විමුක්තිය පෙන්වමින් කොටි ගහපු ගැට ගැන කියන එල්. ටී. ටී. ඊ. රාජන්
(Courtesy of Sunday Diwaina)
බිහිසුණු කොටි ත‍්‍රස්තවාදී යුද්ධයේ මතකය තවමත් අපේ සිත්වලින් මැකී ගොස් නැත. ඒ යුද්ධයේ කුරිරු බව නොසෑහෙන්න අත්විඳි නිසාය. එමෙන්ම යළි, යළිත් ඒ කාලකණ්ණි අතීතය සිහිපත් කිරීමට ද අප කැමැති නැත. එහෙත් අකැමැත්තෙන් හෝ යළිත් ඒ අමිහිරි මතකය ආවර්ජනය කිරීමට සිදු වූයේ යුද්ධයේ අවසාන දින කිහිපයේදී කොටි නායකයන් විසින් සිවිල් ජනතාව මරා දැමූ බවට අමානුෂික කතාවක් ඇසීමත් සමඟය. ඒ කාලකණ්ණි කතාව අපට කීවේ එල්.ටී.ටී.ඊ.යේ ප‍්‍රබල සාමාජිකයකු ලෙස යුද වැදී, මේ වන විට දැහැමින් ජීවත් වන රාජන්ය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡුත්වයෙන් ඔබ්බට ගිය ගෝත‍්‍රික ස්වරූපය ඉස්මතු වන ඒ කතාව ඇසෙන විට ගත සිත හිරිවැටිණි. එහෙත් ඇසිය යුතුම කතාවක් නිසා ආයාසයෙන් අපි රාජන්ගේ කතාවට සවන් දී සිටියෙමු. මෙතැන් සිට කතා කරන්නේ අප නොවේ, යුද බිමක සටන් කර එක් පාදයකට වෙඩි වැදී කොටසක් අහිමිව පූරුවේ වාසනාවට මරණයෙන් වැළකුණු රාජන්ය.
‘‘මගේ නම යෝගරාජා කිරුපාහරන්. ඒත් වැඩිපුර භාවිත වෙන්නේ රාජන් කියන කෙටි නම. අපේ පවුලේ පිරිමි තුනයි. ගෑනු දෙකයි. තාත්තා රස්සාවට කරන්නේ රත්තරං බඩු හැදීම. අපි ජීවත් වුණේ මුලතිව්, මුල්ලියාවේලිවල. පුංචි කාලේ දුවලා පැනලා සෙල්ලම් කරන්න නිදහස් පරිසයක් අපිට තිබුණේ නෑ. නිතර අපිට ඇසුණේ වෙඩි හඬ. ගෙවල් උඩින් අහස් යානයක් යනකොට අපි කොහේටහරි උන්ඩි වෙනවා…’’
‘‘අපි ඉගෙනගත්තේ මුල්ලියාවේලී විද්‍යානන්ද විද්‍යාලයේ. අවුරුද්දෙන් වැඩි කාලයක් අපිට නිවාඩු. අපේ පවුලේ අයට විතරක් නෙමෙයි, ගමේ අපේ වයස්වල කිසිම කෙනෙකුට සාමාන්‍ය පෙළ විභාගයටවත් වාඩි වෙන්න අවස්ථාව ලැබුණේ නෑ. මම ඉගෙනගත්තේ දහය වසරට විතරයි. ඊට පස්සේ තාත්තගේ රත්තරං බඩු කඩයට ගිහින් රන් භාණ්ඩ හදන්න පුරුදු වුණා. අපේ ගෙදර සියලූ දෙනාට රත්තරං බඩු හදන්න පුළුවන්. ඒ නිසා ප‍්‍රදේශයේම අපේ පවුලට හොඳ ප‍්‍රසිද්ධියක් තිබුණා. එල්.ටී.ටී.ඊ. නායකයන්ටත් අපේ තාත්තා රත්තරං බඩු හැදුවා. එල්.ටී.ටී.ඊයෙනුත් අපේ පවුලට හිරිහැර තිබුණේ නෑ. හැම පවුලකින්ම එක සාමාජිකයෙක් එල්.ටී.ටී.ඊ.යට බැඳෙන්න ඕනෑ කියන නීතියට අනුව අපේ අයියා එල්.ටී.ටී.ඊයට බැඳුණා. ඒත් පුහුණුවෙන් පස්සේ ටික කාලයක් ඉඳලා අයියා පැනලා ගෙදර ආවා. ඊට පස්සේ අයියට ගෙදර ඉන්න කියලා මම එල්.ටී.ටී.ඊ. ය ට බැඳුණා. ඒ හැර අපිට කරන්න වෙන දෙයක් තිබුණේ නෑ…’’
‘‘මාව වැටුණේ උතුරු බළකායට. දෙමළෙන් හැඳින්නුවේ වඩපෝර් මිලෙයි කියලා. අපේ නායකයා විදිහට හිටියේ කර්නල් තීපන්. අපේ බළකායේ සේරම හයසීයක් විතර හිටියා. අපිව පුහුණු කළේ අම්බගාමන් පුහුණු කඳවුරේ. යුද පුහුණුව මාස තුනයි. ඒ මාස තුනට අවුරුදු තුනක විතර පුහුණු අභ්‍යාස කළා. ? දවල් දෙකම පුහුණු කළා. පුහුණුවෙන් පස්සේ අපිව මුහමලේ ඉදිරි ආරක්‍ෂක වළල්ලට දැම්මා. එහේ ටික කාලයක් ඉඳලා නාගර් කෝවිල්වලට යැව්වා. නැවත මුහමලේට ගත්තා. 2008 අවුරුද්දේ මගේ කකුලට වෙඩි වැදුණෙත් මුහමලේ ඉදිරි ආරක්‍ෂක වළල්ලේදී. මට අද වගේ මතකයි වෙඩි වැදුණේ අගෝස්තු 18 වැනිදා. මට ප‍්‍රතිකාර කළේ පුදුකුඩුඉරිප්පු පොන්නම්බලම් රෝහලේ. මගේ ඇඳට එහා පැත්තේ ඇඳේ හිටිය එල්.ටී.ටී.ඊ සාමාජිකයට වයස අවුරුදු පහළොවයි. තුවක්කුව උස්සගන්න තරම්වත් හයි හත්තියක් නෑ. කොල්ලගේ කකුල් දෙකම ගිහින්. ‘අයියේ… අයියේ… මගේ කකුල් දෙකට මොකද වුණේ…’ කියලා මගෙන් අහනවා. මගේ පපුව පත්තු වුණා මහත්තයෝ. මට යුද්ධය තිත්ත වුණා. මට පුළුවන් විදිහට කොල්ලට සාත්තු කළා. ඒ කොල්ලා එල්.ටී.ටී.ඊ.යට කැමැත්තෙන් ඇවිත් නෑ. අම්මා එක්ක කඬේට ගිහින් බඩු අරගෙන එනකොට එල්.ටී.ටී.ඊ. කාන්තාවක් තමයි කොල්ලව අරගෙන ගිහින් තිබුණේ. යුද්දේ අන්තිම කාලේ නම් අවුරුදු දොළහ දහතුනේ ළමයින්වත් එල්.ටී.ටී.ඊ.යට අරගෙන ගිහින් යුද්ධයට දාලා තිබුණා. ඒ ළමයි යුද්ධ කරන්නේ නෑ. හමුදාව ගහනකොට තුවක්කු දාලා කැලේ පනිනවා. එහෙම සිද්ධි අනන්තවත් දැකලා තියෙනවා…’’
‘‘මගේ කකුලේ තුවාලය ටිකක් හොඳ වුණාට පස්සේ අපේ බළකායේ රෝහලට යොමු කළා. මට එහා පැත්තෙ ඇඳේ හිටපු කොල්ලා එතකොටත් රෝහලේ. මම යනවා කිව්වම මාව බඳාගෙන ඇඬුවා. ඒත් මට කරන්න දෙයක් තිබුණේ නෑ. අපේ බළකායේ රෝහලෙත් මාසයක් විතර ප‍්‍රතිකාර අරගෙන, ඇවිදින්න පුහුණු කරලා නැවත නාගර් කෝවිල් යුද බිමට දැම්මා. අපි කොච්චර ශක්තිය යොදලා පහර දුන්නත් හමුදාවේ පහරදීම නතර වුණේ නෑ. අපිත් එක්ක එකට හිටිය කොල්ලො සීයක්, දෙසීයක් මැරුණා. අවසාන යුද්ධයේදී කිසිම තැනකදී හමුදාව ඉදිරියට එන එක අපිට පාලනය කරන්න බැරි වුණා. හමුදාව ගහන්න පටන් ගත්ත දවසෙ ඉඳලා අපි පසු බැස්සා. අපි හිටියේ මරණය තුරුලූ කරගෙන. කිසිම වෙලාවක මරණයට බය වුණේ නෑ…’’
‘‘යුද්ධයේ අවසාන දින කිහිපයේදී පුදුමාතලන්, පුදුකුඩුඉරිප්පු ප‍්‍රදේශයේදී අපි සේරම කොටු වුණා. සිවිල් වැසියොයි, එල්.ටී.ටී.ඊ. සාමාජිකයොයි සේරම එකට. සිවිල් වැසියො නිසා හමුදාවට පහර දෙන්න බැරි වුණා. අන්තිමේ එල්.ටී.ටී.ඊ. නායකයන් සිවිල් වැසියන්ව මිනිස් පළිහක් විදිහට පාවිච්චි කළා. ඒ මිනිස්සුන්ට වතුරවත් නෑ. පුළුවන් වෙච්ච දවස්වලට පාල්කණ්චි ටිකක් හදලා බෙදලා දෙනවා. පාල්කණ්ච්චි කියන්නේ රතු හාල්වලට රතු ලූනු දාලා තම්බලා ගන්න කැඳක්. ඒකත් පෝලීමේ ඉදිරියෙන් ඉන්න මිනිස්සුන්ට විතරයි. අන්තිමට හිටිය මිනිස්සුන්ට නෑ. වයසක මිනිස්සු, බඩදරු අම්මලා, පොඩි, පොඩි දරුවො හාමතේ තැන, තැන වැටිලා හිටියා. බඩගින්න ඉවසා දරාගන්න බැරිව මිනිස්සු සිහිසුන්ව ඇදවැටුණා. ඒ මිනිස්සු පණ රැුකගත්තේ මඩ වතුර බීලා. මාස
ගාණන් මූණක් කටක් හෝදලා නැති, වතුර ටිකක් නාගෙන නැති මිනිස්සු ළඟට කිට්ටු වෙන්න බැරි තරමට ගඳයි. අපිත් එහෙමයි. අන්තිමේ හාමතේ ඉන්න මිනිස්සු මැරෙන්න හරි කියලා හමුදා ප‍්‍රදේශවලට යන්න හදනකොට එල්.ටී.ටී.ඊ. නායකයො කිව්වා ‘මුන්ට යන්න දෙන්න එපා… මුන් ගියොත් හමුදාව අපිට ගහනවා… අපිව දාලා යන්න හදන උන්ට වෙඩි තියපල්ලා…’ කියලා. ඒ අසරණ මිනිස්සුන්ට වෙඩි තියන්න අපි කැමති වුණේ නෑ. අන්තිමේ එල්.ටී.ටී.ඊ නායකයො කිහිපදෙනෙක් හමුදා ප‍්‍රදේශයට යන සිවිල් මිනිස්සුන්ට වෙඩි තිබ්බා. බඩදරු අම්මලා, පොඩි දරුවො කියලා බැලූවෙ නෑ. පොදුවේ හැමෝටම වෙඩි තිබ්බා. මිනිස්සු හුඟක් මැරුණා. සිවිල් ජනතාව වැඩියෙන්ම මරලා දැම්මේ පුදුමාතලන්වලදී. වට්ටුවාවලදීත් හමුදාවට භාර වෙන්න ගිය මිනිස්සුන්ට එල්.ටී.ටී.ඊ. නායකයො වෙඩි තිබ්බා. ඉරණමඩු පැත්තට පනින මිනිස්සුන්ටත් වෙඩි තිබ්බා. ඒ මිනිස්සු මැරිලා වැටෙනවා ඇස්වලින් මම දැක්කා. එක මනුස්සයකුගේ කකුල් දෙකම නෑ. ඒත් ඒ මනුස්සයා පස්ස උලාගෙන ඉදිරියට යනකොට පස්සෙන් වෙඩි තිබ්බා. සාමාන්‍ය මිනිස්සුන්ට බය නැතිව හමුදා ප‍්‍රදේශවලට යන්න කියපු එල්.ටී.ටී.ඊ පොලිසියේ සාමාජිකයෙක් ඇතුළු පස්දෙනෙක්ව පෝළිමට තියලා වෙඩි තිබ්බා. එහෙම කළේ එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙක්ව හිටිය ආදවන්. අන්තිමේ ආදවනුත් බෝම්බයක් පුපුරුවාගෙන මැරුණා. අපිත් සිවිල් වැසියන් එක්කම ඇවිත් හමුදාවට භාර වුණා…’’
‘‘හමුදා ප‍්‍රදේශවලට ආවට පස්සේ තමයි පිරිසිදු වතුර උගුරක් බිව්වේ. බත් වේලක් කෑවේ. අද වගේ මතකයි මම හමුදා ප‍්‍රදේශයට ආපු හැටියේ මට දුන්නේ පළතුරු බීම පැකට් එකක්. එදා ? අපිට හොඳට කන්න දුන්නා. ඕමන්තෙ කඳවුරට ගෙනත් දැම්මට පස්සෙත් තුන් වේලම හොඳට කන්න දුන්නා. අපිව ප‍්‍රශ්න කරලා අනාථ කඳවුරකට ගෙනත් දැම්මට පස්සෙත් හොඳට කන්න බොන්න දුන්නා. ඇඳුම් දුන්නා. ඊට පස්සේ උයාගෙන කන්න වළං මුට්ටි, වියළි ආහාර දුන්නා. හොඳට කාලා බීලා මාස හතරක් විතර ඒ අනාථ කඳවුරේ ජීවත් වුණා. ඊට පස්සේ අපිට ගම්වලට එන්න අවසර දුන්නා. දැන් අපි ව්‍යාපාර කරගෙන බොහෝම හොඳට ජීවත් වෙනවා. මම කසාද බැඳලා දරුවො දෙන්නෙක් ඉන්නවා. දුවයි, පුතයි. මගේ නංගි, එයාගේ මහත්තයයි දෙන්නම යුද්ධයේදී ෂෙල් වෙඩි වැදිලා මැරුණා. නංගිගේ දුව
බලාගන්නෙත් මමයි. නංගි මැරුණු හැටි දුවට කියන්නේ නෑ. මගේ කකුල නැති වෙච්ච හැටි මගේ දරුවන්ට කියන්නේ නෑ. දැන් ඒවා වැඩක් නෑ. යුද්ධය ඉවර වුණාට පස්සෙ තමයි අපි ටී.වී. එකක් දැක්කෙ. උතුර හැර තවත් රටවල් තියෙනවා කියලා දැක්කේ යුද්දෙ ඉවර වුණාට පස්සෙයි. අපි ජීවත් වුණේ ළිඳේ ඉන්න ගෙම්බෝ වගෙයි. ඇත්තම කියනවා නම් අපේ ගම්වල මිනිස්සු අදටත් ආමි එකට ස්තුති කරනවා. දැන් අපේ ගම්වල මිනිස්සු වේලක් කාලා හරි සතුටින් ජීවත් වෙනවා…’’
‘‘එල්.ටී.ටී.ඊ.ය අපේ ළමා කාලය නැති කළා. තරුණ කාලය මරණයට තල්ලූ කළා. අවුරුදු තිහක් අපේ මිනිස්සුන්ගේ ජීවිත නැති කළා. දැන් අපිට තමන්ගේ ශක්තියෙන් නැඟිටින්න නිදහස් රටක් තියෙනවා. ඒත් අපේ මිනිස්සු එකාට, එකා නෑ. එකෙක් දියුණු වෙනවාට තව කෙනෙක් කැමැති නෑ. අද වගේම එදත් එල්.ටී.ටී.ඊ.ය යුද්ධය පරාජය වෙන්න ප‍්‍රධාන හේතුව වුණේ අපේ මිනිස්සුන්ගේ අසමගිය. ජාති බේද, කුල බේද ප‍්‍රශ්න එල්.ටී.ටී.ඊ.යේ තිබුණේ නෑ. එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ තිබුණු ප‍්‍රධාන ගැටලූව තමයි අසමගිය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් එක මතයක හිටියේ නෑ. හිටියා නම් ඒ මරණ බයට විතරයි. ඒ වගේම ප‍්‍රභාකරන් අපේ මිනිස්සුන්ගේ දුක, සැප සොයා බැලූවා. එල්.ටී.ටී.යේ ස්වර්ණමය කාලේ නැති බැරි මිනිසුන්ට ගෙවල් හදා දුන්නා. උස් පහත්, දුප්පත් පොහොසත් බේද තිබුණේ නෑ. හැමෝටම එක විදිහට සැලකුවා. ඒත් ප‍්‍රභාකරන්ගේ පුතා චාල්ස් ඇන්තනී එල්.ටී.ටී.ඊ.යේ සෙසු නායකයන්, සාමාජිකයන්ව පයිසෙකට මායිම් කළේ නෑ. බොහෝම උඩඟුකමෙන් තමයි ජීවත් වුණේ. ප‍්‍රභාකරන් හැරුණාම අනෙකුත් සියලූ එල්.ටී.ටී.ඊ. නායකයන්ට චාල්ස්ගේ හැසිරීම විශාල කලකිරීමක් වුණා. එල්.ටී.ටී.ඊ. ය බිඳෙන්න චාල්ස්ගේ උනත් ලොකු බලපෑමක් වුණා. ඒ වගේම එල්.ටී.ටී.ඊ.යේ පරාජයට කරුණා අම්මාන්ගේ කඩාගෙන යෑමත් ලොකු දෙදරීමක් වුණා. එදා අපි කරුණා අම්මාන්ව දැක්කේ ජාති ද්‍රෝහියෙක් විදිහට. ඒත් කරුණා අම්මාන් එදා එහෙම කරපු නිසා තමයි අද අපි මෙහෙම සතුටින් ජීවත් වෙන්නේ. නැති නම් අපි උතුරටම හිරවෙලා මැරිලා යනවා. දෙන දේ කාලා, වෙන දේ බලාගෙන ඉන්න වෙනවා. අපේ දරුවන්ටත් ලෝකයක් දකින්න නැති වෙනවා. අද අපි ලෝකය වටේම යනවා. විවිධ රටවල මිනිස්සුන්ව ඇසුරු කරනවා. ව්‍යාපාර කරනවා. සුබ අනාගතයක් අපිට පේනවා…’’
දැන් අපිට තියෙන එකම අවුල දෙමළ දේශපාලනඥයො එක්ක එකතු වෙච්ච කොස්ඇට කොල්ලො ටිකක් එල්.ටී.ටී.ඊ.යේ විමුක්තිය
ගැන කතා කරනවා. එල්.ටී.ටී.ඊ.යට මුදල් ආපු හැටි, අදටත් ලෝකය පුරා එල්.ටී.ටී.ඊ.යේ වත්කම්වලින් ආදායම් ලැබෙන හැටි දන්නෙ අපි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට නැව් තියෙනවා. ලෝකයේ ප‍්‍රබල රටවල කොම්පැණි තියෙනවා. ඒ වත්කම්වල ආදායම බැර වෙන්නෙ එල්.ටී.ටී.ඊ.ය ගැන ජාත්‍යන්තරයේ හඬ නඟන ඊනියා විමුක්තිකාමීන්ගේ බැංකු ගිණුම්වලට. එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් ඒ අය කතා කරන සෑම වචනයකටම ඩොලර්වලින් මුදල් ලැබෙනවා. ඩොලර් ලැබෙන්න, ලැබෙන්න ඒ මිනිස්සු තවත් එල්.ටී.ටී.ඊ.ය ගැන කතා කරනවා. එල්.ටී.ටී.ඊ.යට පණ දෙන්න ගම් ඇතුළේ පොරවල් වෙන්න හදන කොස්ඇට කොල්ලො මේවා දන්නෙ නෑ. ඒ ඇටිකිච්චන්ව උසිගන්වන දේශපාලනඥයන්ගේ රඟපෑම ගැනත් ඒ කොල්ලො දන්නේ නෑ. ඒ කොල්ලො පව්. එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් විදිහට අවුරුදු ගාණක් යුද්ධ කරලා අදටත් ජීවතුන් අතර ඉන්න අය මේ වෙනකොට එල්.ටී.ටී.ඊ. සංවිධානයට වෛර කරනවා. උතුරේ දේශපාලනඥයන්ට ඊටත් වඩා වෛර කරනවා. අවුරුදු තිහක් එල්.ටී.ටී.ඊ.ය අපේ ජීවිත විනාශ කළා. දැන් උතුරේ දෙමළ දේශපාලනඥයො අපිට නැඟිටින්න දෙන්නෙ නෑ. සිංහල, දෙමළ මිනිස්සුන්ව බේද භින්න කරන්නේ දෙමළ දේශපාලනඥයෝ. සිංහල, දෙමළ බේද භින්න කරන තරමට ජාත්‍යන්තරයේ කොටි හඬ පතුරවමින් එල්.ටී.ටී.ඊ.යේ වත්කම්වලින් යැපෙන උන්ගෙන් දෙමළ දේශපාලනඥයන්ට සල්ලි එනවා. ඒ සල්ලි ගොඩ වැඩි කරගන්න දෙමළ දේශපාලනඥයෝ උතුරේ ගම්වල කොල්ලො අල්ලගෙන අමුතු ගේම් ගහනවා. ඒ හැරෙන්න ජනතා නියෝජිතයො කියලා උතුරේ දෙමළ දේශපාලනඥයො අපේ මිනිස්සුන්ට තඹදොයිතුවක වැඩක් කරලා නෑ. අඩුම තරමින් අපේ මිනිහකුගේ මරණයකටවත් ඔය දේශපාලනඥයො එන්නේ නෑ. ආණ්ඩුවෙන් උතුරේ ගම්මානවලට දෙන්න හදපු වතුර ටිකත් දෙමළ දේශපාලනඥයො නතර කළා. උතුරේ දේශපාලනඥයො කරන්නේ දෙමළ සමාජය වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා ලෝකයට ලොකු රඟපෑමක්. ඕක තමයි සරලම කතාව…’’ කතාව තව දිගය. එහෙත් රාජන්ගේ කතාවට අපි විරාමය තැබුවෙමු.
පෙරහැරේ යන අලි කොට අදින්නේ නැතැයි කතාවක් තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙත් එසේමය. මහ කැලෑවල අපා දුක් විඳගෙන යුද වැදුණු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගෙන් බහුතරය මේ වෙනකොට පොළොව යටය. එහෙත් ජාත්‍යන්තරයේ උඩු බුරලමින් එල්.ටී.ටී.ඊයේ වත්කම්වලින් යැපෙන කොටි රැළ අදටත් යහතින් වැජඹෙමින් එල්.ටී.ටී.ඊ. වත්කම්වලින් උපදින ආදායම භුක්ති විඳිමින් සුර සැප විඳිති.
එමෙන්ම රාජන් කියන විදිහට කෙනෙකුගේ දියුණුවට තවකෙක් ඊර්ෂ්‍යා කරන්නේ දෙමළ සමාජයේ පමණක් නොවේ. සිංහල සමාජයේ ද කෙනෙකුගේ දියුණුව බලා සිටීමට නොහැකි කුහකයන් අනන්තය. සිංහල, දෙමළ සමාජයටත් වඩා මුස්ලිම් සමාජයේ කුහකයන් වැඩි බව මුස්ලිම් මිනිස්සු කියති. එය අපේ රටේ කරුමයකි. එමෙන්ම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ලෙස රාජන් කියන විදිහට කොටි සංවිධානය විනාශයට ප‍්‍රධාන මූලය අසමගියයි. මේ සියලූ කරුණු හොඳින් අවබෝධ කරගෙන සිංහල, දෙමළ, මුස්ලිම් සමාජය බේද භින්න කරන කුහක කාලකණ්ණි දේශපාලනඥයන් පාලනය කරමින් ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුය. එසේ වන්නේ නම් ලෝකයේ සතුටින්ම ජීවත් වන මිනිසුන් සහිත රට අපේ රට වන බව නො අනුමානය. එමෙන්ම ඒ සතුටු රාජ්‍යය තුළ ආගම්වාදීන්, ත‍්‍රස්තවාදීන්, පේ‍්‍රත කුම්භාණ්ඩයන් ද නැති වන බව නියතය. එවිට උතුරේ රාජන්ලාද, නැගෙනහිර ෆාතිමාලාද, දකුණේ සිරිසේනලා ද සතුටින් ජීවත් වන බව සැබෑය. එමෙන්ම බුදුදහමේ සඳහන් ආකාරයට කාලකණ්ණි කුහකයන් මෙලොවත් පිච්චෙමින් පරලොවත් කල්ප ගණනාවක් පිච්චෙමින් විඳවන බව ද මතක් කර තැබිය යුතුය.
තරංග රත්නවීර
51 Viewers