විපක්ෂයක් ඕනෑ කර තිබේ.
සමාවෙන්න. එය වැරදි මාතෘකාවකි. බ්‍රිත්‍යාන්‍යයන් අප මත පවරන ලද වෙස්මින්ස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නිසාවෙන් අපට විපක්ෂයක් නැති පාලනයක් පරිප්පු නැති හෝටලයක් තරමට අස්වාභාවික හා අසාමාන්‍ය සිතුවිල්ලකි.
පක්ෂ දේශපාලනය ලාංකීය සමාජ දේහය තුල පිළිකාවක් ලෙස ඔඩු දුවා ඇත්තෙ යම් සේද ආණ්ඩුව මෙන්ම විපක්ෂය නැමැති සංකල්පයද ප්‍රජාතන්ත්‍රවාදය නැමැති සළු පටලයන්ට මුවාවු තවත් රැවටුම් මාධ්‍යයකි. අප දන්නා ඉතිහාසය තුල විපක්ෂයේ කාර්‍ය භාරය, ආණ්ඩුව කුමක් කළත් එය වැරදිබව ජනතාවට ඒත්තු ගැන්විමයි. 2015 දි අවසන් වු මහින්ද රාජපක්ෂ යුගයේ වරාය නගරය පිළිබඳ එවකට විපක්ෂයේ මෙන්ම යහපාලන ආණ්ඩුවේ මිලේනියම් වැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්භන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ හැසිරිම ද විපක්ෂයේ මෙම නිරර්ථක භාවිතාව සනාථ කරයි. විපක්ෂයේ සිටියදි කොන්දේසි විරහිතව පට්ට ගැසු මාතෘකවන් බලයට පත් වු විට ජාත්‍යන්තර හේතු නිසා අහෝසි කිරිමට නොහැකිවේ යන්න දැනට සොයා ගෙන ඇති පහසුම විත්තිවාචකයයි.
විපක්ෂයේ සටන්පාඨ සහා උද්ඝෝෂණ පක්ෂ නායකත්වය විසින් දිග හරිනු ලබන ලණුවේ දිග ප්‍රමාණයට සීමාවේ. ආණ්ඩු බලය ලබා ගැනීමේ ව්‍යපෘතියකට එහා ගිය ජාතික න්‍යාය පත්‍රයක් විපක්ෂයට නොමැත. පසුගිය යහපාලන කාලය තුල 19 වන සංශෝධනය, ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ,ජිනීවා යෝජනාවලිය, උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා සංහාරය සහ ඉස්ලාමීය අන්තවාදය ගැන එවකට සිටි විපක්ෂය සිටීයේ මර නින්දක බව අමතක නොකළ යුතුය. රනිල් වික්‍රමසිංහගේ ෆෙඩරල් ව්‍යවස්ථා මෙහෙයුම ඉදිරියේ ඔවුහු නිහඬ වුහ. උතුරේ සිංහලයාගේ දුක වෙනුවෙන් හඬක් නැගීමට පෙර සංහිඳියාව හා අහිමි විය හැකි සුළු වාර්ගික චන්ද ප්‍රමාණය පිළිබඳ ගණන් තැබීමට ඔවුන් උත්සුක වුහ. ජාතික අරමුණු වලින් බැහැර වු ආණ්ඩු බලයම අරමුණු කර ගත් විපක්ෂ භූමිකාවේ හෙම්බත් වීම, 20 වන සංශෝධනය පිළිබඳව ජවිපේ ආකල්පයෙන් පැහැදිලි වේ. ඔවුන්ට අනුව 20 ගැන පුළුල් විරෝධයක් ඔවුන්ට නැත. ජනතාව 2/3 ක බලයක් ආණ්ඩුවට ලබා දී අපිව කුණු කූඩයට දැම්මේ නම් , දැන් පවු ගෙවපන් කියන පරාජිත මානසිකත්වයට ජවිපෙ පත්ව ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයට පාර්ලිමේන්තුවේ 2/3 කට ආසන්න දැවන්ත බලයක් ලබා දී තිබියදි ,එම රජයේ වැඩපිළිවෙල ජනතා අපේක්ෂාවන් තුල රඳවා ගැනීම සඳහා උපායමාර්ගික අවශ්‍යතාවක් පවති. බලය දූෂිත වන අතර අධික බලය අතිශයින් දූෂිතබව දේශපාලන විද්‍යාවේ ප්‍රාථමික ප්‍රවාදයකි. රජය නිවරැදිව මෙහෙයවනු වස් , යම් යාන්ත්‍රණයක් පැවතීම අත්‍යාවශ්‍ය කාරණයකි.
වෙස්මිනිස්ටර් ආකෘතියේ ආණ්ඩුවක් පමණක් නොව සංඛ්‍යාත්මකව හා සංකේතාත්මකව වෙනම හඳුනා ගත හැකි විපක්ෂයක් ද අපට තිබේ. සමගි ජන බලවේගය, ජවිපෙ සහ දෙමළ ජාතික සන්ධානයද එම විපක්ෂය නියෝජනය කරයි.
ආණ්ඩුවට විපක්ෂයක් තිබීම ගැටලුවක් නැති නමුත් රටට විපක්ෂයක් අවශ්‍ය නැත. මෙයට පණස් වසරකට පෙර “අපට බෞද්ධ රාජ්‍යයක් අවශ්‍ය වන්නේ ඇයි” කෘතිය මගින් යක්කඩුවේ පක්ඤාසීහ නාහිමියන් පෙන්වා දුන්නෙ ජාතික ප්‍රතිපත්තියකින් තොරව ආණ්ඩු මාරු වීම රටේ ඉදිරි ගමනට බාධාවක් බවයි. ආණ්ඩුව විසින් කළ යුත්තේ දස වසරක් හෝ විසි වසරක් සඳහා වන ජාතික සැලසුම් ක්‍රියාත්මක කිරිමයි. එහෙයින් විපක්ෂයේ වගකීම වන්නේ එකඟ වු ජාතික වැඩපිළිවෙල නිවැරදිව ක්‍රියාත්මක කිරිමට සාධනීය විවේචනයෙන් දායක වීමයි. මැතිවරණයකින් කල යුත්තේ එම ජාතික වැඩපිළිවෙල යුහුසුළුව ක්‍රියාත්මක කල හැකි පුද්ගලයන් තෝරා ගැනීමයි.
පසුගිය මැතිවරණයේදි ජනතාව එවැනි පුළුල් ජාතික වැඩපිළිවෙලකට අනුමැතිය දි ඇත. සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට හෝ අනුර කුමාරගේ ජාතික ජන බලවේගයට පසුගිය මැතිවරණයේදි ලබා දුන් ජනවරම නිවරැදි මාවතක ක්‍රියාත්මක විම ගැන මග පෙන්වීමක් කල නොහැක. ජාතිකත්වය සම්භන්ධයෙන් වඳ පීදුන පක්ෂ දෙකකට එම වගකීමට උරදීමට දේශපාලන මතවාදයක් නැත. එජාපය දිගින් දිගටම පරාජයට පත් වුයේ එය මෙරට සංස්කෘතික හරයන් ප්‍රතික්ෂේප කල නිසාවෙනි. සමගි ජනබලවේගය යනු එජාපයම මිස වෙන කිසිවක් නොවේ. එය එජාපයේ ප්‍රතිපත්තිවලින් බැහැරව නැත. වඩාත් හොඳින් කිවහොත් සමගි ජන බලවේගය යනු එජාපයේ කාර්‍යභාරය එජාපය ඉටු නොකරන නිසා එය වඩා හොඳින් ඉෂ්ඨ කිරිමට ඉදිරිපත්වු තවත් අවස්ථවාදි කුඨ්ඨනයක් පමණි. රනිල් සමග දිනන්න බැරි නිසා සජිත් සමග ආවා මිසක් රනිල්ගෙ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරිමක් සමගි ජනබලවේගයේ නැත. මෙරට ජාතිකත්වයේ හෘද ස්පන්දනයට සංවේදි නොවන තාක් රියදුරා මාරු කිරිමෙන් පමණක් එජාපයට ජයග්‍රහණය සිහිනයක් වනු ඇත. ජවිපෙ සම්භන්ධයෙන් ගත් කල , එහි අනුග්‍රහය ලබන අලුත් පරපුර ඔවුන්ගේ දේශපාලන මතය නියෝජනය කරයි. ජවිපේ මේ වන විට එජාපයේ සංස්කෘතික මතවාදය පෙරට ගෙනයෑමට කැපවු සංස්කෘතික කණ්ඩායමක් බවට පත්ව ඇත. මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය රටේ ජාතික මතයට තල්ලුවක් දෙන තත්වයක නැත.
ඓසේ නම් රට වෙනුවෙන් ආණ්ඩුවට විපක්ෂයෙ කාර්‍යභාරය ඉටු කල හැක්කේ කාටද?2005 මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමේන් නිහඬ වු ජාතික බලවේග මෙවර හිස් අතින් ගෙදර යෑමට සුදානම් නොවන බව මේ වන විටත් පෙන්වා දී තිබේ. ආණ්ඩුව විසින් කරනු ලබන යම් පත් කිරිම් සහ 20 වන සංශෝධනයේ සමහර යෝජනා පිළිබඳව ජාතික සංවිධාන විසින් සිය විරෝධතාව දක්වා ඇත. අහේතුකව හුදෙක් ආණ්ඩුව අපහසුතාවට පත් කිරිමට එම බලවේගයන්ට උවමනාවක් නැත.
පසුගිය මැතිවරණයේදි ජාතිකවාදි රැල්ලට ජාතිකත්වය තදින් වැළඳගත් සීමිත පිරිසකටද පාර්ලීමේන්තුවේ දොර විවර වු නමුත් පක්ෂ යාන්ත්‍රණයෙන් ඉදිරිපත් කරන ලද පරණ බෝතල්, ටින් කැබලි ද විශාල වශයෙන් ගසා ගෙන ඇවිත් තිබේ. ස්වභාවයෙන්ම පහුගිය වසර තිහක් තුල ජරාජීර්ණය කරන ලද පක්ෂ දේශපාලනය විසින් නිර්මාණය කරන ලද අන්තේවාසිකයන් රොත්තක් එම පක්ෂයේ බහුතරය අරක්ගෙන ඇත. අශ්වයන්ට දොර හැරිය විට බූරුවන් රංචු පිටින් රිංගා ගත් පාර්ලීමෙන්තුවක් 2020 දි අපට ලැබි ඇත. දැන් සිදුවී ඇත්තේ ජනතා අපේක්ෂාවන් උදෙසා පත් කල මන්ත්‍රිවරුන්ට වවුලාගේ මගුල් ගෙදර ගිය විට එල්ලී සිටීමට සිදුවිම වැනි අකරතැබ්බයකි. යහපාලන ආන්ඩුවේ පස්සේ දොරෙන් ඇතුළු වි ඇමති කටු වලට ගිජු වු පිරිසක් ආණ්ඩුවේ 17ටත් 18ටත් 19 අත එසවු හෙන්චයියලා දැන් 20 ට අත එසවීමට ජාතික බලවේගයන්ට උපදෙස් දෙමින් සිටිති. මහින්ද රාජපක්ෂ රජය වළ පල්ලට යන තෙක් කටු ලෙවකමින් සිටි රජවාසල පෙරෙතයන් පිරිසක් ,ජාතික සංවිධාන වලට පහර දෙමින් ආණ්ඩුව තුල ජාතිකවාදින් හුදකලා කිරිමට උත්සහ දරමින් සිටිති.
මේ තත්වය අපට කියා දෙන එක් වැදගත් පාඩමක් තිබේ. පවතින ප්‍රධාන පක්ෂ ඇතුලට ගොස් ඒවා නිවරැදි කිරිම ඓතිහාසිකව අසාර්ථක වු උපාය මාර්ගයක් බවයි.
ජාතික ව්‍යාපාරයේ කාර්‍යභාරය ඉතිහාසය තුල පාර්ලීමේන්තුවට සීමාවී නොමැත. රනිල් එක්ක සහයෝගයෙන් චන්ද්‍රිකා හැදු ව්‍යවස්ථා පොට්ටනිය පාර්ලීමේන්තුවේදි රනිල්ම පුච්චා දැම්මේ රනිල්ගේ මෙහෙයවිමෙන් නොවේ. යහපාලන ආන්ඩුවේ ෆෙඩරල් ව්‍යපෘතිය හකුලා ගත්තේ ඒකාබද්ධ විපක්ෂයේ උත්සහයකින් නොවේ. සංකේතාත්මක පාර්ලීමේන්තු විපක්ෂය හැමදාම ජාතික ව්‍යාපාරයේ තල්ලු ස්ටාර්ට් එකෙන් පණ ගන්වන ඇන්ජින් බව ඉතිහාසය තහවුරු කරයි.
එසේම පාර්ලීමේන්තුව තුලද ජාතික ව්‍යාපාරය සාධනීය ලෙස දේශපාලන බලවේග මෙහෙයවා ඇත. සෝම හිමියන්ගේ අපවත් වීමෙන් කුළු ගැන්වුනු ජාතික බලවේග හෙළ උරුමයට ජවයක් දෙන විට තමන් ගේ ස්ථානය අහිමි වීමේ චකිතයෙන් ජවිපේ වේගයෙන් ජාතිකත්වයට විතැන්විය. චන්ද්‍රිකාගේ නායකත්වය තුල ශ්‍රිලනිපය තුල හුදකලාවු මහින්ද රාජපක්ෂ බලයට ගෙනු ලැබුයේ ජාතිකත්වයට නැඹුරු වු හෙළ උරුමය සහ ජවිපෙ ඇති කල දේශපාලන ගතිකත්වයයි. සාම සාකච්ඡාවන්ට සුදානමින් සිටි රාජපක්ෂ රජයට යුද්ධයෙන් එල්ටීටීඊය පරාජයට පත් කිරිමට ප්‍රතිපත්තිමය ලෙස බලකෙරුණේ එසේ ගොඩ නැගෙන ලද ජාතිකත්ව බලවේගය විසිනි.
ජාතික බලවේගයන්ට පාර්ලිමේන්තුවත් ඉන් පිටතත් රට වෙනුවෙන් සටනකට ඓතිහාසික පළ පුරුද්ද ඇත. ප්‍රශ්නයකට ඇත්තෙ ඒ ඉතිහාසයෙන් පන්නරයක් හා ජවයක් නොලැබීමත් කාගේ හෝ බෝට්ටුවක එල්ලි කෙටි පාරෙන් ගොඩ යෑමට ඇති පටු ආශාවත් ය. අලියා,උගේ තරම දැන ගත යුතු මෙන්ම ජාතික ව්‍යාපාරය තමන්ගේ වගකීම සහ ශක්තිය පිළිබඳව තක්සේරුවකට පැමිණිය යුතුය. රටට අවශ්‍ය වන්නේ විදේශීය න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙය වන සමගි ජනබලවේග හෝ ජාතික ජන බලවේග නොව රටට ආදරය කරන නිසි මග පෙන්වන දේශප්‍රේමී ජනතා බලවේගයකි.
අරුණ- 2020-10-09
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
14 Viewers