බෞද්ධ කොඩියේ නිර්මාතෘ කරෝලිස් පූජිත ගුණවර්ධන
බෞද්ධයන් වන අප අදහනු ලබන ආගම කවරේද යන්න ලොව කොතැනක සිටියත් හඳුන්වාදීම සඳහා භාවිතා කරනු ලබන සංකේතය වන්නේ බෞද්ධ කොඩියයි. එම උතුම් සංකේතය වූ බෞද්ධ කොඩිය අපට හිමිවී මේ වසරේ අප්රේල් 28 දාට වසර 133 ක් සපිරුණි. කොළඹ කොටහේනේ දීපදුත්තාරාමයේදී බෞද්ධ කොඩිය මුල්වරට ඔසවා ඇත්තේ 1885 අප්රේල් 28 වැනිදාය.
අප මෙතරම් භක්තියකින් හා ගෞරවයකින් පුද සත්කාර කරනු ලබන බෞද්ධ කොඩියේ සැලසුම්කරු කවුදැයි විමසා බැලීම කාලෝචිය.
බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීම සඳහා එදා කමිටුවක් පත්කර තිබූ අතර එම කමිටු සාමාජිකයන් විසින් විවිධ මාදිලියේ හැඩවලින් යුක්ත නිර්මාණ ඉදිරිපත් කළහ. මේ නිර්මාණ අතර ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය විදහාපාන අයුරින් සී. පී. ගුණවර්ධන සූරීන් විසින් ඉදිරිපත් කරන ලද සැළසුම වඩා සුදුසු යැයි එම කමිටුව විසින් පිළිගන්නා ලදී. ඒ අනුව ෂඩ්වර්ණ බෞද්ධ කොඩියේ සැලසුම්කරු වන්නේ මාතර මඩිහේ උපන් කරෝලිස් පූජිත ගුණවර්ධන මහතා බව ප්රකටය. ඒ මහතා නිර්මාණය කළ ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය 1885 අප්රේල් 28 දා කොළඹ නගරයේ විහාරස්ථාන කීපයකට පෙරහරින් වැඩමවූ අයුරු ගෝනහේනේ ජෝතිපාල හිමියන් විසින් රචිත ‘වෙසක් නිවාඩුව හා බෞද්ධ කොඩිය’ නම් වූ පොතක මෙසේ සඳහන් කර තිබිණි.
බොරැල්ලේ පටන් විසිතුරු පෙළහරක් කොටහේනේ දීපදුත්තමාරාම විහාරයට ගෙන යන ලද්දේයි. පංචිකාවත්තේ පටන් බොරැල්ලේ පන්සලට පෙළහරක් ගෙන යන ලද්දේයි. කොම්පඤ්ඤවීදියේ සිට පෙළහරක් විද්යෝදය පිරිවෙනට ගෙන යන ලද්දේයි. ලුණුපොකුණ පළාතේ සිටන් කොටහේනට පෙළහරක් ගෙන යන ලදී.
බුදුරජාණන් වහන්සේගේ ශ්රී දේහයෙන් නිකුත්වුණ නීල (නිල්), පීත (කහ), ලෝහිත (රතු), ඕදාත (සුදු), මාංජ්යෙෂ්ඨ (මදටිය පාට), ප්රභාෂ්වර (සියලු වර්ණයන්ගේ එකතුව) නම් වූ පැහැයන්ගෙන් බෞද්ධ කොඩිය නිර්මාණය කර ඇත.
චූලනී මැදගේ.
93 Viewers