• Home »
  • Sinhala Articles »
  • මහා මැතිවරණය ජාතික ව්‍යාපාරයේ ආයෝජනයක් කර ගනිමු ද?

මහා මැතිවරණය ජාතික ව්‍යාපාරයේ ආයෝජනයක් කර ගනිමු ද?

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම නැවත දේශපාලන කරළියට පැමිණ තිබේ. ලලිතසිරි ගුණරුවන් කමිටුව යළිත් සනාථ කර ඇත්තේ එය හුදෙක් මූල්‍යමය ආධාරයක් සඳහා වූ ගිවිසුමක් නොව සමස්ත ජාතියේ අනාගතය එක්සත් ජනපදයේ වුවමනාවන්ට සින්නක්කරයේ ලියා දෙන දෝන් ජුවාන් – පෘතුග්‍රිසි පන්නයේ ගිවිසුමක් වන බවයි.

පැවති රනිල්- මංගල ආණ්ඩුව පරාජයට පත් කොට ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීම සඳහා මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට එරෙහිව ජාතික බලවේග විසින් ගොඩ නගන ලද ජනතා විරෝධය මහත් සේ ඉවහල් විය. ඕනෑම විපක්ෂයක් සාමාන්‍යයෙන් කරන්නේ රටට ඇවසි ප්‍රතිපත්ති, ගිවිසුම් හා අනාගත සැලසුම් වෙනුවෙන් සටන් කිරීමට වඩා පවතින ආණ්ඩුවට එරෙහිව නැගෙන ඕනෑම කරුණක් අතට ගෙන පාරට බැසීමය. පහුගිය යහපාලන කාලය තුළ ජීනීවා යෝජනාවලිය, රට බෙදන රනිල්, සුමන්තිරන් සහ ජයම්පතිගේ ව්‍යවස්ථාව, රණවිරු අයිතිවාසිකම්, උතුර නැගෙනහිර සිංහල බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය දැක්වූ කුසීත ප්‍රතිචාරය, හුදෙක් දේශපාලනික සටන් පාඨ පමණි.

අද බලයට පත්ව සිටින පක්ෂය එදා

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට එරෙහිව මැතිවරණ වේදිකාවේදී විලාප දුන්නේ හුදෙක් සටන් පාඨයක් ලෙස පමණක් දැයි කුකුසක් ජනතාව තුළ පවතී. මහා මැතිවරණයෙන් පසු ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරනු ඇතැයි හිතන තැනකට ජනතාව තල්ලු කර තිබේ. ජනාධිපතිවරණය අවසන් වූ වහා, එම ගිවිසුම සම්බන්ධයෙන් වූ දැඩි විවේචනයන්ගෙන් විතැන් වී එය නැවත සලකා බැලිය යුතුය. එහි ඉඩම් සම්බන්ධ ප්‍රතිපාදන හැර මාර්ග සංවර්ධනය පිළිබඳව පමණක් එකඟ විය හැකි වැනි තොදොල් සහ දියාරු ප්‍රකාශ නිකුත් කිරීමෙන් ජනතාව තුළ මෙම සැකය තීව්‍ර කිරීමට හේතු වී ඇත.

ආණ්ඩුවේ නොවන ආණ්ඩුවේ ප්‍රබලයකු, මෙම ගිවිසුම අප ඇමරිකාවට ගොස් රතු පාවඩ දමා ලංකාවට වැඩමවා ගත යුතු අත්‍යවශ්‍ය ගිවිසුමක් බව සිය මතය බව ප්‍රකාශ කොට ඇති බව තතු දන්නෝ දනිති.

ප්‍රධාන පක්ෂ දේශපාලනය තුළ නායකයන් කිහිප දෙනෙකුත් අනුගාමිකයන් සිය ගණනකුත් වහලුන් දහස් ගණනාවකුත් සිටිති. නායකයන් කිහිප දෙනා ප්‍රතිපත්තිමය තීන්දු ගනිති. චන්ද්‍රිකා හා රනිල් හදවතින්ම ෆෙඩරල්වාදයට, සංහිඳියාවට සහ ඊනියා දෙමළ නිජභූමිය වෙනුවෙන් පෙනී සිටියහ. 1994 දී චන්ද්‍රිකා සුදු නෙළුමත්, පොතත්, ගඩොලත් රැගෙන තවලමේ යනවිට එස්.බී, මංගල සහ ජී.ඇල්. ලා පෙරහරේ කසකාරයෝ වූහ. 2001 දී රනිල්ගේ ප්‍රෝඩාකාරී සාම ගිවිසුම වෙනුවෙන් රාජිත සේනාරත්න ඇතුළු පිරිස පෙනී සිටියහ. රනිල්ගේ එජාපයත්, චන්ද්‍රිකාගේ පොදු පෙරමුණත් බිහිකළ ඊනියා සාමවාදීන් 2005 මුල භාගයේදිත් විහාර මහා දේවි උද්‍යානය තුළ පවා යුද විරෝධී සාම පෙළපාළි පැවත්වූහ. එහෙව් එස්.බීලා, ඩිලාන්ලා ජී.ඇල් ලා මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් එල්.ටී.ටී.ඊ යට එරෙහිව යුද්ධය සඳහා අයවැයට අත් එසැවූහ. තම ප්‍රතිපත්ති හා විශ්වාසයන් යට ගසාගෙන නායකත්වයේ දේශපාලනික හැසිරීම මත, අනුවර්තනය වීම අනුගාමිකයන්ගේ ලක්ෂණයයි. බලහත්කාරයෙන් ඔබාගෙන සිටින ඇට මිදුළුවලට කාවද්දන ලද ෆෙඩරල් මතවාද විජාතික ආර්ථික ලැදියාවන් ඉඩක් ලද වහාම ඉස්මතුවීම සිදුවේ. ජාතික ගීය දෙමළ බසින් ගැයීමට සරත් වීරසේකර විරුද්ධ වන විට, ඩිලාන් පෙරේරාට ඔහු ජාතිවාදියකු ලෙස පෙනෙන්නේ එහෙයිනි. ජාතිකවාදී බලවේග, රනිල්ගේ ව්‍යවස්ථාවට එරෙහිව මහින්දව කූද්දන විට, ජී.ඇල්. සමගාම් ලැයිස්තුව අහෝසි කිරීමට යෝජනා කරන්නේ එහෙයිනි.

ඉදිරියේ පැවත්වෙන මහ මැතිවරණයේදී ජනතාවට ඡන්දය අරහං වීමට හේතුව එයයි. ගෝඨාභය වෙනුවෙන් ඡන්දයක් දිය යුතු වුවත්, කාටද මනාපය දෙන්නේ සහ පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කවුද යන්න ජනතාවට ඇති ප්‍රශ්නයයි. වසර ගණනාවක් තුළ ජනතාව ගොනාට අන්දමින්, කුණු රසය පෝෂණය කළ මජර දේශපාලනය තවමත් එලෙසම පවතී.

පොහොට්ටුවට ගෝඨාභය අහම්භයකි. ජාතික ව්‍යාපාරයට ගෝඨාභය අහම්භයකට එහා ගිය රට වෙනුවෙන් සාධනීය සංක්‍රාන්ති පරිච්ඡේදයකි. ‍පොහොට්ටුවට පමණක් නොව මෙරට ජනප්‍රිය දේශපාලනයට ගෝඨාභය ව්‍යාතිරේඛී අහම්භයකි. චන්ද්‍රිකා කුමාරතුංග සහ ඩී.බී. විජේතුංග පවා අහම්බයක් වුවත් ඔවුහු ව්‍යාතිරේඛයක් නොව පරණ බෝට්ටුවේම අලුත් මුහුණු පමණක් වූහ.

ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට ගෝඨාභය වැඩිම මිලකට අලෙවි කළ හැකි ප්‍රායෝගික විකල්පය වුවද එය ඔවුන්ගේ දේශපාලන චින්තන සම්ප්‍රදායේ හෝ හැසිරීමේ අවංක අභිලාෂය නොවීය. පොහොට්ටුව තවමත් විශ්වාස කරන්නේ නෙළුම් මාවත දේශපාලන යාන්ත්‍රණය මත ගෝඨාභයගේ පැවත්ම තීරණය වන බවයි. සාම්ප්‍රදායික දේශපාලන යාන්ත්‍රණය තුළ ගෝඨාභයට අත්අඩංගුවට පත්වීමෙන් දේශපාලනිකව සිරගතවන්නේ ඔහු කෙරෙහි ඇති කරගත් ජාතිකවාදී දේශපාලන අභිලාෂයයි. ගෝඨාභයට ජනතාව ලබාදී ඇත්තේ රටේ අනාගතය වෙනුවෙන් වූ න්‍යායපත්‍රයක් විනා පොහොට්ටුවට ගැළපෙන මැතිවරණ දේශපාලන ඉලක්කයක් නොවේ. ජනාධිපතිවරණයේදී ගෝඨාභය ජයග්‍රහණය තීරණය කළා වූ ඡන්දදායකයා ශාඛා සමිතිවල නිල තල දරන, මැයි පෙළපාළිවල, ප්‍රසිද්ධ රැස්වීම්වල රස්තියාදු වන, පෝස්ටර් කටවුට් ගහන පිරිසක් නොවේ. මහින්ද රාජපක්ෂගේ ඡන්ද බැංකුව ජයග්‍රාහී මාවතකට යොමු කරන දිශානතිය වන්නේ එම ජාතිකවාදී ප්‍රගතිශීලි බලවේගයයි. එය වඩාත් පැහැදිලි වන්නේ ගෝඨාභයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් උතුරේ සහ නැගෙනහිර පළාත්වල මහින්ද ලබා ගත්තද 2015 වන විට දකුණේ ඔහුගේ ජනප්‍රියතාව හීන වී යාමෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය අහිමි වී යාමයි.

මෙම මැතිවරණය සංක්‍රාන්ති පරිච්ඡේදයකට ආරම්භයක් වන්නේ, බහුතරයක් වූ පරණ මුහුණු මෙල්ල කරගනිමින් ගෝඨාභය මත ගොඩ නගන ලද ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කරවීමට අවකාශය පුළුල් කිරීමෙන්ය. සාර්ථක නායකයන් එක් රැයකින් පූදින අහම්භයක් විය නොහැකිය.

නායකත්වයේ සාර්ථකත්වය තීරණය වන්නේ පුද්ගලිකව ඔහුගේ ඉලක්ක ජයගැනීමෙන් නොව සමස්තයට ලැබෙන ජයග්‍රහණය මතයි. සමස්තයට නායකයා, ඔහුගේ කණ්ඩායම සහ ජනතාව යන සියල්ල අයත් වේ. නායකයා කොපමණ යහපත් වුවද කණ්ඩායම ඒ සඳහා සූදානම් නොමැති නම්, එම වෙනස්කම් සාධනීයව වැලඳ ගැනීමට ජනතාව සූදානම් නැත්නම්, නායකත්වය දෑත් විලංගු ලෑ සිරකරුවකු බවට පත්වේ. ඔහුගේ අපේක්ෂාවන් වැරදි අර්ථකථන මගින් අරාබි වසන්තයකට උසිගැන්විය හැකිය. පාලකයා හා ජනතාව ආකල්පමය අතර පරතරය අවම අවසානයේදී ජනාධිපතිවරයාගේ කාර්ය සාධනය ඇගයීමේදී වැදගත් වේ. මෙවර පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ගෝඨාභයට 19 වැනි සංශෝධනයෙන් දෑතට මාංචු දමන ලද ජනාධිති ධුරයේ සීමා සහිත බලය ක්‍රියා කිරීමට හෝ ඕනෑම දෙයකට හුරේ දමන පිරිසක් නොවේ. පාර්ලිමේන්තුවේ ජාතිකවාදී මතය දරන ප්‍රමාණවත් නියෝජනයක් නොවුවහොත් පරිපාලනය නිලධාරී යාන්ත්‍රණයක් ඔස්සේ සිදු කිරීමට ඔහුට සිදුවේ. පහුගිය කොවිඩ් වසංගත කාලය තුළ ජනතාව එවැනි ක්‍රමයක් දේශපාලන බල ව්‍යුහයකට වඩා පිළිගැනීමට ලක්කළ බව කිව යුතුය.

ගෝඨාභය යුගය, ධර්මපාලතුමා, මඩිහේ නාහිමි, සෝම හිමි, මෙත්තානන්ද මහතා මෑතකාලීනව ආචාර්ය නලින් ද සිල්වා විසින් කුළු ගන්වන ලද ජාතික ව්‍යාපාරයේ රැළි කැළඹීමෙන් පරිධියේ ඇතිවූ වෙනසක් මිස ජාතික කොඩිය එක සිතින් අතට ගත් දේශපාලන විප්ලවයක් නොවේ. ජාතිකවාදී ව්‍යාපාරයට මෙරට අනාගත ගමන් මග කෙරෙහි සෘජු බලපෑමක් කළ හැකිව තිබුණද අතරින් පතර මැතිවරණයක් ප්‍රකාශයට පත් වූ පසු අටවා ගන්නා සන්ධාන, මිලදී ගන්නා පක්ෂවලට, අතන මෙතැන හැම අත්තටම පනින දේශාපාලනිකව කුරුවල් වූ චරිතයන්ට ඒ හිඩැස පිරවීමට නොහැක. අත්තාගෙන් පුතාට, පුතාගෙන් මුණුබුරාට උරුම වන ඔටුන්න වෙනුවට පාසල් පෙළ පොත්වල සිට උදේ රාත්‍රි ජනමාධ්‍යයට මගින් විකෘති කරන ලද ෆෙඩරල් දීනත්වයට එරෙහිව සාමුහිකත්වය, විනය හා ජාතිකත්වය පෙරදැරි නායකයන් පිරිසක් බිහි කළ යුතුය. මැති ඇමැතිවරුන්ගේ මහ වංචා විවේචනය කරමින් රථවාහන පොලිස් නිලධාරියට පගාව දෙන මහජනතාව රට වෙනුවෙන් හිතන්නට පුරුදු කළ යුතුය. සෙමින් නමුත් ස්ථීරසාරව බිම් මට්ටමින් දළු ළා වැඩෙන ජාතික ව්‍යාපාරයකට ඒ වගකීම ඉටු කිරීමට ඉදිරි වසර පහ අයෝජනය කළ යුතුය.

නීතිඥ නුවන් බැල්ලන්තුඩාව



48 Viewers