• Home »
  • Sinhala Articles »
  • වරාය නගරය – කොළඹ ආණ්ඩුව… ඉන්දියාවේ කලබලය

වරාය නගරය – කොළඹ ආණ්ඩුව… ඉන්දියාවේ කලබලය

චීනයේ ‘එකම තීරයක් – එකම මාවතක්’ මැයෙන් වූ දෙදින සමුළුව බේජිං නුවරදී පැවැත්වුණේ 2017 මැයි මාසයේදීය. එවක ශ‍්‍රී ලංකා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද එම සමුළුවට සහභාගි විය. රටවල් විසි අටක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ‘එකම තීරයක් – එකම මාවතක්‘ සමුළුවට සහභාගි වී තිබිණි. නමුත් ජර්මන් චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල් මේ සඳහා කළ ආරාධනය පිළිගෙන නොතිබූ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද ඊට සහභාගි නොවීය. ‘එකම තීරයක් – එකම මාවතක්‘ සමුළුව සඳහා ඉන්දියාව කොහෙත්ම සහභාගි නොවීය. ඔවුන් චීනය ඉදිරිපත් කරන කිසිම ව්‍යාපෘතියකට කැමැත්ත පළ කරන්නේ නැත. ඒවා හැකි තරම් බකල් කිරීම වෙනුවෙන් රහසේ කටයුතු කරන බව අමුතුවෙන් කිවයුතු නැත. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නිසා ශ‍්‍රී ලංකාව චීන කොලනියක් බවට පත්වීමේ අනතුරක් පවතින්නේද? නැද්ද? යන්න මුල්කරගත් විවාදය වෙනුවෙන් පහසුකම් සපයන්නේද ඉන්දියාවේ උදව්වෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනය ගැන ඉන්දියාව සිටින්නේද සතුටින් නොවේ. එය අවිවාදිතය. මේ රාජපක්ෂ විරෝධය උග‍්‍රව ඇත්තේ වරාය නගර ව්‍යාපෘතිය වේගයෙන් ඉදිරියට යෑම නිසාය.


 

මේ නිසාම දිනපතාම දිල්ලියේ බ‍්‍රාහ්මණ වංශික විදේශ සේවා නිලධාරීහු වරාය නගරය ගැන අදහස් දක්වති. ‘‘අපේ රටේ ආරක්ෂාව ගැන සිතලා වෙනදේ ගැන ඉන්දියාව විමසිල්ලෙන් ඉන්නේ,” යනුවෙන් ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශක එරින්දාම් බාග්චි පවසා ඇති බව ‘‘ද හින්දු” පුවත්පත වාර්තා කර තිබුණේ මීට දින කිහිපයකට පෙරය. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ රාමුව පිළිබඳව ශ‍්‍රී ලංකාව තුළ විවිධ පාර්ශ්ව මතුකරන කරුණු සම්බන්ධයෙන් ඉන්දියාව විමසිල්ලෙන් සිටින බවද ඔහු පැවසීය. ඉන්දියාව පවසා ඇත්තේ දෙරට අතර සමුද්‍රීය ක්ෂේත‍්‍රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති අන්‍යෝන්‍ය එකඟතාව ඇතුළු ‘‘විශිෂ්ට ද්විපාර්ශ්වික සහයෝගීතාව” ශ‍්‍රී ලංකාව අමතක නොකරනු ඇති බවයි. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යාංශය මේ කරුණු ලංකාවට අවධාරණය කරන්නේ යහපත් අරමුණකින්ද? ලංකාවේ විපක්ෂයද මේ අවස්ථාවේ චීන විරෝධයක් මතුකරන්නේ කා සනසන්නද?
 
 සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සමීප උපදේශකයකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ අදහසක් මෙලෙස බීබීසී සිංහල වෙබ් අඩවිය උපුටා දක්වා තිබිණ. ඇත්තෙන්ම අද ශ‍්‍රී ලංකා-චීන සමීකරණයේ වෙනස්වීමක් සිදුවෙලා. ඒ අනුව චීන සබඳතා අනිත් සබඳතා ඉක්මවා යමින් පවතිනවා. ඒ සමඟ සිදුවෙන්නේ ඉන්දියානු සම්බන්ධය පහත වැටීමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ බණ්ඩාරනායක පරපුරේ දේශපාලකයන් පමණක් නොව 2019 තෙක් බලයට පත් සියලූම දේශපාලන පක්ෂ විසින් අනුගමනය කරන ලද පිළිවෙතේ වෙනසක් සිදුකරමින් වත්මන් ජනාධිපතිවරයා චීන රාජ්‍යයෙන් නොව පාලක කොමියුනිස්ට් පක්ෂයෙන් පාඩම් ඉගෙනීමට යොමුවී සිටින බව පැහැදිලිව ප‍්‍රකාශ කරලා තියනවා.
 
 චීන ආරක්ෂක ඇමැතිවරයාගේ දින දෙකක ශ‍්‍රී ලංකා සංචාරය නිම කර මෙරටින් පිටවන විටම කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් වරයා අගමැති මහින්ද රාජපක්ෂ
 
 මුණගැසුන බව අපි දනිමු. ඉන්දියානු පාර්ශ්වයෙන්, ඉහළ මට්ටමේ චීන නියෝජිතයාගේ කොළඹ සම්ප‍්‍රාප්තිය ගැන සෘජුව සඳහන් නොකෙරුනත් ‘නව දිල්ලිය අසල්වැසි ලංකා ¥පතේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න ගැන උනන්දුවෙන් බලා සිටින‘ බව කිසිවකුට රහසක් ද නොවේ.
 
 ශ‍්‍රී ලංකා ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය කොළඹ වරාය නගරය බව අවිවාදිතය. එය කවර බාධා පැමිණියද ඉදිරියට ගෙන යා යුතුය. මෙරට ආර්ථිකයට සුපිරි පිම්මක් පැනිය හැක්කේ මේ වැඩපිළිවෙළ හරහා බව අමුතුවෙන් කිවයුතු නැත. කොළඹ වරාය නගරයේ භූමි අවකාශය හෙක්ටයාර 269 ක් නැතහොත් අක්කර 664 ක් පමණි. නමුත් ඒ වටා ඉදිකර ඇති දියකඩනය සහ දිය අගල ද ඇතුළත් සමස්ත අවකාශය හෙක්ටයාර 446 ක් නැතහොත් අක්කර 1102 කි. මෙකී සමස්ත භූමිය ශ‍්‍රී ලංකා රජයට සින්නක්කර අයිතිය සතු භූමියක් ලෙස පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ප‍්‍රකාශයට පත් කර ඇත. ව්‍යාපෘතියේ සමස්ත භූමි අවකාශය වන අක්කර 1102 න් අදාළ චීන සමාගම වෙත තාවකාලිකව හෝ ලැබෙනුයේ අක්කර 286 ක් පමණි. එය ප‍්‍රතිශතයක් ලෙස ගත් කල 25% කි. එසේනම් චීන කොලනි කතා කුමක්ද? මේ වරාය නගරය නිසා අපේ රටේ ආර්ථික වර්ධනය ඉදිරි වසර 5 ඇතුළත 7%ක් පමණ වනු ඇති බවට පුරෝකථනය කර ඇති නිසාම ගාලූ මුවදොරට එහායින් පිහිටි කොටස අපේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයයි කීම වරදක් නොවේ.
 
 ලොව ඇති ප‍්‍රමුඛ පෙළේ නගරයන් සමගින් තරගකර වඩාත් ඉදිරියෙන් සිටින සොඳුරුතම සුහුරු නගරයක් ලෙසින් ජීවය ලබන කොළඹ වරාය නගරය 2025 වන විට ලොව පුරා වැඩිම ඉල්ලූම ඇති මූල්‍ය පරාදීසය වනු ඇත. එක් කලාපයක් ලෙස ඉදිවන වාණිජ නගරයේ ලෝකයේ මූල්‍ය සේවා පවත්වනු ලබන නගර අතර ප‍්‍රමුඛස්ථානයේ නගරයක් වීමට සැලසුම් කර තිබේ. ඒ ආසියා, අප‍්‍රිකා, යුරෝපා පිවිසුම මධ්‍යයේ පිහිටි උපාය මාර්ගික පිහිටීම හේතුවෙනි. සේදමාවතේ වාණිජ කේන්ද්‍රස්ථානය ලෙස හෙට දවසේ අභිෂේක ලැබීමට දොරටුවක් බවට පත්වන මෙම නගරයේ සමන්විතවන දේවල් අතර, සංචාරක හෝටල්, රෝහල්, බැංකු මහල් නිවාස සංකීර්ණ මෙන්ම මූල්‍ය ආයතන සහ විදෙස් සමාගම් මෙන්ම ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ සන්නාමයන් එක්වනු ඇත. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වරාය, ජාත්‍යන්තර දිවයින, යාත‍්‍රාංගණය හා දූපත් වාසය ලෙස අනු කලාප 5කින් සමන්විතය.
 
 මේ අතර ප‍්‍රකට ඉන්දීය මාධ්‍යවේදිනියක වන පල්කි ශර්මා  ‘A Chinese Colony in Indias backyard’ මැයෙන් වියොන් රූපවාහිනිය හරහා ඉදිරිපත් කළ වාර්තාවෙන් ප‍්‍රකාශ කළේ කුමක්ද? මේ වරාය නගරය ඉන්දියාවේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වන බවයි. තමිල්නාඩුවට කිලෝමීටර් 290 පහළින් ඉදිකෙරෙන කුඩා දිවයින අයත්වන සාගර කලාපය හරහා ඉන්දියාවේ නාවික භාණ්ඩ ප‍්‍රවාහනයෙන් 70%ක් සිදුවන බව පල්කි ශර්මා කියයි. කොළඹ නගර ව්‍යාපෘතිය නිමවූ විට එහි ස්ථානගතවන චීන සමාගම් හරහා ඉන්දියාවට බරපතළ ආරක්ෂක තර්ජනයක් එල්ලවිය හැකි බවට මේ මාධ්‍යවේදිනිය අනතුරු අඟවයි. ඇත්තෙන්ම වියොන් රූපවාහිනිය සැබවින්ම චීන විරෝධී ස්ථාවරයක් දරන අතර දැඩි ඉන්දීය හිතවාදී මතයක් ප‍්‍රකට කරන මාධ්‍යකි. ඔවුන් මීට වසර කිහිපයකට පෙර ලංකා ආණ්ඩුව රාවණා රජුගේ ගුවන් ඉතිහාසය ගැන සෙවීම සඳහා ව්‍යාපෘතියක් ඇරඹූ විට එයද සමච්චලයට ලක්කළ බව අපට මතකය. හින්දු ජාතිකවාදීන්ට රාවණා සිහි කිරීම මෙන්ම ප‍්‍රහාර්ෂයට නැගීම ප‍්‍රශ්නයකි. පල්කි හරහා සිදුවන්නේද ඉන්දියානු ආණ්ඩුවේ මතය ප‍්‍රකට කිරීමක් පමණි. එමෙන්ම මේ වාර්තාවේ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ වරාය නගර ව්‍යාපෘති විරෝධය විශේෂයෙන් දක්වා තිබිණි. එය වර්තමානයේ අභයාරාම ස්ථාවරය ගැන දිල්ලිය සැබවින්ම සතුටු වන බව පෙනෙයි. මුරුත්තෙට්ටුවේ හිමි නව නායකයෙක් සොයමින් සිටින බව ප‍්‍රකාශවන්නේ ද කවර හේතුව නිසාද? ජනපති පත් කිරීමෙන් පසුව තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ ගිහි පැවිදි බොහෝ පිරිසක් ආණ්ඩුවට දොස් නගන බව නම් පෙනේ. එහෙත් හිතේ අමාරුව වහ ගන්නට ආණ්ඩුවට බැනීමෙන් රට අත්වන යහපතක් නැත. ඉන්දියාව හැමවිටම ලංකාවේ යහපත සලකා කටයුතු කරන රටක් නම් නොවේ. මීට වසර කිහිපයකට පෙර ඉහතින් දැක්වූ මාධ්‍යවේදිනිය වන පල්කි ශර්මා සමග සාකච්ඡුාවකට එක්වෙමින් හිටපු පාකිස්තාන ජනපති පර්වේෂ් මුෂාරෆ් කළ ප‍්‍රකාශය අපට මතකය.” බලන්න දිල්ලි ආණ්ඩුව පකිස්තානයට, ලංකාවට, බංගලිදේශයට කරන්නේ මොනවද කියල ඉන්දියාව ලොකු සහෝදරයා වුණාට අනිත් දකුණු ආසියානු රටවල් දෙස බලන්නේ යහපත් ලෙසද? ඉන්දියාවේ කුහකවත පර්වේෂ් මුෂාරෆ් නිවැරදි ලෙස හෙළි කිරීම ගැන ඔහුට අපේ ගෞරවය හිමි විය යුතුය. රාජපක්ෂ විරෝධය උග‍්‍ර කිරීම 2014 අග කාලයේත් ඉතා හොඳින් සිදුවූ අතර ඒ අනුව දේදුන සන්ධානය බිහි විය. ඉන්දියාවේ කැමැත්ත මත බිහිවූ යහපාලනයෙන් රටට ඇතිවූ යහපත කුමක්දැයි යළිත් සාකච්ඡුා කිරීමන් පලක් නැත.
 
 ඇත්තෙන්ම කොළඹ වරාය නගරය ගැන ශ‍්‍රී ලංකාවට ඇති අපේක්ෂා සෑහෙන විශාල එකකි. නිවැරදිව කළමනාකරණය කරගත හැකි වුවහොත් ආර්ථික වර්ධනයට ඉමහත් පිටිවහලකි. නමුත් මෙයට එරෙහිව ඉන්දියාව යළිත් අවි අමෝරාගෙන ඇති බව පෙනේ. බ‍්‍රාහ්මණයන්ට අවශ්‍ය ලෙස ලංකාව පාලනය කළ නොහැක. චීන කොලනි විරෝධය හරහා කියවෙන්නේ බ‍්‍රාහ්මණ උපායයි. ඒ සඳහා ඉන්දියානු මාධ්‍යවලද නොමද සහාය ලැබේ. වසංගතය නිසා ලංකාව මෙන්ම ආණ්ඩුවද අපහසුවට පත්ව ඇති නිසා වත්මන් පාලනයට එරෙහි මතය වඩා හොඳින් ජනගත කළ හැකි බව විදෙස් ඔත්තුකරුවෝ අවබෝධ කරගෙන සිටිති. ශ‍්‍රී ලංකාව කුඩා රටක් බැවින් එහි ජාතික ආරක්ෂාව සහ ජාතික අවශ්‍යතාව ඉන්දියාව සමඟ වැඩි වශයෙන් බැඳී ඇති බවත් අප අනිවාර්යයෙන් පිළිගත යුතුය. මෙම සාධකය වැරදි ලෙස ගණනය කිරීම අනාගතයේ දී ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයකි. ඉන්දියාව හා ඇමෙරිකාව එක් පාර්ශ්වයක් ලෙස වරාය නගරයේ එක් පැත්තක සිටින අතර චීනය අනෙක් පැත්තේය. ලංකාව මැද්දේය. බල අරගලය තියුණු වී තිබේ. ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය ප‍්‍රධානී වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් පවසා තිබුණේ ශ‍්‍රී ලංකාවේ වරායන් චීන හමුදාවට විවර වීම ඉන්දියාවට තර්ජනයක් වන බවයි. ඉන්දියානු නාවික ප‍්‍රධානියාද මේ උණුසුමේම මෙවැනි ප‍්‍රකාශ සිදු කිරීම මගින් දිල්ලි ආණ්ඩුවේ වරාය නගර විරෝධය තවත් තහවුරු වේ.

චතුර පමුණුව

(Courtesy of Diwaina)



36 Viewers