රණවිරුවෝ

මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න පසුගිය වසරේ විශ්‍රාම ගත්තේ නැගෙනහිර ආඥාපති, එහෙම නැත්නම්, S.F. commander විදියට..
තිස් අවුරුදු යුද්ධයේ දීර්ඝ කාලයක් යුද බිමේ පෙරමුණේ සිටි චරිතයක් ඔහු..
පසුකාලීනව ඔහු පනස් පස් වැනි සේනාංකාධිපතිවරයා විදියටත් හිටියා..

ඔහු ඊයේ මට දුරකථනයෙන් කතාකර කියපු කතාවක් ඔබටත් කියන්න හිතුනා..

” ලාල් අපි, අපේ හමුදාව සටන් කළේ ත්‍රස්තවාදින් එක්ක මිසක් දෙමළ මිනිස්සු එක්ක නෙවෙයි..

අපේ සෙබළු , අපි , අපේ ඇඟේ ලේ දීලා බේරගත්ත ද්‍රවිඩ වැසියෝ කොච්චර ඉන්නවද..

අපි යුද්ධය වෙලාවෙත් යුද්දෙන් පස්සෙත් ඒ මිනිස්සු වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම දෙන්න නිතරම කරන්න උත්සාහ කරා..

ඒක ඒ මිනිස්සුන්ගෙත් හිත්වල තියෙනවා…

එහෙම හමුදාවක් ගැන සමහරු කියන කතා ඇහුවාම මට පුදුම කලකිරීමක් ඇතිවෙනවා..
මේ වගේ මිනිස්සු වෙනුවෙන්ද අපි සටන් කරේ කියලා..

මේ ඊයේ පෙරේදා වෙච්ච කතාවක් මං ඔයාට කියන්නම්..”

කියා පැවසූ ඔහු කෙටි හඬ පට කීපයක් එව්වේය….

එහි පසුබිම මෙසේය…
යුද්ධය අවසන් වී වසර දහයකට පමණ පසු මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න යාපනය ප්‍රදේශයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික තනතුර දරමින් සේවය කළේය..

විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් සිරගතව සිටි එල්ටීටීඊ ප්‍රබල සාමජිකයන් කීපදෙනෙක් නිදහස ලබා නැවත යාපනයට පැමිණෙන බවට ඔවුන්ට තොරතුරු ලැබී තිබිණි..

ඔවුන් හොඳින් සමාජගත කිරීමේ අරමුණ ඇතිව ,
ඒ සඳහා සහාය ගත හැකි යාපනය ප්‍රදේශයේ ද්‍රවිඩ මහත්මයෙක් ඒ පිළිබඳව මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න සමඟ සාකච්ඡා කර ඇත..

ඒ අනුව ඔවුන් නිදහස්ව පැමිණි පසු ඔවුන් පිළිගෙන සුහදතාවය ඇති කරගෙන ඔවුන්ට ජීවිතයේ ඉදිරියට යාමට යම් වැඩපිළිවෙලක් සඳහා කටයුතු කිරීමට තීරණය කෙරිනි…

එවකට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේද සහභාගිත්වයෙන් එම හමුව යාපනයේදී පැවැත්විණ..

යුද හමුදාපතිවරයාද එම නිදහස් වූ එල්ටීටීඊ සාමජිකයන්ට පවසා තිබුණේ
“ඔබට අපේ පැත්තෙන් යම් කළ යුතු දෙයක් තිබේ නම් ඒ දේ කරන්නට , ඒ උදව් කරන්නට අප සූදානම්” කියාය..

එදා සමු ගැනීමට පෙර එම සියලු හිටපු එල්ටීටීඊ සාමාජිකයන් මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ දුරකථන අංකය ඉල්ලා ගත් අතර විවිධ අවස්ථාවලදී ඔවුන්ගේ අවශ්‍යතා සඳහා හමුදාව විසින් උදව් කරනු ලැබිණ..

එහි සිටි එක් ප්‍රබල සාමාජිකයෙක්,… අපි ඔහුට සීලන් යැයි කියමු..

සැබෑ නම එය නොවේ..

ඔහු ඒ දින වලම මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නට දුරකථන ඇමතමන් දී පවසා ඇත්තේ,
” සර් මගේ ගෙවල් දොරවල් ඔක්කොම විනාශ වෙලා, සර්ට පුළුවන්නම් කවුරුහරි හිතවත් අයට කියලා මට ගේ හදාගන්න පොඩ්ඩක් උදව් කරන්න” යන ඉල්ලීම කර ඇත…

ජෙනරාල් ගුණරත්න, ඔහුගේ හිතවතුන් ගේ සහාය ඇතුව ඔහුට නිවසක් ඉදිකර දී තිබේ..

අනතුරුව මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න , නැගෙනහිර ආඥාපති ලෙස පත්වීමක් ලැබ නැගෙනහිර පළාතට ස්ථාන මාරුවක් ලැබ පැමිණියේය..

දැනට ටික දිනකට පමණ පෙර ,
පෙර කී හිටපු එල්ටීටීඊ සාමාජිකයා මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්නට වොයිස් මැසේජ් එකක් එවා තිබිණි..

” සර් කොහොමද ..?
මම හොඳින් ඉන්නවා සර්ට කොහොමද..? මම සර්ලට ආරාධනයක් කරන්න කතා කරේ..
සර් මම බඳිනවා..
මට උදව් කරපු සර්ලා ඔක්කොටම කියන්න.. ශවේන්ද්‍ර සර්ටත් කියන්න…

සර්ල කරපු උදව් මට කවදාවත් අමතක වෙන්නේ නෑ..”

ඉන් අනතුරුව ජෙනරල් ගුණරත්න ද ඔහුට සුබ පතා වොයිස් මැසේජ් එකක් යවා තිබිණි…

ඉන් දින දෙකකට පසු නැවත සීලන්ගෙන් ජෙනරාල් ගුණරත්නට වොයිස් මැසේජ් එකක් ලැබිණි…

එහි තිබුණේ

” සර් මට පොඩි ප්‍රශ්නයක්…
සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි.
සර්ට පුළුවන්නම් පුළුවන් වෙච්ච ගමන් මට කතා කරන්න..”

ඊළඟ මැසේජ් එකේ තිබුණේ මෙසේය..

” සර් මම එන්ගේජ්මන්ට් එකට ලේස්ති වෙනකොට කට්ටියක් ගෑනු ළමයට කියලා තියෙනවා
මෙයා හිරේ හිටපු කෙනෙක්..
මෙයා බැන්දොත් ඔයාට ඉස්සරහට තව ප්‍රශ්න වෙන්න පුළුවන් කියලා..
දැන් එයා පස්ස අදිනවා…
සර්ට පුළුවන් නම් සර් මේගොල්ලන්ට තත්ත්වය තේරුම් කරලා දෙන්න මොනවා හරි කරන්න..
නැත්නම් මට එයාව බඳින්න වෙන්නේ නෑ…”

ඔහු දුක්මුසු හඬින් පැවසීය..

මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ,
සීලන් ජීවත්වන ප්‍රදේශයේ හමුදා කඳවුරක ඉහළ නිලධාරීන්ට කතාකර,
එහි සිටින ද්‍රවිඩ හමුදා සෙබළියන් සමග නිලධාරියකුට ගොස්,
එම තරුණියගේ නිවසේ අයට සහ තරුණියට තත්ත්වය පැහැදිලි කර දෙන ලෙසත් ,
දැන් සීලන් යනු සාමාන්‍ය පුරවැසියෙකු,
තරුණයෙකු,
මිස කිසිදු වරදකරුවකු නොවන බවත්,
ඔහු සමග විවාහ වීම එම තරුණියට කිසිදු ගැටලුවක් නොවන බවත් පැහැදිලි කරන ලෙස පවසා ඇත..

එම නිලධාරි එම කටයුත්ත අකුරටම ඉටු කර ඇති බව පෙනේ..

ඉන් අනතුරුව ඊයේ ඔහු තවත් වොයිස් මැසේජ් එකක් එවා තිබිණි..

අනේ සර් බොහොම ස්තූතියි..
ඒ සර්ලා ඇවිල්ලා ඒගොල්ලන්ට කරුණු කාරණා කියා දීලා ඒ ප්‍රශ්නය විසඳුනා.. engagement එක කරා..

ඔන්න සර්ට මම wedding එක දැම්මම කියනවා…

………..මාසේ…….. වැනිදා…………. කෝවිලේ ලොකුවට කරනවා..
සර්ල අනිවාර්යයෙන්ම මෙන්ම.. ඔන්න දැම්මම කිව්වා.. අර ප්‍රෝග්‍රෑම්…. මේ program කියලයි එන්නේ නැතිව ඉන්න එපා..”

( අනාරාධිතව හෝ එම විවාහ උත්සවයට සහභාගී වන්නට මටත් ඇත්නම් කියා මට සිතිනි)

Engagement එකේ ෆොටෝ ද ඔහු ඒවා තිබිණි.. ඔවුන්ගේ සතුටින් පිරිමුහුණු දකින්නට ලැබිණි..

සීලන් හෘදයාංගම කරන ඉල්ලීම හමුදා නිලධාරීන්ගේ කැපවීම පිළිබඳව අපේ සිතට, අපේ නෙතට ගෙන දෙන්නේ සතුට කඳුලකි…

ඔහුගේ ජීවිතයේ තීරණාත්මක ප්‍රශ්නයකට ඔහු සහාය ඉල්ලන්නේ,
එදා පස මිතුරුව සටන් වැදුණු සිංහල හමුදා නිලධාරියෙක් ගෙනි..

ඔහු විශ්වාසය තබන්නේ ඔහු ගැනය..
ඔහුව වටා සිටින ඔහුගේ සමාජයේ මිතුරන්ට වඩා තමාගේ ජීවිතයේ තීරණාත්මක මොහොතක යහපතක් කර ගැනීම සඳහා ඔහු, එම නිලධාරියා ගැන හෘදයාංගවම විශ්වාස තබයි…

එම තරුණයාගේ හඬ මට ඇසුණු නිසා, ඔහුගේ හදවත තුළ ඇති අදහස් පිළිබඳ,
එහි ඇති අව්‍යාජ ස්වභාවය පිළිබඳව,
යම් හැඟීමක් ලබාගැනීමට මටද හැකි වුණා යැයි සිතෙනවා…

මේ පුංචි කතාවක් උනත් ඒ ඇතුලේ ගැබ්ව තිබෙන්නේ මහා විශාල කතාවක්..

මෙවන් හමුදාවක් මිනීමරුවන් කිරීම යුධ අපරාධකරුවන් කිරීම තරම් තවත් අපරාධයක් තිබේද…?



10 Viewers