• Home »
  • Sinhala »
  • මැතිවරණ කොමිසම ස්වාධීනද? – ජාතික සංවිධාන සම්මේලනය

මැතිවරණ කොමිසම ස්වාධීනද? – ජාතික සංවිධාන සම්මේලනය

මැතිවරණ කොමිසම ස්වාධීනද?   නැතහොත් කොමිසම යම් සැඟවුණු දේශපාලනයක නියැලී සිටින්නේද? යන මතය දැන් දැන් ශ්‍රී ලාංකික සමාජය පුරා බලවත් ප්‍රශ්නයක් ලෙසට මතුවෙමින් තිබේ.

2015 ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර සිටම, එනම් යහපාලන රජය පත් කිරීමට ආසන්න අවස්ථාවේ සිටම, මහින්ද දේශප්‍රියලා, රත්නජීවන් හූල්ලා මේ රටේ අති ස්වාධීන, කෑල්ලෙන් කෑල්ල ගියත් පැත්තක් නොගන්නා, දැවැන්ත චරිතයන් බවට පත්වී සිටියාක් මෙන් පෙනෙන්නට තිබිණ. ඔවුන් කියන සෑම දේම, අති ස්වාධීන වාක්‍ය බවත්, සමාජයේ සියලු දෙනා එම වාක්‍ය, කිසිදු ප්‍රශ්න කිරීම්වලින් තොරව පිළිගත යුතුය වැනි මතයක්ද සමාජයේ එකල පැතිර තිබිණ.

ඒ තරමටම ඔවුන් වීර භූමිකාවන් රඟ දක්වමින් සිටියහ. 2015 ජනාධිපතිවරණයට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා “මැතිවරණ නීති කඩන අයට ඔළුවටම වෙඩි තියන්න“ කියා කිව්වේ ඒ වීරත්වයෙන් හිස උදුම්මාගෙනය. එය එවකට කිසිම දේශපාලකයකු හෝ සිවිල් සංවිධාන නායකයකු හෝ ක්‍රියාකාරිකයකු හෝ වෙනත් කවරකු හෝ විසින් අභියෝගයට ලක් කළේ නැති එක වෙනම කාරණයකි. එහෙත් එය යම් ආකාරයක සාහසික අපරාධකාරී ප්‍රකාශයක් නොවන්නේද?

එවන් ප්‍රකාශ ඔවුන් සිදු කළේ ඒ එදාය. එහෙත් අද වන විට තත්ත්වය කවර ආකාරයකට පරිවර්තනය වී ඇත්ද? මේ රට තමන්ට අවශ්‍ය විදියට නටවන්නට අවැසි බලවේග කිහිපයකි.

  1. බටහිර විජාතික බලවේගයන්
  2. කොටි ඩයස්පෝරාවන්
  3. පරගැති මානසිකත්වයෙන් රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන බලවේගයන්
  4. දේශ ද්‍රෝහීන් ලෙස රට තුළම ක්‍රියාත්මක වන දේශපාලන බලවේගයන්
  5. රට තුළ ක්‍රියාත්මක වන අන්තවාදී ජාතිවාදී දේශපාලන බලවේගයන්

ආදී වශයෙන්, අප රටේ ප්‍රගමණයට එරෙහිවන කණ්ඩායම්වලට උවමනා කරන පින්තූරය පාට කරන්නට ස්වාධීන යැයි කියා ගන්නා වූ මැතිවරණ කොමිසම කටයුතු කරන්නේදැයි යන සැකය දැන් දැන් මතුවීම වැලැක්විය නොහැකි තරමටම දැන් සියල්ල ඔඩු දුවමින් තිබේ.

අපේ රට පිළිබඳව සැබෑ හැඟීමෙන් සිටින, ජාතික කඳවුරේ සියලු දෙනාටම මේ වන විට තත්ත්වය ඉතා හොඳින් අවබෝධවී ඇත. 2015 රෙජීම් චේන්ජ් (Regime Change) එක කිරීමට ස්වාධීන යැයි කියා ගත් බොහෝ අය දැරූ වෙහෙස කවරේදැයි රටට හිතැති බොහෝ දෙනා මේ වන විට තේරුම් ගෙන ඇත. මේ තරම් පැහැදිලිව පෙනෙන කොමිසම් කටයුතු  තේරුම් ගන්නට බැරි තරම්, මේ රටේ කවුරුත් බබ්බු නොවේ.

පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක දේශ හිතෛෂී ජනතාවකගේ ප්‍රබෝධයක් ඇතිවී මේ රට නිවැරදි මාර්ගයට ගන්නා ලදී.

මහ මැතිවරණය වෙනුවෙන්ද නැවතත් එම ප්‍රගතිශීලී ජාතික කඳවුරේ සියලු දෙනාම එකාවන්ව නැඟී සිටිති. එම නැඟී සිටීම වලකන්නට හෝ වනසන්නට, සෘජුව හෝ අනියමින් හෝ උත්සාහ දරන කවරකුට වුවත් ඔබ අප ඉඩ දිය යුතුද?

මාතෘභූමියේ අනාගතය වෙනුවෙන් අපගේ වගකීම ඉටු කරන්නට, අපගේ හඬ අවැසි පරිදි නගන්නට දැන් නැවතත් කාලය පැමිණ ඇත.

ධර්මානන්ද විජේසිංහ –
සභාපති.- සියුම් මාන විද්වත් සංසදය
ලේකම් – ජාතික සංවිධාන සම්මේලනය



8 Viewers