පෘතුගීසින් සහ රත්නපුර මහ සමන් දේවාලය

ක්‍රිව 1618-20 අතර කාලයේදී පෘතුගීසින් විසින් රත්නපුර මහ සමන් දේවාලය සම්පූර්ණයෙන් විනාශ කර එම ස්ථානයේ බලකොටුවක් සහ සාන්ත සැල්වදෝර් නමින් කැපකල දේවස්ථානයක් ඉදිකරනු ලබයි. පසුකාලීනව දෙවන රාජසිංහ රජතුමා රත්නපුරය අත්පත් කරගෙන නැවතත් එම ස්ථානයේ සමන් දෙවොලක් ගොඩ නැඟූ බව ඉතිහාසගත පුවත් වල සඳහන්වේ.

උසින් අඟල් 48  ක් සහ පලලින් අඟල් 32 වූ මෙම සෙල් පුවරුව වර්තමානයේ දක්නට ලැබෙන්නේ රත්නපුර මහ සමන් දේවාල භූමියේය.මෙය මෙතන ඉදිකර තිබූ පැරණි පෘතුගීසි බලකොටුවෙි පිහිටුවා තිබූ එකක් බව නිසැකය.

පුවරුවේ මිනිස් රූ දෙකක් කැටයම් කොට ඇත.ඉහලින් සිටගෙන සිටින ඉරියව්ව නිරෑපනය කරන්නා පෘතුගීසි යුද ඇඳුමින් සැරසී සිටින අතර පහලින් කැටයම් කර ඇති මිනිස් රුවද අසිපතක් දරන බව දක්නට ලැබෙයි. බිම වැතිර සිටින ඔහුගෙන් නිරෑපනය වන්නේ යටත් වූ නියාවකි.මෙම ⁣පුවරුවේ පහලින්ම පෘතුගීසි භාෂාවෙන් කැටයම් කොට ඇති වදන් එතරම් පැහැදිලි නැතත් එහි දල අදහස මෙවැන්නකි.” මා විසින් ඔහු යටපත් කරන ලදි.සීමන් පිඤ්ඤෝ වන මා ඉන්දියාවට පැමින වසර 23  කි.එයින් වසර 15 ක් ම කපිතාන් වරයෙකු ලෙස කටයුතු කර ඇත.මම යාපා පටුනේ රජුව පරාජය කලෙමි”….පුවරුවේ කැටයම් කර ඇති පෘතුගීසි ඇඳුම හැඳි තැනැත්තා එකල සබරගමුවෙි පෘතුගීසි දිසාවෙි ලෙස කටයුතු කල කපිතාන් සීමන් පිඤ්ඤෝ වන අතර පහලින් දක්නට ලැබෙන මිනිස් රුව පිලිබඳ මතයන් කිහිපයක් ඇත.

එයින් ප්‍රමුඛ වන අදහස් දෙකකි. 1591 වසරේ යාපනය ආක්‍රමණය කල පෘතුගීසිහු එහි රජකම් කල පුවිරාජ පණ්ඩාරම් රජු ඝාතනය කලහ. එම සටනේදී සටනට මැදිව සිටි රජුගේ පුත් හෙන්දරමානසිංහ ලාබාල කුමරු ගේ දිවි රැක ඇත්තේ මෙම පෘතුගීසි කපිතාන් වරයා බවත් එම අවස්ථාවෙිදී ඔහු බරපතල තුවාල ලැබූ බවත් සඳහන් ව ඇත. එදා ඒ සටනේදී ඇදවැටුනු පුවිරාජ පණ්ඩාරම් රජුගේ රුව මෙම කැටයමින් නිරෑපනය වන බව එක අදහසක් වන අතර, රත්නපුර පෙදෙසේ වාසය කල සිංහල රණ ශූරයෙකු වූ රත්නෙක මුදියන්සේ හා කල සටනේදී ඔහුව පරාජය කිරීම සිහිපත් කිරීමට මෙම ගල් කැටයම නිර්මාණය කල බව අනෙක් අදහසයි.

නිශ්චිත දිනවකවානු පැවසිය ⁣හැකි නොවුනත් සීමන් පිඤ්ඤෝ 1560 වකවානුවේ පෘතුගාලයේදී උපත ලබා ඇත.වංශවත් පෙලපතකට අයත්වූ ඔහු තරුණ වියේදී මුහුදු කොල්ලකාර වෘත්තීය තෝරාගෙන ඇත.ඔහුගේ එක ඇසක් අහිමි වන්නේද මෙම මුහුදු මං කොල්ලකාර ජීවිතය තුලදීය.ඇසින් දුටු වාර්ථා අනුව සීමන් පිඤ්ඤෝ උසැති ශක්තිමත් දේහයකට උරුම කම් කියූ පුද්ගලයෙකි. තඔවන් ශරීර වර්ණයෙන් යුතු ඔහුගේ මුහුණ විසල් උඩු රැවුලකින් සහ දිගු යටි රැවුලකින් සැරසී තිබී ඇත.මුහුදු කොල්ලකාර ජීවිතය තුල කල වරදක් හේතුවෙන් ඔහු ලංකාවට පිටුවහල් කරන අතර,ඉතා දක්ෂ සටන් කරුවෙකු වීම නිසා පෘතුගීසි හමුදාවෙි නිලධාරී තනතුරකට පත්වීමට හැකිවෙයි…ඔහු ලංකාවෙිදී විවාහ වන්නේ සිංහල රාජ පෙලපතට අයත් කුමරියක වූ දෝන මරියා පෙරේරා සමඟය.ඇගේ බෞතීස්ම නම එය වුවත් සිංහල නම සම්බන්ධව සඳහනක් නැත.දෝන මරියා පෙරේරා, සීතාවක රාජධානියේ කෙටිකලක් රජකල නිකපිටියේ බණ්ඩාර තරුණ රජුගේ සොහොයුරිය වූවා සේම මායාදුන්නේ රජුගේ මී මිණිපිරියකද වුවාය.ඇගේ සොයුරු නිකපිටියේ බණ්ඩාර පෘතුගීසි භාරයට ගෙන දොන් ෆිලිප් ලෙස බෙෘතීස්ම කර පෘතුගාලයට පිටුවහල් කර අැත.1608 වසරේදී මෙම කුමරු මියගොස් ඇත.

නිකපිටියේ බණ්ඩාර මියගිය පසුව සීතාවක රාජධානියේ සංකේතාත්මකව හෝ උරුමය පැවරී ඇත්තේ ඔහුගේ සොහොයුරිය වූ දෝන මරියා පෙරේරා හටය.යථාර්තයේ ඇයට එවන් බලයක් නොතිබිණි මුත් ඇය විවාහ කරගත් කපිතාන් සීමන් පිඤ්ඤෝ හට එම හේතුවෙන් සුවිශේෂ බලගතු බවක් ආරෝපණය වීම සිදුව ඇත…පලමු විමලධර්මසූරිය රජතුමා ඔහු සමඟ රහසිගත ලිපි ගණුදෙනුවක යෙදී ඇත්තේ ඔහුගේ මෙම බලවත් කම නිසා විය හැකිය.එසේම සමකාලීන පෘතුගීසින්ට ආවෙිනික වූ සල්ලාල ගති පැවතුම් වලින් දුරස් වූ සහ ධන තන්හාවෙන් දුරස් වූ පුද්ගලයෙකු වීමත් රජුගේ කැමැත්තට හේතු වන්නට ඇත. විමලධර්මසූරිය රජුගේ ලිපි වලින් යෝජනා කර ඇත්තේ තම පාර්ශවයට එකතු වන්නේ නම් පෘතුගීසි කපිතාන් වරයා යුවරජ තනතුරකට පත්කර විශාල ප්‍රදේශයක පාලන බලය පවරා දෙන බවය.කෙසේවෙතත් ඉතා අවංක මිනිසෙකු වූ සීමන් පිඤ්ඤෝ මෙම ලිපි ගනුදෙනුව කර ඇත්තේ තම ජෙනරාල් වරයා දැනුවත් කර ඔහුගේ අනුමැතිය ඇතිවය.ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ විමලධර්මසූරිය රජු සමඟ ගිවිසුමට එළබෙන්නට නියමිත දිනයේදී උපායකින් රජුව ඝාතනය කිරීමය.අවසන් මොහොතේ විමලධර්මසූරිය රජතුමා හට මෙම උපාය අණාවරණය වී ඇති හෙයින් එම ඝාතන ප්‍රයත්නය ව්‍යර්ථ වී ඇත…සීමන් පිඤ්ඤෝ යනු අවංක හමුදානිලධාරියෙකු වූවා සේම පෘතුගීසි දේශප්‍රේමියෙකුද වූ බව කිව හැකිය.

එකල ලංකාවෙි පෘතුගීසි ආණ්ඩුකාර දූරයට පත්ව පැමිණි කපිතාන් ජෙනරාල් දොන් ජෙරනිමෝද අසවෙිදූ,සීමන් පිඤ්ඤෝ කෙරෙහි ඊර්ෂ්‍යා සහගත හැඟීම් වලින් කටයුතු කල අතර ව්‍යාජ දේශද්‍රෝහී චෝදනා ගොනුකර ඔහු සිරගත කරන්නටද පෙලඹී තිබේ. නොබෝ දිනකින් සිරගත ජීවිතයෙන් මිඳෙන්නට හැකියාව ලැබුනත් කපිතාන් සීමන් පිඤ්ඤෝගේ බිඳුන සිත සුවපත්ව නැත.ක්‍රිව 1609 දී පමණ තම ජීවිතයේ හතලිහ, පනහ දශකයේදී මෙම පෘතුගීසි කපිතාන් වරයා මරණයට පත්වූ බව වාර්ථා වෙයි.ඔහුගේ මරණයට හේතුව  හෝ ඔහුගේ දරුවන් සහ බිරිඳ සම්බන්ධව ඉතිහාසය නිහඬය.

තොරතුරු ලබාගත්තේ පෝල් ඊ පීරිස් මහතාගේ

CEYLON :The Portuguese Era හි සිංහල පරිවර්තනයෙන් සහ අන්තර්ජාල සටහන් වලිනි.



2 Viewers