මුලතිව් කෝවිල් බිම්වල බෞද්ධ නටබුන්
මුලතිව් දිස්ත්‍රික්කය යනු ඉපැරැණි ඓතිහාසික නටබුන් රාශියක් හමුවී ඇති, පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසක් සහිත, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්කයකි. අතීත ලංකාවේ සීමා නිර්ණය අනුව මුලතිව් ප්‍රදේශය රජරට සීමාවට අයත්ව තිබේ. අතීතයේ මුල්ලේදූව, මූලදීප යන විවිධ නාමවලින් මුලතිව් ප්‍රදේශය හඳුන්වා ඇත. එම නිසා එම යුගවලට අයත් ඉපැරැණි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත නටබුන්, සෙල්ලිපි, කාසි ඇතුළු මූලාශ්‍රය රාශියක්ම මේ ප්‍රදේශයේ සිදු කළ කැණීම් ඔස්සේ සොයා ගෙන තිබේ. ඒ අතුරින් වත්මන් කෝවිල් භූමි ආශ්‍රිතව හමු වී ඇති බෞද්ධ උරුමය රැගත් නටබුන් රාශියක්ම වෙයි. වවුනිකුලම් ශ්‍රී පුරම් මලේ කෝවිල ආශ්‍රිත නටබුන්, නාගතම්බ්‍රාන් කෝවිල ආශ්‍රිත නටබුන්, කන්නියාර් කෝවිල ආශ්‍රිත නටබුන්, උච්චිපිල්ලෙයාර් කෝවිල ආශ්‍රිත නටබුන් යනාදිය ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. කාලයාගේ ඇවෑමෙන් සහ විවිධ හේතු නිසා මේ ප්‍රදේශයේ තිබූ බෞද්ධ විහාරාරාම නටබුන් වැළලී විනාශ වී ගොස් ඇත. වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් සහ පර්යේෂණ මඟින් ඒවා නැවත මතු කරගෙන තිබේ.
වවුනිකුලම් ශ්‍රී පුරම් මලේ කෝවිල ආශ්‍රිත නටබුන්
වර්තමානයේ හින්දු කෝවිලක් ලෙස වැඳුම් පිදුම් කරන මේ භූමියේ සිදු කළ පුරාවිද්‍යාත්මක කැණීම්වලින් පාද සහ අත් රහිත හිටි බුදු පිළිමයක් සොයා ගෙන තිබේ. එසේම කැඩී ගිය සඳකඩපහණක්, මල් ආසනයක් මෙන්ම සිරිපතුල් ගලක් මේ කෝවිල් බිම ආශ්‍රිතව සිදු කළ කැණීම්වලින් සොයා ගෙන ඇත. පුරාවිද්‍යාඥයන්ගේ මතය අනුව අනුරාධපුර යුගයේ දී මේ භූමිය සංඝාරාම සංකීර්ණයක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ.
නාගතම්බ්‍රාන් කෝවිල ආශ්‍රිත නටබුන්
නාගතම්බ්‍රාන් කෝවිල, වර්තමානයේ නාග වන්දනාව සිදු කරන කෝවිලකි. කෝවිලට අමතරව මෙහි කුඩා දේවාල කිහිපයක්ද දැක ගත හැකිය. මෙහි එක් දේවාලයක් ඉදි කර ඇත්තේ නටබුන් වී ගිය දාගැබ් කොටසක් මතය. ශේෂ වී ගිය ගොඩැල්ලක් ලෙස දිස් වන මෙහි උස මීටර් භාගයක් පමණ වෙයි. අතීතයේ මේ දාගැබ ගඩොළුවලින් ඉදි කර ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මේ දාගැබ් ගොඩැල්ලට දකුණු පසින් ගල් කණු 6ක් සහිත නටබුන් ගොඩනැඟිල්ලක්ද දැකගත හැකිය.
කන්නියාර් කෝවිල ආශ්‍රිත නටබුන්
ජනප්‍රවාද කතාවකට අනුව මෙම භූමිය තුළ අතීතයේ විහා
රස්ථාන හතක් තිබී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදු කළ කැණීම් තුළින් හෙළි කර ගත් නිගමනයන්ට අනුව මෙම භූමිය එකළ ප්‍රමුඛ පෙළේ සංඝාරාමයක් ලෙස භාවිත කර තිබේ. ප්‍රාකාරයකින් වට කළ ගොඩනැගිලි අටක් සහිත සංඝාරාම සංකීර්ණයක් ලෙස මෙය හඳුනා ගෙන තිබේ. එම නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම භූමිය පුරා විද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කරන්නටද කටයුතු කර ඇත.
අතීතයේ මෙම භූමියට ප්‍රවේශ වන ස්ථානය යැයි සලකනු ලබන ස්ථානයෙහි ගල් කණු සහිත ගොඩනැගිල්ලක නටබුන් දැක ගත හැකි වෙයි. එය සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ලකි. එහි එක් පැත්තක දිග මීටර් 4.65ක් ලෙස ගණන් බලා තිබේ. එම ගොඩනැඟිල්ලෙහි ගල් කණු 6ක් දැක ගත හැකිය. එම ගල් කණුවක් මීටර් 2ක පමණ උසකින් යුක්ත වෙයි.
මෙම ගොඩනැඟිල්ලට බටහිර දෙසින් එකල දැගැබක් ලෙස භාවිත කළේ යැයි සැක කරන මීටර් 3ක පමණ උසකින් යුතු ගොඩැල්ලක නටබුන් හමු වී තිබේ. එහි විෂ්කම්භය මීටර් 15ක් පමණ වෙයි. දාගැබට ඔබ්බෙන් ගල් කණු සහිත තවත් ගොඩනැඟිල්ලක් දැක ගත හැකිය. මෙම ගොඩනැඟිල්ලට තරමක් දුරින් කොරවක් ගල් ද්විත්වයක්, සඳ කඩපහණක් සහ මුරගලක නටබුන් හමු වී තිබේ. ඒවා අනුරාධපුර යුගයට අයත් යැයි පුරාවිද්‍යාඥයෝ මත පළ කරති. එසේම ගල් කටු පහර සහිත ශෛලමය කණු කිහිපයක්, කැටයම් රහිත වැසිකිළි ගලක්, පැරණි ගඩොල් ආදිය මෙම භූමිය ආශ්‍රිතව සොයා ගෙන තිබේ.
උච්චිපිල්ලෙයාර් කෝවිල
මුලතිව් දිසාවේ පිහිටි උච්චිපිල්ලෙයාර් කෝවිල් බිම ආශ්‍රිතව සිදු කර ඇති පුරාවිද්‍යාත්මක කැණීම් තුළින්ද තරමක් විශාල දාගැබක් ලෙස භාවිත කළේ යැයි සැලකෙන නටබුන් ගොඩැල්ලක ශේෂ හමු වී තිබේ. එම ගොඩැල්ල ආශ්‍රිතව සිදු කළ කැණීම්වලින් බොරදම් කැටයම් සහිත ගල් කොටස් කිහිපයක් සහ විවිධ ප්‍රමාණයේ ගඩොළු කැට රාශියක් සොයා ගෙන ඇත. පැරැණි උළු කැබැලි කිහිපයක් මෙන්ම ගල් කණු කොටස් කිහිපයක්ද මේ බිම්කඩ ආශ්‍රිතව සොයා ගෙන තිබේ. එසේ සොයා ගත් උළු කැබැලි අනුරාධපුර යුගයේ අග භාගයට අයත් ඒවා යැයි පුරාවිද්‍යා පර්යේෂණ අනුව හෙළි වී ඇත. එසේම මේ බිම්කඩෙන් අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාවක් යැයි සැලකෙන ප්‍රතිමාවක කොටසක්ද සොයා ගෙන තිබේ. එය හුණුගල්වලින් නිර්මාණය කරන ලද්දකි.
මුලතිව් ප්‍රදේශයෙන් හමු වී ඇති මෙවන් පැරැණි උරුමවලින් බොහෝමයක් විවිධ හේතු නිසා විනාශයට ලක්ව තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මතයයි. කෙසේ නමුත් ඒවා රැක ගැනීම ශ්‍රී ලාංකේයයන් ලෙස අප සැමගේම යුතුකමකි. ඓතිහාසික උරුම, බෞද්ධ, හින්දු යැයි කියා බෙදා වෙන් කර විනාශ කර දැමීම හෝ නොසලකා හැරීම හෝ නොකළ යුත්තකි. ඒවා අප සැමගේම අයිතිය සහ උරුමය ලෙස සලකා, ඒවා අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලංකාවාසී අප සැමගේම යුතුකමක් මෙන්ම වගකීමකි.
පසිඳු මිහිරාන් රැටියල
(Courtesy of dinamina.lk)
54 Viewers