• Home »
  • Home »
  • රැජිණගෙන් හොරාගත් කඩුවෙන් හමුදාවට කෙටීම !

රැජිණගෙන් හොරාගත් කඩුවෙන් හමුදාවට කෙටීම !

කාටද ආඩම්බර මට දැන් සිංහල මතක බැරි වෙලා කියන‍කොට.

කාලෙකට ඉස්සෙල්ලා ලන්ඩන් නුවර තිබුණු සිංහල සංගීත සන්දර්ශනයකදී ලංකාවෙ එකම බාලිකා පාසලකට ිය දෙන්නෙක් හම්බ වෙලා. එක්‍කෙනෙක් අඳු‍රගෙන අනිකාගෙන් ‘මාව මතකද ?’ කියලා ඇහුවා. එත‍කොට අනිකා කියාපි ‘අනේ සුජා, ඔයාව දැන් දැක්‍කෙ මන් නෙ’ කියලා. සුජා තුෂ්ණීම්භූත වෙලා ඇහුවලු ‘මට ඔයා කියපු එක තේරුනේ නැහැ. මොකද්ද අනේ ඔයා කිව්වෙ’ කියලා. යාළුවා කිව්වලු, ‘බලන්න සුජා, හරි වැඩේ. මට දැන් සිංහල මතක බැරි වේගෙන යනවා’ කියලා. සුජාත් අරින්නෙ නැතිව ඇහුවලු, ‘එහෙනම් ඔයා ලන්ඩන් ඇවිල්ලා හුඟක් කල් වෙන්න ඇති නේද ?’ කියලා. යාළුවා කියාපි ‘ඔව් අනේ දැන් අවුරුද්දකුත් වෙන්න ආවනෙ’ කියලා.

ඉහතින් සඳහන් වනුයේ කලකට පෙර සිදුවීමක් වුවත් එය යළි මතකයට එළැඹුනේ ඊයේ පෙරේදා ලන්ඩනයේ සිට කොළඹ බලා පළාගිය පිරිස අතර දෙතුන් දෙනෙක් දැමූයේ යැයි කියන සෝබනය නිසාය. සෝබනය නම් ඔවුන්ට සිංහලෙන් කතා කළ හමුදා නිළධාරියාට අපහාස කොට, ඔහු සිංහලෙන් දුන් උපදෙස් නොතේරෙන හෙයින් ඉංගිරිසියෙන් පවසන ලෙස ගෝරනාඩු කිරීමය. එය පිළිබඳව නෙයෙකුත් සමජ ජාලාවන්හි පැතිර යන කරුණු සත්‍ය නම් එය ජුගුප්සාජනකය, හිරිකිතය, අප්පිරියය.

ඉගෙනීමට, රැකියාවට, සංචාරයට හෝ වෙනත් කරුණකට එංගලන්තයට පැමිණි අය මෙන්ම මෙහි දිනෙන් දින වැඩිවෙමින් තිබූ ‍කොරෝනා මරණයට බිය වී තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි ජනාධිපතිතුමාගේ ඡායාරූපයට වඳිමින්, ලිපි යවමින්, දහ අතේ පින්සෙන්ඩු වෙමින් ලෙඩුන් අතහැර, එංගලන්තයේ වෙද පුහුණුවත් අතහැර දැමූ ලාංකීය දොස්තරවරුන්ද නිළයක් බලයක් ඇති තම පියාගේ, ඥාතියා‍ගේ පිහිටෙන් ශ්‍රී ලංකා භූමියට නැවත පා තැබීමට වාසනාව ලත් සමහර ගොබ්බ වූවන්ද සිතාගත යුතු එක දෙයක් තිබේ.

ඒ, තම මවත් උපන් භූමියත් ස්වර්ගයට වඩා උතුම් බවය. වෙන රටක සිට මරණයෙන් බේරී යාමට තමන්ට රටක් තිබේය යන්නම මොන තරම් අගනේද ? ඔවුන් කළ යුතුව තිබුනේ ගුවන් යානයෙන් පිටතට ආ ගමන් දණින් වැටී ශ්‍රී ලංකා භූමිය සිප ගැනීමය. එහෙත් තාත්තාගේ බලයෙන් රට සවාරි ගසමින් සිටි නස්කූනි දරුවන් දෙතුන් දෙනෙකුගේ තුට්ටු දෙ‍කේ සෝබන ක්‍රියාවකින් එම ගුවන් යානයේම පැමිණි සංවර දරුවන්ටද එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවටද අපහාසයක්, අපකීර්තියක්, සිත්තැවුලක් සිදු වී තිබේ.

ලන්ඩනයෙන් පිටත් වූ ගුවන් යානය කටුනායක ගොඩබැස්සවීමට පෙර ලහි ලහියේ ටයි පටියක් පැළඳ ‍කෝට් බෑයක් ඇඟලා ගන්නා ශ්‍රී ලාංකික පිරිමින් දැක ඇත්තෙමි. එංගලන්තයේ කාර්යාල කට්ටල ඇඟලා ගන්නා කාන්තාවන් දැක ඇත්තෙමි. ඒ ඉතා ලස්සනට ලංකාවට ගොඩබැසීමට විය යුතුය. ලස්සනට ගොඩබැසීම අගනේය. එහෙත් තව්තිසාවෙන් ගොඩබැස්සාක් මෙන් ගුවන් තොටුපලේ සිට හැසිරෙන්නට ගත්තොත් එහි ඇති ලස්සනක් නැත. එයින් සිදු වන්නේ තමන් ජනයාගේ සිනහවට, අවඥාවට ලක්වීම පමණි. අප ජීවත් වන්නේ විසි එක්වන ශතවර්ෂයේය. කෝට් බෑයට, ටයි පටියට බයාදු වන්නන්, බිය වන්නන් තවත් ලංකාවේ ඉතිරිව නැත.

මෙය අවසන් කිරීමට පෙර තවත් කතාවක් දෙකක් මතක් කළ යුතු යැයි සිතේ.

සිංහලෙන් යමක් ඇසූවිට ඉංග්‍රීසියෙන් උත්තර දෙන සිංහලයින් දැක ඇත්තෙමි. සිංහල භාෂාව පමණක් නොව සිංහල කෑම බීම අමතක වන අයත් ලන්ඩනයේ දැක ඇත්තෙමි. බෑගයෙන් එළියට ගත් දෙල් ගෙඩිය දිහා බලා ‘ආ…. මේවද දෙල් කියන්නෙ’ කියා ඇසූ මාතර ගෑනු ළමයාගේ කතාවද ‘මේ…. නයා කියන්නෙ අයියෝ පොළඟගෙ බ්‍රදර්ද ආ..’ කියා ඇසූ බම්බලපිටිය කාන්තා ප‍ාසලේ ශිෂ්‍යාවගේ කතාවද හුදු ප්‍රබන්ධ නොවේ.

වසරක ශිෂ්‍යත්වයකට ලන්ඩනයට ගොස් නැවත පැමිණ ආච්චි අම්මාට කඩුවෙන් ‍කොටන්නට ගිය මුණුපුරාගේ කතාවද මේ පිස්සන් කොටුවේම එකකි. මුණුපුරා ලංකාවට පැමිණි පසු ඉතා අමාරුවෙන් සිංහල ගලපමින් කතා කරනු දුටු ආච්චි අම්මා ඔහුගෙන් ඇසූයේ ‘පුතේ අම ඒරොප්පෙ ගිහිල්ල‍ා කොච්චර කල් හිටියාද ?’ කියාය. ‘වන් ඉයර් නෙ’ මුනුපුරාගේ උත්තරය විය. ‘අනේ පුතේ උඹ ඉක්මනට ඒරොප්පෙට ආපහු පලයන්. උඹ අවුරුදු තිහක් කතා කරපු බාසාව අවුරුද්දකින් මතක නැති උනා නං අවුරුද්දක් කතා කරපු බාසාව සතියෙන් දෙ‍කෙන් මතක නැති වෙයි. ඊට ඉස්සෙල්ලා ආපහු පලයන්’ ආච්චි අම්මාගේ සරදමෙන් මුණුපුරාගේ පිස්සුව හොඳ වූවා යැයි සිතමි. ශ්‍රී ලංකාවෙන් අඩියක් පිටට නොතැබූ ඉංගිරීසිකාරයෝද පිටරට ගොස් ටික කලෙකින් නැවත ලංකාවට පැමිණ මහ රැජිණටවත් නැති උච්ඡාරණයකින් ඉංගිරීසි කතා කරන්නට වෙර දරන අතරමං වූවෝද අප දැක ඇත්තෙමු. පිටරට ගත වූ කාලය කෙටි නම් ඇක්සන්ට් එක වැඩිය. ජපානයට, කොරියාවට, චීනයට ගොස් පැමිණියහොත් ඇක්සන්ට් නැත.

එංගලන්තය සිංහල අමතක වන තැනක් නොවේ. ශ්‍රී ලංකාවෙන් පිටත මුද්‍රණය වූ පළමු සිංහල පුවත්පත බිහි වූයේද එංගලන්තයේය. ඒ සත්‍ය ජාති හිතෛෂියෙකු වූ දයා ආනන්ද රණසිංහ ඇරඹූ ‘ලංකා විත්ති’ පුවත්පතයි. වසර හතළිහක් ලන්ඩනයේ ජීවත් වූ දයා ආනන්දට සිංහල අමතක වූයේ නැත. එංගලන්තයේ ශ්‍රී ලාංකික බෞද්ධ පන්සල් තිබේ. ක්‍රිස්තියානි, මුස්ලිම් පල්ලි තිබේ. හින්දු කෝවිල් තිබේ. සිංහල නම් සිංහල, දෙමළ නම් දෙමළ, ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි කතා කිරීමට ඕනෑතරම් ඉඩකඩ තිබේ. පන්සල්වල සිංහල භාෂා පන්ති ඇත. අපගේ සිංහල කවි සමාජයක්ද ඇත. සිංහල කඩ, දෙමළ කඩ යන නම් පටබැඳි ශ්‍රී ලාංකික ආහාර වෙළඳ සැල් අපමණය. ඉතින් ඉංගිරීසි ඇක්සන්ට් තවත් කුමටද ?

ඉංග්‍රීසි නොදැනීම ලැජ්ජාවට කරුණක් නොවේ. ලැජ්ජා විය යුත්තේ ශ්‍රී ලාංකිකයෙක්, සිංහලයෙක් වශයෙන් සිංහල නොදන්නාකමටය. ඉංග්‍රීසිය ඉගෙන ගත යුතුය. එහෙත් අප එහි වහලුන් නොවිය යුතුය.

ඉංග්‍රීසි සෝබනේ දමා හමුදා නිළධාරීන්ට ඔළුවට අත හේදීමට උත්සාහ කළ අම්මන්ඩි ඇතුළු සෝබන බට්ටන්ට යෝජනාවක් කළ යුතුය. ඒ මැද පෙරදිග රටක හෝ චීනයේ ගුවන් තොටුපලකදී ‘උඹලගෙ ඉංග්‍රීසි අපට තේරෙන්නෑ, හරි ඉංග්‍රීසියෙන් කියාපන්’ කියා ඔය ස්වරයෙන්ම ගෝරනාඩු කරන ලෙසය. එවිට කොරෝනා ඉවර වනතෙක් එහිම ඉන්නට ඉඩකඩ ඉබේම සැලසෙනු ඇත.

අනුර හෑගොඩ



111 Viewers