• Home »
  • Sinhala »
  • ප‍්‍රඥා මූලිකවූ අවිහිංසාවාදී බෞද්ධ ධර්මදූත සේවාව

ප‍්‍රඥා මූලිකවූ අවිහිංසාවාදී බෞද්ධ ධර්මදූත සේවාව

(Courtesy of The Diwaina)

අද වන විට ලෝකයේ විවිධ රටවල්වල ව්‍යාප්ත වී තිබෙන ආගම්වල ඉතිහාසය දෙස බලන විට එහි තැවරී ඇති රුධිරය ගණන් කළ නොහැකි තරම්ය. රුධිරය සමග මුසු වූ ධර්ම ප‍්‍රචාරය නිසා ලෝකයේ බොහෝ ආගම් වලට අතීතය දෙස බලා සතුටු විය නොහැකිය. විවේචනාත්මකව නොව යථාර්ථවත්ව බලන විට පවා මෙම ප‍්‍රකාශය අසත්‍ය බව කිසිවෙකුට කිව නොහැකිය. එහෙත් බුදු දහම විෂයයෙහි මෙය මෙසේ නොවෙයි. ආගම හෝ දහම් ප‍්‍රචාරය වෙනුවෙන් රුධිරය මතින් හෝ වේදනාව හෝ මරණයන් මතින් ගමන් නොකළ බවට බුදු දහමට ඉතාමත් පැහැදිලිව පැවසිය හැකිය. අවම වශයෙන් කිසිවෙකුට වේදනාවක් හෝ හානියක් හෝ මරණයක් උරුම නොවන ප‍්‍රාතිහාර්ය පෑම තුළින් පවා දහම ප‍්‍රචාරය කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරා නැත. එයට හේතුව වන්නේ බුදු දහම සොයන්නේ ප‍්‍රඥාව මූලික කර ගනිමින් ධර්ම මාර්ගයේ යන ශ‍්‍රාවක පිරිසක් වන නිසාය. අවබෝධය මූලික කරගත් ධර්ම ප‍්‍රචාරය පැහැදිලි බුදුරජාණන් වහන්සේ කෙතරම් අගය කළ යුතු යන්න ඉන් පැහැදිලි වේ. ප‍්‍රථම රහත් හැටනම විෂයෙහි බුදුරජාණන් වහන්සේ කරන අවවාදය වන්නේ ද මුල මැද අග යහපත් වූ ධර්මය දේශනා කරන ලෙසයි. ”දෙසේථ භික්ඛවේ ධම්මං ආදි කල්‍යාණං මජ්ඣ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං ’’ යන මේ බුද්ධ වචනයෙන් පැහැදිලි වන්නේ මිනිසුන්ට සත්‍ය අවබෝධ කිරීම විෂයෙහි සැබෑ ශාස්තෘවරයෙක් ගන්නා උත්සාහය පිළිබඳවයි. එහි විශේෂිතව තිබෙන්නේ සිය ගොඩ වැඩි කර ගැනීම නොව සිය පාර්ශවය වැඩි කරගැනීම නොව මිනිසුන් නිවැරදිව යථාර්ථය අවබෝධ කරගන්නවාද යන්නයි. මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නට යෙදුණු සත්‍ය ලෝකයට බෙදාදීමේ කාර්යභාරයෙහි එක්තරා සන්ධිස්ථානයක් ලෙස මහින්දාගමනය සැලකිය හැකිය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 300 පමණ කාලපරිච්ෙඡ්දය වන විට බුද්ධ ශාසනය කෙරෙහි බොහෝ උපද්‍රව ඇතිවී තිබිණි. එම උපද්‍රවයන් අතර අන්‍යාගමික බලපෑම් ඉතා ප‍්‍රබල විය. ලාභාපේක්ෂාවෙන් බුදු සසුනෙහි පැවිදි වූ බොහෝ අන්‍යාගමිකයෝ සසුන කෙළෙසන්නට පටන් ගෙන තිබිණි. අනෙක් අතින් භික්ෂූන් වහන්සේලා අතර ද ධර්ම කරුණු පිළිබඳව විශාල සංවාද විවාද පැවතිණි. එකී වාද විවාද හරහාද අන්‍යාගමිකයන්ට විවිධ ලාභයන් සැලසී තිබුණි. ධර්මාශෝක රජතුමාගේ ධර්ම සේවය නොවන්නට වර්තමානයේ බුදු සසුන පවතින්නාවූ තත්ත්වය දැකගන්නට හැකි වේ ද යන්න සැක සහිතය. ඉතා විශාල අර්ධද්වීපයක් වන පැරණි භාරතය විවිධ ආගම් සාහිත්‍යය සාමයික පසුබිම් හි තිඹිරිගෙය ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිය. ඒ වන විට ඉතාමත්ම ප‍්‍රබල ලෙස මුල් බැසගෙන පැවති ආගමික දේව විශ්වාසයන්ට ප‍්‍රතිවිරුද්ධ වූ දහමක් වන බුදු දහමට අනිත් ආගමිකයන්ගෙන් තිබූ බලපෑම සුළු බලපෑමක් නොවේ. ජන සමාජය තුළ ආත්මගතව තිබූ හින්දු දේව විශ්වාසයන්ට ප‍්‍රතිවිරුද්ධ වූ බුදු දහම කෙරෙහි ඉතාමත් ප‍්‍රසිද්ධ වූ රජවරුන් පැහැදීම හා බුදු සමය තුළ කුල භේදයට පහර ගැසීම ආදී කරුණු ද මේ ප‍්‍රතිවිරුද්ධතාවය දැඩිවීමට ප‍්‍රබල හේතු විය. විශේෂයෙන් සමාජයේ බලය අල්ලාගෙන සිටියේ බ‍්‍රාහ්මණ පෙළපත වූ අතර සමහර බමුණන් පැවිදිවීම කෙරෙහි යොමු වීම ඔවුන් ඉතා විශාල පරිහානියක් ලෙස දුටහ. මේ කවර ප‍්‍රතිවිරුද්ධතාවයන් තිබුණද බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය තුළ ඒ සියල්ල අභිබවා බුද්ධ ශාසනය ඉස්මතු වී තිබිණි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එකී පාලනය වී තිබුණු බොහෝ ප‍්‍රතිවිරුද්ධ අන්‍යාගමික ශක්තීන් ඉස්මතුව පැමිණි අතර ධර්මාශෝක රජ සමයේ වන විට එහි ඉතා උච්චතම අවස්ථාවට පැමිණ තිබිණි. මේ නිසා ධර්මාශෝක රජතුමා පළමුව සිදු කරන්නේ එවක වැඩසිටි ශාසනභාරධාරී තෙර නමක් ලෙස ප‍්‍රකට මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ සමග සාකච්ඡුා කොට ධර්ම සංගායනාවකට දායකත්වය සැපයීමයි. මහා පරිනිර්වාණයෙන් වසර තුන්සියයකට පසු ඇරඹෙන ධර්මදූත ක‍්‍රියාවලියෙන් පළමු පියවර ලෙස මේ ධර්මසංගායනාව හැඳින්විය හැකිය.

චින්තන නිදහස හා කරුණාව මෛත‍්‍රිය වැනි කරුණු ධර්මදූත සේවයෙහි කිසිකලක බැහැර නොවීම ඉතා ප‍්‍රශංසනීය වේ. එයට සාක්ෂි සපයන විශේෂතම ධර්මාශෝක රජතුමාගේ ධර්මදූත සේවයයි. ධර්මාශෝක රජතුමා බුදු දහම හඳුනා ගන්නා අවධිය වන විට එම අවිධියේ සිට ඉතාමත්ම ප‍්‍රබලම අධිරාජයා ඔහුය. අවට රාජ්‍යයන් වූ තායිලන්තය බුරුමය කාශ්මීරය වැනි රාජ්‍යයන් වලට බලහත්කාරයෙන් බුදුදහම පැටවීම ඔහුට ඉතා පහසුවෙන් කළ හැකි ව තිබිණි. එහෙත් අවිහිංසාව මූලික කරගත් බෞද්ධ ධර්මදූත සේවයක පුරෝගාමියෙකු ලෙස ධර්මාශෝක රජතුමා බලය පාවිච්චි කොට එකී කටයුත්ත සිදු නොකරන්නේ එය බෞද්ධ ධර්මදූත සේවයට අනුගත නොවන බැවිනි. මේ අනුව ඉන්දියාවේම බොහෝ ප‍්‍රදේශවලට ධර්මදූතයන් පත් කර යවන ලදී. ඉන්දියාවෙන් බැහැර වූ බුරුමය ශ‍්‍රී ලංකාව වැනි රටවල් වලට ද බුදුදහම පැමිණෙන්නේ මෙකී ව්‍යායාමයේ ප‍්‍රතිඵලයක් ලෙසය. එසේම ඉතිහාසඥයින් තහවුරු කරන ආකාරයට සිරියාව ඊජිප්තුව මැසිඩෝනියාව වැනි රටවල් වලට ගිහි ධර්ම නියෝජිතයින් පත්කර යවන ලද බව සඳහන් වේ. දිග්විජය තුළින් රටවල් අල්ලා ගැනීමේ මෙහෙයුමක නිරත වූ චණ්ඩාශෝක රජතුමා බුදු දහමෙහි ආභාෂය තුළින් ධර්මාශෝක බවට පත්ව ධර්මය බෙදා හැරීම තුළින් එකී ජයග‍්‍රහණයන් ලබන්නට ගත් උත්සාහය ඉතා ප‍්‍රශංසනීයයි.

ලංකාවට උතුම් ලොව්තුරා බුදු දහම රැුගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ පැවිදිව රහත් වූ ධර්මාශෝක මහරජතුමාගේ පුත‍්‍රයා වන මිහිඳු මහරහතන් වහන්සේටය. දහස් වාරයක් අසා ඇති මුත් ජීවගුණය මදකින් අඩු නොවන ලක්බිම මහ රජු හා මිහිඳු මහරහතන් වහන්සේගේ හමුවීම ලංකාවේ ඉදිරි ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් කළ ඓතිහාසික සංධිස්ථානය ලෙස සටහන්ව තිබේ. බෞද්ධ ධර්මදූත සේවාවෙහි ගෞරවනීය ලක්ෂණ වූ අවිහිංසාව සහ බුද්ධි ප‍්‍රකෝපනය ලංකා ඉතිහාසයට ඇතුල්වන පළමු අවස්ථාවේම සටහන්ව තිබේ. කිසිදු ප‍්‍රාතිහාර්ය රජුව බය ගැන්වීමක් නොකොට තමන් කවුද යැයි හඳුන්වා දෙන මිහිඳු මහරහතන් වහන්සේ සැඟවූ යටි අරමුණක් නොමැතිව තමන් ආ ගමන පිළිබඳව එවක ලක්දිව රජු වූ දෙවන පෑතිස් රජුට ප‍්‍රකාශ කර සිටියහ. ”සමණාමයං මහාරාජ ධම්මරාජස්ස සාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා ” යන මේ චිරප‍්‍රසිද්ධ ප‍්‍රකාශය බෞද්ධ ධර්මදූත සේවය විවෘතභාවය පෙන්වාදෙන ඉතාමත් අනගි අවස්ථාවකි. මිහිඳු මහරහතන් වහන්සේ අනතුරුව රජතුමාගේ අවබෝධයෙහි මට්ටම පරීක්ෂා කරන ප‍්‍රශ්නාවලිය එක්තරා ආකාරයකින් ශිෂ්‍යයාට ගුරුවරයාගේ මට්ටම පරීක්ෂා කරන්නට ද ලබා දෙන අවස්ථාවකි. රජුගෙන් අසන ප‍්‍රශ්න අනුව සිය ධර්ම ගුරුවරයා වන මිහිඳු මහරහතන් වහන්සේගේ විශිෂ්ටත්වය හා පාණ්ඩිත්‍ය හොඳින් අවබෝධ කරගැනීමට රජුට ද නිතැතින් අවකාශය ලැබේ. එය විශිෂ්ට ගණයේ බුද්ධි පරීක්ෂාවකි. එකී පරීක්ෂණය රජුගේ දැනුම පරීක්ෂා කරන්නට පමණක් නොවේ. මිහිඳු හිමියන්ගේ පාණ්ඩිත්‍යයද පෙන්වන පරීක්ෂණයකි.

මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම රැුගෙන ලංකාවට පැමිණෙන්නේ ඉතාම අවබෝධයකින් යුතුව බව පෙනේ. උපසපන් භික්ෂුන් වහන්සේ ලා මෙන්ම සාමණේර හිමිනමක් හා උපාසකයකු ද මෙම පිරිසට අයත් වූහ. ඒ වන විට ශාසනික වත් පිළිවෙත් පිළිබඳව කිසිවෙකුට අවබෝධයක් නොවීම නිසා එකී අවස්ථාවන් ක‍්‍රියාවෙන් ම පෙන්වා දීම එහි අරමුණ වූ බව පැහැදිලිය. භණ්ඩුක උපාසක තැන පැවිදි කිරීමත් සුමන සාමණේරයන් උපසපන් කිරීමත් හරහා ලක්දිව වැසියන් ට ශාසනික ප‍්‍රතිපදාවන් පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නට හැකි විය. මේ අතර විවිධ සූත‍්‍ර ධර්මයන් දේශනා කිරීම හරහා රජු ප‍්‍රධාන ප‍්‍රභූ පිරිසටත් අනතුරුව මදින් මද ලාංකික ජනතාවටත් එකී දහම් පණිවිඩය පැතිරවීමේ කටයුත්ත සිදු විය. රජතුමා බෞද්ධ වූ පසු ජනතාවට රජු ලවා මෙම දහම පිළිගැනීමට අණ කළ හැකිව තිබුණද බුදු මග යන බොදු සව්වෝ එසේ නොකරති. මෙයට සාපේක්ෂව සිද්ධියක් මෙසේ දැක්විය හැකිය. මාලදිවයින් ඉතිහාසයේ සඳහන් වන පරිදි කිසියම් සංසිද්ධියක ප‍්‍රතිඵලයක් ලෙස එහි රජතුමා ඉස්ලාම් ආගම වැලඳගනී. අනතුරුව ඒ වන විට බෞද්ධ රාජ්‍යයක් වූ එහි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හා බොදු ජනතාවට මුස්ලිම් ආගම

වැලඳගැනීමට අණ කරන ලදී. එසේ නොකළ සමහර භික්ෂූන් වහන්සේ ලා මරණයට පවා පත්කළ බව සඳහන් වේ. ලෝකයේ ධර්ම ප‍්‍රචාරක සේවය පැහැදිලිවම සිය පිරිස වැඩි කර ගැනීමට ගත් උත්සාහයකි. එහෙත් බෞද්ධ ධර්ම දූත සේවය අවිහිංසාව හා ප‍්‍රඥාව පදනම් කරමින් පතුරුවන ලද්දකි. ධර්මාශෝක රජුගේ අනුග‍්‍රහයෙක් ඉන්දියාවෙන් බැහැරට ධර්මය ප‍්‍රචලිත වන විට ඉතිහාසයේ සඳහන් පරිදි ධර්ම දූතයන් වන්නේ භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙක් පමණකි. එක් අතකින් නන්නාදුනන දේශයකට නව දහමක් රැුගෙන නිරායුදව ගමන් කිරීම යනු මරණීය ප‍්‍රතිඵල ගෙන දෙන්නකි. එහෙත් ධර්මය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීම උතුම් බෞද්ධ ධර්ම දූතයන් වහන්සේලාගේ ස්වභාවයයි. ලංකාවට බුදු දහම රැුගෙන වැඩම කරන මිහිඳු මාහිමියන් එකී නිර්වචනයේ ලාංකීය සලකුණයි. උන්වහන්සේ ගේ එකී වෑයම සාර්ථක වූවා පමණක් නොව එකී ධර්ම දූත සේවාව නිසා ලංකාවට උරුම වූ අනෙක් විශිෂ්ට දෑ බොහෝය. භාරතීය විවිධ කලා ශිල්පයන් ලාංකික කලා ශිල්ප හා මුසු වීමත් නිසා මෙරටට අනන්‍ය වූ සංස්කෘතික, සාහිත්‍යමය, තාක්ෂණික ආදී අංශ ගණනාවක මූලික පදනමද බිහි විය. එනිසා බෞද්ධ ධර්ම දූත සේවය හරහා මිහිඳු මාහිමියන්ගෙන් සිදූවූ මෙහෙවර ඉතා උත්කෘෂ්ට සේවාවක් වන අතර එය වාචිකව නොව ප‍්‍රායෝගිකව ස්මරණය කිරීම උන්වහන්සේට සිදු කරන විශාලම ගෞරවයයි.

එහෙත් අද මේ සියලූම වටිනාකම් විනාශ කිරීම සඳහා වන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකව පවතී, එක් පැත්තකින් මිහිඳු මාහිමිපාණන් වහන්සේ විසින් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන් එම සංස්කෘතියේ මූලස්ථානයවූ බුදුන් වහන්සේ උපන් ඉන්දියාව අවතක්සේරුවට ලක් කරමින් බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ යයි කියමින් සිය ගණනක් ග‍්‍රන්ථ රචනා කරන සිවුර දරා ගත් පිරිසක් සහ අනුගාමිකයන් පිරිසක් බිහිවී ඇති අතර, සැබෑ බුදු දහම විකෘති කරමින් දේශන පවත්වන පිරිසක්ද බිහිවී තිබීම අතිශය ඛේදජනකය. වසර 400 කටත් වැඩි කාලයක් විදේශිකයන්ට යටත්ව සිටි කාලයේවත් විනාශ කරන්නට ඉඩ නොදී රැුකගත් සත්ධර්මය විනාශ කරන්නට සිවුරු දරාගත් පිරිසක්ම ඉදිරිපත්වීම නිසා පැහැදිලි වන්නේ කඳ පණු න්‍යායම බුදු දහම විනාශ කරන්නට පෙරට පැමිණ ඇති බවයි. මේ සියලූ ක‍්‍රියාකාරකම් තුළ සැඟවී ඇත්තේ බුදු දහමත්, බෞද්ධ ශිෂ්ටාචාරයත් විනාශ කරන්නට මාන බලන රාජ්‍ය නොවන සංවිධානවල ශක්තියයි. එනිසා මේ උතුම් පොසොන් සමයේ සිහිපත් කළ යුත්තේ, මේ සියලූ බලවේගයන්ගේ විනාශකාරී ක‍්‍රියාවන්ට නොරැුවටී මිහිඳු මාහිමියන් රැගෙන ආ මෙම උතුම් සත්ධර්මය රැක ගැනීමට අප සැම දෙනා විසින්ම අධිෂ්ඨාන කර ගතයුතු බවයි.

පූජ්‍ය පරවාහැර චන්දරතන හිමි



65 Viewers