ලෝකේ කොහෙවත් අනාගමික රාජ්‍ය නෑ – ආචාර්ය නලින්ද සිල්වා
ආචාර්ය නලින් ද සිල්වා මහතා නිදහස් ශ්‍රි ලංකාවේ පැවැත්ම අභියෝගයට ලක් වූ සෑම අවස්ථාවකම රටට, දැයට, සමාජයට පෙරමඟ කියාදිමට අකුටිලව පෙරට ආ ප්‍රමුඛතම ප්‍රාඥයකි. මීට තිස් වසරකට පෙර මගේ ලෝකය රචනා කරමින් බටහිර දැනුම ප්‍රශ්න කළ එතුමා ස්වාධීන බුද්ධිමතෙකු ලෙස නිවහල් චින්තනයක අවශ්‍යතාව පෙන්වා දුන්නේය. මේ ඔහු සමඟ කළ සාකච්ඡාවකි.
⭕Q.මහාවංශයේ එන සිංහල ජාතියේ ආරම්භය ගැන සඳහන් කතා පුවත සමහරු ජාතියට සමච්චල් කිරීමට යොදා ගන්නවා. සමහරු එහි අභව්‍ය ස්වරූපය පාදක කරගෙන මහාවංශය කියන්නේ මිත්‍යාවක්,ප්‍රබන්ධයක් බව දක්වනවා. ඇත්තටම මේ මතවාද අපි තෝරා බේරා ගතයුත්තේ කෙසේද?
මහාවංශය ලිවීමේ එක් ප්‍රධාන අරමුණක් තමයි ධාතුසේන කුමාරයාට පරමාදර්ශී චරිතයක් පෙන්වන එක. ඒ තමයි ගැමුණු චරිතය. ඒ දවස්වල මෙහෙට ඇවිත් තිබුණ ආක්‍රමණත් එක්කයි මහානාම හාමුදුරුවෝ ක්‍රි.ව. 05 සියවසේ දී පමණ මහාවංශය ලියන්නේ. මේ වනවිට සොළී ආක්‍රමණ යම් පමණකට තිබුණා. සොළීන් දකුණු ඉන්දියාව කියන ප්‍රදේශයේ බලවත් වුණේ 02 වන සියවසෙන් පස්සේ. ගැමුණු කුමාරයා කාලේ සොළීන් හිටියේ නෑ. එළාර සොළී නෙමෙයි.දෙමළත් නෙමෙයි.ඔහු භාරතයේ වයඹ දේශයෙන් පැමිණි කෙනෙක්.
මේ ආක්‍රමණ පසුබිමේ මහාවංශය ලිවීමේ තවත් පරමාර්ථයක් වන්නේ සිංහල බුද්ධාගම ආරක්ෂා කිරීමයි. ඒ සදහා කටයුතු කළ ප්‍රධාන පුද්ගලයා ගැමුණු රජ්ජුරුවෝ. මාගේ මේ ව්‍යායාමය බුදුදහමේ චිර පැවැත්ම උදෙසා කියලයි කියන්නේ. මහාවංශය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි බුදු දහමෙයි, සිංහල බෞද්ධ සංස්කෘතියෙයි චිර පැවැත්ම සදහායි මහාවංශය ලියන්නේ. එහිදී මහාවංශයේ දීලා තියෙනවා සිංහල කියන එකට යම් අර්තකථනයක්. මම හිතන්නේ නැහැ මහානාම හාමුදුරුවෝ විසින් හිතලම ඕක ගොතපු කතාවක් කියලා. ජනප්‍රවාදයේ තිබුණා සිංහල කියන එකට යම්කිසි කතන්දරයක් ගොතලා. ඒ කතන්දරේ තමයි මහානාම හාමුදුරුවෝ කියන්නේ.
මේ එක් එක් ජනවර්ග වලට ඒවා නිර්මාණයවූ ආකාරයන් ගැන එකේක කතන්දර තියෙනවා. බොහෝ ආසියානු අප්‍රිකානු ජනවර්ග සිව්පාවුන්ගෙන් පැවත එනබව කියනවා. ඇතැමුන් ගිජු ලිහිණියා වැනි පක්ෂියකුගෙන් පැවත එන බව කියනවා. ඇතම් විට ගස් කොළන්වලින් පැවත එන බවටත් ප්‍රවාද නිර්මාණය කරලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඒ ජනවර්ගය හෝ ජාතිය අනෙක් ජාතීන්ගෙන් වෙන්වෙලා තමන්ගේ අනන්‍යතාවය පෙන්වන එකක් මෙතැන තියෙන්නේ. සිංහල ජාතිය සිංහයාට දාව ඉපදුනා කියන එකේ තේරුම වෙනත් ජනවර්ගයක් එක්ක සම්බන්ධයක් නැහැයි කියන එක. සිංහල ජාතියේ අනන්‍යතාව ඇතිකරන්න කියලා දැන් මනුෂ්‍යය පියකුට දාව සිංහබාහු හා සිංහසීවලී ඉපදුණා කිව්වොත් සිංහබාහුගෙයි සිංහ සීවලීගෙයි මුත්තා කව්ද? ඒයාගේ පියා කව්ද? ඒ පියාගේ පියා කව්ද ? මේක කෙළවරක් නැතුව එහෙම ඈතට ඈතට යනවා. ඒ නිසා තමයි සතෙක්ගෙන් සිංහල ජාතියේ ආරම්භය පටන් ගත්තේ. ඒකෙන් පේනවා සිංහල ජාතිය වෙනත් ජනවර්ගයක් එක්ක සම්බන්ධයක් නැහැ කියන එක.
ඊළගට සිංහබාහු තම සහෝදරිය වූ සිංහ සීවලී එක්ක එකතුවෙන එකත් කාටහරි කියන්න පුළුවන් නරක වැඩක් කියලා. බටහිර වෛද්‍ය විද්‍යාව එක්ක බැලුවත් හොද නැහැ කියලා. ඒ මොන කතන්දර කිව්වත් ආයෙත් සැරයක් එකෙන් කියන්නෙත් වෙනත් ජනවර්ගයක් එක්ක සම්බන්ධයක් නැහැ කියන එක. මේක මේ ජාතියක අනන්‍යතාවයක් පිළිබඳ හදපු කතන්දරයක්. ඒක ප්‍රවාදයක්. ඒවාට විවිධ අර්ථකතන දෙන මේ අද බාල ඊනියා උගත්තුන්ට වඩා එකළ භික්ෂූන්වහන්සේලාට හා සිංහල ගිහියන්ට ප්‍රඥාව තිබුණ බව පැහැදිලියි. බටහිර විද්‍යාවේ තියෙන්නෙත් මේවගේ හදපු ප්‍රවාද තමයි. ගුරුත්වාකර්ෂණය කියන්නෙත් ගෙඩියක් බිම වැටුණ එකට හදපු කතන්දරයක්. කව්රුවත් ඒක ප්‍රශ්න කරන්නේ නැහැ. අප්‍රිකාවේ ඉන්නවා නොයෙකුත් ජනවර්ග. යුරෝපයේත් ඉන්නවා. ඒ ජනවර්ග හැදුණේ කොහොමද කියලත් නොයෙකුත් කතන්දර තියෙනවා. ඇයි මේ මහාවංශය ගැන විතරක් කතා කරන්නේ. කවුරුවත් හොයනවද යුදෙව්වෝ ඇති වුණේ කොහොමද කියලා. යුදෙව් සංස්කෘතියක් ඇති වුණේ කොහොමද කියලා. පරණ තෙස්තමේන්තුවේ තියෙන කතන්දර ඔය මිනිස්සු ප්‍රශ්න කරනවද? මේක මේ සිංහල බෞද්ධ විරෝධී එන්.ජී.ඕ කාරයින්ට විතරක් තියෙන ප්‍රශ්නයක් මිසක් ඒකේ ඇති දෙයක් නැහැ.
⭕Q.මහාවංශයේ සිංහල ජාතියේ ආරම්භය ගැන සදහන් මුල් පරිච්ඡේදය ඓතිහාසික සත්‍යක් නොවන ප්‍රබන්ධයක් ලෙස බැහැර කරන අය ගැමුණු කතා ප්‍රවෘත්තිය සිංහල බෞද්ධ වීරත්වයට අදාළ නිසා පිළිගන්නවා. එකම කතුවරයාගේ කෘතියක මෙහෙම අපිට වාසිදායක දේවල් පිළිගැනීමටත් අවාසිදායක දේ බැහැර කිරීමේත් සදාචාරය කුමක්දැයි සමහරු ප්‍රශ්න කරනවා.
අපි යමක් පිළිගන්නේ කාලාම සුත්‍රය අනුව.මහාවංශයේ පිළිගත යුත්තේ මොනාද බැහැර කළයුත්තේ මොනාද කියලා තෝරා බේරා ගන්න අපිට බුදු හාමුදුරුවෝ ඉන්නවා. මේ රටේ ඉන්න සිංහල බෞද්ධ විරෝධී එන්.ජී.ඕ.කාරයෝ ඒක අපිට උගන්වන්න එන්න ඕන නෑ. අපි මහාවංශයේ තිබූ පමණින් පිළිගන්නේ නැහැ. මහාවංශය පිළිගන්නේ නැහැ කියන එකයි මහාවංශයේ තිබූ පමණින් පිළිගන්නේ නැහැ කියන එකයි එකක් නෙමේ දෙකක්. ඒකෙන් කියන්නේ සමහර දේවල් පිලිගන්නවා සමහර දේවල් පිළිගන්නේ නැහැ. මහාවංශයයේ තියෙන දේවල් මේ රටේ සෙල් ලිපිවල තියේ නම්, ජනප්‍රවාදවල එනවා නම්, වෙනත් සාහිත්‍ය මූලාශ්‍රවල තියේ නම්, නටබුන් තියෙනවා නම්, ඒවත් එක්ක සංගත වෙනවා නම් අපි ඒ ටික පිලිගන්නවා. මහාවංශයේ තිබූ පමණින්ම නෙමෙයි අපි පිළිගන්නේ. විචාරාත්මකව කල්පනා කරලා අපිට පිළිගන්න පුළුවන් අවස්ථාවලදී අපි පිලිගන්නවා. රුවන්වැලි සෑය,මිරිස වැටිය, තිසාවැව ගැන මහාවංශයෙත් සදහන් වෙනවා. දෘශ්‍යමානවත් තියෙනවා. වෙනත් මූලාශ්‍ර එක්කත් සංගත වෙනවා. ඒ නිසා අපි පිළිගන්නවා. මහාවංශයේ යම්කිසි දෙයක් පුරාවිද්‍යාත්මක සාධක එක්ක, ඓතිහාසික සාධක එක්ක තවමත් සංගත නොවෙනවා නම් ඒක අපි පිළිගන්නේ නැහැ එච්චරයි.
⭕Q.එතකොට කොහොමද අපි මහාවංශය ඇසුරෙන් සිංහල ජාතියේ අනන්‍යතාවය ගොඩනගා ගන්නේ.?
මහාවංශයේ තියෙනවානේ සිංහල ජාතිය ගොඩනැගුණ විදිහ පිලිබඳ කතන්දරයක්. ඒක අපි පිළිගන්නවා. මහාවංශයේ තිබූ පමණින් හැමදේම පිළිගන්නේ නැහැ. මහාවංශයේ සුළු කොටසක් හැර මහ විශාල කොටසක් තිබෙනවා පිළිගත හැකි. ඒවා අනෙකුත් සාධක සමග සංගතයි. මහාවංශය අසංගත වෙන්නේ යක්ෂ, නාග, ජනතාවගේ ඉතිහාසය අමතක කරලා තියෙන තැන දී. මෙතැනයි මහාවංශයේ තියෙන ගැටළුව. අපිට කරන්න තියෙන්නේ යක්ෂයන්ගේ කතන්දරයත් මහාවංශයට ඇතුළත් කරන එක. විජයත් අපි අමතක කරන්නේ නැහැ. ඔහුත් ආවා මෙහෙට. ඒකත් අපි පිළිගන්නවා. මහාවංශය කුවෙණිගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නය. මහාවංශයේ පළමු පරිච්ඡේද දෙක තුනට සංශෝධනයකුත් නෙමෙයි පොඩි ඌණ පූරකයක් එකතු කරගන්නයි අපිට තියෙන්නේ. බෞද්ධ විරෝධී මේ ඊනියා උගත්තු කියන්නේ අර අසංගත සුළු කොටස නිසා වතුර බේසමත් එක්කම දරුවත් විසි කරන්න. අපි බබා තියාගෙන වතුර ටික විතරක් විසි කරන්නම්. ඒක අපට මේ එන්ජීඕ කාරයෝ උගන්න්වන්න අවශ්‍ය නැහැ.
අද වෙනකොට අපි දන්නවා මෙරටේ සිංහල මිනිස්සු හැදිලා තියෙන්නේ යක්ෂ,දේව ,නාග, කියන ස්වදේශික ජන කොටස්වල එකතුවෙන් බව. ඒකට එකළ දඹදිවින් හා චීනෙනුත් මිනිස්සු එන්න ඇති. පිලිපීනෙනුත් එන්න ඇති. ඔවුන් අලුත් සංස්කෘතියක් ගොඩනැගුවා. ඒ තමයි සිංහල සංස්කෘතිය. මේ රට නිජභූමිය වෙන්නේ සිංහලයන්ට පමණයි. මොකද ජාතියට හා ජනවර්ගයකට යම්කිසි සංස්කෘතියක් තියෙනවා. ඒ සිංහල සංස්කෘතිය ඉපදිච්චි රට ලංකාව. මම අහනවා දෙමළ සංස්කෘතිය ඉපදිච්ච රට ලංකාවද? මුස්ලිම් සංස්කෘතිය ඉවදිච්ච රට ලංකාවේද ? ජනවර්ගයක් හැම තිස්සෙම සංස්කෘතියක් එක්ක සම්බන්ධයි. මේ රටේ මුස්ලිම් සංස්කෘතියක් ඇතිවුණාද? මැලේ සංස්කෘතියක් ඇතිවුණාද? මැලේ අයත් දැන් සිංහල වෙලා. මේ රට නිජභූමිය කියන්න පුළුවන් එකම එක ජනවර්ගයක් සහ ජාතියක් විතරයි ඉන්නේ. ඒ තමයි වැදි ජනවර්ගය සහ සිංහල ජාතිය. ඒ ගොල්ලන්ගේ සංස්කෘතිය පමණයි මේ රටේ ඇතිවෙලා තියෙන්නේ. අනෙක් ඒවා ඔක්කොම පිට රට ඇතිවෙලා තියෙන්නේ. දැන් වැදි සංස්කෘතියත් සිංහල සංස්කෘතිය බවට පත්වීගෙන එනවා අපේ වැරද්දක් නිසා නෙමේ යුරෝපීය ජාතීන්ගේ බලපෑම නිසා.අපි වැදි සංස්කෘතිය ආරක්ෂා කළා අවරුදු දෙදාස් ගාණක් තිස්සේ. එහෙම නැත්නම් වැදි සංස්කෘතියකුත් ලංකාවේ නැහැ.
⭕Q. බුදුන් වහන්සේ ශාස්තෘවරයා වශයෙන් පිළිගන්න බෞද්ධයන් බුදුන් වහන්සේවත් පෙනී නොසිටි ‘ජාතියක්‘ වෙනුවෙන් පෙනී සිටීම ශාස්තෘවරයාගේ දර්ශනයට පරස්පර බව ඇතැමුන් ප්‍රශ්න කරනවා. ඒ පිලිබඳ ඔබේ අදහස කුමක්ද ?
බුදු හාමුදුරුවෝ ජාතිය ගැන කතා කෙරුවේ නැහැ කියන එක බොරු කතාවක්. ”ජාතිය” කියන එකට තියෙන්නේ එක සංකල්පයක් නෙමෙයි. මේ කාර් එක මොන ජාතියේද? මේ සපත්තු දෙක මොන ජාතියේද? කියලා ඇහුවොත් එතැන ජාතිය කියන එකේ තියෙන්නේ වෙනත් අර්ථයක්. බටහිර මිනිස්සු ජාතිය කියන්නේ ජාතික රාජ්‍ය එක්ක ආපු නිකම් නෛතික කතාවකට. සිංහල ජාතිය, චීන ජාතිය වගේ පැරණි ජාතීන් කියන සංකල්පය තමයි සිංහල බෞද්ධයන්ට තියෙන්නේ. දැන් අපිට කෘතීම විඥානයක් පිටින් දාන්න හදනවා ”ලාංකික” කියලා. නමුත් ඒක එන්නේ නැහැ. මොකද එන්නේ නැත්තේ සිංහල ජාතිය කියන විඥානය අපිට තියෙන නිසා. ඒක තමයි ජාතිය පිලිබඳ තියෙන අපේ සංකල්පය. ඕකට ලංකික කියලා කෘතීම විඥානයක් දාන්න අපි ඉඩ දෙන්න ඕනත් නැහැ. ඉඩ දෙනවා කියන්නේ අපි යටත්විජිතවාදයට නැවෙනවා කියන එක.අපිට මොකටද කාගේවත් සංකල්පයක්.
බුදු හාමුදුරුවන්ගේ කාලේ ”මේ වගේ ජාතියක්” තිබුනේ තිබුනේ නැති එක ඇත්ත. ඒ කාලේ තිබුනේ වංශ. බුදු හාමුදුරුවොත් ශාක්‍යවංශිකයෙක්. බුදු වුණාට පස්සේ සියලු බැදීම් නැතිවෙන එක ඇත්ත. ඒකෙන් අදහස් වෙන්නේ නෑ ශාක්‍යවංශයක් නැහැයි කියන එක. බුදු හාමුදුරුවෝ කවදාවත් කිව්වේ නැහැ ශාක්‍යවංශයක් නැහැයි කියලා. ඒ විතරක් නෙමෙයි විඩූඩභ ශාක්‍යවංශය විනාශ කරන්න හදනකොට බුදුහාමුදුරුවෝ ශාක්‍යවංශිකයන් වෙනුවෙන් පෙනී ඉදලත් තියෙනවා. අනෙක බුදු හාමුදුරුවොම කියනවා මට මේ කිඹුල්වත් පුරයෙන් හමන සුළගත් සැපයි කියලා. මේකේ තේරුම මොකක්ද? බුදු හාමුදුරුවෝ මොකද වැඩි කාලයක් සැවැත්නුවරම වස් වැසුවේ රජගහනුවර බිම්බිසාර රජ්ජුරුවෝ ඉදිද්දීත්. ඒවටත් යම් යම් හේතු තියෙනවා. බැදීමක් නෑ කියන එකයි හේතු තියෙනවා කියන එකයි වෙනයි.
බුදු හාමුදුරුවෝ සමස්තයක් වශයෙන් සලකා ජාතිය ප්‍රතික්ෂේප කළේ බ්‍රාහ්මණයන්ගේ වර්ණභේද පිලිබඳ ප්‍රශ්නයේදී. මහා බ්‍රහ්මයාගේ කටෙන් ඉපදුනේ බමුණෝ නිසා ඔවුන් හරි උසස් ජාතියක් කියලා කියාගෙන ආවානේ ලොකු කතන්දරයක්. බුදු හාමුදුරුවෝ කිව්වේ මහා බ්‍රහ්මයාගේ ශරීර අවයව වලින් ඉපදීම පදනම් කරගෙන බ්‍රාහ්මණ,ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර , කියලා මේ විදිහට මිනිස්සු බෙදන්න එපා කියලයි. මොකද පක්ෂීන්, උරගයින්, කෘමීන්, ගස්වැල් ගත්තොත් ඒ ඒ ජාතිවලත් විවිධ ප්‍රභේද තියෙනවා. ඒ ඒ වර්ගයට ආවේනික ලක්ෂණ වෙන වෙනම තියෙනවා. නමුත් මනුෂ්‍යයින්ගේ එහෙම ප්‍රභේද නෑ පොදුවේ හැමෝම මිනිස් වර්ගයට අයත් කියන එකයි කිව්වේ. ඒ ඇරෙන්න බුදු හාමුදුරුවෝ ජාතියට විරුද්ධව කියපු දෙයක් නෑ.
•රත්තනදෙණියේ මේධානන්ද හිමි.
12 Viewers