වසර 150 ක් සපුරන පානදුරාවාදය -ක්‍රි .ව 1873 අගෝස්තු 26 සහ 28/2023 අගෝස්තු 26

1873 අගෝස්තු 26 හා 28 යන දෙදින තුල පාණදුරේදී මෙම වාදය සිදුවිය. මෙම වාදය පංච මහා වාද අතුරින් වඩා වැදගත්ම වාදය ලෙස සැළකේ. මෙහිදී බෞද්ධ පක්ෂයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ ක්‍රිස්තියානි පක්ෂයෙන් දාවිත්ද සිල්වා පාදිලි යන අය ප්‍රධාන කථිකයෝ දෙදෙනා ලෙස සහභාගී වූහ.බෞද්ධයන්ට නව ජීවනයක් ලබා දුන්නේ පානදුරා වාදයයි.
ක්‍රි .ව 1796 බ්‍රිතාන්‍ය පාලනය ආරම්භවන අවස්ථාවේ සිට ඔවුන්ගෙ ප්‍රධාන පරමාර්ථයන් අතර වූයේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම වූ අතර සිංහල ජාතියත් බුදු දහමත් නොසලකා හරින ලදි.
බෞද්ධ ජනතාව අන්ත අසරණව සිටි එම කාලයේදී ක්‍රිස්තියානි ආගම රටේ ප්‍රධාන ආගම බවට පත්කර ගැනීමට ඔවුන් මාන බලමින් සිටින ලදි. බ්‍රිතාන්‍ය පාලනය සිංහල බෞද්ධයන්ට සමාජයේ සියලු අවස්ථාවන් අහිමි කරමින් ඔවුන්ගේ ආගම වූ ක්‍රිස්තියානි ආගම ,බලයෙන් වැළද ගන්නා ලෙස මුහුදුබඩ පලාත් වල සහ අනෙකුත් ප්‍රදේශයන්හි කටයුතු කරන ලදි.
ආර්ථික අතින් ද ජනතාව දුර්වල කරමින් ,බෞද්ධයන් යැයි කීම පවා ලජ්ජාවට කරුණක් බවට පත් කරමින් සිටි යුගයක වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් ප්‍රමුඛ සිංහල භික්ෂූන්වහන්සේලා විසින් දියත්කරන ලද නව ජීවන ව්‍යාපාරය හරහා බෞද්ධයන්ට එක්තරා සුවිශේෂී කාලපරිච්ඡේදයක් උදාවිය.
එකී කාළයේදී එනම්, 1873 අගෝස්තු 26 සහ 28 දෙදින පැවති “පානදුරා වාදය” යනු සිරිලක ඉතිහාසයේ තවත් එක් සිදුවීමක් පමණක් නොවේ .එය ලාංකීය ජනතාවගේ විශේෂයෙන් ශ්‍රී ලංකාවට බුදුන් වහන්සේගේ වැඩමවීම,මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීම හා සමාන මුලු මහත් සිරිලකම වෙනස් කිරීමට තුඩුදුන් සිදුවීමකි.
බුදු දහමේ දාර්ශනිකත්වය,ගැබුරැ හරය සහ අගය ලෝකය පුරා ගිගුම් දුන් අතර එය ප්‍රචලිත කිරීමට මහගු පිටුවහලක් විය.
මෙම “පානදුරා වාදය” ට ආසන්නම හේතුව වුයේ පානදුරේ වෙස්ලින් දේවස්ථානයේදී දාවින් ද සිල්වා දේවගැතිවරයා බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීම් වැරැදි ලෙස අර්ථකථනය කරමින් දේශනයක් පැවැත්වීමයි.
ඒ බැව් දැනගත් පානදුර රන්කොත් විහාරස්ථානයේ දායක දායිකාවන් විසින් වාදසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් වැඩමවා පිළිතුරැ දේශනයක් පැවැත්වුහ.
මේ ආකාරයෙන් විහාරස්ථානයේ සහ පල්ලියේ අභ්‍යන්තර දේශනා කිහිපයක් පැවති අතර, මුහුණට මුහුණ වාදයක් සදහා ක්‍රිස්තියානි පාර්ශවයෙන් යෝජනා විය. ඒ අනුව 1873 අගෝස්තු 26,28, දෙදින පානදුර මහා වාදය පානදුර රන්කොත් විහාරස්ථානයට නුදුරින් වූ පට්ටියේ දොඹගහ වත්ත ඉඩමේ දී පැවැත්වීමට තීරණය විය.
මෙම “පානදුරා වාදය” සදහා කරැණු දහයකින් සමන්විත ගිවිසුමකට අත්සන් තැබුණු අතර, පානදුර පට්ටියේ පිහිටි දොබගහ වත්ත නම් මුහුදුබඩ රමණීය භූමියක විශේෂයෙන් ගොඩනගන ලද මඩුවක මෙය පවත්වන ලදී .
ක්‍රිස්තියානි පාර්ශ්වය වෙනුවෙන් දාවිත් ද සිල්වා පාදිලිතුමාද, දෙවනුව සිරිමාන්න කතිසේරැ තුමාද වාදය සදහා කථිකයන් ලෙස සහභාගීවූ අතර, බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් මුළු දෙදින පුරාවට එකම කථිකයා වුයේ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් පමණි.
ඉතා සාමකාමීව පැවති වාදය නැරඹීමට දස දහසක් පමණ ජනතාව රැස්වී ඇති අතර මෙහිදී ක්‍රිස්තියානි පාර්සවයෙන් මතුකල තර්ක වලට ගුණානන්ද හිමියන් සැමට තේරුම් ගත හැකි පරිදි සරළ තර්කානුකූල පැහැදිලිකිරීම් කරනලදී , ක්‍රිස්තියානි ආගම පිලිබඳ ගැඹුරු අවබෝධය මෙහිදී පැහැදිලිවී ඇත.
පානදුරා වාදය අවසානයේ දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාව මහත් සතුටින් “සාදු”නාදය පල කළ අතර ඉන්පසුව කිසිදු භේදයකින් තොරව ජනතාව විසිර ගිය අතර, බෞද්ධ පාර්ශ්වය ඉතා ප්‍රීතියෙන් ද ක්‍රිස්තියානි පාර්ශ්වය මහත් දොම්නසින් ද විසිර ගිය බව කියවේ.
ක්‍රිස්තියානි දර්ශනය මතවාදීව පරාජය කිරීමට හැකිවීම “පානදුරා වාදය” තුලින් ලැබූ ඉහලම ජයග්‍රහණය වේ, එසේම මෙම වාදයේ ඉංග්‍රීසි පරිවර්තනය ඉංග්‍රීසි භාෂාවෙන් පොත් මුද්‍රණය වූ අතර ඒවා විදේශයන්හි විද්වතුන්ගේ අවදානයට භාජනය විය. වර්තමානයේ සිංහල බෞද්ධයන් වන අප යම් ප්‍රමාණයකට හෝ හිස ඔසවා සිටින්නෙ නම් ඒ අන්කිසිවක් නිසා නොව මේ “පානදුරා වාදය” ට පින් සිදුවන්නටය.
මෙම පානදුරාවාදයේ තොරතුරු එකල සිලෝන් ටයිම්ස් ප්‍රවෘත්ති පත්‍රයේ කතෘ ජෝන් කැපර් මහතා, මෙම විවාදයේ සමස්ථය, විවාදය කල වේලාවේදීම ඇඩ්වඩ් පෙරේරා මහතා ලවා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට පිටපත් දහස් ගණනක් මුද්‍රණය කොට විසිරුවා හරිනු ලැබ තිබේ.
ජෝන් කැපර් මහතා හා ඇඩ්වඩ් පෙරේරා යන මහත්වරු ක්‍රිස්තු ලබ්දිකයින් යැයි සඳහන් වේ.කැපර් මහතා විසින් ප්‍රසිද්ධ කරන ලද එම පිටපතක් අමෙරිකානු ජාතිකයෙක් වූ ෆිබල් මහතා විසින් ගාල්ලදී දැක එය සිය රටට ගෙන ගොස්, එහිලා නැවතත් මුද්‍රණය කොට බෙදා හැර තිබේ.
එහිදී පාණදුරාවාදයේ විවාද තතු දුටු හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සහ බ්ලවැට්ස්කි මැතිණිය මෙරටට පැමිණ බුදු දහමේ ප්‍රබෝධය ඇතිකරනු වස් කොළඹ, ගාල්ල වැනි ප්‍රදේශ වල පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම් පිහිටුවීමද, ගම් නියම්හී බෞද්ධ පාඨශාලා පිහිටුවීමටද පෙරමුණ ගන්නා ලදී.
8 Viewers