රජිව් ගාන්ධි ඝාතනය කර වසර 30 යි

ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි බිහිසුණු මරණයකට ලක්වූයේ ඉන්දීය බුද්ධි සේවය වූ රෝ සංවිධානය සහ ජාතික බුද්ධි සේවයේ නොසැලකිල්ල නිසා යැයි කීවොත් ඔබ මවිතයට පත්වනු ඇත.

1990 ජුනි මස දිනෙක යාපනයේ ද්‍රවිඩ ජාතිකයෙක් ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් හමුවී අතශිය බලගතු රහසක් හෙළි කළේය. ඔවුන් (කොටි) රජිව් ගාන්ධි ඝාතනය කිරීමට සැලසුම් කරනවා යැයි ඔහු කියා සිටියේය. ප්ලොට් නායක සිද්ධාර්ථන් කලබලයට පත් වී මේ බව ඉන්දීය සාම හමුදාවේ හමුදා බුද්ධි නායක කර්නල් හරිහරන්ට දැනුම් දුන්නේය. හරිහරන් එම රහස් තොරතුර ඉන්දීය රෝ සංවිධානයට සහ ජාතික බුද්ධි සේවාවට දන්වනු ලැබීය. එහෙත් රෝ ඔත්තු සේවාව සහ ජාතික බුද්ධි සේවාව ඒ ගැන තැකිමක් කළේ නැත. ප‍්‍රභාකරන් අපේ ළමයෙක් යයි රෝ සංවිධානය කියා සිටියේය. මේ වනවිට පේදුරුතුඩුව සහ වේදරානෙම් අතර රහස් පණිවුඩ සිය ගණනක් හුවමාරු විය. එම පණිවුඩවලින් එක් රහස් පණිවුඩයක මෙලෙස සඳහන් විය. රජිව් ගාන්ධි අවරුන්දේ මණ්ඩලායි අඩිපෝවලම් යයි එම පණිවුඩයේ දැක්විණි. එහි අර්ථය රජිව් ගාන්ධිගේ හිස ඉවත් කරපන්, ඔහුව මරාදාපන් යන්නයි.

එහෙත් රෝ සංවිධානය එම පණිවුඩය ගැන තැකීමක් කළේ නැත. 1990 අපේ‍්‍රල් මස දිනක මේ රහස් පණිවුඩය විකාශනය විය. මෙහිදී රෝ සංවිධානය පැවසුවේ එම නියෝගය රජිව් ගාන්ධි මරා දැමීමට නිකුත් වූවක් නොව තවත් රටක නායකයකු ඝාතනය කිරීමට නිකුත් වූවක් බවයි. එහෙත් මෙලෙස නිකුත් වූ පණිවුඩය ප‍්‍රභාකරන්ගේ නියෝගයක් විය. රජිව් ගාන්ධි ශී‍්‍ර පෙරුම්බුදුර්හිදී මරාගෙන මැරෙන බෝම්බකාරියක් වූ ධනූට ගොදුරු වී මිය යෑමෙන් වසර ගණනකට පසු නීනා ගෝපාල් නමැති වාර්තාකාරිය රෝ සංවිධානයට වැරදුනේ මන්ද යයි හෙළි කළාය.

ප‍්‍රභාකරන්ගේ ඝාතන නියෝගය නිකුත් වීමට පෙර ඝාතන කණ්ඩායම තමිල්නාඩුවට පැමිණ සිටියහ. මේ මෙහෙයුමේ නායකයා සිවරාජන්ය. රජිව් ඝාතනය වීමත් සමගම එය ඊශ‍්‍රායල් මොසැඞ් බුද්ධි සේවාවේ මෙහෙයුමක් බවට ප‍්‍රචාරය විය. ඊට පෙර පලස්තීන නායක සයර් අර්ෆත් විසින් රජිව් ගාන්ධිට අනතුරු අඟවමින් ඔබව ඝාතන කිරීමේ සැලසුමක් ඇති බව පවසනු ලැබීය.

එහෙත්් රජිව් ගාන්ධි ඝාතනය කළේ ප‍්‍රභාකරන් බව තමිල්නාඩු විශේෂ විමර්ශන ඒකකයේ ප‍්‍රධානී බී. කාර්තික්කේසන් විසින් සොයාගනු ලැබීය. රජිව් ගාන්ධි ඝාතනයට සුබ‍්‍රමනියම්, අකිලා සහ පොට්ටු අම්මාන් සම්බන්ධව බව කාර්තිකේසන්ගේ විමර්ශනවලින් හෙළි විය. මේ අතර කිලිනොච්චියේ පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රභාකරන් විසින් රජිව් ඝාතනය හමාස් සංවිධානය සිදුකළ බවට චෝදනා කළේය. එහෙත් කොටි න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම් විසින් නෝර්වේ අමාත්‍ය එරික් සොල්හයිම් අමතා පැවසුවේ රජිව් ගාන්ධිව මැරුවේ ප‍්‍රභාකරන් බවයි.

එසේම නීනා ගෝපාල් කොටි නියෝජ්‍ය නායක මහෙන්ද්‍ර රාජා හෙවත් මහත්තයා ඇතුළු ඔහුගේ කණ්ඩායමේ 200 ක් ප‍්‍රභාකරන් විසින් ඝාතනය කළ අයුරු ද හෙළි කළාය. මේ මහෙන්ද්‍ර රාජා නමැත්තා ඉන්දීය රෝ සංවිධානයේ චර පුරුෂයකු බවට තහවුරු වීම නිසා ඔහුව ප‍්‍රභාකරන් විසින් ඝාතනය කරන ලද බවට හෙළිවිය. අවි අයුධ රැුගත් අහට් නමැති නැවේ ප‍්‍රභාකරන්ගේ ඥාතියකු වූ කිට්ටු ද සිටි අතර එම නැව ඉන්දීය නාවික හමුදාව විසින් වැනසුවේ මහෙන්ද්‍ර රාජාගේ ඔත්තුව මත නිසා බව වාර්තා විය. කිට්ටු රැුගත් නැවට ඉන්දීය නාවික හමුදාව ප‍්‍රහාර එල්ල කිරීම නිසා කෝපයට පත් ප‍්‍රභාකරන් රජිව් ගාන්ධි ඝාතනය කිරීමට තීරණය කළ බව පසුව වාර්තා විය.

රජිව් තමිල්නාඩුවේ ශී‍්‍ර පෙරුම්බුදුර්හි මැතිවරණ රැුලියක් ඇමතීමට එන බව පොට්ටු අම්මාන්ගේ ටොසී බුද්ධි සේවාවට කල්තියා වාර්තා වී තිබිණි. මර්ගාතම් චන්ද්‍රසේකර්ගේ මැතිවරණ ප‍්‍රචාරක රැුලිය ප‍්‍රභාකරන්ගේ ඉලක්කය බවට පත් විය. පොට්ටු අම්මාන් විසින් රජිව් ගාන්ධි ඝාතනය කිරීම සඳහා තෝරාගනු ලැබුවේ තමිල්නාඩුවේ සිටි වන් අයි ජැකල් හෙවත් සිවරාජන්ය. කොටි කාන්තා බුද්ධි සේවාවේ නායිකා අකිලා ද රජිව් ගාන්ධි ඝාතන සැලසුමේ ප‍්‍රධාන කි‍්‍රයාකාරිනියකි.

මේ සමයේ කොටි හිතවාදියකු වූ කාසි ආනන්දන්ද තමිල්නාඩුවේ සිටි බව හෙළි විය. ඔහු පැවසුවේ කොටි සංවිධානය සහ රජිව් ගාන්ධි අතර සාකච්ඡුා පැවැත්වෙන බවයි. මේ අතර රජිව් ගාන්ධි කොටි නායක ප‍්‍රභාකරන් වෙත දැඩි විශ්වාසයක් තැබූ අතර සිය වෙඩි නොවදින කබායද ප‍්‍රභාකරන්ට තෑගි කළේය.

රජිව්ට ප‍්‍රභාකරන් ඝාතකයෙක් යන්න අමතක විය. රෝ සංවිධානය ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොට් සංවිධානය ඊලාම් ළමුන් යයි හඳුන්වනු ලැබූ නිසා ඔහුගෙන් තර්ජනයක් එල්ලවනු ඇතැයි රජීව් සිතුවේ නැත.නමුත් 1991 මැයි 21 දා රජිව් ගාන්ධි ඝාතනය විය. එම ඝාතනය සිදුවී පසුගිය මැයි 21 දාට වසර 30 කි. එහෙත් මේ ඝාතනයේ සැඟවුණු රහස් රැුසකි. රජිව් ගාන්ධි ඝාතනයෙන් ප‍්‍රභාකරන් බේරාගැනීමට විවිධ පාර්ශ්වද උත්සාහ කරනු ලැබීය. මේ අතර තමිල්නාඩු විශේෂ විමර්ශන ඒකකයේ ප‍්‍රධානියා වූ බී. කාර්තිකේසන් ඝාතනයේ සියලූ සුලමුල සොයගනු ලැබීය. එහෙත් ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ පොට්ටු අම්මාන් අල්ලා ගැනීම සඳහා ඉන්දියාව කිිසදු මෙහෙයුමක් දියත් කිරිමට කි‍්‍රයා කළේ නැත. මෙම පසුබිම මැද රජිව් ඝාතනයේ 30 වැනි සමරුව යෙදී තිබියදී තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කරමින් රජිව් ඝාතනයේ වරදකරුවන් වූ සත්දෙනා නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය.

එසේම ස්ටාලින් කොටි හිතවාදියකු බව තහවුරු වූයේ ඇමසන් ප‍්‍රයිම් වීඩියෝ සමාගම විකාශනය කිරීමට නියමිත පැමිලි මෑන් නමැති වීඩියෝ පට මාලාව ද තහනම් කරන ලෙස ඉල්ලා සිටීමයි. මේ පිළිබඳව ස්ටාලින් පැවසුවේ ද්‍රවිඩයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයට එම චිත‍්‍රපටයෙන් අවමානයක් සිදුවන බවයි. ඔහු කොටි සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස හඳුන්වා නැත. ජුනි 4 දා රූපවාහිනි තිරයෙන් විකාශනය වන පැමිලි මෑන් තහනම් කරන්නේ ද නැද්ද යන්න ගැන ඉන්දීය රජය මෙතෙක් ප‍්‍රකාශයක් කර නොමැත. එමෙන්ම ඉන්දීය රජය තවදුරටත් කොටි සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබේ.

මෙලෙස රජිව් ගාන්ධි ඝාතනයට වසර 30 ක් සපිරෙන අවස්ථාවේ අතීතය පිළිබඳව විමර්ශනය කළ යුතුයි. කොටි ඇතුළු ඊළම් සංවිධාන පුහුණු කිරීම, අවි ආයුධ සැපයීම ඇතුළු පහසුකම් සපයනු ලැබුවේ රෝ ඔත්තු සේවාව බව පැහැදිලිය. කොටි පුහුණු කඳවුරු 17 ක් තමිල්නාඩුව සහ අවට ප‍්‍රදේශවල තිබූ බව රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු හෙළි විය. අවසානයේදී රෝ සංවිධානය නිසාම ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිට දිවි අහිමි විය. රජිව් ගාන්ධි ඝාතනය ගැන කිලිනොච්චියේ පැවැති සාකච්ඡුාවකදී ප‍්‍රභාකරන් මෙලෙස පවසනු ලැබීය. ඔවුන් හමාස් සංවිධානය ලවා ඝාතනය සිදුකරන්නට ඇති.

එනමුත් ඔවුන් කවුදැයි ප‍්‍රභාකරන් පැවසුවේ නැත. මෙයට වසර ගණනකට පෙර ප‍්‍රභාකරන් කොටු කරගැනීම සඳහා ශී‍්‍ර ලංකාව දියත් කළ වඩමාරච්චි මෙහෙයුම ඉන්දියාව විසින් නතර කරනු ලැබීය.

ඉන්දීය හෙලිකොප්ටරයක් මගින් ප‍්‍රභාකරන්ව නවදිල්ලියට ගෙනගොස් රහස් සාකච්ඡුා පවා පවත්වනු ලැබීය. එහෙත් ප‍්‍රභාකරන් තමන්ට ද්‍රෝහි වනු ඇතැයි ඉන්දියාව සිතුවේ නැත. මෙවන් පසුබිමක් මැද රජිව් ගාන්ධි ඝාතනයට වසර 30 ක් ගත වුවත් ඉන්දියාවේ කිසිදු සැමරීමක් සිදුවී නැත. මෙවන් තත්ත්වයක් තුළ තමිල්නාඩුවේ කොටි බෙදුම්වාදයේ ආධාරකරුවෝ තවදුරටත් කි‍්‍රයාත්මකව සිටිති. රාම්දොස්, වයිකෝ, පොන් තිරුමාවලන්, තිරුමුරුගන් ගාන්ධි වැන්නවුන් පසුගිය කාලය තුළ සඳහන් කළේ රජිව් ගාන්ධි ඝාතනය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බවයි. එම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය කුමක්දැයි ඔවුන් හෙළි කර නැත.

එහෙත් ප‍්‍රභාකරන් විසින් ටෙලෝ නායක ශී‍්‍ර සභාරත්නම්, ප්ලොට් නායක උමා මහේෂ්වරන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම් ඇතුළු ද්‍රවිඩ දේශපාලන නායකයන් විශාල පිරිසක් ඝාතනය කළ බවට බොහෝ දෙනකුට අමතක වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය



16 Viewers