සිංහල සමගියට අකුල් හෙළන හරින්

හරීන් ප්‍රනාන්දු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරල. දේශපාලනඥයන් විද්වතුන් බුද්ධිමතුන් වියතුන් ඉන්නෙ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්න තමයි. නැත්නම් මාධ්‍ය පවත්වාගෙන යන්නෙ කොහොම ද? දෙරණින් දෙමළ පත්තරේකුත් පටන් අරන්. දෙරණ මාධ්‍ය ජාලය සමග මගේ කිට්ටු සම්බන්ධයක් නැති වුණත් වැඩේ හොඳයි. අරුණ පත්තරේ බදාදාට මගේ ලිපියක් පළ කරනවා. ඒ හැරෙන්න ලංකාවෙ ඉන්දැද්දිත් දෙරණ රූපවාහිනිය මට වැඩ සටහනක් දුන්නෙ හාවා හඳ දකිනව වගේ. දෙරණ මාධ්‍ය ජාලයෙ ප්‍රතිපත්තිය මට නොතේරෙනවා නොවෙයි.

තමිලන් පත්තරේ තමයි මා හිතන විධියට සිංහල මාධ්‍ය ආයතනයකින් නිකුත් කරන එක ම දෙමළ පුවත්පත. වීරකේසරී හා තිනකරන් දෙමළ ප්‍රකාශකයන්ගෙ හා ආණ්ඩුවේ. ඒ පුවත්පත් දැනටත් පළ කරනව කියන උපකල්පනයෙන් එය ලියැවෙන්නෙ. දැන් කවුරු හරි අහන්න බැරි නැහැ ආණ්ඩුව සිංහල නොවෙයි ද කියල. මේ ජනාධිපතිතුමා පත්කෙරුණෙ සිංහල ඡන්දවලින්. ඒක වෙන ම කතාවක්. ආණ්ඩුවේ පත්තරවලින් සිංහල ජනතාවගෙ මතයක් පිළිබිඹු වෙන්නෙ නැහැ. ඒවා ගොරහැඩි විධියට ආණ්ඩුවේ පරිපාලන කතාව කියන පත්තර.

අප දැන් බොහෝ කලක සිට කියන්නෙ සිංහල දේශපාලනඥයන් දෙමළ කතාකරන ජනකොටස් අතර සෘජු ව දේශපාලනය කරන්න ඕන කියල. නමුත් ඒ වැඩේ දැන්ම කෙරෙන්නෙ නැහැ. තවමත් කරන්නෙ දෙමළ කතාකරන විවිධ දේශපාලනඥයන් සමග ගණුදෙනු පමණයි. එවැනි වාතාවරණයක සිංහල මාධ්‍ය ආයතනයකින් දෙමළ පුවත්පතක් නිකුත් කිරීම වැදගත්. දෙරණ මාධ්‍ය ජාලය සිංහල නොවෙයි කියල කවුරු හරි කියනවා නම් එහෙම කියන්නත් භාෂණ නිදහස අනුව ඉඩ තියෙනවා.

හරීන් ප්‍රනාන්දු කියල කාදිනල්තුමා දේශපාලනය කරනවා කියල. මගේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි මිතුරකුත් මට ඒ බව කියා තියෙනවා. ඒ මිතුරා එ ජා පක්‍ෂයට හිතවත් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ මොකක් වුණත් කාදිනල්තුමා දේශපාලනයක් කරනව කියන එක ගැන මා එකඟ වෙනවා. දේශපාලනීකරණය වූ සමාජයක කාදිනල්තුමා වැනි අය කරන ප්‍රකාශවල දේශපාලනයක් තියෙනවා. ඒක වළක්වන්න බැහැ. හාමුදුරුවරුන්ට දේශපාලන භික්‍ෂූන් කියන කොට එය සමාජයට දැනෙන්නෙ නැත්තෙ මොක ද?

කාදිනල්තුමා පමණක් නොව හිටපු අගරදගුරුතුමන්ලාත් දේශපාලනය කරල තියෙනවා. අර පාසල් ජනසතු කරපු වෙලාවෙ කතෝලික පල්ලියෙ දේශපාලනයක් තිබුණ. දෙමළ ජාතිවාදී ප්‍රශ්නය අවස්ථාවෙත් පල්ලියේ දේශපාලනයක් තිබුණ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සම්බන්ධයෙනුත් දේශපාලනයක් තිබුණා. ඒ බොහෝ අවස්ථාවල ඒ දේශපාලනය පොදුවේ ගත් කල සිංහල බෞද්ධ දේශපාලනය සමග එකඟ වුණේ නැහැ. හරින් ප්‍රනාන්දුත් දැන ගන්න ඕනෙ බොහෝ මැතිවරණවල දී සිංහල කතෝලිකයන් බහුතරයක් ජාතිකවාදී ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානවලට ඡන්දෙ නුදුන් බව.

පාස්කු ප්‍රහාරයෙන් සිද්ධ වෙච්ච එක දෙයක් තමයි සිංහල බෞද්ධයන් සහ සිංහල කතෝලිකයන් එකට සිතන්න පටන් ගැනීම. ඒ කියන්නෙ සියලු සිංහල බෞද්ධයන් සියලු සිංහල කතෝලිකයන් සමග එකට ඉන්නවා කියන එක නො වෙයි. බහුතරයක් හැටියට සිංහල බෞද්ධයන් හා සිංහල කැතා්ලිකයන් එක තැනකට සේන්දු වුණා. කාදිනල්තුමාගේ ප්‍රකාශවලින් නිරූපණය වන්නේ මේ එකඟත්වයයි. එය හරින් ප්‍රනාන්දුට විස වෙන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ.

අප කළ යුත්තේ මේ එකඟත්වය වර්ධනය කිරීමයි. මෙය කාදිනල්තුමාගේ ප්‍රශ්නයක් නො වෙයි. සිංහලයන්ගේ ප්‍රශ්නයක්. ජාතිකත්වයක් ඇති සිංහල බෞද්ධයන් හා සිංහල කතෝලිකයන් එක්විය යුතුයි. එපමණක් නොවෙයි ජාතිකත්වයක් ඇති දෙමළ කතාකරන ජනයාත් එක්විය යුතුයි. තමිලන් පුවත්පතේ ප්‍රධාන කාර්යයක් විය යුත්තේ ඒ එක්කිරීම ය කියා මා හිතනවා. හරින් ප්‍රනාන්දු කරන්නේ එක්වෙමින් සිටින සිංහල බෞද්ධයන් හා සිංහල කතෝලිකයන් අතර බෙදීමක් ඇති කිරීමයි.

හරින් ප්‍රනාන්දුගෙ ගණිතය ගැනත් යමක් කියන්න ඕන. ඒ ඒ අයට ඒ ඒ ක්‍රම යොදා ගෙන ගණිතය කිරීමට ඇති අයිතිය මා ප්‍රශ්න කරන්නෙ නැහැ. ගණිතයෙ ඊනියා අනන්‍යතා ප්‍රමේය සාධනය කරන්නෙත් යම් යම් උපකල්පන යටතේ. ඒ නිසා ගණිතයේත් ඊනියා වාස්තවික අනන්‍ය විසඳුම් නැහැ. හරින් ප්‍රනාන්දු කියන්නෙ සජිත්ට වඩා ගෝඨාභයට ඡන්ද ලක්‍ෂ දහයක් ලැබුණා. ඒ කියන්නෙ ඡන්ද ලක්‍ෂ පහක් එහා මෙහා වෙලා තියෙනවා. ඒ ඡන්ද ලක්‍ෂ පහ කතෝලික ඡන්ද. ඔහු සිංහල කතෝලික කියන්නෙ නැහැ. ඒත් මා හිතනවා ඒ සිංහල කතෝලික ඡන්ද කියල. දෙමළ කතෝලිකයන් කාදිනල්තුමා කිව්ව කියල ගෝඨාභයට ඡන්දෙ දෙයි කියල හිතන්න අමාරුයි. කොහොම හරි ඒ ඡන්ද ලක්‍ෂ පහ එහාට මෙහාට වුණෙ කාදිනල්තුමාගේ දේශපාලනය නිසා කියල තමයි හරින් ප්‍රනාන්දු නිගමනය කරන්නෙ.

අපිට ඕන නම් වෙනත් උපකල්පනවලින් පටන් ගන්න පුළුවන්. 2019 නිල මැතිවරණ ප්‍රතිඵල අනුව ගෝඨාභයට ඡන්ද 69,24,255 (52.25%) ක් ලැබිල තියෙනවා. සජිත්ට ඡන්ද 55,64,239 (41.99%) ක් ලැබිල තියෙනවා. එතැන නම් වැඩි ඡන්ද ලක්‍ෂ දහයක් නොව දහතුනහමාරක් පමණ තියෙනවා. දැන් කාට හරි අහන්න පුළුවන් ප්‍රතිශත එකතු කළාම 94.24ක් පමණක් එන්නෙ ඇයි කියලා. ඒකට හේතුවක් තියෙනවා. 2019 දි, දැන් දෙසීයට තුනේ කට්ටිය 3.16%ක් ගත්තා. ඡන්දවලින් නම් 4,18, 553ක්. එතකොට 97.4%ක් වෙනවා. ඉතිරි ඡන්ද අර අනෙක් අයට.

දැන් සජිත්ගෙ ඡන්දයි අනුර කුමාරගෙ ඡන්දයි එකතු කළොත් 59,82,792 ලැබෙනවා. ඒ ඡන්ද සංඛ්‍යාවත් ගෝඨාභය ගත් ඡන්ද සංඛ්‍යාවත් අතර වෙනස නම් ලක්‍ෂ දහයකට කිට්ටුයි. හරින් ප්‍රනාන්දු ගෝඨාභයගෙ වැඩි ඡන්ද සංඛ්‍යාව ලක්‍ෂ දහයක් කියන්නෙ ඒක නිසා ද දන්නෙ නැහැ. අනුරගෙ ඡන්ද කොහොමත් සජිත්ගෙ ඡන්ද නොවැ කියල හරින් හිතනවා ද දන්නෙ නැහැ.

ලංකාවෙ සිංහල කතෝලික ඡන්දදායකයන් කොපමණ ඉන්නවා ද කියා දැන ගන්න විධියක් නැහැ. ඒ ඒ ඡන්දදායකයන් සංඛ්‍යාව අදාළ ජනගහනයට සමානුපාතිකයයි සිතමු. 2012 සංගණනයට අනුව ලංකාවේ කතෝලික ජනයා 6.1%ක් ඉන්නවා. දෙමළ ජනයා 11.15%ක් ඉන්නවා. හින්දූන් 9.7%ක් ඉන්නවා. ඒ කියන්නෙ දළ වශයෙන් දෙමළ කතෝලික/ක්‍රිස්තියානි ජනයා 1.45%ක් පමණ. ක්‍රිස්තියානි ජනයාට වඩා කතෝලික ජනයා බෙහෙවින් වැඩි නම් එවිට සිංහල කතෝලික ජනයා 4.7%ක් පමණ වෙනවා. කොහොමත් සිංහල කතෝලික ජනයා 5.0%කට අඩු වෙන්න ඕන.

හරින්ගෙ ගණන හදන තවත් ක්‍රම තියෙනවා. අපි 2019 සංසන්දනය කරන්න ඕන 2015 ජනාධිපතිවරණයෙදි ගත් ඡන්ද ප්‍රතිශත සමග. 2015 මහින්ද ලබා ගෙන තියෙන්නෙ 47.58%යි. සිරිසේනට ලැබිල තියෙනවා 51.28%ක්. ඒ ජ වි පෙ ඡන්දත් එක්ක. මහින්ද 2015 ලබා ගත්ත ඡන්ද ප්‍රතිශතයට වඩා ගෝඨාභය 2019 දි ලබා ගෙන තියෙනවා 4.67ක ප්‍රතිශතයක්. ඒක නම් සිංහල කතෝලික ප්‍රතිශතයට කිට්ටු වගේ. හරින් හරි යන්න නම් 2015 දි සිංහල කතෝලික ජනයා සමස්තයක් ලෙස මහින්දට ඡන්දෙ නොදී ඉඳලා 2019 දී සමස්තයක් ලෙස ගෝඨාභයට ඡන්දෙ දෙන්න ඕන. ඒ හැරවිල්ල කාදිනල්තුමාට තියා පාප්වහන්සේටවත් කරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. මා මේ පාප්වහන්සේට අගෞරවයක් කරනවා නො වෙයි.

මේ නීරස ගණිත කතාවලින් වැඩක් තියෙනවා ද කියා මා දන්නේ නැහැ. මට පෙන්නන්න ඕන එක් පැත්තකින් ගණිතයෙත් ඒ ඒ උපකල්පන මත ඒ ඒ පිළිතුරු ලැබෙන බව. මොන විධියට බැලුවත් තව ම හරින්ගෙ කතාව සමග සංගතවන උපකල්පන ටිකක් නම් හොයාගන්න බැරි වුණා. ඒත් ඒ සියල්ලට ම වඩා මෙහි දී අවධාරණය කරන්න ඕන හරින් සිංහල බෞද්ධයන් හා සිංහල කතෝලිකයන් එකට ඉන්නවාට විරුද්ධ ව වැඩ කිරීම.

නලින් ද සිල්වා



93 Viewers