රතු ලේ සහ කළු ලේ

ජාතියකට අද වැනි දවසක් උදා වන්නේ කලාතුරකිනි. හැම රටකටම යුද්ධ නැත. යුද්ධ තිබුණත් ඒවා දිනා ගැනීමට හැම රටකටම නොහැක. ඊශ‍්‍රායලය සහ පලස්තීනය ප‍්‍රදේශය පුරා මළ මිනී වපුරාලමින් මේ දිනවල භයානක සංග‍්‍රාමයක පැටලී සිටිති. අවුරුදු තිහ හතළිහක් පරණ මේ යුද්ධය කවදාවත් කිසි කෙනෙක් දිනන යුද්ධයක් නොවේ. මෙයට අවුරුදු දොළහකට පෙර අද වැනි දවසක එනම් 2009 මැයි 19 දා දින අපි අපේ රට දැය සමය මුදා ගැනීමේ යුද්ධයෙන් ජය ගතිමු. අපි අද ජයගත් යුද්ධයක කීර්තිමත් හිමිකරුවන් බවට පත්ව සිටින්නෙමු. ඒ කීර්තිය තනිකරම රතු පැහැ ගැන්වුණු යෝධ ධජයකි. ඒ රත් පැහැයේ නිර්මිතය සොල්දාදුවන්ගේ රුධිරයයි. කොටි සංවිධානයේ රුධිරය සහ අපේ රණවිරුවන්ගේ රුධිරය අතර විශාල වෙනස්කමක් තිබේ. කොටි රුධිරය යනු ජාතිවාදී තනි මිනිහකු රජකරවීම සඳහා බලෙන් ඇද ගන්නා ලද රුධිරයයි. අපේ රණ විරුවන්ගේ රුධිරය යනු රට දැය සමයේත් භෞමික අඛණ්ඩතාවයේත් ස්වෛරී භාවයේත් නාමයෙන් හෙළන ලද පරිත්‍යාගශීලී රුධිරයයි. මේ අනුව අවසන් විග‍්‍රහයේදී සැබෑ රතු පැහැයෙන් යුතු රුධිරය වනුයේ ත‍්‍රස්තවාදියාගේ රුධිරය නොවේ. ත‍්‍රස්ත රුධිරය කළු පැහැතිය.

මෙයට අවුරුදු දොළහකට පෙර අද වැනි දවසක නන්දිකඩාල් කලපුවෙන් ප‍්‍රභාකරන්ගේ මළකුණ සොයාගත් මොහොත ශ‍්‍රී ලංකා ඉතිහාසයේ අමරණීය මොහොතකි. මේ වෙලාවේදී ප‍්‍රභාකරන් මියගොස් සිටි බව පිළිගැනීමට ජාත්‍යන්තර බලවේග පවා කැමති වුණේ නැත. එහෙත් ඊශ‍්‍රායලය, පාකිස්තානය යන දෙරට බුද්ධි අංශ සාමාජිකයන්ගේ තක්සේරුව අනුව ප‍්‍රභාකරන් ස්ථිරවම ජීවතුන් අතර සිටියේ නැත. ජාත්‍යන්තර ලෝකය කෙතරම් මුරණ්ඩු ද යත් කිසිවකුගේ මළ මිනියක් දුටු විට ඒ මළ මිනියක් බව පිළිගන්නට නම් ඔවුන්ගේ නිර්ණායක වලට අනුව එම මිනිහා මියගොස් තිබිය යුතුය. එනම් ප‍්‍රභාකරන්ගේ මළකුණ ඇස් පනාපිට පෙනි පෙනී තිබියදීත් සමහර රටවල් ප‍්‍රකාශ කළේ එසේ මිය යන්නට ප‍්‍රභාකරන් ඒ මොහොතේ එතැන නොසිටි බවය. මෙය සනාථ කිරීම සඳහා කොටි සංවිධානයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ප‍්‍රධානියා වූ එස්. පද්මනාදන් සම්බන්ධ කරගත් එම රටවල් කොටි සංවිධානයේ ආදරණීය නායකයා ඉතා සුරක්ෂිත ලෙස ජීවතුන් අතර සිටින බව කියවීය. මෙය ලෝක යුද්ධය පරාජයට පත්වීමෙන් පසු හිට්ලර් දිගටම ජීවත්ව සිටියේ යැයි කියූ ආකාරයේ ගොන් කතාවකි.

යුද්ධමය කාර්යයකට සම්බන්ධ වී සිටින මානව විරෝධී භීෂණකාරී සංවිධානයක් විනාශ කරන ක‍්‍රම දෙකක් තිබේ. එක්කෝ එහි නායකයා විනාශ කළ යුතුය. නැත්නම් එහි කේඩරය විනාශ කළ යුතුය. කේඩරයට නායකයා නැතුවද නායකයාට කේඩරය නැතිවද පැවතිය නොහැක. 2009 මැයි 19 දා වනවිට ශ‍්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදාව විසින් කොටි සංවිධානයත් එහි නායකයාත් යන දෙකම බිමට සමතලා කර තිබුණාක් පමණක් නොව ප‍්‍රභාකරන් නිල් පාට කොටු සහිත අමුඩයකට ද බස්සවා තිබුණි. යුද්ධය අවසන් වී දොළොස් අවුරුද්දක් සම්පූර්ණ වන අද වැනි දිනක පවා ඇතැම් මානව විරෝධීන් ජීවත් වන්නේ ප‍්‍රභාකරන් ජීවතුන් අතර සිටිනවා යන ආස්ථානයේ සිටය. ඔවුන්ට තවමත් යාපනයේ පොලිස්පති නඬේසන්ය. පොට්ටුඅම්මන්, සුසෙයි, ස්වර්ණම් වැනි කෲර මිනිසුන් පිළිබඳ උල් කටු සහිත මතකය අපේ සිත් පාරද්දී ඔවුන්ගේ සිත්වලට පවන් සලන්නේය. අපගේ වැටහීමට අනුව ප‍්‍රභාකරන්ගේ මරණය සහ කොටි සංවිධානයේ පරාජය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ ඇතැමුන් තුළ වැඩි ප‍්‍රසාදයක් තිබුණේ නැත. ඒ නිසා ඔවුන් විසින් බලයට පත් වහාම කරන ලද්දේ මැයි 19 දා විජයග‍්‍රහණයේ සැමරුම අවලංගු කිරීමය. ඒ වෙනුවට මියගිය කොටි ත‍්‍රස්තවාදීන් සිහිකිරීම සඳහා මහා විරු සමරුව නමැති තුට්ටු දෙකේ ත‍්‍රස්තවාදී සැමරුම් සඳහා සියලූ අනුග‍්‍රහය සපයන ලදී. යුද ජයග‍්‍රහණයට සම්බන්ධ වූ සියලූ රණවිරුවන් හිරේ දැමීමට හෝ එල්ලූම් ගස් යැවීමට ඇතැම් යහ පාලකයෝ ගිවිසුම් ගසාගෙන සිටියහ. එම ගිවිසුම් ගසන ලද්දේ 2015 දී රාජපක්ෂ ආණ්ඩුව පෙරළන විට පිටරට වලින් ලැබුණු මුදල් ආධාර වලට ගාස්තු වශයෙනි. යහපාලන ආණ්ඩුව මේ වතාවේ නොපැරදුනේ නම් ගෝඨාභය රාජපක්ෂ අද හිර ගෙදරය. මහින්ද රාජපක්ෂ නිවාස අඩස්සියේ ය. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න අඩි හයක් වළ පල්ලේය. එතරම් භයානක මර්දනයක් යෙදීම සියලූ දෙනාගේ අරමුණ විය.

මහින්ද, ගෝඨාභය, සරත් ෆොන්සේකා නොසිටින්නට යුද ජයග‍්‍රහණයක් නැත. නූතන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු රණවිරුවන් නොසිටින්නට යුද්ධයක් නැත. යුද ජයග‍්‍රහණයේ ප‍්‍රමුඛ ස්ථම්භයක් වූ මේජර් ජනරාල් කමල් ගුණරත්නට හමුදාපතිකම දීම ස්ථිර වශයෙන්ම කළ යුතුව තිබුණද එසේ නොකර ඔහු නිකන්ම ගෙදර යවන ලදී. එමතුද නොව ඔහු ඇතුළු රණකාමීන් රැසකට පිට රටකට යෑමට නොහැකි වන පරිදි නෛතික සම්බාධක ද පනවන ලදී. මේ තමයි මේ රටේ විදිය. මේ විදිය වෙනස් නොවන තාක් කල් මේ රට ගොඩගැනීමට නොහැක.



73 Viewers