• Home »
  • Sinhala Articles »
  • පළාත් සභා එපා… එපා… එපා…! ඇමරිකාවේ ප‍්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නායක හිමි

පළාත් සභා එපා… එපා… එපා…! ඇමරිකාවේ ප‍්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නායක හිමි

* පළාත් සභා ක‍්‍රමය ඉන්දියාව බලහත්කාරයෙන් එල්ලූ උරචක‍්‍රමලායක්
* රට වේගයෙන් සංවර්ධනය කරන්න නම් කැබිනට් එක සමබර විය යුතුයි

තරංග රත්නවීර

අපේ රට කෑලි නවයකට බෙදාගෙන පාලනය කිරීමට තරම් විශාල රටක් නෙමෙයි. ෆෙඩරල් ක‍්‍රමයට බෙදාගෙන පාලනය කරන ඇමරිකාවේ ප‍්‍රාන්ත පනහක් තියෙනවා. ඒ අතරින් කුඩාම ප‍්‍රාන්තයත් ශ‍්‍රී ලංකාවට වඩා විශාලයි. ඒ නිසා මගේ මතය නම් ලංකාව වගේ පුංචි රටකට බලය බෙදාහැරුණු පළාත් සභා ක‍්‍රමයක් අවශ්‍ය නොවන බවයි…’’ එසේ පවසා සිටියේ ඇමරිකාවේ ප‍්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නායක හාමුදුරුවෝය. සුදු අලියෙක් බවට පත්ව තිබෙන පළාත් සභා ක‍්‍රමයේ නොගැලපීම ගැන පමණක් නොව, මේ දිනවල කරලියේ රැව්පිළිරැව් දෙන 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම පවතින දේශපාලන ක‍්‍රමයේ යහපත් අයහපත් කරුණු රාශියක් ගැන උන්වහන්සේ අපට පැහැදිළි කළහ. මේ පෙළගැසෙන්නේ උන්වහන්සේගේ බරසාර දේශනයේ සංශිප්තයකි.

* පළාත් සභා ක‍්‍රමය…

‘‘ඔය පළාත් සභා ක‍්‍රමය ආරම්භ වුණේ මෙරට නායකයන්ගෙන් ඕනෑකමට නෙමෙයි. අසල්වැසි ඉන්දියාවේ අවශ්‍යතාවය මත බලහත්කාරයෙන් අපේ රටට පටවපු කුණු ගොඩක්. 13 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී තමයි පළාත් සභා ක‍්‍රමය ඇතුළත් වුණේ. ඒත් දැන් මේ පළාත් සභාව නමැති කුණු ගොඩට පාර්ලිමේන්තුවේ දෙසීය විසිපහෙන් බහුතරය කැමතියි. එහෙම වෙලා තියෙන්නෙ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත් වූ පසු රිංගන්න තියෙන එකම තැන පළාත් සභාව නිසයි. ඒ
වගේම පාර්ලිමේන්තු මැති, ඇමැතිවරුන්ගේ ඥාති සහෝදර, සහෝදරියන්ට, හිතවතුන්ට දේශපාලනය අධ්‍යයනය කිරීමට ඇති පාසලත් පළාත් සභාවයි. මැතිවරණයේදී අපේක්‍ෂකයන්ට දරදිය ඇදපු ව්‍යාපාරිකයන්ට පහසුවෙන් ලබාදිය හැකි තෑග්ගත් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමේ ටිකට් එක. ඒ හැරෙන්න පළාත් සභා ක‍්‍රමයෙන් අපේ රටට වෙච්ච සුගතියක් නෑ. පළාත් සභා ක‍්‍රමය හඳුන්වා දුන්නු දවසෙ ඉඳලා වර්ෂයකට කෝටි ගාණක් වියදම් කරමින් සුදු අලියෙක් නඩත්තු කළා විතරයි. එපමණක් නොවේ, මෙරට අධ්‍යාපන ක‍්‍රමය සම්පූර්ණයෙන් විනාශ කළේ පළාත් සභාව. වැඩි උදාහරණ ඇවැසි නෑ. මධ්‍යම රජයේ පාසල් සහ පළාත් සභාවෙන් පාලනය වන පාසල් දිහා සංසන්දනාත්මකව බලන්න. පළාත් සභාවෙන් පාලනය වන පාසල් වසරකට කීයක් වැහිලා යනවද? ජාතික පාසල් දවසින්, දවස දියුණු වෙනවා. එහෙම වෙන්නෙ පළාත් සභාවට තේරී පත්වෙන මැති, ඇමැතිවරුන්ට වැඩ කිරීමට පළපුරුද්දක් නැතිකම සහ පළාත් සභාවට වියදම් කිරීමට ආර්ථික ශක්තියක් නැතිකම නිසා. ඒ වගේම මේ පාසල් දෙක අතර තියෙන සහසම්බන්ධතාවත් දුර්වලයි. පළාත් සභා පාසලක ගුරුවරයකුට ජාතික පාසලකට ඇතුළත් වෙන්න බෑ. ජාතික පාසලක ගුරුවරයකුට පළාත් සභා පාසලකට යන්න බෑ. හරියට රටවල් දෙකක ජීවත් වෙන මිනිස්සු වගෙයි. මේවා විහිළු. ඒ්ත් මේ මන්දබුද්ධික වැඩ නිසා පීඩා විඳින්නෙ ගුරුවරු… ශිෂ්‍යයො… රටේ සාමාන්‍ය ජනතාව…’’

මේ රටේ අධ්‍යාපන ක‍්‍රමය වගේම රටේ සෞඛ්‍යය දුර්වල වුණෙත් නොදියුණු පළාත් සභා ක‍්‍රමය නිසයි. අපේ රටේ වාසනාවට තමයි කොරෝනා වංසගතය පැතිරී යනකොට පළාත් සභාවට බලය නැති වුණේ. පළාත් සභාව ක‍්‍රියාත්මකව පැවතිලා ‘අපිට වැඩ කරන්න බලය දෙන්න කියලා පළාත් සභා මහ ඇමැතිවරු, සෙසු මැති ඇමැතිවරු කඹ අදින්න ගත්තා නම් අපේ රටට මොකද වෙන්නෙ… අපිට රටක් ඉතුරුවෙයිද? අපේ රට වාසනාවන්තයි. ඒකයි කොරෝනා සමයේ පළාත් සභාවට බලය අහිමි වී තිබුණේ. ඒ වගේම රටේ ආර්ථික දියුණුවට පළාත් සභාවෙන් මොනවද කරලා තියෙන්නෙ… රටේ කෘෂිකාර්මන්තය දියුණු කිරීමට එකදු වැවක්වත් ප‍්‍රතිසංස්කරණය කරල තියෙනවද… නෑ. ඒත් හැමදාම පළාත් සභාවට බලය නොදී ඉන්නත් බෑ. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ අතරේ මේ පළාත් සභාව නමැති කුණු ගොඩ ඉවත් කිරීමට සාර්ථක විසඳුමක් සොයන්න ඕනෑ. ඒක කරන්න ඕනෙ ඉන්දියාවත් හොඳින් තියාගෙන. අසල්වැසි සහෝදරයා අමනාප කරගෙන අපිට ගමනක් යන්න බෑ. ඒත් ඔවුන්ට යටත් වෙලා සිටින්නත් බෑ. ඒ නිසා ඉන්දියාවත් හොඳින් තියාගෙන පළාත් සභා ක‍්‍රමය අපේ රටෙන් සදහටම ඉවත් කරන්න විසඳුම් සොයන්න ඕනෑ. ඉන්දියාව එහෙම කරන්න දෙන්නේ නැතිනම් බලහත්කාරයෙන් පටවපු මේ උරචක‍්‍රමාලය අපේ රටට වාසිදායක විදිහට ගලපගන්න ඕනෑ. මධ්‍යම රජයේ ජනාධිපතිවරයා විසින් රටේ ආර්ථිකය දියුණු කිරීමට පළාත් සභා නවයට යම් වැඩ කොටසක් පවරා දිය යුතුයි. ඒ සමඟ එම වැඩ කොටස කරලා අවසාන කිරීමට නිශ්චිත කාලයක් ලබාදිය යුතුයි. එම කාලසීමා තුළ පැවරූ වැඩ කොටස සිදු කර නොතිබෙන්න අදාළ පළාත් සභාව විසුරුවන බවට දැඩි නියෝගයක් පැනවිය යුතුයි. එහෙම කරන්න පළාත් සභාව රටට වැඩදායී ආයතනයක් කරගන්න පුළුවන් බව මගේ විශ්වසයයි…’’

* ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය…

ඒ වගේම මේ දිනවල අපේ රටේ ප‍්‍රධාන මාතෘකාව බවට පත් වී තිබෙන්නේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය. 1977 මැතිවරණයෙන් පසු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරලා තියෙන්නෙ ඇමරිකාවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවත්, බි‍්‍රතාන්‍ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් මිශ‍්‍ර කරලා. ඇමරිකාවේ ආණ්ඩු ක‍්‍රමයට අනුව ජනාධිපතිවරයාට වැඩි බලතල ලබා දීලා තියෙනවා. ඒ වගේම අගමැති සහ පාර්ලිමේන්තුවත් ආරක්‍ෂා කරගෙන තියෙනවා. මේ දෙබිඩි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ගැන මෙරට බුද්ධිමත් ජනතාවට විවිධාකාර විවේචන තිබුණා. ඒත් ලංකාව වැනි රටකට ගැලපෙන්නේ ජනාධිපතිවරයාට වැඩි බලතල සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්. ජනාධිපති ක‍්‍රමයක්. මේ රටේ ජනාධිපති ක‍්‍රමය නොතිබෙන්න කිසිදු ලෙසකින් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය අවසාන කරන්න බැරි වෙනවා. ඒත් පැවති යහපාලන ආණ්ඩුව 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට තිබූ බලතල අඩු කළා. ඒ වගේම 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළේ එක පවුලකින් පළිගැනීමේ අරමුණින්. වර්තමාන ආණ්ඩුව මේ වෙනකොට පවතින 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධනය කිරීමට සූදානම් වෙනවා. ඒක ඉතාම හොඳ වැඩක්. එහෙම නොකර මේ රට දියුණු කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගන්න අසීරුයි. ඒත් එම කටයුත්ත සිදු කළ යුත්තේ අතිශය පරිස්සමින්…’’

‘‘19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළ රටට වාසිදායක කොන්දේසි තියෙනවා. පැවති රජය කුමන අරමුණකින් 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධනය කළත් එහි ඇතුළත් රටට ඵලදායී කොන්දේසි 20 වැනි සංශෝධනයට ඇතුළත් කරගත යුතුයි. ඒ වගේම මේ වන විට 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් විය යුතු, නොවිය යුතු කොන්දේසි ගැන විවිධ මත පළ වෙනවා. ඒ අතර ප‍්‍රබලව පළ වන මතයක් හැටියට මා දකින්නේ වර්තමාන ජනාධිපතිවරයා සේවයෙන් විශ‍්‍රාම ගිය පසු ඔහු වැරැදි කර ඇති නම් ඔහුට විරුද්ධව නඩු දැමීමට හැකි වන අයුරින් වගන්ති ඇතුළත් කළ යුතුයි කියා පළ වෙන මතය. ඒ වෛරී අදහසින් පළ වන මතයක්. ඒ නිසා එම මතය සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතුයි…’’

‘‘ලෝකයේ සෑම රටකම සිටින තානාපතිවරුන් සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කොමිසමේදී විශේෂ සම්මුතියක් සම්මත කරගෙන තියෙනවා. ඒ අනුව ‘තානාපති ධුරයේ සිටියදී යම් දෙයක් සිදු කර ඇති නම් ඒ ගැන ප‍්‍රශ්න කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් දඬුවම් පමුණුවන්න බෑ…’ ඇමරිකාවේ ජනාධිපතිවරයාටත් එම සම්මුතිය වලංගුයි. ඇමරිකාවේ ජනාධිතවරයා තම ධූර කාලයේදී සිදු කරන දේවල් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරන්නත් බෑ. නීති මාර්ගයට යන්නත් බෑ. ඒ විතරක් නෙමෙයි සෑම අවුරුදු හතරකට පසුව ඇමරිකාවේ ජනාධිපති මැතිවරණය පැවැත්වෙන්නෙ නොවැම්බර් මාසෙ. ඒ ඡන්දයෙන් පරාජයට පත් වූ ජනාධිපතිවරයා ජනවාරි මාසය වෙනකම් ජනාධිපති ධූරයේ රාජකාරි කරගෙන යනවා. එම කාලය තුළත් ජනාධිපති බලතල පාවිච්චි කරමින් තීන්දු, තීරණ ගන්න ඔහුට බලය තියෙනවා. පරාජයට පත් වූ ජනාධිපතිවරු තම බලතල පාවිච්චි කරමින් තීන්දු තීරණ ගත්ත අවස්ථාත් තියෙනවා. අපේ රටේ ජනාධිපතිවරයාටත් එම බලතල හිමි වෙන්න ඕනෑ. මෙරට ජනාධිපතිවරයා තේරී පත් වෙන්නේ එක දිස්ත‍්‍රික්කයකින් නෙමෙයි. මුළු රටේම බහුතර ජනතා මනාපයෙන්. එවැනි ජනතා නායකයෙක් රට වෙනුවෙන් ගන්න තීරණයකට පසු කාලීනව ඔහුට විරුද්ධව යම් පුද්ගලයෙක් හෝ පාර්ශවයක් නීති මාර්ගයට යන්නේ නම් ඒක අසාධාරණයි. අශිෂ්ටයි. ඒ නිසා මෙරට ජනාධිපතිවරයාටත් තානාපතිවරුන් සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කොමිසමේදී සම්මත කරගත් සම්මුතිය වලංගු වෙන්න ඕනෑ. ඒ රටේ ජනාධිපතිවරයා නීතියට ඉහළින් තැබීමට නෙමෙයි. රටේ ජනතාවගේ ඉහළම නියෝජිතයාට ඒ සාධාරණය ඉටු කළ යුතු නිසයි…’’

‘‘20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වන මත අතර ද්විත්ව පුරවැසියකුට ශ‍්‍රී ලංකාවේ ජනාධිපති වෙන්න බෑ කියන මතයත් කරළියේ රැව් දෙනවා. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙනුත් ද්විත්ව පුරවැසියකුට මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව අහෝසි කරලා තියෙනවා. එම කොන්දේසිය නිවරැදියි. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතටත් ඒ කොන්දේසිය ඒ ආකාරයෙන්ම ඇතුළත් විය යුතුයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට, තානාපතිවරයකුට ද්විත්ව පුරවැසිභාවය ගැටලූවක් නොවුණත් රටේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ද්විත්ව පුරවැසියන් නොවිය යුතුයි. යම් ද්විත්ව පුරවැසියෙක් මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අදහස් කරන්නේ නම් අනිවාර්යයෙන්ම ඔහු විදේශීය පුරවැසි භාවයෙන් නිදහස් වෙන්න ඕනෑ. ඒ වගේම ඔහු ශ‍්‍රී ලංකාවේ උපත ලද පුද්ගලයෙක් විය යුතු බවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතුයි.

ශ‍්‍රී ලංකාවේ උපත ලද යම් පුද්ගලයෙක් විදේශීය රටවල ඉගෙනගෙන, විදේශ රටක පුරවැසියෙක් ලෙස ඉඳගෙන, උපන් රටට සේවය කරන්න ඇවැසි යැයි සිතා මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අදහස් කරන්නේ නම් එරට පුරවැසි භාවය අහෝසි කර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ගැටලූවක් නෑ…’’

* කැබිනට් මණ්ඩලය…

‘‘ඒ වගේම මේ දිනවල සාකච්ඡාවට බඳුන් වන මාතෘකා අතර කැබිනට් මණ්ඩලය තිහකට සීමා විය යුතු යැයි කියන මතය විශේෂයි. කෙසේ අදහස් ඉදිරිපත් වුණත් ඒ මාතෘකාවේදී මෙරට සංස්කෘතිය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. අපේ පන්සලක නායක හාමුදුරුනමක් වයසට ගියාට පස්සෙ ‘දැන් ලොකු හාමුදුරුවෝ වයසයි… නායකකමෙන් ඉවත් කරන්න ඕනෑ…’ කියලා ඉවත් කරනවද? අපේ සංස්කෘතිය තුළ එවැනි දේවල් වෙන්නෙ නෑ. ජනතා මනාපයෙන් හෝ ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන වයෝවෘද්ධ දේශපාලකයන් පසුපෙළින් වාඩි කරවන්නත් බෑ. ඒ වගේම පරිණත, බුද්ධිමත්, දක්‍ෂ වයෝවෘද්ධ දේශපාලනඥයන් මෙරට පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔවුන්ට දුවලා, පැනලා වැඩ කරන්න ශක්තියක් නැති බව හැබෑව. ඒත් ඔවුන්ගේ බුද්ධියෙන් වගේම දීර්ඝ කාලීන පළපුරුද්දෙන් රටට යහපත් තීන්දු තීරණ ගන්න පුළුවන්. ඒ නිසා මෙරට කිනම් පක්‍ෂයක් ආණ්ඩු බලයට පත් වුවත් මහජන ඡන්දයෙන් තේරී පත් වෙලා පාර්ලිමේන්තුවට එන පළපුරුදු, දක්‍ෂ, අවංක වයෝවෘද්ධ දේශපාලනඥයන්ට කැබිනට් එකේ විශේෂ වරප‍්‍රසාද ලබා දිය යුතුයි. ඒ වගේම වයසට යනකොට පළපුරුද්ද, බුද්ධිය තිබුණට දුවලා පැනලා වැඩ කරන්න ශක්තිය නැති බවත් අපි තේරුම් ගන්න ඕනෑ. රටක් දියුණු කරන්න නම් හදිසි තීරණ අරගෙන කඩි වගේ දුවලා පැනලා වැඩ කරන්න ශක්තිවන්ත තරුණයො ඉන්න ඕනෑ. ඒ නිසා කැබිනට් මණ්ඩලය තෝරාපත් කරගන්නකොට ඔය දෙපාර්ශවය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෑ. ගැටලූවකින් තොරව සම, සමව දෙපාර්ශවයෙන්ම සාමාජිකයන් තෝරාපත් කර ගන්න නම් කැබිනට් මණ්ඩලය තිහකට සීමා කරන්න අසීරුයි. වයෝවෘද්ධ පළපුරුදු ජනතා මනාපයෙන් තේරී පත් වූ විස්සකට කැබිනට් ඇමැති ධුර ලබාදෙනකොට තරුණ මන්ත‍්‍රීවරුන් විස්සක් කැබිනට් එකට පත් කර ගත යුතුයි. එහෙම වුණොත් විතරයි වේගයෙන් රට සංවර්ධනය කරන්න පුලූවන් වෙන්නේ. ඒ නිසා රට දියුණු කරන්න නම් කැබිනට් මණ්ඩලය තිහකට වැඩි විය යුතුයි. අවස්ථානුකූලව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ප‍්‍රමාණය වැඩි කර ගත යුතුයි… එහෙම නොවෙන්න මේ රට සංවර්ධනය කරා ගෙන යෑම අසීරුයි…’’

* ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්…

‘‘දැන් අපි හිතන්න ඕනෑ කැබිනට් මණ්ඩලය ගැන නෙමෙයි. මේ රට සංවර්ධනය කරන ආකාරය ගැන. මෙරට ජනතාව පවතින රජයට බහුතර බලයක් දීලා තියෙන්නෙ අපේ රට සදාචාරාත්මක දියුණු රටක් බවට පත් කරාවී යන දැඩි විශ්වාසයක් මත. කෙසේ හෝ මේ රජය ජනතාව තැබූ එම විශ්වාසය මල්ඵල ගන්වන්න ඕනෑ. ඒකට දැන් පසුබිම හැදිලා තියෙන්නෙ. මේ දිනවල ඇමරිකාව සහ චීනය අතර පවතින සීතල යුද්ධයේ ප‍්‍රතිඵලයෙන් එම රටවල ආයෝජකයන් ලංකාව වැනි රටවල ව්‍යාපාර ආරම්භ කිරීමට කැමැත්තෙන් පසු වෙනවා. පවතින රජයෙන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන අතරේ එම කර්මාන්තශාලාවල සේවයට තාක්‍ෂණ දනුමෙන් පිරිපුන් ශක්තිවන්ත ශ‍්‍රම හමුදාවක් අපේ සමාජය තුළින් නිර්මාණය කිරීමට රජය වගබලා ගත යුතුයි. ඒ ශ‍්‍රම හමුදාව මැති ඇමැතිවරුන්ගේ ලියුම්වලට යට නොකොට ගෞරවනීය ආකාරයට වෘත්තීය පත්වීම් ලබාදීමටත් රජය විසින් සාර්ථක වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. මේ රජයෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නෙ එවැනි සාර්ථක ගමනක්. තවත් මාධ්‍ය සංදර්ශනයක් නෙමෙයි. ඒ නිසා පවතින ආණ්ඩුව පරිස්සමින් වැඩ කරගෙන යා යුතුයි. ජනතා ප‍්‍රසාදය, වේගයෙන් අප‍්‍රසාදයට පත් වෙන්න පුළුවන්. ඒ ගැන ආණ්ඩුවේ ප‍්‍රබලයන් විශේෂයෙන් අවධාරණයෙන් සිටිය යුතුයි…’’

වල්පොල පියනන්ද නායක හාමුදුරුවන්ගේ කතාවට අඩු වැඩි එකතු කිරීමට ඇවැසි නැත. කාලීන ධර්ම දේශනාවක් සේ උන්වහන්සේ කරුණු ඉදිරිපත් කළහ. නායක හාමුදුරුවෝ උපදෙස් ලබා දෙන්නේ ද මේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමටය. රටේ ජනතාව බලා සිටින්නේ ද බහුතර බලයක් සහිත පවතින ආණ්ඩුව මේ රට සංවර්ධනය කරන ආකාරය දෙසය. එහෙත් තවමත් සංවර්ධනයේ අසිරිය සිත් පුරා විඳගැනීමට අරුණලූ වැටී නැති බව සැබෑය…



97 Viewers