• Home »
  • Sinhala Articles »
  • ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ගෙන ආවෝ බටහිර රටවල් යැයි කියති. කවුද මේ? ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ගෙන ආවේ නේටෝ බලවේගය නොහොත් බලකඳවුර විසිනි!

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ගෙන ආවෝ බටහිර රටවල් යැයි කියති. කවුද මේ? ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ගෙන ආවේ නේටෝ බලවේගය නොහොත් බලකඳවුර විසිනි!

මෙවර යෝජනාව ගෙනා මූලික රටවල් ගනිමු. එනම් කැනඩාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ වෙයි (මලාවි අහකට දාමු). මේ සියල්ල නේටෝ එකමුතුවේ රටවල් වෙයි. මේ රටවල්ද ඇතුලුව යෝජනාවට සම සහයෝගය දුන් රටවල් 41 ක් වෙයි. නේටෝ සංවිධානයට අයත් රටවල් 30 කි. එයින් රටවල් 28 ක් ම ලංකාවට එරෙහිව යෝජනාවට සම සහයෝගය දුන්නෝය. නුදුන්නේ තුර්කිය සහ හන්ගේරියාව පමණි.

යුරෝපීය සංගමයේ බොහෝ රටවල් නේටෝ සාමාජිකයන් වෙති. යුරෝපීය සංගමයේ මුත් නේටෝ සාමාජිකයන් නොවන රටවල්ද ඇත. එනම් ඔස්ට්‍රියාව, පින්ලන්තය, මෝල්ටාව, ස්වීඩනය වැනි රටවල්‍ ය. ඔවුන්ද නේටෝ නොවුනත් යුරෝපීය හවුලේ සිටීම නිසා සම සහයෝගය දැක්වීය.

නැගෙනහිර යුරෝපයේ බොහෝ රටවල් දැන් නේටෝ රටවල් වී ඇත. තවමත් එසේ නොවූ යුක්‍රේනය වැනි රටවල් නේටෝ පරිධියේ ඇති “සාම සහායක” හවුලේ රටක් නොහොත් “partnership for peace” රටක් වේ. ඒ අනුව යුක්‍රේනය ලංකාවට එරෙහිව තම ඡන්දය පාවිච්චි කලේය. මුලින් partnership for peace හවුලේ සිටි ඇල්බේනියාව, බල්ගේරියාව, පෝලන්තය වැනි නැගෙනහිර යුරෝපීය රටවල් අද වන විට කෙලින්ම නේටෝ රටවල් බවට “උසස්” වී ඇත.

නැගෙනහිර ආඩ්‍රියාටික් මුහුදු තීරයට ආසන්නව, ඉතාලිය තුල පිහිටා ඇති සැන් මැරීනෝ රාජ්‍යයද ලංකාවට එරෙහිව සමදායකත්වයට එක් විය. සැන් මැරීනෝ නම් ජනගහනය 35,000 ක් පමණ වතිකානුව වැනි කුඩා රටකි. ඔවුන් නේටෝ හෝ යුරෝපීය සංගමයේ නැත. ලංකාව ගැන තේරුමක් නැති ඔවුහු ඉතාලියේ කීමට, නේටෝ ගොඩට එකතු වූවා යැයි සිතිය හැක.

ස්විට්සර්ලන්තය නේටෝ සාමාජිකයෙක් නොවන අතර යුරෝපීය හවුලේ සාමාජිකයෙක්ද නොවේ. කියන්නේ නම් ස්වාධීන (neutral) රටක් කියාය. එහෙත් එය ඉහත කී partnership for peace හවුලේ රටකි. ස්විට්සර්ලන්තය සමසහයෝගය දැක්වූ නිසා ඒ අසල ඇති ලීශ්ටන්ෂ්ටයින් රටද (රටක් ලෙසට ගැනුණද ලංකාවේ නම් කුරුණෑගල තරමේ නගරයකි) ලංකාවට එරෙහි සමයෝජනා දායකත්වය දැරීය.

නේටෝ උදවියට නොගැලපෙන්නන් ඔවුන් විසින් එක්කෝ තම ගොඩට ඇදගැනීමට බලති. එක්කෝ කාණුවට ඇද දමති. මුවම්මර් ගඩාපි හොඳ උදාහරණයකි. ගඩාෆිට එරෙහිව භාවිතා කළේ ද යුද අපරාධ ගණයට වැටෙන “මානව වර්ගයාට එරෙහිව කෙරෙන අපරාධ” හෙවත් crimes against humanity චෝදනාය (ගඩාෆිගෙන් මානව වර්ගයා බේරා ගත යුතු විය!).

ලංකාවේ නායකයන්ට එසේ කල නොහැකි වී ඇත්තේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බැවිනි. ගඩාෆිට මෙන් කිරීමට පාර කපා ගැනීමට අවශ්‍යවූ කල මුලින්ම නේටෝවට “හතුරු” යැයි නේටෝව සිතන ප්‍රජාතන්ත්‍රවාදී රටවල නායකයන් ජනමාධ්‍ය භාවිතා කර ඒකාධිපතියන් කළ යුතුය. මිනීමරන්නන් බවට ජනමත ගොඩ නැගිය යුතුය. වැරදි ජන මතය ගොඩනැගීම උදෙසා, සැරව ටිකට පෙරේතයන් සේ දේශපාලන වාසි ලැබීමට එන, එම රටවල විරුද්ධ පාක්ෂිකයින්, නේටෝ මූලෝපායේ ඉත්තන් සේ භාවිතා කෙරේ.

තවත් ක්‍රම ඇත. මානව හිමිකම් එක මෙවලමකි. එහි අතුරු සාමාජිකයන්ද ඇත. ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් යන NGO, නේටෝ මූලෝපායේ කොටස් වේ. සමහරු මෙම සංවිධානවලට මානව හිමිකම් කර්මාන්තකරුවන් යැයි කියනු ලබන්නේ නිකම්ම නොවේ. මොවුන් චීනයේ මුස්ලිම් ප්‍රශ්නය ලොකු ප්‍රශ්නය ලෙස දකින අතර ස්විට්සර්ලන්තයේ සාම්ප්‍රදායික ලෙස මුස්ලිම් පල්ලි සෑදීමේ තහනම එතරම් ප්‍රශ්නයක් ලෙස නොදකී.
නේටෝ පොදු හතුරා චීනය වේ. ඉස්සර සෝවියට් දේශය විය.

ලෝකයේ දකුණු පෙදෙස දෙස බලමු. ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයද සමයෝජනා කරුවන් විය. ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් යොදා ලංකාව තුළ කිරි ටික විකුණගත්තාට එම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලාංකීය රණවිරුවන් වෙනුවෙන් නවසීලන්තයට කරුණු කිව නොහැක. නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සමඟ ANZUS නම් වූ ආරක්ෂක සම්මුතිය හරහා නේටෝව ලොකයේ දක්ෂිණ අර්ධභාගය සමග සබැඳී පවතී.

මේ සියල්ලටම අමතරව ඉන්දු-පැසිෆික් කලාපය හරහා නේටෝව තවත් සම්මුතියක් සාදාගෙන ඇත. එය QUAD නම් වේ. ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය නම් රටවල් 4 හරහාය. ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සහ විශේෂයෙන්ම ජපානයේ සහය දිනාගන්නට බැරි වූයේ ඒ අනුවය.

පැසිෆික් සාගරයේ ඇමෙරිකාවට අයිති හවායි දූපත සහ ආසියානු කලාපය අතර ඇති දූපත් රාජ්‍යයක් වන මාෂල් දූපත්ද (Marshall Islands) ලංකාවට එරෙහිව සමදායකත්වය දැරීය. එය නේටෝ රටක් නොවූවත් නේටෝ යුධෝපාක්‍රම ක්‍රියාවලියේ ඇමෙරිකාවට සහයෝගය දක්වන රටකි.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ රාජ්‍යයන්ගේ මීලග උත්සාහය වනුයේ ශ්‍රී ලංකාව “partnership for peace” හවුලට හෝ QUAD හවුලට ඈඳා ගැනීම වනු ඇත. ලංකාව තමුන්ගේ ගොඩට ගත හැකිවන තෙක් ජිනීවා මගඩිය (හෝ වෙනත් මගඩියක්) කලක් පවතිනු ඇත.

එසේ කල නොහැකි ලෙස නව ව්‍යවස්ථාව සාදා ගැනීම ව්‍යවස්ථා කමිටුවේ වගකීමයි. ජාත්‍යන්තර බල බෙදීම් වලට ලංකාව ඈඳා ගත නොහැකි වන සේ ව්‍යවස්ථාව සාදාගැනීමට බල කිරීම රටේ ජනතාවගේ වගකීමයි. ජනතාව වැඩිහරියක් නොයෙක් නායකයන්ගේ වහලුන් මෙන් ක්‍රියාකරන බැවින්, ජාත්‍යන්තර බල බෙදීම් වලදී තම රට ස්වාධීනව සිටීමේ වටිනාකම ජනතාවට එහෙමකට නොතේරේ.

ලක්ෂ 3 ක් දෙමළ වැසියන් බේරාගත් හමුදාවකට, යුද්ධයේදී මිය ගිය ගණන 7000 ක් වෙද්දී, 40,000 ක් මරා දැමුවා යැයි චෝදනා කරන්නේද, බ්‍රිතාන්‍යයයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා ශ්‍රී ලංකාවේ හමුදාව යුධ අපරාධ නොකළේ යැයි දත්ත ඉදිරිපත් කරමින් පවසද්දී බ්‍රිතාන්‍යය රජයට ඒ හඬ නොඇසෙන්නේද, බ්‍රිතාන්‍යය රජය, යුද්ධයේ සත්‍ය තත්වය දක්වමින් එවකට ලංකාවේ සිටි බ්‍රිතාන්‍යය ආරක්ෂක නියෝජිත කර්නල් ඇන්තනි ගෑෂ් විසින් යුධ කලාපයේ සිට බ්‍රිතාන්‍යය රජයට යවන ලද වාර්තා (ගෑෂ් වාර්තා) යට ගසන්නේද මේ පසුබිම හේතුකොටගෙනය.

ඇමෙරිකානු සොල්දාදුවන් හෝ දේශපාලඥයන් ජාත්‍යන්තර අධිකරණයට බාර දීම American Service Members Protection Act නම් වූ පනත හරහා තහනම් කර ඇති ඇමෙරිකාව, ලංකා හමුදාව පස්සේ පන්නන්නේත් මෙම පසුබිම හේතු කොට ගෙනය. කන්නට වුවමනා වූ විට කබරගොයා තලගොයා වේ!

බලවත් රාජ්‍යය වල දේශපාලන න්‍යායපත්‍රයන්හි අරමුණු ඉටුකර ගැනීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල බොරුව රජ කරවන්නේ කෙසේද යන්න ගැන ස්විස් ජාතික ආචාර්‍ය ඩනියෙල ගන්සර් විසින් වසර 2017 දී ජර්මන් බසින් ලියන ලද ඉලේගාල ක්‍රීග (illegale kriege) නොහොත් “නීති විරෝධී යුද්ධ” නම් ග්‍රන්ථයෙහි මොනවට පැහැදිලි කර ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව මානවහිමිකම් කවුන්සිලය මගින් ගෙන එන ලද නවතම යෝජනා, තමුන් අකමැති රාජ්‍යයන් අඩන්තේට්ටම් වලට ලක් කිරීම උදෙසා කරන එම නීති විරෝධී ආක්‍රමණයන්හි නවතම දිගුව බව පෙනේ!

මේ තිරයෙන් පිටුපස නූල් ඇදීමේ කතාවය. තිරයේ දිග ඇරෙන කතාව වෙනම තේරුම් ගත යුතුය. වසර 1998 දී ජාත්‍යන්තර යුධ අධිකරණය පිහිටුවීමේ සාකච්ඡා වලදී එයට ප්‍රධානවම එරෙහි වූයේ ඇමෙරිකාව බව අප දනිමු. එම සාකච්ඡා වලට රටවල් 120 ක්ද සිවිල් සංවිධාන 350 ක් ද සහභාගී වූ බව කියවේ.
ලෝකයේ බලවත්ම රට පසෙකට ලා ජාත්‍යන්තර අධිකරණය පිහිටවීමට ලෝකයට හැකිවිය. ඒ ඇයි?

1990 මුල් භාගයේදී යුගොස්ලෝවියාවේ හා රුවන්ඩාවේ සිදුවීම් හේතුකොට ගෙන යම් රාජ්‍ය නායකයන් සහ හමුදා නිලධාරීන් නීති රාමු කඩකරමින් යුධ අපරාධ කිරීමත් ඒ ගැන ලෝකයේ විරෝධතාවක් ඇති වීමත්, යමක් කළයුතු බවට ලෝකය පුරා කතිකාවක් ගොඩ නැගීමත් හේතුකොටගෙනය. එතෙක් දෙවෙනි ලෝක යුද්ධයේදී කළ අපරාධ විමර්ශනය කිරීම සඳහා ඇතිකළ නියුරෙම්බර්ග් සහ ටෝකියෝ යුධ අධිකරණයන්ගෙන් පසුව මේ පිළිබඳව ලෝකයේ එතරම් කතිකාවක් නොවීය. මේ අනුව වැරදි කළවුන්ට නිකම්ම ගැලවීමට දිය නොහැකි බවට මතයක් විශේෂයෙන්ම ලෝකයේ මානවහිමිකම් සහ සාමය ගැන උනන්දුවක් දක්වන විද්වත් කවයන් තුල ඇති විය.

ඒ අනුව යුධ අපරාධ කරන්නන්ට ලෝකයේ ඕනම රටක දඬුවම් කල හැකිවන ලෙසට ජාත්‍යන්තර යුධ අධිකරණය පිහිටවූයේ 2003 වසරේදීය. ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ චෝදනා මුලින්ම එන්නේ 2007 වසරේදීය.

ශ්‍රී ලංකාව කොටු කර ගැනීමට ඉහත කී නීති මාලාව භාවිත කර ඇති බව පෙනෙන්නට තිබේ. එනම් ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා නම්, යුධ අපරාධ කර ඇති බවත් ඒවා සොයාබැලීමක් නැති බවත්‍ වේ. එම චෝදනා වලට උත්තර දීමට හෝ ඒ පිලිබඳ අපේ අදහස ලෝක ජනගත කිරීමට අප අපොහොසත් වී තිබේ. හේතුව අප යුධ අපරාධ නොකල බැවින් “ඔන්න ඔහේ ඕන චෝදනාවක් කර ගත්තදෙන්” යැයි සිතන නිසාද විය හැක. ඒ අනුව ඉහත කී නේටෝ නූල් අදින්නන්හට “ලෝකයේ යුධ අපරාධ වලට වගකිවයුත්තන්ට නිකම්ම බේරෙන්නට ඉඩ දිය නොහැකි යැයි” සිතන විද්වතුන්ගේ සහයද ලබාගැනීමට හැකි වී ඇති බව පෙනෙන්නට තිබේ.

වගවීම කලයුතු දෙයක් ලෙස කෙනෙකුට කියා සිටිය හැකි වුවත්, එය ප්‍රේමදාස භීෂණ යුගය හරහා 1983 දක්වාම දිවෙන්නක් බැවින් එය හරියට කර ඉවරයක් කල නොහැකි දෙයක් බව මාගේ මතයයි.

කෙසේ වෙතත් ලංකාව එහෙට මෙහෙට ඈඳීමට උත්සාහ නොකර එයට ජාත්‍යන්තර බල බෙදීම් වලින් වෙන් වූ ස්වාධීන රටක් ලෙස නැගී සිටීමට ඉඩ සැලසීම මානව වර්ගයාගේ යහපතට හේතු වේ යැයි ලෝකයේ බලගතු රටවල කවුරුත් දැනගත යුතුය.

නේටෝ නොව ඉතිහාසයේ කිසිම බලවේගයකට මුලු ලොවම තම අණසකට ගත හැකි වී නොමැත. ප්‍රතිරෝධ ඇතිවීම වැලැක්විය නොහැක. ඒවා උත්සන්න වූ විටෙක මැදට පැන මහා විනාසයක් වැලැක්වීමටද කවුරුන් හෝ සිටිය යුතුය.

බලවතෙක් ලෙසට නැගී සිටින චීනය සහ නේටෝ බලවේග වල ඝට්ටනය හමුවේ ගැටුමක් වැලක්වීමට ලොව ප්‍රධානම ස්වාධීන (neutral) රටක් යැයි ගැනෙන ස්විට්සර්ලන්තය සුදුසු නොවනු ඇත. ඔවුන්ද කොණකින් නේටෝ බැවිනි.

සුදුසුම රට ශ්‍රී ලංකාවය!
– රනිල් ජයනෙත්ති –



166 Viewers