පාස්කු බෝම්බය හා ජිනීවා බෝම්බය

අපි මේ කතා කරන්නේ ආණ්ඩුව හෝ එහි දේශපාලනය පිළිබඳව නොවන්නෙමු. ඒ පිළිබඳව රෙද්දක් ඇඳගෙන කතා කරන්නට දෙයක් දැන් ඉතිරිවී නැත. ආණ්ඩුවේ රාජ්‍ය පාලනය කොතරම් සුපිරිද කිවහොත් අද රටට සිදුව තිබෙන්නේ අම්බලමේ පිනාට සහ උගේ වළං කඳට වුණු නස්පැත්තිය ය. ඉන් එහා කිසිත් අපි නොකියන්නෙමු.

අප කුඩා කල කියවූ අම්බලමේ පිනාට අදාළ ඒ කවි පෙළේදී පිනාගේ වළං කද ගොනා කුඩු පට්ටම් කළ විට කවිය අවසන් වූයේ ඒකට මට හිනා කියාය. එක් අතකට බලන කල එය අපූරු අවසානයකි. ඉන් කියැවෙන්නේ ගොනා නිසා පිනා අනාථ වෙද්දී එය දැක සිනහ ගියේ යැයි කියාය.

එසේ සිනාහසීම නම් මහා කැත වැඩකි. එහෙත් ඒ ගැන කල්පනා කිරීමේදී නිකමට මෙන් සිතෙන්නේ අතීත ජන කවියා එහි අවසානය එසේ සටහන් කරනු ලැබුවේ මේ රටේ අනාගතය පිළිබඳ හොඳ අවබෝධයක් තිබූ නිසාදැයි කියාය.

  • ඇවිලෙන ගින්නට පිදුරු දැමීම

මන්ද අම්බලමේ පිනා පද හතර ළමා කාලයේදී කියවා ඒ අනුව ජීවත් වන්නාක් මෙන් පිනාට සහ වළං කදට වුණු දේ රටට සිදු වෙද්දී එය දැක සිනාසෙන අතරේ ඇවිළෙන ගින්නට පිදුරු දමන්නෝ අද මේ රටට හිඟ නොවෙති. ඔවුහු විවිධ වෙස් ගත්තෝ වෙති. එහෙත් කාගේත් ඉලක්කය එකකි. ඔවුහු කවරහුද?

අපේ හමුදා විරුවන් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය අතුගා දමා මේ රටට නිදහස දිනා දුන් දිනයේ සිට ඇමෙරිකාව ඇතුළු බටහිර කඳවුර සිදු කළේ එය නිවැරදියි කීම නොව ශී‍්‍ර ලංකාවට එරෙහිව අවි අමෝරා නැඟී සිටීමය.

ශී‍්‍ර ලංකාව කේන්ද්‍ර කරගනිමින් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කළ සිය භූ දේශපාලනික අරමුණු සියල්ල ප‍්‍රභාකරන්ගේ අවසානයත් සමඟ බිඳ වැටීම ඔවුන්ගේ එකී නැඟී සිටීමට හේතුව විය. එසේම විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ඇතැම් බටහිර රාජ්‍යයන්හි දේශපාලන කඳවුරුවල පැවත්ම තීරණය කරන සාධකයක් බවට පත්ව තිබීමද එයට තවත් හේතුවක් වී තිබිණි.

  • යළි ඇරඹුණු සුපුරුදු ජිනීවා ප‍්‍රහාරය

මෙහිදී ඇමෙරිකාව ප‍්‍රධාන බටහිර කඳවුර විසින් ශී‍්‍ර ලංකාවට එරෙහි ප‍්‍රහාරය සඳහා ප‍්‍රබලම අවිය ලෙස යොදා ගත්තේ සහ අදටත් යොදා ගනිමින් තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යැයි කිවහොත් එය ඉතාම නිවැරදි වන්නකි.

ඉකුත් දා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 49 වැනි සැසිවාරයේදී ද ශී‍්‍ර ලංකාවට එරෙහි ප‍්‍රහාරය එලෙසින්ම දියත් කෙරිණි.

එල්ටීටීඊයට එරෙහි අවසන් සටනේදී යුද අපරාධ සිදු කළේ යැයි පවසා මෙරට හමුදාවන්ට එරෙහිව චෝදනා එල්ල කරමින් ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ එකී ලංකා විරෝධී අමානුෂික මෙහෙයුමට අනුව මෙවර සිදු වූයේ කුමක්ද?

හිටපු මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලේ විසින් ඉකුත් 2010 වසරේදී පමණ ආරම්භ කරනු ලැබූ මෙරට හමුදාවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ බටහිර මෙහෙයුමට අනුව දිනෙන් දින එය ඉදිරියට ඇදී ආවේ ඉතාම සැළසුම් සහගතවය.

  • සම අනුග‍්‍රයෙන් ඉවත් වීම සහ බටහිර කෝපය

එහිදී ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ ශී‍්‍ර ලංකාව පාර්ශ්වයෙන් ගත් කල අවාසනාවන්තම තත්ත්වයක් ඇතිවූයේ ඉකුත් යහපාලන රජයේ විදේශ ඇමැතිවරයා වූ අභාවප‍්‍රාප්ත මංගල සමරවීර මහතා විසින් 2016 වසරේදී ඇමෙරිකාව ගෙන ආ 30/1 යෝජනාව හා බැඳුණු 40/1 යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීම හමුවේය.

එදා එම ඇමෙරිකන් යෝජනාවේ ඍජුවම සඳහන්ව තිබුණේ යුද අපරාධ යන කාරණාව පමණකි. ඉන් පරිබාහිරව වෙනත් කරුණක් වෙත ඇදී යෑමක් එහි දක්නට නොවීය. කෙසේ වෙතත් වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව ඉකුත් 2020 වසරේ මාර්තු මාසයේදී අපට එරෙහි ඇමෙරිකානු යෝජනාවට සම අනුග‍්‍රහය ලබා දෙමින් මංගල සමරවීර මහතා ගත් පියවර ආපසු හැරවීමට කටයුතු කළේය. එහිදී රජයේ මතය වූයේ එසේ සම අනුග‍්‍රහය දැක්වීම තමන්ගේ ප‍්‍රතිපත්තිවලට පටහැනියි යන්නය.

ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරජය කරමින් ශී‍්‍ර ලංකා හමුදාවන් සිදු කළ කාර්ය දකුණු ආසියාවේ පමණක් නොව ඉන් ඔබ්බටද සාමය සුරක්‍ෂිත කිරීමේ මානව මෙහෙවරක් ලෙස දකින්නට ඇමෙරිකාව ප‍්‍රධාන බටහිර කඳවුර වුවමනාවෙන්ම මැලිකමක් දැක්වීය. ඒ අනුව ඔවුහු ඇමෙරිකානු යෝජනාවෙන් ඉවත් වීමට ශී‍්‍ර ලංකාව ගත් තීරණයෙන් දැඩි ලෙස කිපුනාහ.

එම තත්ත්වය තුළ ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ තීරණය බරපතළ අයුරින් විවේචනය කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වත්මන් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය සිදු කළේ ශී‍්‍ර ලංකාව එලෙස සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වන්නේ නම් මානව හිමිකම් කොමිසම තුළ කි‍්‍රයාත්මක යාන්ත‍්‍රණය ජාත්‍යන්තර විමර්ශනයක් දක්වා රැගෙන යන බවට අනතුරු ඇඟවීම වූවාය.

  • විමර්ශන යාන්ත‍්‍රණයක් සමඟ ආ 46/1

ඇය කී ලෙසින්ම ඉකුත් 2021 වසරෙ මාර්තු මාසයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසිවාරයේදී අපට එරෙහිව 46/1 යනුවෙන් තවත් යෝජනාවක් ගෙන ඒමට කටයුතු කෙරිණි.

එම යෝජනාව මානව හිමිකම් කොමිසම වෙත ගෙන එනු ලැබුවේ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ, මැසිඩෝනියාව සහ මලාවි යන රාජ්‍යයන් විසිනි. ඒ සම්බන්ධයෙන් එදා මානව හිමිකම් කොමිසම තුළ පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 22 ක් අදාළ යෝජනාවට පක්‍ෂව ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 11 කි.

සාමාජික රටවල් 14 ක් එහිදී ඡන්දය දීමෙන් වැළකීම නිසා අවසානයේ එකී 46/1 යෝජනාව මානව හිමිකම් කොමිසම තුළ සම්මත විය. ශී‍්‍ර ලංකාවට එරෙහිව ගෙන ආ මෙකී 46/1 යෝජනාවේදී දක්නට ලැබුණු ප‍්‍රබල කාරණා දෙකක් තිබිණි.

ඉන් එකක් වූයේ ශී‍්‍ර ලංකාව තුළ සිදු වූවේ යැයි ඔවුන් කියන මානව හිමිකම් කඩවීම් ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාක්‍ෂි එක්රැස් කිරීම, සුරක්‍ෂිත කිරීම සහ සාමාජික රටවල අධිකරණයන් වෙත ඒවා ලබාදීම සඳහා මානව හිමිකම් කොමිසම තුළම යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කිරීම විය. මේ සඳහා මිෂෙල් බැචලේ මහත්මියගේ කාර්යාලයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට යෝජනා වූවේය.

ඒ සඳහා නීතිවේදීන් ඇතුළු පිරිසක් පත් කිරීමටද තීරණය කෙරුණු අතර ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක වැය ශීර්ෂයක්ද එයට වෙන් කරනු ලැබීය.

  • ජිනීවා කොමිසමේ ආගමික ප‍්‍රවේශය

අනෙක් අතිශය වැදගත්ම කාරණය වූයේ ශී‍්‍ර ලංකාව සම අනුග‍්‍රාහකත්වය ප‍්‍රතික්‍ෂේප කළ 30/1 හා බැඳී තිබුණු 40/1 යෝජනාවෙන් ඉදිරිපත් කෙරුණු කරුණුවලට අමතරව මෙරට ආගමික ඇදහිලි සම්බන්ධවද ප‍්‍රවේශයක් ලබා ගැනීමට මානව හිමිකම් කොමිසම 46/1 යෝජනාව මගින් කටයුතු කිරීමය.

30/1 හා බැඳී තිබුණු 40/1 යෝජනාවෙන් කියැවෙමින් තිබුණේ මානව හිමිකම් උල්ලංඝනය හා වගවීම, කි‍්‍රයාත්මක කිරීම, ප‍්‍රවර්ධනය, අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම, අයිතිවාසිකම් හා නීතියේ ආධිපත්‍යය, නිර්හමුදාකරණය, සංක‍්‍රාන්ති යුක්තිය හා සංහිඳියාව, බලය බෙදීම සහ අන්තර්ජාතික මැදිහත්වීම අදී ලෙසින් වූ කාරණාය.

එහෙත් 46/1 යෝජනාව සම්මත කිරීමෙන් පසු සියලූම ආගමික ප‍්‍රජාවන්ට ඔවුන්ගේ ආගම ප‍්‍රකාශ කිරීමේ හැකියාව ප‍්‍රවර්ධනය කරමින් ආගමික විශ්වායන්ට, බහුවිධතාවට නිදහස ලබාදී ඔවුන්ගේ ඉල්ලීම්වලට විධිමත් ප‍්‍රතිචාර දැක්විය යුතුයි යනුවෙන් වූ කොන්දේසියක් ජිනීවා මානව හිමිකම් කොමිසම ශී‍්‍ර ලංකා රජයට ඉදිරිපත් කරනු ලැබීය.

  • කාලානුරූපී ගැලපීම

යහපාලනයේ අවසන් කාලයේදී මෙරට කිතුණු ජනතාව ඉලක්ක කර අතිශය බිහිසුණු අයුරින් සහරාන් හෂීම් ඇතුළු ත‍්‍රස්තවාදීන් පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඉකුත් 2019 වසරේ අපේ‍්‍රල් 21 වැනිදා විය.

ඒ පිළිබඳ විමර්ශනය සඳහා හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට භාර දෙනු ලැබුවේ ඉකුත් 2021 වසරේ පෙබරවාරියේදීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එතෙක් කි‍්‍රයාත්මක වූ විෂය පථයෙන් ඔබ්බට යමින් 46/1 යෝජනාව මගින් ශී‍්‍ර ලංකාවේ ආගමික් ඇදහිලි සම්බන්ධයෙන් ප‍්‍රවේශය ගනු ලබන්නේ 2021 වසරේ මාර්තු මාසයේදී ජිනීවාහි පැවති 46 වැනි සැසිවාරයේදීය. හරියටම පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව වත්මන් ජනාධිපතිවරයා වෙත භාර දී මාසයක් ගත වෙද්දීය.

මේ කාලානුරූපී ගැළපීම හරිම අපූරුය. ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශී‍්‍ර ලංකාවේ ආගමික ඇදහිලි පිළිබඳ කතා කරමින් මේ සිදු කරණු ලැබුවේ ඉතාම සැලසුම්සහගත ප‍්‍රවේශයක් නොවේද? පැහැදිලිවම එය සැලසුම්සහගතව සිදු කෙරුණකි. ඒ බව තහවුරු කරනු ලැබුවේ එතෙක් පාස්කු ප‍්‍රහාරයේ වින්දියන් වූ අහිංසක කිතුණු ජනතාව වෙනුවෙන් හඬක් මතු කළ කතෝලික පල්ලිය විසින්මය.

  • වෙනතක ගිය හඬ

කිතුණු ජනතාවට සාධාරණය ඉල්ලා හඬ නැඟූ අය මුල්වරට කොහේදෝ තිබුණු ජාත්‍යන්තරයක් පිළිබඳ පවසමින් සිය ගමන් මඟ වෙනස් කරනු ලැබුවේ මෙතැනදීය.

පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සහ තුවාල ලද මේ රටේ අහිංසක කිතුණු ජනතාවට කොන්දේසි විරහිතව සාධාරණය ඉටුවිය යුතුය. සහරාන් හෂීම් ඇතුළු කාලකණ්නි කල්ලියේ ප‍්‍රහාරයෙන් රටට අහිමි වූයේ දහසක් බලාපොරොත්තු මැද හුස්ම ගනිමින් සිටි අහිංසකයන්ගේ ජීවිතය.

එනිසා එම ම්ලේච්ඡ ඝාතනයට යන්තමින් හෝ සම්බන්ධ වූවකු සිටී නම් කිසිදු බේදයකින් තොරව ඒ හැම එකාටම අපාගත ද`ඩුවම් ලබා දිය යුතුය. ඒ පිළිබඳ කිසිදු කොන්දේසියක් අපට නැත. ඒ වෙනුවෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු කතෝලික සභාව ජිනීවා නොව වෙන කොතැනකට හෝ ගමන් කළද එහිද කිසිදු ගැටලූවක් නැත.

එහෙත් කවුරුන් හෝ වේවා ඒ සාධාරණය ලබාගත යුත්තේ මේ මාතෘ භූමියට හා රට බේරා ගත් රණවිරුවන්ට එරෙහිව කාලාන්තරයක් තිස්සේ ඇමෙරිකාව ප‍්‍රධාන බටහිර කඳවුර විසින් දියත්කර තිබෙන බරපතළ කුමන්ත‍්‍රණයක කොටස්කරුවන් වීමෙන්ද? ගැටලූව ඇත්තේ එතැනය.

මෙරට ආගමික ඇදහිලි සම්බන්ධයෙන් නව ප‍්‍රවේශයක් ගනිමින් ජිනීවා මානව හිමිකම් කොමිසම මෙසේ තවත් මානයකින් ශී‍්‍ර ලංකාව දෙසට හැරෙද්දී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු වින්දිතයන් වූ කිතුණු ජනතාවට සාධාරණය ඉල්ලා ජාත්‍යන්තරයට යන බව පළමුවරට ප‍්‍රකාශ කරනු ලැබුවේද ඉකුත් 2021 වසරේ පෙබරවාරියේදීය.

අති උතුම් කාදිනල් හිමියන් කී ලෙසම උන් වහන්සේ ඉකුත් පෙබරවාරි මස 23 වැනිදා ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීම පිණිස වතිකානුව බලා ගියහ. එසේ ගිය කාදිනල් හිමියන් ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ඇගේ නිල නිවසේදී හමුවී සාකච්ඡා වකද නිරත විය.

ඉන් පසුව අති උතුම් කාදිනල් හිමියෝ යළි රෝමය බලා පැමිණියහ. කාදිනල් හිමියන් මෙසේ ජිනීවා නුවරට ගොස් යළි පැමිණෙන විටත් සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන හරින් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරද සිටියේ ජිනීවා නුවරය. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතාට නිදහස ලබා ගැනීම සඳහා ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ කරුණු දැක්වීමට තමන් ජිනීවා පැමිණි බව හරින් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර කියන්නට වූහ.

  • බැලූ බැල්මට පෙනුන දේ

සැබැවින්ම රංජන් රාමනායක මහතාට නිදහසක් හිමි වන්නේ නම් ඒ හැටි ගැටලූවක්ද නැත. අප අසා ඇති පරිදි අතීතයේ රජවාසලේ සිටි අන්දරේ රංජන් රාමනායකට වඩා බොහෝ නරක වැඩ කළේය. එහෙත් කිසිදා අන්දරේ සිරගත වූයේ නැත. එසේ අන්දරේ සිරගත නොකළ නිසා රංජන් රාමනායකටද නිදහස හිමි වන්නේ නම් හොඳය. මන්ද අන්දරේලා සිරගත නොකරන නිසාය.

එය කෙසේ වෙතත් අති උතුම් කාදිනල් හිමියන් වතිකානුවේ සහ ජිනීවා නුවර කළ සංචාරයේත් හරින් ප‍්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ජිනීවා නුවර කළ සංචාරත් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව බැලූ බැල්මටම දකින්නට ලැබුණකි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය මෙවර සැසිවාරයට ඉදිරිපත් කරනු ලැබූ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වූ වාර්තාව ඉකුත් 06 වැනිදා මානව හිමිකම් කොමිසම තුළ විවාදයට ගනු ලැබීය.

  • ඇල්බර්ට් වෙනුවට හරීන් ප‍්‍රනාන්දු

එහිදී මුලින්ම සාමාජික රාජ්‍යයන් විසින් ඒ පිළිබඳව අදහස් දැක්වූ අතර ඉන් පසුව එළැඹියේ මානව හිමිකම් කොමිසම තුළ ලියාපදිංචි වූ එන්ජී ඕ සංවිධාන විසින් අදහස් දක්වන අවස්ථාවය.

වධ බන්ධනයට ලක්වූ වින්දිතයන් පුනරුත්ථාපනය සඳහා වූ කියාම් මධ්‍යස්ථානය යනු මෙම එන්ජී ඕ සංවිධාන අතර තිබූ එක් සංවිධානයක් විය. ඉතියෝපියාව වෙනුවෙන් මෙම අවස්ථාව නියෝජනය කරන ලද මහෙල්ට් හයිලූ ගුආඬේ මහත්මිය කොමිසම ඇමතීමෙන් පසුව සභාව ඇමතීමේ අවස්ථාව හිමි වූයේ එම කිහාම් සංවිධානයටය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් සකස් කරන ලද නිල ලැයිස්තුවට අනුව ඇල්බර්ට් මැල්කම් රංජිත් නැමති මහත්මයකු කිහාම් සංවිධානය යටතේ සභාව ඇමතීමට නියමිතව තිබිණි. එහෙත් සභාපතිවරයා ඒ බව සඳහන් කිරීමෙන් පසුව සභාව අමතා කතා කරන්නට වූයේ ජිනීවා ගිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දුය. ලැයිස්තුවේ සඳහන්ව තිබූ ඇල්බට් මැල්කම් රංජිත් මහතා වෙනුවට හරින් ප‍්‍රනාන්දු පෙනී සිටියේය.

  • රංජන් සමඟ හඬපට ශානි ජිනීවා ගෙන යෑම

ශී‍්‍ර ලංකාව අන්තිම නරක තැනක පවතින බව සඳහන් කරමින් සිය කතාව ආරම්භ කළ හරින් ප‍්‍රනාන්දු එහි රංජන් රාමනායක මහතා පිළිබඳව මෙන්ම යහපාලන සීඅයිඞීයේ අධ්‍යක්‍ෂවරයා වූ ශානි අබේසේකර සහ හිටපු ඞීඅයිජී රවි සෙනවිරත්න පිළිබඳව ද මොන මොනවදෝ කියනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිල වෙබ් පුවත් පිටුවේ පළ කර තිබූ වීඩියෝවක සටහන් වී තිබුණේය.

එහිදී පසුගිය දිනවල ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේදී කී කතා නම් හරින් ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ කියනු දකින්නට නොලැබිණි. ඇතැම්විට එතැනදී මුක්තිය නැති නිසා හරින් ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා එසේ මුට්ටිය නොදා සිටියාද විය හැකිය.

  • අම්බිගා වෙනුවට පැමිණයේ කවුද?

හරින් ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා එලෙස ජීනීවා කොමිසම ඇමතීමෙන් පසු තවත් එන්ජී ඕවක නියෝජිතයෙක් කතා කළ අතර ඉන් පසුව අවස්ථාව හිමිවූයේ ෆ‍්‍රැන්සිස්කන් ජාත්‍යන්තරය නමැති එන්ජී ඕ සංවිධානයටය. එය යටතේ සභාව ඇමැතීමට නියමිතව තිබුණේ ඉකුත් ජනවාරි 27 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව අමතමින් ශී‍්‍ර ලංකාවේ පවතින තත්ත්වය තුළ ජීඑස්පී සහනය අත්හිටුවන්නැයි යෝජනා කළ නීතිඥ අමිබිගා සත්කුණනාදන් මහත්මිය ය.

ඇය පසුගිය කාලයේ මෙරට මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරියකද වූවාය. ඇය යුරෝපා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි පරිදි යළිත් ජීඑස්පී සහනය අත්හිටුවීමට මේ දක්වා කටයුතු සිදු නොවුණද නිකමට හෝ එසේ සිදුවූයේ නම් පවතින ආර්ථික බිඳ වැටීම හමුවේ මේ වන විට ශී‍්‍ර ලංකාවේ තත්ත්වය කෙසේ වනු ඇතිදැයි සිතා ගැනීමටවත් නොහැකිය.

මේ අන්දමට ෆ‍්‍රැන්සිස්කන් ජාත්‍යන්තරය නමැති සවිධානය හරහා නීතිඥ අම්බිගා සත්කුණනාදන් මහත්මිය මානව හිමිකම් කොමිසම ඇමැතීමට නියමිතව තිබුණද ඒ බව ප‍්‍රකාශ වෙද්දී එක්වරම කොමිසම තුළ වූ විශාල තිරයේ දිස්වූයේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හාමිපාණන්ගේ රුවය.

උන්වහන්සේ රෝමයේ සිට ෆ‍්‍රැන්සිස්කන් ජාත්‍යන්තරය නමැති එන්ජී ඕ සංවිධානය හරහා අම්බිගා සත්කුණනාදන් මහත්මියගේ අවස්ථාව ලබා ගනිමින් මානව හිමිකම් කොමිසම අමතන්නට වූහ. එවැන්නක් සිදුවූයේ කෙසේ දැයි නොවැටහෙන්නකි. තමන්ගේ හඬට වඩා කාදිනල් හිමියන් මතුකරන හඬට ජාත්‍යන්තරය් දැඩි අවදානයක් යොමු වන බව දන්නා අම්බිගා සත්කුණනාදන් මහත්මිය කාදිනල් හිමියන්ට ඒ අවස්ථාව දුන්නාද විය හැකිය. එසේ නැතහොත් කාදිනල් හිමියන් ඇගෙන් අවස්ථාව ඉල්ලා ගත්තාද විය හැකිය.

  • කාදිනල් හිමියන්ගේ ඉල්ලීම

ඒ කුමක් වුවත් සිදුවූයේ අම්බිගා සත්කුණනාදන් මහත්මියට හිමි අවස්ථාවේදී කාදිනල් හිමියන් සභාව ඇමතීමය. එහිදී පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුකරවා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබා දෙන ලෙස කාදිනල් හිමියන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොම්සමෙන් ඉල්ලා සිටියේය.

එසේම වසර තුනක් ගෙවී අවසන්ව ඇතත් ඒ වෙනුවෙන් යුක්තිය ඉටුවී නොමැති බවද කී කාදිනල් හිමියෝ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත‍්‍රණයක් ඇතැයි සැකයක් පවතින බවද මානව හිමිකම් කොමිසම හමුවේ  කීහ.

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් වූ කිතුණු ජනතාවට යුක්තිය ඉටු කරන ලෙස වත්මන් රජයෙන් කොතෙක් ඉල්ලීම් කළද එය ඉටු නොවුණු බවද කී කාදිනල් හිමියෝ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වා සත්‍ය හෙළි කරන ලෙසද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියහ.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වින්දිතයන් වූ කිතුණු ජනතාව වෙනුවෙන් එවැනි ඉල්ලීමක් කිරීමේ ගැටලූවක් අපට නැත. මෙරට කතෝලික ප‍්‍රජාවගේ ඉහළම පූජනීය හිමියන් ලෙසින් කතෝලික ජනතාව වෙනුවෙන් එසේ හඬක් මතු කිරීමේ අයිතියක් වෙන කිසිවකුටත් වඩා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ට ඇත.

එහෙත් මෙසේ මානව හිමිකම් කොමිසම් හරහා ජාත්‍යන්තරය අමතන අතරේ කාදිනල් හිමියන් එක් සුවිශේෂී ප‍්‍රකාශයක්ද කරනු ලැබීය. එය වූයේ ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් පසුගිය වසරේ ආරම්භ කළ සාක්‍ෂි එක්රැස් කිරීමේ යාන්ත‍්‍රණය දිගටම කරගෙන යන්න යැයි ඉල්ලීමක් කිරීමය.

  • සාක්‍ෂි එක්රැස් කිරීමේ යාන්ත‍්‍රණය

මේ සාක්‍ෂි එක්රැස් කිරීමේ යාන්ත‍්‍රණය යනු කුමක්ද? අප දන්නා තරමින් නම් පසුගිය වසරේදී ජීනීවා මානව හිමිකම් කොමිසම තුළ ආරම්භ වූයේ ශී‍්‍ර ලංකාවට සහ රට බේරාගත් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ යන ලේබලය යටතේ සාක්‍ෂි එක්රැස් කිරීමේ යාන්ත‍්‍රණයකි.

විශේෂ ඒකකයක් ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේගේ කාර්යාලයේම එය කි‍්‍රයාත්මක වීමට නියමිතය. එම යාන්ත‍්‍රණය තුළින් ඇමෙරිකාව ප‍්‍රධාන බටහිර කඳවුරේ වුවමනාවට අනුව ජිනීවා මානව හිමිකම් කොමිසම සැරසෙන්නේ රට බේරාගත් රණවිරුවන් දංගෙඩියට යවන්නටය.

අනේ අති උතුම් කාදිනල් හිමියනි, ඔබ වහන්සේ ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේ මේ කියන යාන්ත‍්‍රණය දිගටම කි‍්‍රයාත්මක කරන්නැයි කියාද? එම යාන්ත‍්‍රණය තුළින් ඇමෙරිකාව ප‍්‍රධාන බටහිර කඳවුර අද සැරසෙන්නේ රට බේරාගත් යුද විරුවන්ට දගගෙට යවන්නටය. අප උපන් මේ මාතෘ භූමිය බෙදා වෙන්කර තම තමන්ගේ භූ දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් බෙදුම් ඉරි අඳින්නටය.

  • අයාලේ යැවුණු පාස්කු යුක්තිය

වර්තමානයේ ලොව කිතුණු කාදිනල් හිමිවරුන් අතරින් ජ්‍යෙෂ්ඨතම කාදිනල් හිමිපාණන් වහන්සේ ඔබ වහන්සේම වන්නාහ. එනිසා කාදිනල් හිමියනි ඔබ වහන්සේ වහන්සේ වැනි පූජක උතුමෙක් ලෝකයෙන් එවැනි ඉල්ලීමක් කරන කල්හි ඒ තුළ තිබෙන වටිනාකමද බොහෝ වන්නාහ.

එහෙත් හිමියනි එවන් යාන්ත‍්‍රණයක් දිගටම කි‍්‍රයාත්මක කරන්නැයි ඔබ වහන්සේ කරන ඉල්ලීම තුළින් පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයේ වින්දිතයන් වූ මේ රටේ අහිංසක කිතුණු ජනතාවට ලැබෙන යුක්තිය කුමක්ද?

ඇතැම් විට එවැනි ප‍්‍රකාශයක් සිදු කරමින් වත්මන් ආණ්ඩුවට පාඩමක් කියාදීමට ඔබ වහන්සේ කල්පනා කළාද විය හැක්කාහ. ආණ්ඩුවලට නම් හෙණ ගැහුව්වද ඒ පිළිබඳ අපට ගැටලූවක් නැත. එහෙත් හිමියනි අපට යළි ජීවිතය දුන් සහ රටට සාමය දිනා දුන් යුද විරුවන් දංගෙඩියට යවන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවල කොටස්කරුවන් ලෙස දැන හෝ නොදැන අපිම කටයුතු කළහොත් මේ රටට අනාගතයේ අත්වන ඉරණම කුමක් වනු ඇතිද?

සමන් ගමගේ

(Courtesy of Sunday Diwaina)



40 Viewers