ලක්දිව බුදු සසුනේ මුදුන්මල්කඩ

ශ්‍රීමත් ගෞතම ශාක්‍ය මුනීන්ද්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පාරිශුද්ධ ශාසන පරම්පරාව ජීවමාන ව පවතින මේ යුගයේ දී සසුන් ආලෝකයෙන් බැබළෙන ශ්‍රී ලංකාද්විප ධරණී තලයෙහි පහළ වූ, ලක් බුදු සසුනෙහි මුදුන්මල්කඩ බඳු වූ, සුප්‍රතිපන්නතා දී ආර්ය මහා සඟ ගුණයෙන් සමන්වාගත වූ, සර්ව පර්යාප්තිධර, සෞශීලා දී අමිත ගුණ ප්‍රතිපත්ති ධර්මයෙන් පරිපූර්ණ වූ, සමථ-විදසුන් නුවණින් විරාජමාන වූ, අර්හත් ඵලයට පත් නොවූවත්, මහ රහතුන් වහන්සේ නමක් සේ වැඩ සිට බුදු සසුන එකලූ කළ මිණිපහන නිවී ගියා සේ අපවත් ව ස්වර්ගාරෝහණය කළ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි අනුනායක, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙහි ප්‍රධාන අනුශාසක, මහාකම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටක වාගීශ්වර සාසනධජ සිරි ජිනවංස ඤණාරාම වංසාවතංස සාසනසෝභන නා උයනේ ශ්‍රී අරියධම්මාභිධාන මහෝපාධ්‍යාය මා හිමිපාණන් වහන්සේ ගේ සංක්ෂිප්තජීවතාවලෝකනයයි මේ.

ශ්‍රී ලංකා ද්විපයෙහි වයඹ පළාතෙහි කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි පොල්පිතිගම ග්‍රාම සේවා වසමෙහි ඉමිහාමින්නේ ගම නම් ග්‍රාම වරයේ දී රාජ්‍ය වර්ෂ 1939 ක් වූ අප්‍රේල් මස 24 වෙනි සඳු දින, දිසානායක මුදියන්සේලාගේ කළු බණ්ඩා උපාසක තුමාට දාව මානිංගමුවේ ගෙදර පුංචි මැණිකා උපාසිකා තුමියගේ කුසින් මෙලොව එළිය දුටු දිසානායක මුදියන්සේලාගේ හීන් බණ්ඩා නම් වූ පින්වත් කුමරුවා අත දරු කාලයේ පටන් පැවිදි සිතිවිලි පවා පහළ වෙමින් සුවසේ වැඩුණේ ය. වැඩිවිය පැමිණ නිලගම ප්‍රථම පාඨශාලාවෙන් අධ්‍යයන කටයුතු ඇරැඹූ මේ පින්වත් දරුවා ඉතා දක්ෂ ලෙස තම ඉගෙනීම් කටයුතු කළ අතර තම මාපියන් ගේ ධාර්මික ආභාෂය ලැබ ධර්ම ඥාන හා බුදු ගුණ, මෛත්‍රී ආදී භාවනා ගුණ වැඩි දියුණු කර ගත්තේ ය.

නා උයනේ ආරණ්‍ය සේනාසනය කේන්ද්‍ර කරගෙන උපෝසථ ශිල සමාදානා දී පුණ්‍ය කටයුතු සිදු කළ අතර, බ්‍රහ්මචාරී වූ මේ සත් පුරුෂයා වර්ෂ 1956 ක් වූ ඔක්තෝබර් මස 27 වැනි දින ගිහිගෙයින් අභිනික්මන් කළේ සසර පිරූ නෙක්ඛම්ම පුරුදු මතුවීමෙනි. විගොඩ බෝධිරක්ඛිත ස්වාමින් වහන්සේ ගේ කළණ මිතුරු ඇසුරෙන් යුතුව පණ්ඩුපලාස අවධිය ගත කළ ”මෛත්‍රී” නමින් හැඳින්වූ මේ තරුණ උපාසකතුමා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි ” ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා” නම් උතුම් ශාසනික වැඩපිළිවෙළෙහි නිර්මාතෘ වූ බෝධිසත්ත්ව ගුණෝපේත අති පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස මහෝපාධ්‍යාය මහා ස්වාමින් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් යුතුව තත් සංස්ථාවෙහි ප්‍රධානාචාර්ය අති පූජනීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඤාණාරාම මහෝපාධ්‍යාය මා හිමිපාණන් වහන්සේ ගේ පුණ්‍ය හස්තයෙන් වර්ෂ 1957 ක්වූ මාර්තු මස 27 වෙනි දින ගල්නෑව, ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ දී ශාසන පැවිද්ද ලැබූයේ ”නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ” නම් ශ්‍රේෂ්ඨ නාමයෙනි.

සුවච සුවිනීත කීකරු මේ සමණුද්දේසයන් වහන්සේ ගේ බුද්ධ ගෞරවය, ගුරු භක්තිය අනුපමේය ය. හෙරණ බණ දහම් හි පටන් උපසම්පදා ලාභය දක්වා අතිපූජනීය පණඩිත ගැටමාන්නේ ශ්‍රී විමලවංස මාහිමියන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යයන කටයුතු සිදු විය. ආශ්චර්යය ස්මරණ ශක්තියකින් හෙබි අරියධම්ම ස්වාමින් වහන්සේ ත්‍රිපිටක ධර්මය සිය සිත්හි ධාරණය කරගත්හ. වන පොත් කළහ. අටුවා ටීකා සහිත ධර්ම විනය මැනවින් වටහා ගත්හ. වර්ෂ 1959 ක්වූ ජූලි මස 15 වන දින අලව්ව, රංවල, කුඩා ඔය උදකුක්ඛේප සීමා මාලකයේ දී අති පූජනීය මඩවල ධම්මතිලක නිමලව ලොකු ස්වාමින් වහන්සේ ගේ උපාධ්‍යායත්වයෙන් හා අතිපූජ්‍ය මාතර ශ්‍රී ඤාණාරාම මා හිමි, අතිපූජ්‍ය කඩවැද්දුවේ ජිනවංශ මාහිමි ප්‍රධාන කල්‍යාණි යෝගාශ්‍රමීය සම්භාවනීය ආරණ්‍යවාසී මහ සඟ පරපුරෙන් උපසම්පදාව ලත්හ.
අනතුරු ව තවදුරටත් ධර්ම – විනය, ශබ්ද – ශාස්ත්‍ර ප්‍රගුණ කොට ශාසනික සේවය ඇරැඹූහ. යෝගාශ්‍රමීය සිසු පිරිසට ධර්ම – විනය අධ්‍යාපනය සිදු කළ අතර සමථ – විදසුන් භාවනා කමටහන් ගිහි – පැවිදි පිරිස පෝෂණය කළහ. අවවාද අනුශාසනාවෙන් පමණක් නොව, ආදර්ශයෙන් ම ශාසන ප්‍රතිපදාව ලොවට පෙන්වා දුන්හ. බුද්ධ පූජා, බෝධි පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩ සටහන් ත්‍රි සිංහලය පුරා වැඩම කරමින් ලංකාවාසී ගිහි – පැවිදි පින්වතුන් ගේ ශ්‍රද්ධා ජනනය වන සේ සිදු කළ අරියධම්ම මාහිමිපාණෝ දිවයිනෙන් බැහැර  ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, චීනය, බුරුමය, සිංගප්පූරුව, මැලේසියාව, නවසීලන්තය, නේපාලය, ඩුබායි, ඉන්දියාව ආදී රටවල ද ගිහි-පැවිදි පින්වතුන්ට ද ධර්ම ලාභය දුන්හ. එසේ ම, විනය – සූත්‍ර – අභිධර්ම සම්බන්ධිත ග්‍රන්ථ රාශියක් දැයට දායාද කළ අතර,

බුරුම භාෂාවෙන් ඇති ග්‍රන්ථ හෙළ බසට පරිවර්තනය කළහ. දස දහස් ගණන් ධර්ම දේශනා කළ වියත්, විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක් වූහ.
තමන් වහන්සේ ගේ සුසිල්වත් පින්බර දිවිය සඵල වූයේ බුරුම රට පා – අවුක් ආරණ්‍යයෙහි භාවනා ප්‍රගුණ කිරීමෙනි. අතිපූජනීය ඌ ආවිණ්ණ පා – අවුක් සෙයාඩෝ මාහිමියන් වහන්සේ ගේ සුවිශේෂී උපදෙස් ඇති ව පූරිතපාරමි ඇති බෝධිසත්ත්ව ගුණයෙන් උපලක්ෂිත අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අෂ්ට සමාපත්ති ලාභී වූ සේක. සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා විදසුන් නුවණ පිරිපුන් කරගත් සේක. නව ගුණ වැලෙන් බුදු ගුණ විසි කෝටි අනූ එක් ලක්ෂයක් වැඩූ සේක. සමාධි බලයෙන් තමන් වහන්සේ ගේ පෙර ජීවිත පවා දුටු සේක. තමන් වහන්සේ ගේ ම අත් අකුරින් ලියූ භාවනා අත්දැකීම් හා දින පොත් තුළින් මෙම කරුණු මනාව ස්ඵුට වේ. වර්ෂ 2011 වස්සාන කාලය අවසානයෙහි දී ”එකම කෙලෙස් සිතක් වත් ඇති නොවන ලෙස මම මේ වස් කාලය හොඳින් ගත කළා” යනුවෙන් ද, තවත් දිනෙක ” මම දැන දැන කුඩා ඇවතකට වත් පත් වී නැහැ” යනුවෙන් ද සිංහනාද කළ සේක. මෙසේ පරියප්තියෙන් සුපෝෂිත, සීලා දී ගුණයෙන් සුපුෂ්පිත, සමථ – විදසුන් නුවණින් සුගෝපිත සිව් ඉරියව් පැවැත්මෙන් ශාන්ත, සකළ ශ්‍රමණ ධර්මයන් ගෙන් සුනිර්මිත අප ස්වාමින් වහන්සේ, බුදු රජාණන් වහන්සේ ගේ අතිජාත පුත්‍ර රත්නයෙකි.

”මම කවදාවත් තනතුරු සම්මාන පසුපස ගියේ නෑ. ලැබුණු දේ භාරගෙන කුසල් සිතින් ඒ ශාසනික කටයුතු සිදුකළා” යන වචනය පරිදි ම තනතුරු සම්මාන ගලා පැමිණි නමුත්, ආගතභාරය දැරූහ. කර්මවාගාචාර්ය ධුරය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා පරියත්ති මණ්ඩලයේ හා අධිකරණ මණ්ඩලයේ ලේකම් ධුරය, ධර්මාචාර්ය ධුරය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමීය සංඝ සභාවේ සම ලේඛක ධුරය, සඤ්ඤාලේඛක ධුරය, මහා ලේඛකාධිකාරී හා යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක ආදී ධුර දැරූහ. එසේ ම, බුරුම රජයෙන් ලැබුණු මහාකම්මට්ඨානාචරිය සම්මානය වචනයේ පිරිපුන් අරුතින් ම පූජනීය නා උයනේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගැලපුණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව හේතුවෙන් ශෝභමාන වුයේ ය. තත් නිකායික මහා නායක මා හිමි වර ප්‍රමුඛ මහ සඟ රුවනගේ අභිමතයෙන් අප මාහිමිපාණන් වහන්සේට මහෝපාධ්‍යාය ධුරය ”ත්‍රිපිටක වාගීශ්වර සාසනධජ” යන ගෞරව අභිධාන සහිතව ද, එසේ ම, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි අනුනායක ධුරය ‘සිරි ජිනවංස ඤාණාරාම වංසාවතංස සාසන සෝභන’ යන ගෞරව නාමය සහිතව ද පිරිනැමිණි. අප මාහිමිපාණන් වහන්සේට කසී සළු වැනි චීවර පරිෂ්කාර ලැබුණ ද, අල්ප පරිෂ්කාරී වූ සේක. රාජ භෝජන වැනි භෝජන ලැබුණ ද රසයෙහි ගිජු නොවූ සේක. සුව පහසු ප්‍රාසාද වැනි කුටි සෙනසුන් ලැබුණ ද, එහි නො ඇලූණු සේක.

වෛද්‍ය ප්‍රතිකාර, උපස්ථාන නොඅඩුව ලැබුණු ද, එහි නො බැඳුණු සේක. දහස් ගණනින් පැවිදි සිසු පිරිස සිටිය ද විවේකයෙහි ඇලූණු සේක. දස දහස් ගණන් ගිහි දායක පිරිස සිටිය ද, ලාභ සත්කාර කිත් පැසසුම්හි මුලා නොවූ සේක. පරියාප්තියෙහි කෙළ පැමිණිය ද නිහතමානී වූ සේක. ප්‍රතිපත්තියෙන් උසස් වුව ද, නිහඬ වූ සේක. ප්‍රතිවේධයට ළඟා වුව ද කරුණාවෙන් ලෝ සතුන් සසර කතරින් එතෙර කරවනු වස් සම්බුද්ධත්වය පැතූ සේක. ඒ අත්‍යුත්තම ගුණකඳ දැරූ අතිපූජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම සංඝරාජයාණන් වහන්සේ නමැති සසුන් සඳ මඬල, වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් මස 07 වැනි දින මරණය නමැති කළු වලාවෙන් වැසී ගිය සේක. බෝසත් නිවාස වූ තුසිත දෙව්ලොව බුද්ධාංකුර හිරු මඬලක් සේ පහළ වූ සේක.
අති පූජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට ලොවුතුරා බුදු බවම ලැබේවා!

පූජනීය පින්වත් රම්මුතුගල බුද්ධවංස ස්වාමින්වහන්සේ විසින් සම්පාදිතයි !



82 Viewers