රනිල් මෛත්‍රිපාල හවුල් අවුල්

රනිල් මෛත්‍රිපාල දේශපාලන හවුල ද කඩා වැටී ඇත. මෙය අනිත්‍ය සඳහා තවත් උදාහරණයක් නො වේ. අනිත්‍ය යනු මෙවැනි වෙනස්වීම් හෝ කඩා වැටීම් හෝ නො වේ. දැන් මෛත්‍රිපාලට මහින්ද සමග එකතු වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. එකතු නොවීම යනු දේශපාලන වශයෙන් මීය යෑම ය. මෛත්‍රිපාලට පමණක් නොව සමස්ත මෛත්‍රිපාල කණ්ඩායමටත් ජාතික හෙළ උරුමයටත් ඒ වලංගු වෙයි.

ජාතික හෙළ උරුමය දැනටමත් මහින්ද සමග එකතු වීමට සූදානම් වෙයි. මෛත්‍රිපාලගෙන් පසු ජනාධිපති වීමේ තම අධි බලාපොරොත්තු සුන් වූ පසු චම්පකට අද මහින්ද සරණං ගච්ඡාමි කීමට සිදු වී ඇත. මහින්ද දේශපාලනයෙන් අතුගා දැමීමට කතා කළ චම්පක අද මහින්දගේ අගුණ ගැන මෙන් ම ගුණ ගැන ද කතා කරයි. මෙවැනි අවස්ථාවාදීන්ට තැනක් නොදිය යුතු යැයි අප කීව ද ඒ එසේ සිදු නොවන බව අපේ අත්දැකීම ය.

රනිල් මෛත්‍රිපාල බලයට පත්කිරීම පිටුපස බටහිර මෙන් ම ඉන්දීය ඔත්තු සේවා ද විය. ඔවුන් සියළු කරුණුවල දී එකඟ වී යැයි මෙයින් නො කියැවෙයි. ඒ කෙසේ වෙතත් හවුල රනිල් මෛත්‍රිපාල හවුලකට වඩා රනිල් චම්පක හවුලක් විය. චම්පක රතන හාමුදුරුවන්, අශෝක අභයගුණවර්ධන ආදී ජාතික හෙළ උරුම නායකයෝ හා ප්රාජිත මෛත්‍රිපාල පිටුපස සිටියහ. එම් කේ ඩී එස් ගුණවර්ධන වැන්නෝ පෙරහැරේ ගිය අය පමණක් වූහ. එහෙත් ඒ සියල්ලන්ට ම පොදු සාධකය වූයේ මහින්ද විරෝධය ය. ඒ දේශපාලන විරුද්ධතාවකට වඩා පෞද්ගලික විරුදාධතාවක් විය.

චම්පක 2020 දී ජනාධිපති වීම සඳහා පළමුව රනිල් ද දෙවනුව මෛත්‍රිපාල යොදා ගැනීමට බලාපොරොත්තු විය. ඒ වෙනුවෙන් මෛත්‍රිපාල එක් වතාවකට පමණක් ජනාධිපති වීමට එකඟ විය. එහෙත් රනිල්ට වෙනත් බලාපොරොත්තු විය. ඔහුට අවශ්‍ය වූයේ විධායක අගමැති වීමට ය. සම්ම ජාතියේ තමාට ජනාධිපතිවරණයකින් දිනා විධායක ජනාධිපති වීමට නො හැකි බව ඔහු දනියි. ඔහුට හැකියාවක් ඇත්නම් ඒ පාර්ලිමේන්තුව හරහා අගමැති වීමට ය. ජනාධිපති සතු විධායක බලතල අගමැතිට පැවරීමට බටහිරයෝ හා ඉන්දීයයෝ මෛත්‍රිපාල එකඟ කරවා ගත්හ.

අද මෛත්‍රිපාල යම් ආකාරයකට ඒ සම්බන්ධයෙන් කතා කරයි. ඔහු ඊයේ පෙරේදා අසා තිබුණේ රනිල්ට ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබිණි නම් තමා පොදු අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කරන්නේ ද යන්න ය. රනිල්ගේ අදහස් පිට කරමින් හකීම් පාර්ලිමේන්තුවේ දී කියා තිබුණේ මහින්ද රාජපක්‍ෂ ඉවත් කිරීමට ගොස් තමන් අවුලකට පත් වී ඇති බව ය. රනිල්ට අවශ්‍ය ව තිබුණේ අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වා බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක් සහිත ව ආණ්ඩුවක් පිහිටුවීමට ය. සුළුතර ආණ්ඩුවක් දිගට ම පවත්වාගෙන යෑමට නොහැකි බව ඔහු දැන සිටින්නට ඇත. ඒ සඳහා මෛත්‍රිපාල කණ්ඩායමේ සහාය අවශ්‍ය විය.

එහෙත් චම්පකට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුව ලබන වසර තෙක් පවත්වාගෙන ගොස් තමා මෛත්‍රිපාල කණ්ඩායමේ තහවුරු වී ඉන් පසු මැතිවරණයකට යෑමට ය. චම්පක සිතා සිටියේ කාලයත් සමග මහින්ද තව තවත් දුර්වල වේ ය යන්න ය. තවදුරටත් ජතික හෙළ උරුමයෙන් මැතිවරණවලට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් ඔහුට නො වී ය. ඔහුට අවශ්‍ය වූයේ මෛත්‍රිපාල මගින් ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය අතට ගැනීමට ය. ජ වි පෙරමුණ වැනි කුඩා පක්‍ෂ නැති කිරීමේ අවශ්‍යතාව ද ඔහුට විය. විස්ස සම්මත කරගෙන ඒ සියල්ල ඉටුකර ගැනීම ඔහුගේ බලාපොරොත්තුව විය. එහෙත් රනිල් ආණ්ඩ පිහිටුවීම සඳහා සුලු ජාතික පක්‍ෂවල මෙන් ම ජ වි පෙරමුණේ ද ආධාරය පතයි. ඔහු විස්සට විරුද්ධ වෙයි.

රනිල් හා චම්පක අතර අවුල මුල සිට ම අප්‍රසිද්ධියේ පැවතිණි. එය කරළියට ගෙනැවිත් ඇත්තේ මහින්ද ය. බලපොරොත්තු නොවූ අයුරෙන් මහින්ද වටා ජනතාව ඒකරාශි වූහ. මෛත්‍රිපාල කණ්ඩායම පමණක් නොව රනිල් ද දුර්වල විය. සුලු ජාතික ඡන්ද නොමැතිව වුව ද මහින්දට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි ය. එහෙත් එය එසේ නොවේ යැයි මෛත්‍රිපාල ලවා කියවීමට බටහිරයන් හා ඉන්දීයයන් සමත් වී ඇත.

අද මෛත්‍රිපාල බලන්නේ මහින්ද සමග එකතු වීමට ය. චම්පකටත් ඒ අවශ්‍ය ය. කිනම් බලපෑම් මධ්‍යයේ වුව ද මහින්ද සමග එකතු නොවී සිටියහොත් මෛත්‍රිපාල, චම්පක , ප්රාජිත දේශපාලන වශයෙන් විනාශ වනු ඇත. අද සය පුද්ගල කමිටුවට වැදගත්කමක් ලැබී ඇත. මහින්ද මෛත්‍රිපාල, ප්රාජිත මහින්ද, ප්රාජිත බැසිල්, මහින්ද බැසිල් හමුවීම් සිදුවන්නේ මෙවැනි පසුබිමක ය. ජාතික බලවේගවල කර්තව්‍ය වනුයේ කිනම් හමුවීම් මධ්‍යයේ වුව ද සිංහල බෞද්ධ සංස්කෘතියට, ඉතිහාසයට මෙරට හිමිවිය යුතු තැන ලබාගැනීමට කටයුතු කිරීම ය. සිංහලයන්ගේ ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගත හැකි නම් සුලු ජාතික පක්‍ෂවල සහායක් නැතිව වුව ද බලයට පත්වදය හැකි ය. ඒ තුනෙන් දෙක ලබා ගැනීම සඳහා සුදුසු සටන් පාඨයක් නිර්මාණය කරගත යුතු ය. පනස් හයේ දී ඒ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම විය.

නලින් ද සිල්වා



1396 Viewers