• Home »
  • Sinhala Articles »
  • යාපනය සිංහල මහා විද්‍යාලයට යළි පණ එයිද?

යාපනය සිංහල මහා විද්‍යාලයට යළි පණ එයිද?

උතුරේ යුද්ධය නිමා වී දැන් වසර එකොළහකි. මේ වසර එකොළහ තිස්සේ උතුරේ බොහෝ දේ යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. කලින් නොතිබූ අලුත් අලුත් දේ අලුතින් එක්වෙමින් තිබේ. ඒ අතරම කලින් තිබූ යම් යම් දේ තවමත් යාපනයට ලැබී නැති තත්ත්වයක්ද දක්නට තිබේ. එසේ තවමත් නොලැබුණ දේ අතරින් එකක් වන්නේ යුද්ධය නිසා වැසී ගිය යාපනය සිංහල මහා විද්‍යාලයයි.

යුද්ධයට පෙර 1980 ගණන්වල අග භාගය දක්වාම රටේ ඉහළම අධ්‍යාපනයක් තිබූ ප්‍රදේශය යාපනය අර්ධද්වීපය යැයි කිවහොත් එහි ඇති වැරැද්දක් නැත. ඊට පසුබිම මේ රටේ පාසල් අධ්‍යාපනයේ මූලාරම්භය යාපනයටද නෑකම් කීමයි. යාපනයේ පළමු පාසල තෙලිප්පලෙයිහි දී ආරම්භ වී ඇත්තේ 1816 වසරේදීය. එනම් මේ රට සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටවීමෙන් වසරක් ගෙවුණු තැනය. එහි ආරම්භකයෝ ඇමරිකානු මිෂනාරීන්ය. ආසියාවේ පළමු කාන්තා නේවාසික පාසල වූ ඇමරිකානු මෙතෝදිස්ත කාන්තා නේවාසික පාසල උඩුවිල්හි ආරම්භ වී ඇත්තේ 1824 වසරේදීය. 1848 වනවිට යාපනය අර්ධද්වීපය පුරා පාසල් එකසිය පහක් වූ අතර ඉන් දහසයක් ඉංග්‍රීසි පාසල් බවද පැරණි වාර්තා සඳහන් කරයි.

1983 පැවති යුද්ධය ආරම්භ වෙන සමයේ යාපනයේ පාසල් හා දකුණේ පාසල් අතර තිබුණේද මනා සහෝදර සම්බන්ධයකි. ක්‍රිකට්, පාපන්දු. බාස්කට් බෝල් වැනි ක්‍රීඩා තරග සඳහාද කථික තරග සඳහාද උතුරේ පාසල් ශිෂ්‍යයෝ දකුණටත්, දකුණේ පාසල් ශිෂ්‍යයෝ උතුරටත් ආවෝය, ගියෝය.

මේ කාලය වනවිට යාපනයේ තිබූ සියලුම පාසල් අතර ප්‍රමුඛතම පාසලක් වූයේ යාපනය සිංහල මහා විද්‍යාලයයි. එකල සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බෝරා, මැලේ යන ජාතීන් හයේම බෞද්ධ, හින්දු. කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම් අදහන සිසුන් එක්දහස් පන්සීයක් පමණ මේ කාලයේදී සිංහල භාෂාවෙන් විද්‍යා, කලා හා වාණිජ යන විෂය ධාරා තුනෙන්ම උගත්හ. 1980 ගණන් වනවිට ලංකාවේ තිබූ බහුවාර්ගික, බහු ආගමික පාසල් අතරින් මුල්තැන ගත්තේ මෙම යාපනය සිංහල මහා විද්‍යාලයයි. ඒත් 1985 වනවිට මෙම යාපනය සිංහල මහා විද්‍යාලය වැසී ගියත් 1994 වනතුරුම පාසලට යාබද ඕ.එල්.ආර්. (Our Lady of Refugee) පල්ලියේ පැවති දෙමළ පාසලේ සවස් වරුවේ පාසල පැවැත්විණි. ඒත් ඒ වනවිට සහභාගි වූයේ ඉතාමත් සුළු සිසු පිරිසකි.

අද දවසේ යාපනය සිංහල මහා විද්‍යාලය යළි කතා කිරීමට හැකි මාතෘකාවක් සපයා ඇත්තේ එහි ආදි සිසු සිසුවියන් එක්වී පාසල යළි ගොඩනැගීමේ අරගලයක යෙදී සිටින නිසාය. එහි මුල් පියවර හැටියට 2018දී එහි ආදි සිසුන් පිරිසක් එක්වී පිහිටුවාගත් ආදි ශිෂ්‍ය සංගමය විසින් දැන් යාපනයේ කුඩා දරුවන් සඳහා පෙර පාසලක් ආරම්භ කර තිබේ. එය නම්කර ඇත්තේ ජේ.එස්.එම්.එම්.වී. (Jaffna Sinhala Madya Maha Vidyalaya) පෙර පාසල නමිනි. පසුගිය වසරේ ආරම්භ වූ මෙම පෙර පාසලෙහි මේ වනවිට සිංහල දරුවන් තිදෙනකුත්, දෙමළ දරුවන් දාහත් දෙනකුත් ඉගෙනුම ලබති. ඔවුන්ගේ පොත්පත් මෙන්ම දිවා ආහාරය, පාසල් බෑගය, වතුර බෝතලය ආදී සියලු දේ සඳහා බරපැන දරන්නේ ආදි ශිෂ්‍ය සංගමයයි. පුරා වසරක් ඒ බර දැරීමේ අභියෝගය ආදි ශිෂ්‍යයෝ භාරගෙන සිටිති.

යුද්ධය නිසා වැසී යන තුරුම වෙම්බඩි හා චූන්ඩුක්කුලි බාලිකා විදුහල් මෙන්ම යාපනය ශාන්ත ජෝශප්, ශාන්ත පැට්‍රික්, යාපනය හින්දු විද්‍යාලය, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, ඔස්මානියා මුස්ලිම් විදුහල ආදී රට ප්‍රකට විදුහල් සමග කරට කර සිටි යාපනය සිංහල මහා විද්‍යාලය ආරම්භ වන්නේ 1938 වසරේදීය. ඒ සිසුන් හයදෙනකුගෙනි. ඊට මුල් වූයේ තරුණ බෞද්ධ සම්මේලනයයි. මුලින්ම පන්ති පැවතියේ පළමුවැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වාය. පළමු විදුහල්පති වූයේ එච්.එම්.ජී.වයි. විජේසිංහ මහත්මියයි. ඇගේ සැමියා වූ අමරදාස මහතාද එම පාසලේම ගුරුවරයෙක් විය. මුලින්ම පාසල හැඳින්වූයේ යාපනය රජයේ පෝෂිත සිංහල මිශ්‍ර පාඨශාලාව යන නමිනි. පාසලේ පරිපාලකයා වූයේ යාපනය හින්දු අධ්‍යාපන කවුන්සිලයේ සාමාන්‍යාධිකාරී එස්. රාජරත්නම්ය.

ඉතිහාස තොරුතුරුවල කියන හැටියට විජේසිංහ අමරදාස ගුරු යුවළ පාසලේ දියුණුවට කැපවී වැඩ කළෝය. එම දෙපළ යාපනයේ සිංහල පවුල් පිටින් ගෙයින් ගෙට ගොස් දෙමාපියන් හමුවී පාසලට සිසුන් එකතු කරගත්හ. සිංහලෙන් අධ්‍යාපනය ලැබීමේ වටිනාකම කියා දුන්හ. එ​සේම පාසලේ දරුවන්ට දිවා ආහාරය සපයා දීමට අවශ්‍ය ආධාර මුදල් සොයා ගත්හ. දිනෙන් දිනම දියුණු වූ පාසල වසර හයක ඇවෑමෙන් 1938දී රජයට පවරා ගත්තේය. එදා සිට එයට යාපනය, ආණ්ඩුවේ සිංහල මිශ්‍ර පාසල යන නම වැටුණි. 1939 වසරේ පෙබරවාරියේ පාසලේ පළමු ත්‍යාග ප්‍රදානෝත්සවය පැවති අතර ඒ වසරේම යාපනයට ගිය ගමනකදී පාසලට ගිය අගමැති ඩී.එස්. සේනානායක ගුරු නිවසක් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදුන්නේය. මෙසේ දිනෙන් දින දියුණු වූ පාසල 1947 වනවිට යාපනයේ සිංහල භාෂාවෙන් සාමාන්‍ය පෙළ දක්වා උගන්වන එකම පාසල බවට පත්විය. එහි සිසුන් යාපනයට දකුණින් ගිය සිවිල් සේවකයන්, යුද හමුදා හා පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ සේවකයන්ගේ දරුවන් වූහ. ඒ අතර හරි හරියට දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සිසුන්ද වූහ.

1950 වසරේදී විදුහලේ පළමු දෙමහල් ගොඩනැගිල්ල ඉදිවූ අතර ඊට මුල්ගල තැබුවේද අගමැති ඩී.එස්. ය. 1958දී යාපනය රජයේ මිශ්‍ර පාසල මහා විද්‍යාලයක් බවට පත්විය. 1970 වසර වනවිට පාසල විද්‍යා, කලා, වාණිජ යන විෂය ධාරා තුනෙන්ම උසස් පෙළ දක්වා උගන්වන යාපනය අර්ධද්වීපයේම ප්‍රමුඛතම පාසලක් බවට පත්වී තිබුණි.

1980 දශකයේ මුල් භාගය වනවිට පාසලෙහි සමස්ත ලංකා පාසල් තරග නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වූහ. එසේම යාපනය දිස්ත්‍රික්කයෙන් විශ්වවිද්‍යාලයට සිසුන් සපයන ප්‍රධාන පාසලක් බවටද පත්වී තිබුණි. 1985දී යුද්ධයෙන් විනාශ වී ගියේ එවැනි පාසලකි.

පළමුවැනි ශ්‍රේණි​යේ සිට උසස් පෙළ දක්වාම යාපනය සිංහල මහා විද්‍යාලයෙන් උගත් රොහාන් ඩැනියෙල් වසර පහක්ම එම පාසලේ ශිෂ්‍ය නායකයෙකි. 1982 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූයේද ඔහුය. පාසල යළි ගොඩනැගීමේ මූලික අරමුණින් යුතුව පිහිටුවාගත් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාද ඔහුය.

1985දී පාසල කඩා දැමූයේ එල්ටීටීඊය බව කීවත් සැබැවින්ම එය කළෝ එල්ටීටීඊය නොව එවකට උතුරු පළාතේ සිටි රස්තියාදුකාර මැරයන් බව රොහාන් ඩැනියෙල් පවසයි.

දැන් මෙම ආදි සිසුන්ට අවශ්‍ය කෙසේ හෝ තම පාසල යළි තිබුණු තත්ත්වයට ගෙන ඒමටයි. ඔවුන් උත්සාහ කරන්නේ ඒ සඳහාය.

අලුතින් පිහිටුවාගත් ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා කේ.ඒ. ධර්මසේනයි. ඔහු මේ වනවිට මාතර පදිංචි ටෙලිකොම් සේවකයෙකි. සංගමයේ භාණ්ඩාගාරික එම්. ජවුසිය, ප්‍රාදේශීය සංවිධායක ශ්‍රී රාජනය. අලුත් ආදි ශිෂ්‍ය සංගමයේ සංයුතියද බහුවාර්ගිකය. බහුආගමිකය. එය ඔවුන් හිතාමතාම වුවමනාවෙන්ම කළ දෙයකි.

‘‘2018 අපි පැරණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එකතු කරලා ආදි ශිෂ්‍ය සංගමයක් හැදුවා. එදා ඒ පළමු රැස්වීමට එකසිය පනස් හයදෙනෙක් ආවා. ඒ අය දැන් රටේ විවිධ තැන්වල හොඳ රැකියා කරන අය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂානුත් අපේ ආදි ශිෂ්‍යයෙක්. ඔහුත් අපේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක්’’ ලේකම් ධර්මසේන පවසයි.

තිලකරත්න ඩිල්ෂාන් කියන හැටියට ඔහු ‘අ’ යන්න කියා ඇත්තේ යාපනය සිංහල පාසලෙනි. ඒ ඔහුගේ පියා එකල යාපනය පොලිසියේ සේවය කළ නිසාය. ඔහු එහි තුන්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගෙන තිබේ. ඒ 1980, 81 සහ 82 වසරවලය.

එදා පාසලේ ජාතීන් හයක සිසුන් සිටියත් ඔවුන් අතර කිසිම බෙදීමක් අසමගියක් නොතිබූ බව ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ධර්මසේන පවසන්නේ අතීතය සිහිපත් කරමිනි.

‘‘අපි එදා ඔක්කොම එකා වගේ හිටියේ. බයිසිකල්වලින් අපි මුළු යාපනේම ඇවිද්දා. දෙමළ දෙමාපියන්ට එදත් තමන්ගේ ළමයින්ට සිංහල උගන්වන්න ලොකු උනන්දුවක් තිබුණා. අපේ දෙමළ, බර්ගර්, මුස්ලිම් මිත්‍රයන්ගේ දෙමාපියන් එදා අපට සැලකුවෙත් ඒ අයගෙම දරුවන්ට වගේ’’ ඔහු කියයි.

‘‘එදා මුළු යාපන අර්ධද්වීපයටම තිබුණ හොඳම විද්‍යාගාරය තිබුණේ අපේ ඉස්කෝලේ’’ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ රොහාන් ඩැනියෙල් අප සමග කියා සිටියේ තරමක ආඩම්බරයෙනි.

‘‘එදා මුළු යාපනයටම බෙදන්න ආපු රසායනික ද්‍රව්‍ය අපේ ලැබ් එකට තමයි මුලින්ම ආවේ. එතැනින් තමයි අනික් තැන්වලට බෙදාහැරියේ. ප්‍රධාන ශිෂ්‍ය නායකයා හැටියට ඒවා භාරගන්නත් බෙදැහැරීමටත් මමත් සහභාගි වුණා’’ ඔහු කියයි.

පාසලට යළි පණදීමේ එක් පියවරක් ලෙස ආරම්භ කළ පෙර පාසලේ කටයුතු සඳහා ආධාර උපකාර කරන්නේද ආදි සිසුන්ය. දැනට අපේ ආදි ශිෂ්‍යයෝ ගණනාවක්ම කැනඩාව, එංගලන්තය, ප්‍රංශය වගේ රටවල්වල හොඳ රස්සාවල් කරනවා. ඒ අයත් අපට උදව් කරනවා’’ ආදි ශිෂ්‍ය සංගමය කියයි.

යාපනය රෝහල් පාරේ තිබූ සිංහල මහා විද්‍යාල භූමියේ මේ වනවිට ඇත්තේ හමුදා කඳවුරකි. ආදි ශිෂ්‍යයන් කියන්නේ තමන්ට පාසල නැවත ගොඩනැගිය යුතු වුවත් හමුදා කඳවුර එතැනින් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි.

‘‘2018 ඉඳලා අපි ආණ්ඩුවට බලපෑම් කරනවා ආයෙත් ඉස්කෝලෙ පටන් ගන්න උදව් කරන්න කියලා. ඒත් හමුදා කඳවුර ඉවත් කරන්න අපි කියන්නෙ නැහැ. යාපනයේ ආරක්ෂාවට ඒක අවශ්‍යයි. දැන් අපේ පෙර පාසල තියෙන්නේ ඒ-9 පාරේ ආරියාලේ නෙඩුම්කුලම හන්දියේ සර්වෝදය ගොඩනැගිල්ලේ. අද වනවිට යාපනයේ ඉන්න බොහෝ දෙමළ දෙමාපියන් තමන්ගේ දරුවන්ට සිංහලෙන් උගන්වන්න කැමතියි. ඒ නිසයි ඒ අය අපේ පෙර පාසලට දරුවන් එවන්නේ. ඒ වගේම නාවක්කුලියේ නැවත පදිංචි වෙලා ඉන්න සිංහල අයගේ දරුවන්ට යන්න ඉස්කෝලෙකුත් නැහැ. ඒ නිසා තමයි මේ ඉස්කෝලෙ නැවත විවෘත කිරීමේ වැදගත්කම’’ ආදි ශිෂ්‍යයෝ කියති.

‘‘ඉස්කෝලෙට අයිති අක්කර තුනක් තියෙනවා. දැනට විදුහල්පතිවරයාගේ නිල නිවාසය තිබුණ තැන සහ නැටුම් කාමරය තිබුණ තැන ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි ඉල්ලන්නේ අපේ පෙර පාසල. අපේ මහගෙදර ඒ ඉඩ තියෙන තැනට ගෙනැත් දෙන්න කියලයි. මේ ගැන අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් කාලයෙත් ඔහුගෙන් ඉල්ලීමක් කරලා තිබුණා’’ රොහාන් ඩැනියෙල් පවසයි.

ඔවුන් මේ වනවිට යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයන් සමගද සාකච්ඡා කොට තිබේ. ඉන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ඉල්ලීමට සවන් දෙන බවද ඔවුහු පවසති. එසේම ඇතැම් දේශපාලනඥයන්ගෙන් මීට බාධක නැතිවාද නොවේ. දේශපාලනය එසේ වුවත් උතුරේ සිටින සිංහල, දෙමළ දෙපිරිසටම මීට දශක හතරකට පහකට එහා තිබූ සමගිය, සහජීවනය අවශ්‍යය.

දැනට නාවක්කුලියේ පදිංචි සිංහල පවුල් හැට ගණනක දරුවන් දැනට පාසල් යන්නේ අනුරාධපුර හෝ කුරුණෑගල වැනි නගරවලටය. මීට අමතරව යාපනයට ස්ථාන මාරු ලබා එන රජයේ සේවක දරුවන්ටද යන්නට පාසලක් තිබිය යුතුය. යාපනයේ ඊට හොඳම විකල්පය සිංහල මහා විද්‍යාලය යළි ගොඩනැගීමයි.

එදා යාපනය සිංහල මහා විද්‍යාලයේ උගත් ශිෂ්‍යයෝ අද දකුණේ පදිංචිකරුවෝය. ඔවුන්ගේ දූ දරුවන් යන්නේ දකුණේ පාසල්වලටය. ඒ නිසා ඔවුන්ට තමන්ගේ දරුවන් යාපනයේ පාසල්වලට යැවීමේ අවශ්‍යතාවක් නැත්තේය. ඒත් ඔවුන්ට අවශ්‍ය තමා උගත් පාසලේ එදා ශ්‍රී විභූතිය යළි ගොඩනැංවීමටයි. එසේම එදා යාපනයේ සිටි තමන්ට මෙන්ම අද යාපනයේ සිටින සිංහල දරුවන්ටත් සිංහලෙන් ඉගෙනීමට කැමති සෙසු ජාතික දරුවන්ටත් ඒ අවස්ථාව උදාකර දීමටය. ඔවුන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් කැප කරමින් වෙහෙසෙන්නේ ඒ අරමුණින් යුතුවය.

උපාලි තිලකරත්න



10 Viewers