• Home »
  • Articles »
  • මාලිමාව සහ ක්ෂිණාංශික දේශපාලනය conservative වාදයෙන් පිට පැනීම!

මාලිමාව සහ ක්ෂිණාංශික දේශපාලනය conservative වාදයෙන් පිට පැනීම!

කෝට්ටේ පාර්ශවයේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නායක ස්වාමිපාදයන් වහන්සේ එම පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ අනුනායක පදවිය ප්‍රධානය කිරීමේ මහෝත්සවයේදී වත්මන් ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඉදිරියේ තබාගෙන කළ කතාව මේ රටේ දේශපාලනයේ නිරතවන වම දකුණ භේදයකින් තොරව සියලු දෙනාගේ අවධානයට යොමු විය යුතු කාරණාවකි. එහිදී නායක ස්වාමිපාදයාණන් කියා සිටියේ රටේ ජාතික සංස්කෘතියට නිසි ගෞරවය වටිනාකම ලබා දිය යුතු බවත් ජාතික සිරිත් විරිත් පිළිවෙත් උත්සව ඊට අදාළ ගෞරවයකින් අභිමානයකින් සහ උත්සවාකාරයෙන් පැවැත්විය යුතු බවත් වත්මන් රජයෙන් එය නිසි පරිදි ඉටු නොවන බවත් ඒවා අවමානයට නිග්‍රහයට සහ පහත හෙළීමට ලක්ව ඇති බවත් ජාතික සංස්කෘතික උත්සව සම්ප්‍රදායන් ඇවතුම් පැවතුම් පිළිවෙත් නිසි බරකින් හැඟීමකින් වටිනාකමකින් කළ යුතු බවයි.

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ එම ජාතික සම්ප්‍රදායන් සිරිත් ජාතික උත්සව නිසි ලෙස ඉටු නොවන බවක් ආරම්භයේ සිටම නිරීක්ෂණය කළ හැකි විය.ආරම්භයේදී ජයමංගල ගාථා ප්‍රතික්ෂේප කිරීමේ සිට රාජ්‍ය නායකයාගේ හැසිරීමේ සිට මැති ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ සිටම බහුබූත ස්වරූපයක් දැකගත හැකි වූ අතර මෙතෙක් ආරක්ෂා කළ පවත්වාගෙන ආ සම්ප්‍රදායන් නොසලකා හැරීමද නොතකා හැරීමද ඒවා හාස්‍යයට ලක් කිරීමට ඒවාට සරදම් කිරීමද දැකගත හැකි විය. මෙය ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටිවාද යෙන් ලැබුණු උරුමයක් වූවක් විය හැක. කෙසේ වෙතත් මෑතක සිට රාජ්‍යකරණයේදී සහ ආණ්ඩුකරණයේදී ජවිපය ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙම අඩුපාඩු හදා ගනිමින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යම් අනුගත වීමක් මෑත කාලයේ උත්සවවලදී නිරීක්ෂණය කළ හැක. එය හොඳ තත්ත්වයකි. ඔවුන්ගේ අවිඥානයේ දෘෂ්ටිවාදීමේ වශයෙන් මෙම සංස්කෘතිකමය කාරණා සම්බන්ධයෙන් කවරක් ගල් ගැසී සිරගත වී තිබුණද පොදු ජන විඥානය සහ ජාතික සංස්කෘතියට අනුගතවීම යහපත්ය. තේරුම් ගත යුත්තේ රටේ ජාතික සංස්කෘතික සාධක කෙතරම් බලවත් ද යන්නත් වම හෝ දකුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙයට සංවේදී වීම කෙතරම් වැදගත්ද යන්නයි. මෙරට ජාතික සංස්කෘතියට එහි වටිනාකම් වලට පිළිවෙත් වලට ජාතික උත්සව වලට පයින් ගසා ඉදිරි ගමනක් නැති බව දකුණු ආසියාවේ සංස්කෘතික දේශපාලනයේ වැදගත්කම දන්නා දේශපාලන බුද්ධිමතුන්ට අමුතුවෙන් පහදා දිය යුතු කරුණක් නොවනු ඇත.

මේ ටික කියන්නට සිදු වූයේ ලංකාවේ වාමාංශික දේශපාලනය මේ සාධකයට සංවේදී කිරීමකට වඩා දක්ෂිණාංශික දේශපාලනය පිළිබඳවත් එහි අනාගතය පිළිබඳවත් මේ දිනවල සංවාදයක් බුකියේ ඇරඹී ඇති නිසාය. දිනන දකුණ සාමූහිකය මුල් කරගෙන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ආරම්භ කළ සංවාදය විවිධ පැතිමානයන්ගෙන් දකුණේ දේශපාලනය ගැන විචාරය කෙරමින් තිබෙන නිසා මහාචාර්ය කොටපිටියේ රාහුල නායක හිමිපාණන් ඇඟවූයේ කුමක්දැයි දක්ෂිණාංශික දේශපාලනය ගොඩනැගීමට වෙර වීරිය දරන්නද සිතා බැලිය යුතු යි .සම්ප්‍රදායික වම හා රැඩිකල් වම විප්ලවකාරී වම අන්තවාදී වම හා අරාජිකවාදීන් සමඟ මේ සමග වාද සංවාද කිරීමෙන් පලක් නැත. වත්මන් ආණ්ඩුව රණවිරුවා සොල්දාදුවා කරන්නට යාමෙන් කරගත් හානිය මෙය තේරුම් ගැනීමට මෑත කාලීන වැදගත් නිදසුනකි. ලංකාවේ ඇතැම් දක්ෂිණාංශිකයින්ද තම වාග්කෝසයට කොටි ත්‍රස්තවාදය ජාතිය දේශප්‍රේමය ජාතිකානුරාගය සිංහල ජාතිය ඇතුළත් කරගන්නේ නැත.මේ අයගෙන් ඇතමුන්ට මේ පිළිබඳ ව වියතිරේක තිබෙන්නට පුළුවන. ඒ ගැන කතා කරන්නට කාලය නාස්ති කළ යුතු නැතැයි මම සිතමි.

එහෙත් දක්ෂිණාංශික දේශපාලනය හා conservative වාදය ජාතිකවාදය සංස්කෘතික ජාතිකවාදය අතර ඇති අත්‍යන්ත බැඳීම ගැන කතා කළ යුතුය. වාද විවාද සංවාද ය කළ යුතුය. දක්ෂිණාංශය හරි මගට ගැනීමට නම් එය මඟහැර යා නොහැක.

දක්ෂිනාංශික මතවාදය බොහෝ දුරට කොන්සවේටුවූවාදී මූලධර්ම සමග සම්බන්ධිතය. සමාජවාදය මානවවාදය ලිබරල් වාදය ප්‍රජාතන්ත්‍රවාදය තරම් ලංකාවේ දේශපාලන කතිකාව තුළ conservative වාදය අප සමාජයට හුරුපුරුදු නැත. කෙසේ වෙතත් ලෝකයේ දක්ෂිණාංශික දේශපාලනයේ නියෝජනය කරන පක්ෂවල වඩාත් කැපී පෙනෙන අවියෝජනීය ලෙස ජාතික වාදය මත පදනම් වී ම ඇති බව කිව යුතුය. ලංකාවේ දක්ෂිණාංශික පක්ෂවල න් බොහෝ විට එක්කම ප්‍රතිපත්තිය ලෙස දකින්නේ ආර්ථිකවාදීව නිදහස් වෙළඳපොළ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටීමයි. නැතහොත් ධනෝත්පාදනය හා ධනවාදය වෙනුවෙන් පෙනී සිටීමයි.. නමුත් දක්ෂිණාංශික කොන්සවේටිව් වාදී දේශපාලනය යනු පක්ෂ යනු ජාතිකවාදී දේශපාලනයයී. එම පක්ෂ දේශපාලන ආර්ථික වශයෙන් පෙනී සිටින්නේ අවධානය යොමු කරන්නේ රාජ්‍යය නැතහොත් ජාතිය ආර්ථික හා දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීම මූලික මූලධර්මයයී. මතවාදයයි. ප්‍රතිපත්තියයි. ලෝකයේ සියලුම දක්ෂිණාංශික පක්ෂ නිසැකවම රටවල ප්‍රධාන ජාතිය හෝ ජනවර්ගය මහා සම්ප්‍රදාය මත දේශපාලනික වශයෙන් පදනම් වන අතර මහජාතියේ අභිලාෂයන් වෙනුවෙන් නොබියව පෙනී සිටියී. එම පක්ෂ ආර්ථික ප්‍රතිපත්තිය ලෙස වෙළඳපොළ ක්‍රමය පිළිගනිමින් එසේම දේශපාලන වශයෙන් මහ ජාතිය මත පදනම් වූ ජාතික වාදයක් අනුගමනය කිරීමත් යන දෙකට පමණක්ම ඔවුන්ගේ වෙනත් දේශපාලනික සාමාජීය හා සංස්කෘතික ප්‍රතිපත්තීන්ටත් ඇත්තේ පොදු තනි මූලයකි. ඒ සඳහා ලෝකයේ දක්ෂිණාංශික දේශපාලනයේ නිරත වන දේශපාලන පක්ෂවලින් ඕනෑ තරම් නිදසුන් ගෙනහැර දැක්විය හැක. වැඩිදුර නොගොස් අසල්වැසි ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය දෙස බලන්න. ලෝකය පුරා හමායන දක්ෂිණාංශික අන්ත දක්ෂිණාංශික මධ්‍ය දක්ෂිණාංශික පක්ෂවල පදනම මූලය විචාර බුද්ධියෙන් විමසා බලන්න. එවිට ඔබට දක්ෂිනාංශයේ මතවාදී පදනම ජාතික වාදය බව තේරුම් යනු ඇත. එබැවින් කිව යුතු වන්නේ නූතන දක්ෂිනාන්ශික පක්ෂ ගොඩනැගෙන්නේ එම රටවල මහජාතිය මත පදනම් වූ ශිෂ්ටාචාරය සංස්කෘතිය ඉතිහාසය හා සම්ප්‍රදාය මත පදනම් වූ ජාතික වාදයක් තුළ බව ඔබට පසක් වනු ඇත. එබැවින් ලංකාවේ නවදක්ෂිණාංශික දේශපාලනය ගොඩනැගීමේදී කොළපාට දේශපාලනය ගොඩනැගීමේදී conservative වාදය හා ජාතිකවාදය මගහැර හෝ නොතකා හැර නොදැක්කාසේ සිට එය ගොඩනැගිය නොහැකි බව පමණක් වටහා ගත යුතුය. ලංකාවේ බලයට එන වමේ හෝ දකුණේ මැද මාවතේ සෑම ආණ්ඩුවකටම සිංහල බෞද්ධ භික්ෂුව ඇඟිල්ලෙන් ඇන මතක් කර දෙන්නේ ඒ යථාර්ථයයි ! ලංකාවේ දක්ෂිණාංශික දේශපාලනයට මගහැරුනේ කුමක්දැයි තේරුම් ගැනීමට පොදු ජන විඥානය තුළ පදනම් නොවීමට හේතුව කුමක්දැයි තේරුම් නොගන්නා තාක් දුරට දක්ෂිණාංශික දේශපාලනයේ බිජු පැල නොවනු ඇත.!

(සංවාදයට විවෘතයි)
2025.06.08



10 Viewers