‘සාවද්‍ය දෙමළ ජනපද’

හිටපු මහ ඇමති විග්නේශ්වරම් විසින් මහාවංශය විවේචනය කිරීම හා ‘සාවද්‍ය දෙමළ ජනපද’ සංකල්පයක්‌ ඉදිරිපත් කිරීම ගැන දේශපාලකයන් මේ තරම් නිශ්ශබ්ද ඇයි? දීන අනුකාරකයන් බිහිකරණ අධ්‍යාපන ක්‍රමයකින් බිහිවූ, ‘බිම වැටුන රොඩු’ නීති සම්පාදන ආයතනයට යෑවීමේ පාපකර්මය අපට ඵලදී තිබෙන්නේ එසේ ය. විග්නේශවරම් කියන කතාව තේරුම් ගැනීමට නම් සිංහලයන්ට එරෙහිව ඉංග්‍රීසීන් ‘සූදානම් කළ’ පොන්නම්බලම්-කුමාරස්‌වාමි පවුල් දෙකේ අතීතය තේරුම් ගත යුතු ය.

විග්නේශ්වරන් කියන දෙමළ ජනාවාසවල ‘ඇත්ත දැන ගැනීමට’ නම් ඔහුගේ මී මුත්තා වන අරුණාචලම් මීට වසර 138 පෙර දවසක ලන්දේසීන් ගෙන්වූ ‘මලබාර් දෙමළ ජනතාව, ලංකා දෙමළ ජනතාව’ නමින් සංගණන වාර්තාව සකස්‌ කළ හැටි කියවිය යුතුය. ඒ අයුරින් 1881 දී එතෙක්‌ නොසිටි අමුතුව ජනතාවක්‌ එකවරම ‘ලංකා දෙමළ’ නමින් ලියාපදිංචි විය. ඊට වසර 108 ට පසුව(1998 දී) අලුත ලියාපදිංචි වූ ලංකා දෙමළ ජනතාවට උතුරු නැගෙනහිර පළාත් ‘පාරම්පරික නිජබිම වශයෙන් ලංකා රජය පිළිගත්තේය. ඒ 1989 zෙ-. ආර්. – රජීව්’ අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමේ 1. 4 වන වගන්තියෙනි. ඒ අයුරින් පැමිණ අද ‘කොළඹ, මාතර, නුවර, යාපනය’ හැමතැනම පදිංචිව සිටින දෙමළ ජනතාව ‘යාපනය සිංහලයන්ට තහනම්’ කරන තරමට බලවත්ය. ඊට දක්‌වන ප්‍රතිරෝධය පමණක්‌ ‘ජාතිවාදීය’. සිංහල ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මේතාක්‌ අසරණවී සිටිත්. නමුත් මහාවංශය වැනි අඛණ්‌ඩ ලි�ත ඉතිහාසයක්‌ දෙමළ ජනතාවට දකුණු ඉන්දියාවේවත් නැති බව සිහිකළ යුතුය. දැනට අප අතට පත්ව ඇති මහාවංශය පවා ‘සීහළට්‌ඨකතා’ මහාවංශයේ පසු කාලීන පාලි පරිවර්තනයක්‌ බව මුලින්ම දැනගත යුතුය.

මුලදී නාගදීපය නමින්ද පසුව ‘උත්තරපස්‌ස්‌ නමින්ද හැඳින්වූ යාපනය එම නමින් හඳුන්වන්නට යෙදුනේ මහනුවර යුගය තරම් මෑතකදී සිටය. ‘යාපන වංසක කතාව’ (යාල්පානවයිපමාලය) අනුව ‘යාල්’ යනු වීණාවය. ‘පානම්’ යනු කවියා ය. දෙවන රාජසිංහ රජු විසින් ‘දෙමළ වීණාවාදකයෙකුට’ දුන් නින්දගමක්‌ වූ යාපනය එකල උඩරට රජවරුන්ට යටත් ප්‍රදේශයකි. යාපනයේ දෙමළ ජනාවාස බිහිවීම යුග තුනකට බෙදිය හැකිය.

1. දඹදෙණි යුගයේදී චන්ද්‍රභානු පැරදවූ දෙමළ ආරක්‍ෂක සේනාව පදිංචි වීම

2. පෘතුගීසින් හා ලන්දේසීන් කුලී කම්කරුවන් වශයෙන් මලබාර් ජනතාව පදිංචි කිරීම.

3. ඉංග්‍රීසීන් විසින් සැලසුම් සහගතව දෙමළ ජනතාව පදිංචි කරවීම

දෙවන පරාක්‍රමබාහු රජුගෙන් දළදාව සහ පාත්‍රා ධාතුව පැහැර ගැනීමට ජාවක රජුව (මලය අර්ධද්වීපයේ පාලකයා) සිටි ‘ත්‍රාමුලිංගේෂ්වර චන්ද්‍රභානු’ ක්‍රි.ව. 1263 දී දඹදෙණිය ආක්‍රමණය කළා. උතුරු ලංකාවේ කඳවුරු බැඳගත් චන්ද්‍රභානු පලවා හැරීමට සමකාලීන පාණ්‌ඩ්‍ය අධිරාජ්‍යයා වූ ‘සුන්දර පාණ්‌ඩ්‍ය රජු’ ගෙන් ආධාරක සේනාවක්‌ ඉල්ලා සිටීමට සිදුවිය. නමුත් පාණ්‌ඩ්‍ය හමුදාව පැමිණ චන්ද්‍රභානු මරා වස්‌තුව පැහැරගෙන ඔහුගේ පුතා සමග සමගි සන්ධානයකට එළඹි බව ‘කුඩුමියාමලෙයි’ සෙල්ලිපියක කියවෙයි. මේ අයුරින් යාපනයේ නතරවූ පාණ්‌ඩ්‍ය සේනාව සිංහලයන්ට එදිරිව ජාවකයන් මෙහෙය වී ය. මෙකල සිට ලංකාවේ පාලන මූලස්‌ථාන රටේ වයඹ-බටහිරට ගෙන යාම නිසා ‘උත්තරපස්‌ස්‌ පාලනය කිරීම දුෂ්කර විය. චන්ද්‍රභානුගේ පුත්‍රයාද පහකර දමා පාණ්‌ඩ්‍ය රජුගේ කොළනියක්‌ වශයෙන් උත්තරපස්‌ස පාලනය වන්නට විය. ආර්යචක්‍රවර්තී රජවරු පවා ‘පාණ්‌ඩ්‍ය කාසි’ භාවිතා කළේ ඔවුන් ස්‌වාධීන නොවූ පාලකයන් නිසා ය. යාපන වංසකතාව පැහැදිලිවම පෘතුගීසීන් පැමිණෙන විට යාපනය පාලනය කළ සංකලි රජු එහි නිවැසි නිජබිම්වාසී සිංහලය බෞද්ධයන් පිටුවහල් කළ බවත්, නැවත නො පැමිණි බවත් විස්‌තර කරයි. යාපන වංසකතාවේ ආර්යචක්‍රවර්තී රජවරු සිංහලයන් ඝාතනය කිරීමටත් පලවා හැරීමටත් කළ බිහිසුණු ක්‍රිsයා විස්‌තර කර ඇත්තේ මහත් අභිරුචියෙනි. එසේම වරින්වර ඉන්දියානුවන් පදිංචිකරවීමද ගෞරවාගර්භයෙන් විස්‌තර කර ඇත.

Malabar පෘතුගීසීන් සිංහලයන්ට එරෙහිව දෙමළ වහල් ජනතාව යාපනයේ තවදුරටත් පදිංචි කරන්නට වීම නිසා කෝපයට පත් එහි නිවැසි සිංහලයන් 1678 වර්ෂයේදී තුඩගල මද්දුරාළ යටතේ සංවිධානය වී බිහිසුණු කැරැල්ලක්‌ ඇති කර බව කියවෙයි. නමුත් කැරැල්ල පරාජය වීම නිසා කැරලිකරුවන් මහනුවරට පැමිණ පදිංචි වී ඇත. මේ නිසා සිංහලයන් වාර්ගික ශෝධනය කිරීම දඹදෙණි යුගයේ සිට අඛණ්‌ඩව පැමිණ ප්‍රභාකරන් විසින් පරිසමාප්තියට පත්කර ඇති බව පෙනෙයි. එබැවින් යාපනයේ දෙමළ ඉතිහාසයම බිහිසුණු වර්ග සංහාරයකි. ලන්දේසීන් දුම්කොළ වගාවට දෙමළ ජනතාව ගෙන්වා පදිංචි කළා පමණක්‌ නොව, එම ඉඩම් නැවත නිජබිම්කරුවන්ට ලබා නොදීමට ‘තේසවලාමේ’ නමැති ඉඩම් නීතියක්‌ ද පනවා ඇත. ක්‍රි.ව. 1736 දී ලන්දේසි ආණ්‌ඩුකාරයා වූ ‘ජාන් මක්‌කාර්’ විසින් ‘මයිල්වාගනම් ජුලවර්’ ලවා යාපන දෙමළ ජනයාගේ ඉතිහාස ග්‍රන්ථයද ‘යාල්පාන වයිපවමාලය’ නමින් ලියවා දෙන ලදී. නමුත් එකී යාපන වංසකතාව යන්තම් හෝ පිළිගත හැකි යමක්‌ වේ නම්, ඒ ‘චන්ද්‍රභානුගේ ජාවක සේනාව’ යාපනයේ පදිංචිවීමෙන් පසුව එන කතා පුවත් පමණි.

දෙමළ සංක්‍රමණිකයන්ගේ ස්‌වර්ණමය යුගය උදා වූයේ ඉංග්‍රීසීන් පැමිණීමෙන් පසු යුගය බව මගේ හැඟීමයි. ලන්දේසී යුගයේදී සංක්‍රමණිකයෙකු වූ ‘කුමාරස්‌වාමි ආරුමුගපිල්ලේ’ නමැති භාෂා පරිවර්තකයාගේ පුත් ‘ආරුමුගපිල්ලේ (Arumugampillai Coomaraswamy (1783-1836), Gate Mudaliyar) උඩරට රජු අල්ලා ගැනීමට තීරණාත්මක සහයෝගයක්‌ දෙන ලදී. එහි ප්‍රති උපකාරය වශයෙන් ආරුමුගපිල්ලේට ‘වාසල මුදලි’ තනතුර ලබා දුන්නාය. එතැන් පටන් ලංකාවාසීන් බෙදා වෙන්කර පාලනයට ආරුමුගපිල්ලේ පවුලද පාවිච්චි කරන්නට වී ය. 1833 දී කෝල්බෲක්‌ ප්‍රතිසංස්‌කරණ පරිදි, ව්‍යවස්‌ථාදායකයේ දෙමළ නියෝජිතයා ලෙස ආරුමුගපිල්ලේ තෝරා ගන්නා ලදී. ඔහුගේ පුත් ‘මුතු කුමාස්‌වාමි'(Sir Muthu Coomaraswamy CCS FRGS (1833-1879), Member of Legislative Council) කොළඹ ඇකඩමියට ඇතුළත් කර, පසුව ලාබාල වියේදීම එනම් 1861 දී ව්‍යවස්‌ථාදායකයේ එකම දෙමළ නියෝජිතයා ලෙස පත් කළේ ය. 1874 දී මුතු ආසියාවේ පළවෙනි ‘නයිට්‌වරයා’ බවට පත් කළේ ය. එලිසබෙත් බිබි සමග විවාහපත් ඔහුට ආනන්ද කුමාරස්‌වාමි සහ සෙල්ලච්චි කුමාරස්‌වාමි යන දරුවන් විය. සෙල්ලච්චි අනෙක්‌ දෙමළ බලවතා වූ පොන්නම්බලම් පවුලේ’ අයෙකු හා විවාහ විය. (Sellachchi Coomaraswamy + Arunachalam Ponnambalam (1814-1887), Mudaliyar). සෙල්ලච්චිගේ දරුවන් වූ සර් පොන්නම්බලම් රාමනාදන්, පෙන්නම්බලම් අරුණාචලම් සහ වාසල මුදලි පත්මනාහ යන අය ඉංග්‍රීසින්ට දැක්‌වූ අධිකතර පක්‌ෂපාතීකම නිසා මුළු මහත් සිංහල ජාතියටම වඩා වැඩි වරප්‍රසාද පොන්නම්බලම්-කුමාරස්‌වාමි පවුල් දෙකට හිමි විය. මේ පරපුරේ ජී.ජී. පොන්නම්බලම් සර්වජන ඡන්දබලයට විරුද්ධව සිංහල හා දෙමළ නියෝජනය එකහා සමානය (50 ට 50) ඉල්ලා සිටි ජාතිවාදී අදහස්‌ දැරූවෙකි.

1807 මාර්තු මාසයේදී ලංකාවට ඉන්දියානුවන් ගෙන්වීමට පණතක්‌ සම්මත කරගත් පසු යාපනයට එන්නට වූ දෙමළ සංක්‍රමණික පිරිස වැඩි වන්නට විය. ආනන්ද කුමාරස්‌වාමි බ්‍රිතානයේ ඉහළම උපාධිධරයෙකු ලෙස පැමිණ පෙරදිග සංස්‌කෘතිය පිළිබඳ පර්යේෂණ කළේය. ඉන් පසුව ලංකාවේ පැරණි බෞද්ධ කලා කෘතිවලට ඉන්දියානු ප්‍රභවයක්‌ ලියා දෙමින් සිංහල කලාව ඉන්දියාවේ බාල අනුකාරක අවස්‌ථාවක්‌ බව ප්‍රචාරණය කළාය. ඒවා අද පවා රජයේ පාසල්වල මහ ඉහළින් ඉගැන්වෙයි. 1889 දී පොන්නම්බලම් රාමනාදන් (Sir Ponnambalam Ramanathan KCMG QC (1851-1930) ව්‍යවස්‌ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා වශයෙන් පත්විය. සිංහලයන්ට විරුද්ධව අධිරාජ්‍යවාදීන් පාවිච්චි කළ මොවුන් ‘ජාතික වීරයන් වශයෙන්’ද ඉගැන්වෙන බව ලැ-ජාවෙන් හෝ කිව යුතුය.

1869 දී ශල්‍ය වෛද්‍ය ඩබ්. ජී. වැන්ඩොටර්ගේ සටහන්වල ‘මලබාර් වහල් සේවකයන් 1834 ත් 1867 ත් අතර මලබාරයෙන් ගෙන්වීමත් ඔවුන් අතර උසස්‌ කුලවල අය පවා සිටි බවත් කියවෙයි. සිවිල් සේවයේ සිටියදී 1881 දී සොලිස්‌ටර් ජෙනරාල් වශයෙන් පත්ව සිටි ‘පොන්නම්බලම් අරුණාචලම්'(Sir Ponnambalam Arunachalam KCMG CCS (1853-1924)ල) විසින් ඒ වන විට ‘මලබාර් දෙමළ’ ලෙස ජනසංඛ්‍යා ලේඛන වාර්තාවල සටහන්ව තිබුණු ජනතාවගේ නම ‘ලංකා දෙමළ’ නමින් පළමුවරට හැඳින්වීය. (1901 ජන සංඛ්‍යා ලේඛනය සකස්‌ කළේ මොහුගේ මූලිකත්වයෙන් ය.) 1824 සංගණනයේදී පවා ජනගහනයෙන් 4.5% ක්‌ වූ මොවුන් අධිරාජ්‍යයට පක්‌ෂව සහ සිංහලයන්ට විපක්‌ෂව රටේ මර්මස්‌ථාන සියල්ල පාලනය කරමින් සිටින ලදී. මේ අයුරින් ලංකා දෙමළ ජනතාව රටේ නිල පිළිගැනීමට ලක්‌වීමට පෙර පවා රටේ නොනිල පාලකයන්ව සිටියහ. ඊට වසර 138 පසුව කොතරම් බලවත් වීද යත් 1987 ජූලි 29 වන දින අත්සන් කළ ‘ඉන්දු-ලංකා ගිවිසුමේ’ 1. 4 වන වගන්ති වලින් ඉංග්‍රීසින් අඳින ලද මායිම් රේඛා අනුව ‘උතුරු-නැගෙනහිර’ පළාත් එකී ‘මලබාර් දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික නිජබිම’වශයෙන් පිළිගත්තේ ය. ඡේ. ආර්. ජයවර්ධන රජයේ බියඟුළු ද්‍රෝහී ක්‍රියාව නිසා එහි ඇත්ත නිජබිම හිමි සිංහලයන් ගැන කිසිදු සටහනක්‌ නොමැතිය. අද වන විට සිංහලයන්ට පෙර සිටම දෙමළ ජනතාව සිටි බව කියන්නේ මෙම කුමාරස්‌වාමි පවුලේම විග්නේශ්වරම් වීම පුදුමයක්‌ නොවේ.

පොන්නම්බලම් අරුණාචලම්ගේ පුත් පොන්නම්බලම් මහාදේවද දේශපාලනයට පිවිස 1942 දී ස්‌වදේශ කටයුතු භාර ඇමතිවරයාද විය. යාපන රාජ්‍යය පෘතුගීසීන් පැමිණෙන විට පවා සිංහලයන් බහුතරයක්‌ විසූ එම අර්ධද්වීපයට සීමා වූවකි. සිංහල ගමක්‌ වූ කඳුරුගොඩ දෙමළ ‘කන්දරෝඩෙයි’ වූ අයුරින් යාපනයේ සිංහල ග්‍රාම නාම සිය ගණනක්‌ දෙමළකරණයට ලක්‌විය. සිංහල ‘ගොවි’ කුලය දෙමළ ‘කොවි’ කුලය බවට පත් විය. එය යාපනයේ ඇති ඉන්දියාවේ නැති එකම කුලයයි. අනෙක්‌ වෙල්ලාල, සිවියර්, සක්‌කිලි, කරෙයියර් කුල හැම එකක්‌ම ඉංදියාවේ ඥාති සම්බන්ධතාවයක්‌ ඇතිව සිටී. එහි ඛනිජ වර්ග සහ ශාක වර්ග වලින් ගනු ලබන විවිධ ප්‍රයෝජන පිළිබඳ ණය සිංහල මුල් පදිංචිකරුවන් විසින් වසර දහස්‌ ගණනක්‌ පුරා එකතු කරන ලද ජාතික චින්තයේ කොටසකි. එහි විසිර ඇති බෞද්ධ පුරාවස්‌තු මෙන්ම වැව්ද සිංහලයන් විසින් කරන ලද කර්මාන්ත මිස සංක්‍රමණිකයන්ගේ මෑත ගොඩනැගීම් නොවේ. මෙම ඉන්දීය කුල, සිංහල ග්‍රාම නාම යන සාධක දෙමළ ජනාවාස මිථ්‍යාව වැඩිදුරටත් තහවුරු කරන්නකි. මේ නිසා විග්නේෂ්වරන් කියන්නේ තම කුලය හා පෙළපත විසින් ඇති කරන ලද මහන්තත්වය නිසා පහල වූ ජාතිවාදී හැඟීමක්‌ පමණි. මෙවැනි අදහස්‌ දරණ පිරිසකට පොලිස්‌ හා ඉඩම් බලතල දීමෙන් ‘සංකිලිගේ පන්නයේ’ වර්ග සංහාරයක්‌ මිස සංහිඳියාවක්‌ නම් ඇති විය නොහැකිය. දැනටමත් උතුරේ පන්සල් සහ බෞද්ධ ජනතාවගේ වාසභූමි බිහිසුණු වර්ගවාදයකට ගොදුරු වී ඇති නිසා එහි මෙහෙයුම්කරුවන්ට පොලිස්‌ හා ඉඩම් බලතල දීමෙන් ‘සංකිලිගේ පන්නයේ’ වර්ග සංහාරයක්‌ මිස සංහිඳියාවක්‌ නම් ඇති විය නොහැකිය.

විග්නේශ්වරම්ගේ පිලට සිංහල ජනතාව සමඟ පමණක්‌ නොව වෙල්ලාල නොවන වෙනත් කුලවල ජනතාව සමඟ පවා ඇත්තේ දුරස්‌ථ හැඟීමකි. 1929 රජයේ පාසල්වල දරුවන්ට ‘සම වරප්‍රසාද’ දුන්විට පවා දෙමළ වෙල්ලාලවරු පහත් කුලවල ජනතාවට මහත් හිංසනයක්‌ ඇති කළේය. සී. සුන්දරලිංගම් මාවිද්දපුර කෝවිලට පහත් කුලවල ජනයා ඇතුල් වීමට වැලැක්‌වීමට කළ හිංසන ක්‍රියා නිසා ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇති විය. පොන්නම්බලම් රාමනාදන් ‘කුල ක්‍රමය නීතිගත කිරීමට’ බ්‍රිතාන්‍ය සහාය ඉල්ලා සිටි බව කියවෙයි. සාන්තුවරයෙකු ලෙස ගැනෙන ආරුමුග නාවලර් (1822-1872) යාපනය මහා විද්‍යාලයේ ගුරු සේවයෙන් ඉවත් වූයේ විදුහල්පතිව සිටි පීටර් පර්සිවල් පහත් කුලවල දරුවන් ඊට ඇතුළත් කිරීම නිසාය. මේ අයුරින් වෙල්ලාල කුලය ගොඩනැගූ අසීමිත කුල භේදය නිසා රටම මහත් වියවුල් කාරීව තිබුණි. මේ නිසා 1957 අප්‍රෙල් මස අංක 27 දරණ ‘සමාජ දුබලතා ඉවත් කිරීමේ පණත’ ඉදිරිපත් කර යාපනයේ කුල භේදය පාලනය කිරීමටසිදු විය. එහි විරෝධතාවය භාෂා පනතට එරෙහිව ගෙනවිත් රටම අවුල් කරන ලද්දේද වෙල්ලාලවරුය. මේ නිසා විග්නේෂ්වරම්ගේ තර්ජනය සමාජ සමානාත්මතාව ඇති කිරීම නිසා වියරු වැටුණ වෙල්ලාල කුලයේ අවසාන ලතෝනිය ලෙසද තේරුම් ගත යුතුය. මේ නිසා රටේ සිංහල ජනාවාස පිළිබඳ තත්ත්වය වෙනුවට දෙමළ ජනාවාස පිහිටුවීම පිළිබඳව ඉගෙන ගැනීම කළ යුතුය. එවිට මලබාර් දෙමළ ජනතාව ‘මහජාතිය’ වශයෙන් අද පවා අත් විඳින අසීමිත අහංකාර නිසා යාපනයේ සංහිඳියාව නැති වීම තේරුම් ගත හැකිය.

 



6 Viewers