• Home »
  • Sinhala »
  • පාර්ලිමේන්තුව රැස්නොකිරීම සහ ව්‍යවස්ථා අර්බුද

පාර්ලිමේන්තුව රැස්නොකිරීම සහ ව්‍යවස්ථා අර්බුද

ජනාධිපතිවරයා විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව එම විසුරුවා හැරිමේ ප්‍රකාශනයේ සිට මාස තුනක් ඇතුළත කැඳවීමට නොහැකි වීමෙන් ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවිය හැකිද? ව්‍යවස්ථාවේ 70(5) (අ) අනුව එම ප්‍රකාශනය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන් තෝරා පත් කරගන්නා දිනය එනම් මැතිවරණය පවත්වන දිනය සහ අභිනව පාර්ලිමේන්තුව පළමුවරට රැස්වන දිනය ප්‍රකාශයට පත්කළ යුතුය. එසේම එම වගන්තිය අනුව එසේ පාර්ලිමේන්තුව පළමුවරට රැස්වන දිනය එම ප්‍රකාශනයේ දින සිට තුන් මසක් නොඉක්මවන දිනයක් විය යුතූය.

ජනාධිපතිවරයාට 70(ඇ) යටතේ ඉහත පාර්ලිමේන්තුව පළමුවරට රැස්වන දිනය වෙනස් කළ හැකි නමුත් එම වෙනස් කළ දිනය පළමු ප්‍රකාශනයෙන් මාස තුනක කාලය නොඉක්මවූ දිනයක් විය නොහැකිය.

70(5)(ඇ) යටතේ අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් කිරීමට බලය තිබුණද මැතිවරණය පවත්වන දිනය වෙනස් කිරීමට බලයක් නොමැත.

පාර්ලිමේන්තු මැතිවරණයක දිනය වෙනස් කිරීමේ තනි අභිමතානූසාරි බලය 1981 අංක 01 දරන පාර්ලිමේන්තු පනත මගින් පැවරි ඇත්තේ මැතිවරණ කොමිසම වෙතයි. එම පනතේ 24(3) මගින් හදිසි තත්ත්වයකදි හෝ පූර්වාපේක්ෂණය කළ නොහැකි තත්ත්වයකදි මැතිවරණයක් පැවත්වීම සඳහා නියම කල දිනය ගැසට් පත්‍රයේ පලකිරීම මගින් වෙනස් කිරීමට කොමිසම වෙත බලය ඇත. මෙහිදී වැදගත් වන්නේ එම වගන්තිය මගින් කොමිසම විසින් පවරා ඇති අනන්‍යවූ අභිමතානුසාරි (in his absolute descretion) බලයයි. ඒ අනුව ඒ සම්භන්ධ අවසාන අධිකාරි බලය මැතිවරණ කොමිසමට පැවරී ඇත. අපගේ පරිපාලන නීතියේ විකාශනය අනුව එවැනි යම් අභිමතානුසාරි බලයක් හිමි පුද්ගලයකු හෝ ආයතනයක් විසින් එම බලය සාධාරණ ලෙස ක්‍රියාවට නැංවිය යුතුය. පවතින වසංගත තත්ත්වය යටතේ මැතිවරණයක් පැවත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් කළ යුතු පූර්ව සූදානම් වීම සඳහා එනම් ඡන්ද නාම ලේඛන බෙදාහැරිම ආදි කටයුතු සලකා බලා එම දිනය තීරණය කළ හැකිය. මේ අවස්ථාවේදි, පවතින තත්ත්වය, එහි බරපතළ ස්වභාවය හා ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂඥ දැනුම සතු වන්නේ ජනාධිපතිකාර්ය සාධක බළකායටයි. කොමිසම විසින් මැතිවරණ දිනය කල් තැබීමට පෙර එම කාර්ය සාධක බළකාය විමසා සිටි බවට තොරතුරු ඇත. එය කොමිසමේ අභිමතය සාධාරණ ලෙස ක්‍රියාත්මක කළ බවට සාක්ෂියකි.

තවද එම වගන්තිය අනුව කොමිසම නියම කරන වෙනත් දිනය එම ගැසට් පත්‍රයේ දින සිට දින 14 කට නොඅඩු දිනයක් විය යුතුය. ඒ අනුව මැතිවරණ කොමිසම විසින් 2020 අප්‍රියල් 20 වන දින නිකුත් කළ අංක 2172/3 ගැසට් නිවේදනය මගින් මහ මැතිවරණය ජුනි 20 පැවත්වීමට තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීම ඊටත් පසු දිනක සිදුවනු ඇත. එම දිනය ජනාධිපතිවරයා විසින් අභිනව පාර්ලිමේන්තුව කැඳවිය යුතුව තිබූ ජුනි 02 වන දිනය ඉක්මවූ දිනයක් බව පැහැදිලිය.

ඒ අනුව 70(5) වගන්තිය ප්‍රකාරව සිය මුල් ප්‍රකාශනයේ දින සිට මාස තුනක් නොඉක්මවන දිනයකදි අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකීවිමෙන් ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තමා පැවරී ඇති වගකීම් කඩ කරන්නේද? ඒයින් ව්‍යවස්ථා අර්බුදයක් හටගනු ලබන්නේද?

70(5) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කැඳවීමට පූර්වගාමී අවශ්‍යතාව වන්නේ මහ මැතිවරණයක් පැවත්වීමයි. මහ මැතිවරණයක් පැවත්වීමකින් තොරව පාර්ලිමේන්තුව කැඳවීමකට 70(5) ව්‍යවස්ථාව අදාළ නොවේ. ජනාධිපතිවරයාගේ පළමු ප්‍රකාශයෙන් පසුව මැතිවරණයක දිනය වෙනස් කිරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිසමට නම්, කොමිසම මැතිවරණය සඳහා නියම කල දිනය ජනාධිපතිවරයාගේ මුල් ප්‍රකාශනයෙන් තුන් මසක් ඉකුත් වූ දිනයක් නම් එය ජනාධිපතිවරයා විසින් සිය ව්‍යවස්ථාපිත වගකීම කඩ කිරීමක් නොවේ. එය ජනාධිපතිවරයාට ප්‍රායෝගිකව කළ නොහැකි දෙයකි. ජනාධිපතිවරයා විසින් කළ අපගේ නීතියේ පිළිගැනෙන lex non cogit ad impossibilia පුද්ගලයකුට ප්‍රායෝගිකව කළ නොහැකි දේ කිරීමට නීතිය බලනොකරයි යන සිද්ධාන්තය පිළිබඳව සඳහන් කළේ එහෙයිනි.

මෙහිදි පැන නගින අනෙක් ප්‍රශ්නය වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් අතික්‍රමණය කිරීමට පාර්ලිමේන්තු මැතිවරණ පනත වැනි වෙනත් සාමාන්‍ය පනතකට හැකියාව ඇත්ද යන්නයි. නැතිනම් පාර්ලිමෙන්තු පනතක වගන්තියක් සහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් අතර ගැටුමකදි ඇතිවන තත්ත්වය කුමක්ද යන්නයි. මෙහිදී සඳහන් කළ යුත්තේ ජනාධිපති ධුරය මෙන්ම මැතිවරණ කොමිසමද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කළ ආයතන දෙකක් බවයි. මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමට පැවරී ඇති බලය උත්පාදනය වන්නේද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම වේ. ඒ අනුව එක් ආයතනයක් තමන්ගේ බලය ක්‍රියාත්මක කිරීමේදී අනෙක් ආයතනයට එහි ව්‍යවස්ථාපිත වගකීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම එම ආයතනයේ වරදක් නොවේ.

මැතිවරණ කොමිසම, මෙරට බොහෝ සිවිල් හා රාජ්‍ය නොවන සංවිධන වල ඉල්ලීම මත හඳුන්වා දුන් 19 වන සංශෝධනය යටතේ ස්ථාපනය කළ ආයතනයකි. එහි සාමාජිකයන් පසුගිය රජය සමයේ පත්කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත්කොට ඇත. එම මැතිවරණ කොමිසම, වර්තමාන ජනාධිපතිවරයා සමග එක්ව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව කීම තාර්කික නොවේ.

කෙසේ වුවද පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවකදි වුවද විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ බලය ජනාධිපතිවරයාට ඇත. 70(7) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව නියමිත දිනට කලින් කැඳවීමට තරම් හදිසි තත්ත්වයක් උද්ගතවී ඇතැයි ජනාධිපතිවරයා සෑහීමට පත්වන්නේ නම් ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව යළි කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත. එහෙත් අය ජනාධිපතිවරයාගේ අභිමතානුසාරි බලයක් මිස ඔහු මත පැවරි ඇති අනිවාර්ය ව්‍යවස්ථාපිත වගකීමක් නොවේ. ජනාධිපතිවරයා දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදි විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ කිසිදු අභිලාෂයක් ඔහුට නැත.

එසේම 24(1) වගන්තියේ එසේ මැතිවරණ දිනය වෙනස් කළ හැක්කේ එක් වරක් පමණක් යනුවෙන් සීමාවක් නැත. ඒ අනුව නැවත හදිසි සහ අනපේක්ෂිත තත්ත්වයක් ඇතිවුවහොත් හෝ මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් නැවත වෙනත් දිනයක් නියම කිරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිසමටයි.

70 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව වසරකට වරක් වත් කැඳවිය යුතුය යන්‌නන් අවම අවශ්‍යතාව දක්වා ඇත. අනෙක් අතට දැනට පාර්ලිමේන්තුව තුළ සිටින ( ඉදිරි මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් අයටත් මෙය අදාළ වේ) මන්ත්‍රිවරුන්ට ජාතික ව්‍යවසනයක් සම්බන්ධයෙන් පුළුල්ව කටයුතු කිරීමට ප්‍රමාණවත් සංයමයක්, විනයක් හා පරිචයක් ඇත්ද යන්න අපි පසුගිය වසර ගණනාවක අත්දැකීම් තුළ දනිමු. ද්‍රවිඩ ජාතික සන්ධානයේ ටී. සුමන්තිරන් සහ එජාපයේ (සජිත් පිල) නියෝජනය කරන හිටපු මන්ත්‍රි අජිත් පෙරේරා ප්‍රකාශ කරන්නේ ජුනි 02 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයාගේ විසුරුවා හැරීමේ ප්‍රකාශය ඉබේම ශූණ්‍ය හා බලරහිත (Null and void) වන බවයි. යම් නීතිමය බලයක් එනයින්ම ශූන්‍ය සහ බලරහිත වන්නේ නම් එය අදාළ බලාධිකාරය තුළ එනම් මේ කරුණට අදාළව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රකාශිතව සඳහන් විය යුතුය. එවැනි ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාව තුළ අන්තර්ගත නොවන නිසා මෙම මතය අවලංගු වේ. එවැන්නක් ප්‍රකාශ කරවා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සරණ පැතිය යුතුව ඇත.

මීළගට පැන නගින ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තුව යථා පරිදි රැස් නොවුවහොත් රට කර ගෙන යෑම සඳහා ජනාධිපතිවරයාට මුදල් ලබා ගන්නේ කෙසේද යන්නයි. සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයා නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමෙන්තුව කැඳවන්නේ නම් අය වැය හෝ පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා විපක්ෂයේ පූර්ණ සහය ලබාදෙන බවයි. නමුත් 150(3) ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අවස්ථාවක එම වසර සඳහා අය වැය (විසර්ජන පනත) සම්මත කර නැත්නම් , රජයේ කටයුතු වෙනුවෙන් මුදල් වෙන් කර නැත්නම් ඒ සඳහා අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලෙන් ලබා ගැනීමට ජනාධිපතිවරයාට බලය පවරා ඇත. එම බලය අභිනව පාර්ලිමේන්‍තුව රැස්වන තුරු පමණක් නොව එසේ රැස්වීමෙන් පසුව මාස තුනක් දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව ජනාධිපතිවරයාට රජයේ සේවාවන් පවත්වාගෙන යෑම පිළිබඳව ආරක්ෂාව සපයා ඇත.

පැවති පාර්ලිමේන්තුව සම්භන්ධයෙන් එජාපයට සහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ ජනවරම 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලය තුළම නිශේධනය වී ඇත. කල් ඉකුත් වූ බේද භින්න වූ නියෝජන සභාවකට කළ හැක්කක් නොමැත. ඒ අනුව කළ යුත්තේ අලුත් ජනවරමකට ඉඩ සැලසීමයි. එය සුදුසු කලක පැවත්වීම කොමිසමට පැවරෙන ආණ්ඩු ක්‍රමික වගකීමකි.

නීතිඥ නුවන් බැල්ලතුඩාව



47 Viewers