර්ජනනය නොවන සම්පත් සීඝ්‍රයෙන් ක්ෂය වීම අමතක කරල, නැවත වවන්නට හැකි ගස් ගැන පමණක් කඳුළු සලන එකයි තක්කඩිකම.

මිනිස්සුන්ගෙ අවශ්‍යතා සපුරාගැනීම අමතක කරල වනාන්තර ගැන පමණක් කතා කරන එකයි තක්කඩිකම.

කැලෑ කැපිල්ලෙ විපාක පේන මිනිහට, අනික් දේවල් වල විපාක නොපෙනෙන එක තමා තක්කඩිකම. තමුංගෙ දේශපාලන project එක වෙනුවෙන් තෝරාගත්තු මාතෘකා විතරක් කරලියට ගේන එක තමා තක්කඩිකම. සනත් නිශාන්තගෙ ආනවිළුන්දාවෙ ඉස්සො දැක්ක ඇස් වලට ලක්ෂ්මන් කිරිඇල්ලගෙ හන්තානෙ එනසාල් නොපෙනන් එකයි තක්කඩිකම. ලංකාගම පෙනුන ඇස් වලට විල්පත්තුව නොපෙනුන එකයි තක්කඩිකම. ඒ විතරක් නෙමෙයි දෙවෙනි ඡේදෙ කියපු අවස්ථා වල කසාය බීපු ගොළුවො වගේ හිටපු එකයි තක්කඩිකම.

අවසානෙට කියන්න තියෙන්නෙ කෝවිල් වල බිලිපූජා නොදැක්ක ඇස්, පෙරහැරේ කරඬුව වඩම්මවන ඇතාව දැක්කලු.

ඕකට තමා කියන්නෙ Selective Criticism නොහොත් තක්කඩිකම කියල.

එතකොට මේ ප්‍රශ්නෙට විසඳුමක් ඇත්තෙම නැද්ද?

ඇයි නැත්තෙ? ජනගහනය පාලනය කළොත් සම්පත් ක්ෂය වීමේ සීඝ්‍රතාවය පාලනය කරන්න පුළුවන්. හැබැයි ඒ එක පැතිකඩක් පමණයි. ඒ නිසා තමයි ධරණීය සංවර්ධනය (Sustainable Developmemt) කියල සංකල්පයක් ලෝකයම අනුගමනය කරන්නෙ. ඒකෙන් අදහස් කරන්නෙ අනාගත මානව වර්ගයාගේ පැවැත්ම අනතුරේ නොහෙලමින් වර්තමාන මානවයාගේ අවශ්‍යතා ඉටුකර ගැනීමයි. මේ අරමුණ සාර්ථක කරගන්න හැම මනුෂ්‍යයෙක්ම මේ ගැන දැනුවත් කරවීම මූලිකවම වැදගත් වෙනවා. එතකොට “ඔක්සිජන් කන්නද?” වගේ ප්‍රශ්න අපිට අහන්න නැතිවෙයි අනාගතේදි හරි.

ඒ වගේමයි පරිසරවේදීන්ට පුළුවන් වුණොත්, යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියක් නෙකෙරෙන පැත්තට කතා කරනවට වඩා හැකිතරම් පරිසරයට හිතැතිව දියත් කරන්නෙ කොහොමද කියල කියන්න, පරිසරයට යහපතක් වෙයි. එහෙම නැතුව පරිසරවේදියොත් එකම අන්තයක් අල්ලගෙන ඉන්න එකෙන් වෙන්නෙ ඒ අයට මහජන සහාය නැතිවෙලා ගිහිල්ල, නොවිය යුත්ත සිදුවීමයි.

ආණ්ඩුවට කරන්න පුළුවන් ලොකුම දේ තමයි ජ්‍යේෂ්ඨත්වය මත පදනම් නැතිව පරිසයරයට සංවේදී, ඔළුවක් ඇති, තක්කඩියෙකු නොවන මිනිහෙක්ව පරිසර ඇමති හැටියට පත්කරන එක. පාර්ලිමේන්තුව ඇතුළෙ නැත්නම් අලි ෂබ්‍රි මහත්තයව ගෙන්නපු ක්‍රමේටම එළියෙං ගෙන්නන්නත් පුළුහං ඈ.

– ධනංජය කරුණාරත්න-



8 Viewers